අද ජනතා විමුක්ති පෙරමුණ තුළ ඉතිරිව සිටින්නේ විජේවීර පමණයි - ජනාධිපති |video| Featured

Published in පුවත්
Tuesday, 06 August 2024 20:30

ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ ගැටළු සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට මාධ්‍ය කොමිසමක් ස්ථාපිත කර ඔවුන්ගේ සේවා ගිවිසුම් පිළිබඳ සොයා බැලීමට එම කොමිසමට බලතල ලබාදීම පිළිබඳව ඉදිරි නව පාර්ලිමේන්තුව යටතේ අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “රට වටා මාධ්‍යවේදීයෝ සංවිධානය” විසින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇගයීම වෙනුවෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ අද (06) සංවිධානය කර තිබූ "ගෞරවාර්ථ හරසර" වැඩසටහනට එක්වෙමිනි.

ප්‍රදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටළු සහ යෝජනා ඇතුළත් යෝජනාවලියක් ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබීය.

රටේ ආර්ථිකය ස්ථාවරව ඉදිරියට ගෙන යාමට නම් වගකිව යුතු පක්ෂවලින් සමන්විත නව දේශපාලන ක්‍රමයක් රටේ ඇති කළ යුතු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මැතිවරණ කල් දැමීමට තමාට කිසිදිනක අවශ්‍ය නොවු බවත් රටේ ඉදිරි ගමන තීරණය කිරීමේ වගකීම මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාවට පවරන බවත් සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

ප්‍රදේශීය ජනමාධ්‍යවේදීන් අද සිය සේවා කොන්දේසි පිළිබඳ ඉදිරිපත් කළා. ඔවුන්ට තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට නීතිමය අවස්ථාවක් නොමැති බව ද මෙහිදී සඳහන් කෙරුණා. තමන්ගේ ප්‍රශ්න සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට ප්‍රාදේශීය මාධ්‍යවේදින්ටද ස්ථානයක් අවශ්‍යයි. පුවත්පත් මණ්ඩලය වෙනුවට මාධ්‍ය කොමිසමක් ස්ථාපිත කිරීමට යෝජනා ඉදිරිපත්ව තිබෙනවා. ප්‍රාදේශිය මාධ්‍යවේදීන් සිටින්නේ රැකියා ගිවිසුමක නොවෙයි සාමාන්‍ය ගිවිසුමක. ඒ නිසා ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ පැමිණිලි පිළිබඳ සොයා බැලීමට බලතල ලබාදිය යුතුව තිබෙනවා. ඉදිරි පාර්ලිමේන්තුවේ දී ඒ පිළිබඳ අවධානය යොමු කර කටයුතු කිරිමට අප බලාපොරොත්තු වෙනවා.

මීට වසර දෙකකට පෙර මේ රට භාර ගන්නා විට, රට මුහුණ දි තිබු අර්බුදය වසර දෙකක් තුළ විසඳා ගැනීමට හැකිවනු ඇති බවට විශ්වාසයක් මා තුළ තිබුණා. එම වැඩකටයුත්ත මා ඉටු කර තිබෙනවා. අද රට බංකොලොත්භාවයෙන් නිදහස් කරගෙන ඉදිරියට ගෙනැවිත් තිබෙනවා.

එහි දෙවන පියවර වන්නේ අපි ගත යුතු ඉදිරි පියවර කුමක්ද යන්නයි. අප ඉදිරියට යනවද, නැත්නම් රටක් වශයෙන් නැවතත් ඇද වැටෙනවද කියා තීරණය කළ යුතුයි.

අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර එකඟතාවයකට එළැඹ තිබෙනවා. එම කොන්දෙසි ඉවත් කිරීමට කිසිවෙකුට හැකියාවක් නැහැ. ඒම කොන්දේසි වෙනස් කරන්න ගියහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එයින් ඉවත් වෙනවා. එවිට අපේ රටට ලැබීමට තිබෙන මුදල් අහිමි වෙනවා. ඒ නිසා අපි යන මාර්ගය තීරණය කළ යුතුයි. මගේ අදහස වන්නේ එම තීරණය රටට භාරදීමයි.

මට කිසිදිනක මැතිවරණය කල් දැමීමට අවශ්‍ය වුණේ නැහැ. මැතිවරණ කල් දානවා කියා ඇතැමුන් කෑ ගැහුවා. බලය දෙන විට පැණලා යනකොට මැතිවරණ පවත්වා වැඩක් නැහැ. ජනාධිපතිකම, අගමැතිකම දෙන්න හදන විට පැනලා ගියා. රටේ ප්‍රශ්න විසඳන්න බැහැ කිව්වා. මැතිවරණයක් පැවත්වීමෙන් පසුවත් අපට කරන්න බැහැ කියලා කිව්වොත් මොකද වෙන්නේ? මෙය අලුත් දේශපාලන ක්‍රීඩාවක් බවට පත්වෙලා තිබෙනවා.

අද මේ රටේ දේශපාලන ක්‍රමය කඩා වැටී තිබෙනවා. ආර්ථිකය බිඳ වැටෙන විට ආර්ථිකයට සහාය දුන් දේශපාලන ක්‍රමයත් බිඳ වැටුණා. සෝවියට් දේශයේ ආර්ථිකය කැඩුණ විට දේශපාලන ක්‍රමයත් කැඩුණා. ඉන් පසුව සෝවියට් සංගමයත් කැඩුණා. චීනය ඊට පෙර ආර්ථික සංශෝධන ගෙන ආවා. ඕනෑම රටක ආර්ථික ක්‍රමය කැඩුණු විට දේශපාලන ක්‍රමය කැඩී යනවා. මොකද ආර්ථික ක්‍රමය සහ දේශපාලන ක්‍රමය අත්වැල් බැඳගෙනයි ඉදිරියට යන්නේ.

