රාජ්‍ය ප්‍රතිපත්තියට අකුල් හෙළන ලංකා බැංකුවේ නිලධාරීන් ගැන විමර්ශන ආරම්භ වෙයි   Featured

Published in පුවත්
Monday, 24 March 2025 12:09

ලංකා බැංකුවේ ඉහළ කළමනාකාරිත්වයේ ඇතැම් නිලධාරීන්ගේ අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබී තිබෙන පැමිණිලි ගණනාවක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව මීට පෙර වාර්තා වී තිබු අතර මේ වන විට එම විමර්ශන ආරම්භ වී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ලැබී තිබුණු පැමිණිළි අනුව වහාම පරීක්ෂණයක් පවත්වා මෙම නිලධාරීන්ගේ ක්‍රියා කලාපය සහ ඔවුන් නිසා ලංකා බැංකුවේ ගනුදෙනුකරුවන්ට සිදුව ඇති අගතිය පිළිබඳ වාර්තාවක් සපයන ලෙසත් ජනාධිපති ලේකම් කාර්යාලය, ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතාට දන්වා තිබේ.

දැන ගැනීමට තිබෙන පරිදි ලංකා බැංකුවේ වත්මන් මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කරන රසල් ෆොන්සේකා මහතා සහ ඔහු විසින් බැංකුවේ තීරණාත්මක විධායක තනතුරු සඳහා පත්කර තිබෙන ඊට නුසුදුසු නිලධාරීන්ගේ නොමනා ක්‍රියාකලාපයන් නිසා මෙරට ව්‍යාපාරික ආයතන රැසකට බරපතල හානි සිදුව තිබේ. මේ සම්බන්ධයෙන් ලංකා බැංකු සභාපතිවරයාට සහ ජනාධිපතිවරයාට පැමිණිලි රැසක් යොමුව තිබිණි. ජනාධිපති කාර්යාලය වහා පරීක්ෂණයක් පැවැත්වීම තීරණය කර තිබෙන්නේ එ් සම්බන්ධයෙන් ලැබි තිබෙන පැමිණිලි ප්‍රමාණය බරපතල නිසාය.

ඒ කෙසේ නමුත් මේ වන විට ලංකා බැංකු තොරතුරු මාර්ග අනුව වත්මන් මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කරන රසල් ෆොන්සේකා මහතා මෑතක දී විශ්‍රාම යෑමට නියමිතය. නමුත් විශ්‍රාම යෑමට පෙර තමන්ගේ හිතෛශීන් කිහිප දෙනෙකුට බැංකුවේ ඉහළම තනතුරු වලට පත් කිරීම සඳහා විශාල උත්සහයක් දරමින් සිටීම ගැන බැංකුවේ වෘත්තීය සමිති විරෝධය පල කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගැනීමේ සුදානමකද ද පසුවේ.

මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි ලෙස රසල් ෆොන්සේකා මහතා 2023 ජනවාරි මාසයේ දී පත්වීම ලැබු පසුව මොහු දිගටම අනුගමනය කර ඇත්තේ තමන්ගේ හිතෛශී කණිෂ්ඨ නිලධාරීන් ඉහල තනතුරු වලට පත් කිරීමේ සටකපට ක්‍රියාවලියක් බවට චෝදනා එල්ල වී තිබේ. ජේෂ්ඨ පළපුරුදු නිලධාරීන්ට මාස හය හතකට වඩා වැඩි කාලයක් තනතුරක වැඩ කිරීමට ඉඩ නොදී ඉවත්කර තමන්ගේ හිතෛශීන්ට අවස්ථාව ලබා දීම් සිදු ව තිබිණි. මේ නිසා බැංකුවේ ජේෂ්ඨතම දක්ෂ නිලධාරීන් රැසකට හිමි විය යුතු උසස්වීම් සහ තනතුරු ලැබී නැත. ඒ අනුව ජේෂ්ඨ පළපුරුදු නිලධාරීන්ගෙන් බැංකුව වෙනුවෙන් ලබා ගත හැකිව තිබු සේවාවත් අහිමි කරගෙන ඇත.

මේ අතර ලංකා බැංකුවේ වැදගත්ම ඒකකය වන ආයතනික ශාඛාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කරන නිලධාරියා ජේෂ්ඨත්වයෙන් ඉතා පහළ සිටි නිලධාරියෙක් බවත් ඔහුව එම තනතුරට පත් කළේ රසල් රසල් ෆොන්සේකා මහතාගේ හිතවත්කම නිසා බවටත් වෘත්තීය සමිති බරපතල විරෝධය එල්ල කර තිබිණි.

