ඒ අනුව තත්ත්වයෙන් බාල පේනු, කෙවෙනි, ඇඩැප්ටර්, පරිවර්තක පේනු, කේබල් රීල් ආදිය ගුණාත්මක තත්ත්වයෙන් අවම ලෙස නිෂ්පාදනය කිරීම වැළැක්වීම සඳහා ඒවාට ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය අනිවාර්යය කර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් 2017 දෙසැම්බර් මස 07 වැනිදා 2048 /39 අංක දරන අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
එම ගැසට් නිවේදනයට අනුව වෝල්ට් 250 ට නොවැඩි කම්බි මාරු කළ හැකි හා කම්බි මාරු කළ නොහැකි පේනු, ස්විච් සහිත හෝ රහිත කෙවෙනි පිටවාන්, විදුලි දිගු සහ අතේ ගෙන යා හැකි කෙවෙනි, පිටවාන්, ඇඩැප්ටර් හා තනි පරිවර්තක, ඇඩ්ප්ටර, විලායක සහිත සම්බන්ධිකාරක ඒකක, විලායක සහිත පරිවර්තක පේනු, පේනු සහ කෙවෙනි, පිටවාන් සවිකර ඇති කේබල් රීල් නිෂ්පාදනයේදී සහ විකිණීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය අනිවාර්ය කර ඇත.
නමුත් තත්ත්වයෙන් බාල එවැනි විදුලි උපාංග නිෂ්පාදනය දිගින් දිගටම ඉහළ යෑම හේතුවෙන් ඒ සම්බන්ධව පසුගියදා මොරටුව විශ්වවිද්‍යාලය, පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ මහජන උපයෝගිතා කොමිසම අතර සාකච්ඡාවක්ද පැවැත්විණි.
මෙවැනි විදුලි උපාංග තත්ත්වයෙන් බාල ලෙස නිෂ්පාදනය කිරීමෙන් වැඩි ලාභයක් ගැනීමට බොහෝ ආයතන යොමුවී තිබෙන බව එහිදී සාකච්ඡා කෙරිණි.
අනතුරුව මෙම විදුලි උපාංග ප්‍රමිතියෙන් යුතුව නිපදවීමට හැකි අච්චු (Mold) ආදිය ලබාදීමටද මෙහිදී තීරණය කෙරුණි. කෙසේ නමුත් පෙර කී ගැසට් නිවේදනය නිකුත් කර ඇතත් පාරිභෝගික කටයුතු අධිකාරිය ද ඊට අදාළ වැටලීම් සිදුනොකරන බව පැවසේ.

