2025 යල කන්නය සඳහා දේශීය ගොවීන්ට සාධාරණ මිලක් සහතික කිරීම සඳහා ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) වැඩි කිරීමට අදාළව 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝගයක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී.
ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අහෝසි කිරීමට නියමිතව තිබුණද, දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම සඳහා රජය එය දිගටම භාවිතා කරන බව මෙහිදී අනාවරණය විය. ඒ අනුව, 2025 අගෝස්තු 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, ආනයනික ලොකු ළූණු කිලෝග්‍රෑමයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 10 කින් (රු. 40 සිට රු. 50 දක්වා) සහ ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 20 කින් (රු. 60 සිට රු. 80 දක්වා) වැඩි කිරීමට පියවර ගෙන ඇත.
මෙහිදී අදහස් දැක්වූ නිලධාරීහු ශ්‍රී ලංකාවේ තීරුබදු ව්‍යුහය තිරසාර, සරල, විනිවිද භාවයෙන් යුත් සහ වෙළඳුන්ට නිවැරදී පුරෝකථනයක් කළ හැකි විය යුතු බව ප්‍රකාශ කළහ. ඒ අනුව මෙයට අනුකූලව, පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වෙළඳ අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය විසින් පවතින නීති ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සමඟ ඒකාබද්ධ කරන ලෙස කාරක සභාව නිර්දේශ කරන ලදී.
මෙහිදී කාරක සභාව විසින් යෝජිත තීරුබදු ක්‍රමවල වෙනස්කම්වල බලපෑම පිළිබඳ සම්පූර්ණ තක්සේරුවක් සිදු කරන ලෙසත් එයට තීරු හතරේ බදු ක්‍රමයකට (Four- band import duty) මාරුවීම, සහ 2027 සිට 2030 දක්වා පැරා තීරුබදු (SCL සහ CESS) ක්‍රමානුකූලව ඉවත් කිරීම පිලිබඳ තොරතුරු ඇතුළත් කරමින් 2026 මාර්තු මස අවසන් වන විට යාවත්කාලීන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශවලට නියෝග කරන ලදී.
කන්න අනුව පනවන තීරුබදු මත රඳා පැවතීම අඩු කිරීමට ලොකු ළූණු වගාව සඳහා ඉහළ අස්වැන්නක් ලබා දෙන නව තාක්ෂණික භාවිතයන් පුළුල් කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ට ව්‍යාපෘතියක් සකස් කරන ලෙසත්, එම ව්‍යාපෘතිය වසර පහක් තුල ලංකාවේ මුළු වගාබිම් ප්‍රමාණය සඳහාම භාවිතාකිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත් කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී.
මෙය පසු අස්වනු පාඩු අවම කිරීම සහ ගොවීන් සඳහා මිල ස්ථාවර කිරීම සඳහා "ප්‍රභාෂ්වර" වැනි ආර්ද්‍රතාවය සහ උෂ්ණත්වය පාලනය කරන ලද ගබඩා, ආපසු මිලදී ගැනීමේ ගිවිසුම් (buy-back agreements) සහ අනාගත කොන්ත්‍රාත්තු (futures contracts) ඇතුළත් පුළුල් උපාය මාර්ගික කොටසක් විය යුතු බව කාරක සභා සභාපතිවරයා පැවසුවේය.
තවද, මත්පැන් නිෂ්පාදනය සඳහා තීරුබදු ගෙවීමට අදාළ සුරාබදු ආඥාපනත (52 වන පරිච්ඡේදය) යටතේ ඇති රීති ද, කාරක සභාවේදී සළකා බලා අනුමත කරන ලදී. ඒ අනුඅව නව නීති මගින් දින 30 ඇතුළත අදාල බදු නොගෙවන්නන්ගේ නිෂ්පාදනය නතර කරනු ලබන අතර, දින 90 ඇතුළත සියලුම බෙදාහැරීම් සහ විකුණුම් නතර කරනු ලබන බව නිලධාරීහු පැවසූහ. සුරාබදු පනතෙහි ශක්තිමත් බදු අයකර ගැනීමේ යාන්ත්‍රණයක් නොමැතිවීම හේතුවෙන් නොගෙවූ ගාස්තු සඳහා දැනට පවතින 3% පොලී දඩ මුදල ප්‍රමාණවත් නොවන බැවින්, මෙය බලාත්මක කිරීමේ වැදගත්කම කාරක සභාව අවධාරනය කරන ලදී.
මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර, අර්කම් ඉල්යාස්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, නීතිඥ හර්ෂණ රාජකරුණා, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, නීතිඥ විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන්, චම්පිකා හෙට්ටිආරච්චි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු මෙන්ම වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්දිරරාජා මහතා ඇතුළු නිලධාරීන්, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.