මෙම නිලධාරියාගේ අපරිණත සහ උද්දච්ච තීන්දු නිසාම ව්‍යාපාරික ආයතන ගණනාවක් බැංකු කටයුතු අත්හිටුවා තමන්ගේ ගිණුම් වෙනත් බැංකු වලට මාරු කරගෙන තිබේ. බැංකුවේ සහයෝගයන් නොලැබීම නිසා දීර්ග කාලයක් පවත්වාගෙන සමහර ව්‍යාපාර බංකොලොත් වන තැනට පත්ව තිබිණි. නව ව්‍යාපාර සංකල්පයන් සහිත ව්‍යවසායකයන්ට අත හිත දෙනවා වෙනුවට ඔවුන්ව වෙනත් මහා පරිමාණ ව්‍යාපාරිකයන් යටතට පත් කිරීමේ කූට කටයුතු වල යෙදුන නිලධාරීන් ගැන ද තොරතුරු හෙළිව තිබේ. අල්ලස් ගන්නා නිලධාරීන් ගෙන් ද දැන් බැංකු ආයතනික ශාඛාවේ අඩුවක් නොමැති බව ව්‍යාපාරිකයන් පවසයි.

ලංකා බැංකුවේ ආයතනික ශාඛාව යනු බැංකුවේ වඩාත්ම වැදගත් සංවේදීම එ්කකයයි. සම්ප්‍රදායික ලෙස ලංකා බැංකුවේ, මහ කළමනාකරු ලෙස පත්වීම ලැබීමට සැපිරිය යුතු ඉහළ ම සුදුසුකම ලෙස සැලකෙන්නේ මෙම ආයතනික ශාඛාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලෙස වසර හතරක පහක කාලයක් කටයුතු කර අත්දැකීම් ලැබ තිබීමත් එහිදී විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්වා තිබීමත්ය.

වර්තමාන මහ කළමනාකාර රසල් ෆොන්සේකා මහතා ද එම ධුරට පත් වූයෙත් එම සුදුසුකම් සහිතවය. ඒ අනුව රසල් ෆොන්සේකා මහතාගේ විශ්‍රාම යෑමෙන් පසුව එම තනතුරට පත්වීමේ වැඩි ඉඩක් පවතින්නේ ආයතනික ශාඛාවේ වත්මන් ප්‍රධානියා ලෙස කටයුතු කරන නියෝජ්‍ය සාමාන්‍යධිකාරී වරයාය. ඒ එසේ සිදුවුවහොත් ඒ ගැන කියන්න සිදු වන්නේ බැංකුවට දෙයියන්ගෙම පිහිටයි කියා පමණය. මන්ද යත් ඔහුට ආයතනික ශාඛාවේ වත්මන් ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට හෝ සුදුසුකම් නොමැති වීම සහ එම තනතුර දරමින් මේ වන විට ඇති කර තිබෙන ගැටලුකාරී තත්වයන් මත මෙම නිලධාරීයා මහ කළමනාකාර ධුරට පත්වීම සිදු වුවහොත් විය හැකි අනතුර අතිශය බරලතල විය හැකි නිසාය.

මේ අනුව මහ කළමනාකාර රසල් ෆොන්සේකා මහතා, තමන්ව තනතුරුවලට පත් කරවීමේ දී සිදු කෙරුණ නියමිත පිළිවෙත පවා අමතක කර, තම හිතෛශි නුසුදුසු කණිෂ්ඨ නිළධාරීන් ඉහළ තනතුරුවලට පත් කිරීමේ ආදීනව දැන් බැංකුව සහ ගනුදෙනු කරුවන්ට බුක්ති විඳිමට සිදුව තිබේ.

රාජ්‍ය ආයතනයක් වුව ලංකා බැංකුව මෙතරම් කාලයකට, පොදුවේ රාජ්‍ය සේවයට ආවේනික ගුණාංගයක් බවට පත්ව තිබු දූෂිත අකාර්යක්ෂම කළමනාකාරිත්වයට ගොදුරු වූයේ නැත. නමුත් දැන් ලංකා බැංකුව ඊට ගොදුරු වෙමින් තිබේ. ලංකා බැංකු වේ ඉහළ කළමණාකාරිත්වය දැන් පෙන්නුම් කරමින් සිටින්නේ රජයේ ප්‍රතිපත්තිය තමුන්ට වැඩකට නැති බවත්, තම තමන්ගේ පුද්ගලික වුවමණාවන් සහ තම ගජ මිතුරු ව්‍යාපාරිකයන්ගේ වුවමණාවන් අනුව තෝරා ගත් පිරිසකට පමණක් බැංකු පහසුකම් ලබා දෙන බවය.

මේ නිසා බැංකුවට ඉතිහාසිකව හිමිව තිබු ගෞරවය අභිමානය ක්‍රමයෙන් කෙලසා දැමීම සිදු වෙමින් තිබේ. බැංකු ඉතිහාසය තුළ ගනුදෙනු කරුවන් තබා තිබු විශ්වාසය පළුදු කිරීම සිදු වෙමින් තිබේ. මෙරට ව්‍යපාරික ප්‍රජාවගෙන් සියයට 30 කට වැඩි ප්‍රමාණයක් ගනු දෙනු කරමින් සිටි ලංකා බංකුව අද දේශීය ව්‍යාපාරිකයාට, අලුතෙන් ගොඩ නැගෙන ව්‍යාපාරිකයාට අතහිත නොදෙන තැනක් බවට පත්වෙමින් තිබේ.

