webinar සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් ඔහු පෙන්වා දෙන්නේ, එවැනි තත්ත්වයක් තුළ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළට යාමට වඩා, වත්මන් IMF වැඩසටහන අවසන් වූ පසුවත් තවත් IMF ගිවිසුමකට එළඹීම ශ්‍රී ලංකාවට වඩාත් ප්‍රයෝජනවත් විකල්පයක් විය හැකි බවයි.
ඔහුට අනුව, ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම තවමත් ඉහළ අවදානම් කාණ්ඩයේ පවතින බැවින්, ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ණය ලබා ගැනීමට සිදු වුවහොත් සියයට 11ත් 14ත් අතර ඉහළ පොලියක් ගෙවීමට සිදුවිය හැකියි. එවැනි තත්ත්වයක් තුළ පැරණි ණය ගෙවීම සඳහා අලුත් ණය ලබා ගැනීම ප්‍රායෝගික නොවන බවද ඔහු සඳහන් කරනවා.
මහාචාර්ය අතුකෝරළ පෙන්වා දෙන්නේ 2027 වන විට ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 180ක් දක්වා ඉහළ යා හැකි අතර, ඉන් විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 53ක් පමණ වනු ඇති බවයි.
එමෙන්ම IMF ඇස්තමේන්තු අනුව 2027 වන විට ශ්‍රී ලංකාව සතුව ඩොලර් බිලියන 12ක පමණ නිල විදේශ සංචිත තිබිය යුතු වුවද, දැනට පවතින සංචිත එම ඉලක්කයට වඩා සැලකිය යුතු ලෙස පහළ මට්ටමක පවතින බවද ඔහු පෙන්වා දෙනවා. වසරක් ඇතුළත එම සංචිත දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ නැංවීම ඉතා දුෂ්කර කාර්යයක් බවද ඔහුගේ අදහසයි.
රජය බදු ආදායම් වැඩි කර ප්‍රාථමික අතිරික්තයක් ලබා ගත්තද, විදේශ ණය ගෙවීම සඳහා අවශ්‍ය වන්නේ විදේශ විනිමය බවත්, ඒ සඳහා ප්‍රමාණවත් සංචිත තවමත් නොමැති බවත් ඔහු පවසනවා.
මහාචාර්ය අතුකෝරළ වැඩිදුරටත් අවධාරණය කරන්නේ, IMF වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවට ලැබෙන්නේ අඩු පොලී ණය පමණක් නොව, එම වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය විශ්වාසයද ගොඩනඟන බවයි. ඒ හරහා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් ද්විපාර්ශ්වික ණය දායකයන්ගෙන් මූල්‍ය සහාය ලබා ගැනීමද පහසු වන බව ඔහු සඳහන් කළා.

