අයහපත් කාලගුණයෙන් සිදුවු අනතුරු වලින් නිවාස 101කට අර්ධ හානි සිදුව ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
මේ අතර අධික වර්ෂාව හේතුවෙන් දැදුරු ඔයේ ජල මට්ටම මොරගස්වැව ප්‍රදේශයෙන් තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් දැදුරු ඔය ද්‍රෝනියේ පිහිටි වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, රස්නායකපුර සහ ආරච්චිකට්ටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් සඳහා නිකුත් කළ ගංවතුර අවදානම් නිවේදනය තවදුරටත් වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 09ක හඳනාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, මාවනැල්ල, කෑගල්ල, දෙහිඕවිට සහ යටියන්තොට යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ සඳහා අදියර 02 මට්ටමේ, එනම් අවධානයෙන් පසුවීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මීට අමතරව බදුල්ල, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 35ක් සඳහා අදියර 01 මට්ටමේ, එනම් විමසිලිමත්වීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.