රුදුරු පාස්කු මතක සිහිකරමින් කාදිනල් හිමිගෙන් යළි චෝදනා

Published in පුවත්
Tuesday, 21 April 2026 14:24

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව සුබවාදී පිළිවෙතක් අනුගමනය කරමින් සිටියදී, ඇතැම් රාජ්‍ය නිලධාරීන් එය අකර්මණ්‍ය කිරීමට උත්සාහ දරමින් සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් චෝදනා කරයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සත්වැනි ස්මරණය වෙනුවෙන් අද (21) පැවති වැඩසටහනට එක්වෙමිනි.

පාස්කු ප්‍රහාරය පිටුපස ඔවුන් නියෝජනය කරන දේශපාලනික බලවේග සිටියේදැයි ප්‍රශ්නයක් මතුවන බවද පැවසු කාදිනල් හිමි එසේ නොවන්නේ නම් සත්‍ය සොයා යන ගමනට මෙතරම් බාධා කරන්නේ මන්දැයි මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

මේ පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම පවා ගැඹුරින් අධ්‍යයනය කළ නොහැකි වු කරුණු කිහිපයක් පිළිබඳ එම වාර්තාවේ සඳහන් කර ඇති බව සඳහන් කළ කාදිනල් හිමි අබු හින්ද් කවුරුන්දැයි සොයා ගැනීම වැදගත් බවද පැවසීය.

සහරාන් සමඟ ගනුදෙනු කළ බවටද තොරතුරු වාර්තා වන එම පුද්ගලයා පිළිබඳ තොරතුරු සෙවීම ඉතා වැදගත් බවද සඳහන් කළ කාදිනල් හිමි කොමිෂන් සභාව විසින් අබු හින්ද්ගේ අනන්‍යතාවය පිළිබඳ විමර්ශනය කරන බවට රහස් පොලීසිය විසින් සාක්ෂි ලබාදුන් බවද සඳහන් කළේය.

එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගේ ජංගම දුරකථනය හා පරිගණකයේ තිබූ සියලු දත්ත මකා දැමා ඇතැයි සාක්ෂි සටහන් වී ඇති අතර, ඒ තුළින් නිලන්ත ජයවර්ධන හිතාමතාම ප්‍රහාරය පිළිබඳ සත්‍ය තොරතුරු වසන් කළේ ද එසේ නම් එවැන්නක් කළේ මන්දැයි ද කාදිනල් හිමි මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

"මේ භයානක ඝාතන පිටුපස ඇත්තේ කවුරුන්දැයි අපිට හෙළිදරව් කර දෙන්න. ශ්‍රී ලංකාව තුළ දශක ගණනාවක් තුළ සිදුවු විවිධ ඝාතනයන් අතුරුදන් කිරීම් හා මිනීමැරුම් පිටුපස තිබුණේ කුමන අරමුණක් ද ? කරේ කවුරුන්ද යන්න සොයා ගෙන සියල්ල කාලයේ වැලිතලාවෙන් වැලලී යෑමට ඉඩ හැරීම අපගේ රටතුළ මෑත කලායේ බිහි වී ඇති අති භයානක ප්‍රවණතාවයකි. 70 දශකයේ ඇරඹී මෙය නොබෝ දා දක්වා පැවති ජාතික ව්‍යවසනයකි....

මේ අති විශාල සාරධර්ම පිරහීම තුළ වින්‍යානුකූලබව, නීතියට ගරු කිරීමේ උතුම් ගුණය හා ශිෂ්ට සම්පන්න හැසිරීම් රටාව අප රටෙන් බැහැරවිය. මෙවැනි පරිසරයක ශ්‍රී ලංකාව තුළ පසුගිය දශක 4ක කාලය තුළ සිදුවු මීනිමැරුම්, අතුරුදන්වීම් හා දූෂණ පිළිබඳ අවංක සොයාබැලීමක් සිදුකිරීම දුෂ්කර වී ඇත්තේ දේශපාලන ඇඟිලි ගැසීම් හා මුසාව ක්‍රියාකාරී වීම නිසා යැයි කිව යුතුය.

පාස්කු ප්‍රහාරයද එවැනි දුක්බර අත්දැකීමකි. එහි වින්දිතයින් විඳිනා දහදුක මේ කිසිදු ආයතනයකට හෝ පුද්ගලයෙකුට දැනෙන දෙයක් වේදැයි ප්‍රශ්නයක් මතුවෙයි.

