ශ්‍රී ලාංකික ආහාර සඳහා ඉන්දියාව තුළ වැඩිවන ජනප්‍රියතාවට ප්‍රතිචාර වශයෙන්, මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ අනුග්‍රහය යටතේ ජේ.ඩබ්. මැරියට්, මුම්බායි හි තදාසන්න ප්‍රදේශයක් වන ජුහු හි පිහිටි නිවාඩු නිකේතනයේදී ශ්‍රී ලාංකික ආහාර උත්සවය සංවිධානය කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
දින 10ක කාලයක් මෙම ශ්‍රී ලාංකික ආහාර උත්සවය පවත්වා තිබෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ ෂෙරටන් කොස්ගොඩ, ටර්ට්ල් බීච් රිසෝට් හි සූපවේ දී චමින්ද ද සිල්වා මහතා විසින් සකස් කරන ලද ශ්‍රී ලාංකික කෑම වර්ග රාශියක් ඉදිරිපත් කර තිබේ.
එම උත්සවයට ශ්‍රී ලාංකික අනන්‍යතාව එක් කරමින් අවන්හල් කාර්ය මණ්ඩලය සාම්ප්‍රදායික බතික් ඇඳුමින් සැරසී සිට ඇති අතර එම ස්ථානය වර්ණවත් වෙස් මුහුණුවලින් සරසා ඇත. ඊට අමතරව ශ්‍රී ලංකාවේ දර්ශනීය සුන්දරත්වය සහ සංස්කෘතික භූ දර්ශනය පිළිබඳ අවබෝධයක් අමුත්තන්ට ලබාදීම සඳහා රටේ සංචාරක ආකර්ෂණීය ස්ථාන පිළිබඳ වීඩියෝවක් ද ප්‍රදර්ශනය කර ඇත.
මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය මුම්බායි හි ව්‍යාපාරික හා සංචාරක අංශවල, වාණිජ මණ්ඩලවල සහ මාධ්‍යවල ප්‍රමුඛ සාමාජිකයින්ට සත්කාරකත්වය ලබාදෙමින්, සබඳතා ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාව වඩාත් කැමති සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ.
මෙම ආහාර උලෙළ, මුම්බායිහිදී ශ්‍රී ලංකාවේ ආහාර, සංස්කෘතිය සහ සංචාරක ව්‍යාපාරය ප්‍රචලිත කිරීම සඳහා එකම ස්ථානයකින් ක්‍රියාත්මක වන වේදිකාවක් ලෙස කටයුතු කරන අතරම, ඒ අවස්ථාවට ආකර්ෂණීය පිරිසක් ද වාර්තා කර ඇත.