බැංකුවක ගනු දෙනු කිරීමේ පිළිවෙත් සමඟ දීර්ග කාලයක් ගනුදෙනු කරන පිරිස ඒ අනුව හැඩගස්සවා ගත් ක්‍රම සහ විධි තිබේ. ඒ අනුව ගොඩනැඟුනු සුහදත්වයක් විශ්වාසයක් අවබෝධයක් තිබේ. බැංකුවලට ආවේණික සංස්කෘතියක් ද ඒ අනුව ඇතිවේ. ලංකා බැංකුව ජාතියේ පහන් ටැඹ ලෙස හඳුන්වන්නේ ඒ භාවිතාව නිසාය. නමුත් ඒ නොදත් අපරිණත නිලධාරීන් ඒ භාවිතයන් විනාශ කරන්නේ නම් බැංකුවකට තමන්ගේ පැවැත්ම ගැන නැවත කල්පනා කිරීමට සිදු වේ.

මේ විශේෂයෙන්ම ආයතනික ශාඛාව යනු රුපියල් බිලියන් ගණන්වලින් ගනු දෙනු සිදු කෙරෙන ඒකකයකි. එහි කළමණාකාරිත්වයට පත් විය යුත්තේ එම විශාල වගකීම් සම්භාරය දැරිය හැකි නිලධාරීන්ය. ලක්ෂ ගනනින් මිලියන ගනින් වන සාමාන්‍ය ගනු දෙනු පුරුදු කණිෂ්ට නිලධාරීන්ට මෙවැනි ශාඛාවක විධායක වගකීම් පැවැරීම සිදු වන්නේ නැත.

මෙම අංශයට රුපියල් බිලියනයක හෝ ණයක් නිකුත් කිරීමට පවා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියක් අවශ්‍ය නැත. සාමාන්‍යයෙන් මෙරට පුද්ගලික අංශයේ සුවිශාලම ආයතනයේ වුවත් රු මිලියන 250 කට වඩා ඉහළ ගනු දෙනු අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමතයෙන් තොරව සිදු වන්නේ නැත. ඒ අනුව ලංකා බැංකුවේ ආයතනික ශාඛාව යනු කෙතරම් වගකීම් සහගත, විශ්වාසවන්ත නිලධාරීන් විසින් පාලනය විය යුතු තැනක්ද යන්න පැහැදිලිය.

නමුත් දැන් සිදුවෙමින් පවතින ක්‍රියාවලිය නිසා ජාතියේ පහන් ටැඹ ඉරිතලා යන තැනකට පත්වෙමින් තිබේ. ඒ ආලෝකය නිවී යාම ආරම්භ වෙමින් තිබේ. ලංකා බැංකුවේ තරම අනුව රටේම ආර්ථිකය වුව බිමට සමතලා කිරීමට අපරිණත අකාර්යක්ෂම නිලධාරීන්ට හැකිය. මේ නිසා වර්තමාන ජනාධිපතිවරයාත්, මුදල් අමාත්‍යංශ නිලධාරීනුත් මේ ගැන දැඩි අවධානයෙන් යු‍තුව කටයුතු කිරීම අනිවාර්ය තත්වයකි.

ජනාධිපතිවරයා පසුගියදා අය වැය විවාදය අවසන් කරමින් පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශ තුළ මෙරට ආර්ථිකය නංවා ලීමට රාජ්‍ය බැංකු සහ අනෙක් ආයතන වල වැදගත් කමත්, ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වයේ ඇති වැදගත් කමක් අවධාරණය කර තිබිණි.

නමුත් වත්මන් රජයේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල අනුව එය නියමාකාරයෙන් සිදු වන්න නම් ලංකා බැංකුව වැනි රාජ්‍ය බැංකුවලින් විය යුතු සේවාව දෙගුණ තෙගුණ වී වැඩි විය යුතුය. එසේ නොවන්නේ නම් ජනාධිපතිවරයාට තවත් කාලයක් රට දියුණු කිරීම ගැන කයිවාරු ගසමින් සිටිය හැකිය.

ජනාධිපතිවරයාගේ පොරොන්දුව සැබෑ වන්න නම් මේ රාජ්‍ය ආයතන සැබැවින්ම මේ රටට ජනතාවට ප්‍රයෝජනයක් ඇති ආයතන බවට පත් කිරීම මූලිකව විය යුතුය. මේවා ක්ලීන් කර නියමාකාරයෙන් වැඩ කරන ආයතන බවට පත් කළ යුතුය. ඒ සඳහා සුදුසුකම් සහිත දක්ෂ මිනිසුන්ට ඒ වගකීම් පැවැරිය යුතුය.

සැබැඳි ලිපිය-

ලංකා බැංකුවේ ඉහළ නිලධාරීන්ගේ වසුරු වැඩ ගැන විශේෂ විමර්ශනයක්

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us