ඇතැම් පිරිස් පාස්කු ප්‍රහාරයේ විමර්ශන අදාල නිලධාරීන් මගින් ස්වාධීනව සිදුකරන්නට ඇති ඉඩකඩ අවහිර කරන්නට වෙරදන්නේ ඇයි දැයි අපට නොවැටහේ. 2024 ඔක්තෝබර් 6 වන දින අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ දී බෝම්බ ප්‍රහාරයේ වින්දිතයින් මුණගැසුණු මොහොතේ ඔවුන්ට දුන් ප්‍රතිඥාව වුයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය කාලයේ වැලිතලාවට වැසීයාමට තමන් ඉඩ නොදෙන බවයි. අපි ඉල්ලා සිටින්නේ මේ පොරොන්දුව යථාර්තයක් කරමින්, පාස්කු ප්‍රහාරය පිළිබඳව පරිපූර්ණ විනිවිඳ පෙනෙන සත්‍ය මත පදනම් වූ පරික්ෂණයක් සිදුකර එහි සත්‍යතාවය අපට හෙළිකර දෙන ලෙසයි."

මීට වසර 07කට පෙර අද වැනි දිනක මෙරටට හිරු උදාවූයේ ඉතිහාසයේ අඳුරුම දිනයකට අත වනමින්.

එම වසරේ පාස්කු ඉරිදාව වූ එදින ආගමික අන්තවාදය කරපින්නාගත් ත්‍රස්තවාදීන් පිරිසක් කිතුනු දේවස්ථාන 03ක්, ප්‍රධාන සංචාරක හෝටල් ඇතුළු දිවයිනේ ස්ථාන 08කදී සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 10කදී, අහිංසක භක්තිවන්තයින් සමග 275කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වුණි.

එම ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසමක් ඇතුළු තවත් විමර්ශන ගණනාවක් සිදුවුවද ඉන් අනාවරණ වූ කරුණු සම්බන්ධයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික සභාව සෑහීමකට පත් වූයේ නැහැ.

එබැවින් ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සියලු සත්‍ය අනාවරණය කරන ලෙස ඔවුන් තවමත් අඛණ්ඩව යුක්තිය අයැදීමේ ව්‍යාපාරවල නිරත වේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සත් වසරක් අද සපිරෙන්නේ එවන් පසුබිමකයි.

ත්‍රස්ත ප්‍රහාරයේ සත්වැනි ස්මරණය වෙනුවෙන් ප්‍රධාන වැඩසටහන අද සංවිධාන කර තිබුණේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදීය.

ඒ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, වතිකානයේ මෙරට අපෝස්තලික තානාපති අතිඋතුම් අන්ද්‍රෙයාස් ඉඕස්වෝවිච්ස් හිමිපාණන් සහ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මෙරට ස්ථාවර නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේගේ ප්‍රධානත්වයෙනි.

පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් සහ සෙසු ආගමික නියෝජිතයන් ද අනුස්මරණ වැඩසටහනට එක්ව සිටියේය.

අඳුරු පාස්කු ඉරුදිනයේ පළමු බෝම්බය පිපිරීගිය පෙරවරු 8.45ට සිද්ධස්ථානයේ සීනුව නාද කර විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්වුණි.

මේ අතර මීගමුව කටුවපිටිය දේවස්ථානයේදි එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් දිවි අහිමි වූ බැතිමතුන් සිහි කරමින් දේව මෙහෙයක් අද උදෑසන පැවැත්වුණි.

ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස සිහිකොට පෙ.ව 8.45ට සීනුව නාද කර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වුණේ මෙලෙසින්.

මියගිය අයගේ ස්මාරකය අසල ඉටි පහන් දල්වා පුෂ්පෝපහාර සිදුකිරීම ඥාතීන් හා පූජකතුමන්ලාගේ සහභාගිත්වයෙන් සිදුවුණි.‍

මේ අතර පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ තවත් එක් ඉලක්කයක් වූ මඩකලපුව සියෝන් දේවස්ථානයේදී ජීවිතක්ෂයට පත්වූවන් හා බලපෑමට ලක් වූවන් සිහි කරමින් විශේෂ ආත්ම ශාන්ති පූජාවක් හා දේව මෙහෙයක් අද පෙරවරුවේ පැවැත්වුණි.

එම අවස්ථාවේදි සියෝන් දේවස්ථානයට දැඩි ආරක්ෂාවක් සපයා ඇති ආකාරයක් ද දක්නට ලැබුණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us