නෙළුම් කුළුනෙන් පැන දිවි නසා ගත් සිසුවියගේ පියා සියල්ල හෙළිකරයි Featured

Published in පුවත්
Wednesday, 09 October 2024 12:19

'මගේ දුව ඉගෙන ගත්තේ කොළඹ ග්‍රෙගරි පාරේ පිහිටි ජාත්‍යන්තර පාසලක 11 වසරේ.

එයාව පාසලට එක්කං යන්නෙත් එක්කං එන්නෙත් අපිම තමයි. පෙරේදා (07 වැනිදා) පාසල් ගිය දුව කිව්වා එදා ගීතිකා පුහුණුවක් හා අමතර පන්තියක් තියෙනවා කියලා. දවල් 02 ට විතර මම ඉස්කෝලෙ ළඟට ගිහිං දුවගේ කෑම එකත් ගිහිං දුන්නා. හවස 04.55 ට විතර මම දුවගේ පෝන් එකට කතා කළාම ආන්සර් කළේ පොලිසියෙන්. පොලිසියෙන් කීවා දුවට අනතුරක් නෙළුම් කුළුණට එන්න කියලා.'' යැයි කොළඹ නෙළුම් කුළුණේ 29 වැනි මහලේ පිහිටි නැරඹුම් මැදිරියෙන් පැන සියදිවි නසාගත් රද්‍යා මෙත්මලී ගුණසේකර දැරියගේ පියා වන මංගල ගුණසේකර කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි ඉදිරියේ සාක්කි දෙමින් සඳහන් කළේය.

මෙම දැරිය පෙරේදා (07 වැනිදා) කොළඹ නෙළුම් කුළුණට පැමිණ එහි 29 වැනි මහලේ පිහිටි නැරඹුම් මැදිරියට ගොස් පාසල් බෑගය ද පසෙක දමා ඉන් පැන සියදිවි නසාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ හදිසි මරණ පරික්ෂණය ඊයේ කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක කාර්යාලයේදී සිදුකෙරිණි.

එහිදී වැඩිදුරටත් සාක්කි දෙමින් දැරියගේ පියා මෙසේ කීවේය.

''මේ මියගොස් සිටින්නේ මගේ දෙවැනි දුව. මෙයාට අක්ක කෙනෙක් ඉන්නවා. එයා ඉන්නේ බෙලරූස්වල. මමයි මගේ බිරිඳයි තමයි දුවගේ හැමදේම බලන්නේ. මම රබර් නිෂ්පාදන ව්‍යාපාරයක් කරනවා. අපි පදිංචිවෙලා ඉන්නේ කොල්ලුපිටිය ප්‍රදේශයේ. මියගිය මගේ දුව මේ අවුරුද්දේ ලන්ඩන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට හිටියේ. එයාව පාසලට එක්කන් යන්නෙත් පාසල් ඉවර වෙලා එක්කගෙන එන්නෙත් මමයි. නැත්තම් බිරිඳ.

දුව හිටපු ගමන් පාසල් යන්න බැහැ කියනවා. ගිය සතියෙත් දවස් දෙකක් පාසල් ගියේ නැහැ. සමහර වෙලාවට මහන්සියි කියලා පාසල් යන්නේ නැහැ. පෙරේදා (07 වැනිදා) උදේ 07.10 ට මම එයාව පාසල් ඇරලුවා. එදා අමතර පන්තියක් තියනවා කියලත් කීවා. මම එයාට හවස 05 ට දුරකතන ඇමතුමක් ගත්තත් ඒකට එයා කතා කළේ නැහැ.

අපි දුවට පෝන් එකක් දීලා තියෙනවා. එදා එයා මට මැසේජ් එකක් දැම්මා පාසල ඉවර වෙලා. ඒ අනුව මම දවල් 2 ට විතර පාසල ළඟට ගිහිං එයාට කෑම එකක් දුන්නා. කෑම එක ගන්න වෙලාවේ එයා ගේට්ටුව ළඟට ආවේ එයාගේ යාළුවෙක් එක්ක. ඉතිං මම දුවට කතා කරල කෑම එක දීලා ගෙදර ගියා.

හවස 04.55 ට මම ඉස්කෝලේ ළඟට ගිහිං දුවට කතා කරාම එයාගේ පෝන් එක ආන්ස්වර් කළේ පොලිිසියෙන්. පොලිසියේ මහත්තයා කීවා දුවට අනතුරක් වෙලා තියෙනවා වහාම නෙළුම් කුළුණට එන්න කියලා. ඊට පස්සෙ තමයි මම විස්තරේ දැනගත්තේ.

