සංචාර සඳහා මාර්ගෝපදේශ තොරතුරු සපයන ලොව පිළිගත් සඟරාවක් වන අමෙරිකාවේ ‘ලෝන්ලි ප්ලැනට්’ විසින් 2026 වසරේ දී සංචාරය කිරීමට හොඳම ගමනාන්ත 25 නම්කර තිබෙන අතර අදාළ සඟරාව විසින් රටවල් කිහිපයක ආකර්ෂණීය ස්ථාන මේ සඳහා තෝරාගෙන ඇත.
ඒ අනුව අදාළ හොඳම ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවේ යාපනය එක්ව තිබෙන අතර සංස්කෘතික සංචාරක ගමනාන්තයක් ලෙස ජනප්‍රිය යාපනය, මෑත කාලය තුළ දහස් ගණනක් සංචාරකයන් ආකර්ෂණය හිමිකරගත් ස්ථානයක් බවට පත්ව තිබේ. ඒ අනුව යාපනයේ ඇති සංස්කෘතික හා ඓතිහාසික උරුමය මෙම තෝරා ගැනීමට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන අතර ලොව වඩාත් විශ්වාසදායක සංචාරක මාධ්‍ය සන්නාමයක් වන ‘ලෝන්ලි ප්ලැනට්’ 1970 වසරේ සිට ක්‍රියාත්මක සඟරාවකි.
අදාළ සඟරාවේ සංචාරක මාර්ගෝපදේශ පොත් මිලියන 150කට වඩා මේ වනවිට අලෙවි වී තිබෙන අතර ශ්‍රී ලංකාවට අමතරව දකුණු ආසියානු කලාපයට අයත් තායිලන්තය පමණක් මේ ගමනාන්ත 25 අතරට එක්ව සිටීම විශේෂත්වයකි.
යාපනයට අමතරව දකුණු අමෙරිකාවේ පේරු, එක්සත් ජනපදයේ මේන්, ස්පාඤ්ඤයේ කාඩිශ්, අප්‍රිකාවේ රිනයන් හා බොට්ස්වානා, කොලොම්බියාවේ කාර්ටගේන්, යුරෝපයේ ෆින්ලන්තය, අයර්ලන්තයේ ටිපෙරරි, මෙක්සිකෝ සිටි, ගෝතමාලාවේ කුට්සල්ටෙනන්ගෝ, කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා, ඉතාලියේ සාර්ඩිනියා, සාඕ පාලෝහි ලිබර්ඩේඩ්, නෙදර්ලන්තයේ යුට්‍රේච්, කැරිබියන්හි බාර්බඩෝස්, දකුණු කොරියාවේ ජෙජු-ඩෝ එම ගමනාන්ත අතරට අයත් වෙයි.
ඊට අමතරව නවසීලන්තයේ උතුරු දූපත, උතුරු ඩකෝටාහි තියඩෝර් රූස්වෙල් ජාතික උද්‍යානය, වියට්නාමයේ කුයි නොන්, කාම්බෝජයේ සියම් රීප්, තායිලන්තයේ ෆුකට්, දකුණු ඔස්ට්‍රේලියාවේ ඉක්රා ෆින්ඩර්ස් හා අවුට් බැක්, අප්‍රිකාවේ ටියුනීසියා සහ ඕෂනියාවේ සොලමන් දූපත් ද එම ගමනාන්ත 25 අතරට එක්ව තිබේ.

