මීට අදාළ කටයුතු ක්‍රමානුකූලව වෙමින් පවතින බවද, පුවත්පත් දැන්වීමක් මගින් සැපයුම්කරුවකු තෝරා ගැනීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර් සඳහන් කළේය.
පොලිස් කොස්තාපල්වරුන්ගේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක දක්වා තනතුරුවල සිටින පොලිස් නිලධාරින් වෙත තීරුබදු නොමැතිව යතුරුපැදි දීමට කැබිනට් අනුමැතිය හිමිවූ අතර එම යතුරුපැදි සඳහා ඉල්ලුම් කරන නිලධාරින්ගේ අයැදුම්පත් පසුගිය මැයි මාසයේ 20 වැනිදා වන විට පොලිස් මූලස්ථානය ලබාගෙන තිබිණි.
එම යතුරුපැදි සඳහා වන තීරුබදු මුදල පොලිස් ත්‍යාග අරමුදල මගින් දීමට නියමිත අතර අත්පිට මුදල් ගෙවීමේදී පොලිස් ඉතිරිකිරීමේ අරමුදලෙන් නිලධාරින්ට ණය සහනයක් ගැනීමට ද හැකියාව පවතී.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ආකාරය තීරණය කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් කමිටුවක් පත්කර ඇති බවත්, එම කමිටුව මෙම ව්‍යාපෘතිය කිරීමට වඩා සුදුසුම ආකාරය ලෙස පුවත්පත් දැන්වීමක් හරහා ජාතික තරගකාරී ක්‍රමවේදය මගින් (Request for proposal) ලබාගෙන ඉන් සුදුසුකම් සපුරාලන ආයතන මගින් නිලධාරින්ගේ කැමැත්ත මත මෙම යතුරුපැදි මිලදී ගැනීමට අවස්ථාව සලසාදීම සඳහා නිර්දේශ ඉදිරිපත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉලෙක්ට්‍රික් යතුරුපැදි සඳහා අයැදුම්පත් දහස් ගණනක් ලැබී ඇති බවය.
මේ අතර යතුරුපැදි මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බවට පුරවැසියා නමැති සංවිධානය විසින් පොලිස්පතිවරයාට එරෙහිව පැමිණිල්ලක් අල්ලස් හෝ දූෂණ විරෝධී විමර්ශන කොමිෂන් සභාවට සිදුකර තිබූ අතර එය මූලික කරගනිමින් එම සංවිධානය මගින් කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබිණි.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය කියා සිටියේ එම චෝදනා අසත්‍ය හා පදනම් විරහිත බවය. පොලිස්පතිවරයා හා පොලිසිය කෙරෙහි වැරැදි ප්‍රතිරූපයක් ඇති කිරීමේ මෙවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කෙරේ.