 දුව හොඳට හිටියා. මානසික ආතතිය එයාට තිබුණා. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඉඳලා ගිය අගෝස්තු වෙනකල් එයා මානසික ආතතියට බෙහෙත් බීවා. එයා හිටපු ගමන් ගොඩක් කලබල වෙලා එකපාරටම නිහඬ වෙනවා. පසුගිය ජුලි මාසයේදී කොම්පඤ්ඤවීදිය අල්ටෙයාර් කුළුණෙන් පැනල සියදිවි නසාගත්ත ළමයි දෙන්නත් දුවගේ පන්තියේම හිටපු දරුවෝ. ඒ අය සියදිවි නසාගත්ත දවසේ ඉඳලා මගේ දුව සෑහෙන්න දුකින් හිටියේ. පාසලෙන් පවා කීවා මගේ දුව හොඳයි. ඒත් ඒ ළමයි දෙන්න සියදිවි නසාගත්තට පස්සේ එයා දුකින් ඉන්නේ කියලා.

ඒ වගේම දුවගේ ඉස්කෝලේ නවක වධය ලොකුවට තියෙනවා. මේ ගැන ළමයින්ගෙන් ඇහුවත් එයාලා කියන්නේ නැහැ. නවක වධයට දෙන්නේ මොනවගේ වදයන්ද කියලා කියන්නේත් නැහැ. මේක මිශ්‍ර පාසලක්. මෙයාගේ මානසික තත්ත්වය ගැන මට කියන්න තියෙන්නේ එච්චරයි. මට හිතෙන්නේ මෙයා සැලසුම් කරලම තමයි මේ දෙය කරගෙන තියෙන්නේ. නෙළුම් කුළුණට කොහොම ගියාද කියලා මම දන්නේ නැහැ.

අපි එයාගේ අතට සල්ලි දෙන්නේ නැහැ. එයාට බැංකු ගිණුමක් තිබුණත් එයාට ඒ සල්ලි ගන්න බැහැ අවුරුදු 18 ට අඩු නිසා. එයාට ලොකුවට මුදල් අවශ්‍යතාවකුත් නැහැ. එයා අමතර පන්තිවලට යනවා සෙනසුරාදා ඉරිදා දවස්වල. ඒවටත් අපිම තමයි එක්කං යන්නෙයි එක්කන් එන්නෙයි. ඊට අමතරව ගෙදරත් පන්ති දෙකක් තියෙනවා. ඒවටත් සහභාගී වෙනවා. එයාගේ ජංගම දුරකතනය අපි විටින් විට පරීක්ෂා කරනවා. එයා පෙරේදා යාළුවාටත් බොරුවක් කියලා තමයි නෙළුම් කුළුණට ගිහිං මේ අපරාධය කරගෙන තිබෙන්නේ.

දුවගේ බෑගයේ තිබුණු රුපියල් එක්දහස් පන්සිය අසූවක මුදලයි, පෝන් එකයි, බීම බෝතලයයි, පාසල් නිල ඇඳුමයි මරදාන පොලිසිය බාරයේ තිබෙනවා යැයි ඔහු වැඩිදුරටත් සාක්කි දෙමින් සදහන් කළේය.

මෙම මරණය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලට අනුව මෙම දැරිය සියදිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මෙම සිසුවියත් පසුගියදා අල්ට්‍රෙයා ගොඩනැගිල්ලෙන් පැන සියදිවි නසාගත් සිසුවියත් එකම පාසලේ සිටි සමීපතම මිතුරියන් බවත් එම සිසුවිය ඉකුත් ජුලි මස 02 වැනිදා සියදිවි නසාගැනීමට පෙරාතුව පෙරේදා සියදිවි නසාගත් සිසුවිය අවස්ථා කිහිපයකදීම සිප වැළඳගෙන ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

මෙම සිසුවිය යම් මිත්‍යා විශ්වාසයකින් පසුවූ දැරියක් බවත් ඒ ගැන පාසල් මිතුරියන් සමගින් ද අවස්ථා කිහිපයකදීම විවිධ ප්‍රකාශ සිදුකර ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම මරණය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මරදාන පොලිසිය විසින් සිදුකරයි

-p.m

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us