දේශපාලන පොරොන්දු ලබාදීම සහ ණය අරගෙන එම පොරොන්දු ඉටු කිරීම එකට බැඳිලා තිබෙනවා. රට විකුණන දේශපාලනයෙන් රටේ ආර්ථිකය නැති කළා. මුළු නැගෙනහිර යුරෝපයේම කොමියුනිස්ට් රටවල් කැඩුණේ මේ නිසයි.

අපේ රටේත් ආර්ථික ක්‍රමය කැඩි යන විට දේශපාලන ක්‍රමය කැඩුණු බව අප අමතක නොකළ යුතුයි. අද බංග්ලාදේශයේ කවුද ආණ්ඩු හදන්නේ. ඒ ප්‍රශ්නය ඉක්මණින් විසඳෙනු ඇතැයි කියා මා බලාපොරොත්තු වෙනවා.මාසයක් ගත වුණත් අප බංග්ලාදේශය ගැන විශ්වාසය අතහරින්න හොඳ නැහැ. අප බංගල්දේශය සමඟ සිටිමින් ඔවුන්ට උපකාර කළ යුතුයි.

රටක දේශපාලන ක්‍රමය කැඩුණ විට එය එකට එක් කිරීම ලෙහෙසි නැහැ. අපේ දේශපාලන ක්‍රමය කැඩී තිබෙන බව අප පිළිගත යුතුයි. අද පොදුජන පෙරමුණේ වැඩි පිරිසක් මා සමඟ සිටින අතර සුළු පිරිස සමගි ජන බලවේගය සමඟ සිටිනවා. ජනාධිපතිවරයා පත්කර ගැනීම වෙනුවෙන් පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට ඡන්දය දෙන්නේ නැතිව පොදුජන පෙරමුණෙන් පැමිණි අපේක්ෂකයාට ඡන්දය දුන්නා. ද්‍රවිඩ පක්ෂ කැඩිලා. මේ සියලු දේශපාලන පක්ෂ කැඩිලා. අද අපේ රටේ නියම පක්ෂ ක්‍රමයක් නැහැ.

සිවිල් සමාජය සමග යනවද, පැරණි ජනතා විමුක්ති පෙරමුණ සමඟ යනවද කියා තීරණය කළ නොහැකිව අද ජනතා විමුක්ති පෙරමුණ බෙදී තිබෙනවා. අද ජනතා විමුක්ති පෙරමුණ තුළ ලෙනින් නැහැ, ස්ටාලින් නැහැ, එහි ඉතිරිව සිටින්නේ විජේවීර පමණයි. විජේවීර නැතිව ලෙනින් සහ ස්ටාලින් සිටියා නම් ඊට වඩා හොඳයි කියලා හිතෙනවා. අඩුම තරමින් මාක්ස් හිටියානම් කමක් නැහැ. අද මාක්ස් සහ ලෙනින් ඉවත් කර විජේවීර දාලා තිබෙනවා. මේ විදියට තමයි අද දේශපාලන ක්‍රමය ඉදිරියට යන්නේ.

රටේ ආර්ථිකය ස්ථාවරව ඉදිරියට ගෙන යාමට නම් වගකිව යුතු පක්ෂවලින් සමන්විත නව දේශපාලන ක්‍රමයක් ද ඇති කළ යුතුයි. මෙවර ජනාධිපතිවරණයට මම ස්වාධීනව ඉදිරිපත්වීමට තීරණය කළේ ඒ නිසයි. එදා මම තනිවම ආණ්ඩුවක් ගොඩනැගුවේ මේ රට බේරා ගැනීමට හැකි බව මා විශ්වාස කළා. තනි ආසනයක් තිබෙන මන්ත්‍රිවරයකේ ජනාධිපති වුණේ කොයි රටේද, ඒ නිසා මම ගිනස් වාර්තාවට ඇතුළත් වෙනවා. නව දේශපාලන ක්‍රමයක් නොමැතිව මේ රටේ ආර්ථිකයට ඉදිරියට ගෙන යන්න බැහැ.

පසුගිය කාලයේ අපට අසීරු තීරණ ගැනීමට සිදු වුණා. අපි පසුගිය සමයේ අමාත්‍යාංශවලට ලබා දෙන මුදල් සීමා කළා. දැන් මේ රටේ ආර්ථිකය නැවත හිස ඔසවමින් තිබෙනවා. අපට දැන් ක්‍රම ක්‍රමයෙන් ජනතාවට සහන ලබාදීමට හැකියාව ලැබී තිබෙනවා. මේ සියලුදෙනා දුක් වින්දා. තවමත් දුක් විඳිනවා. ඒ නිසා ජනතාව මේ දුකින් නිදහස් කර ගත යුතුයි. ඒ නිසා අප අලුතින් සිතා අලුත් පක්ෂ ක්‍රමයක් යටතේ අලුත් ගමනක් යාමට කටයුතු කළයුතුයි.

කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා

මාධ්‍යවේදීන් මේ රටේ දියුණුව වෙනුවෙන් විශාල කාර්‍ය භාරයක් සිදු කරනවා. නමුත් පසුගිය කාලයේ මේ රට මුහුණ දුන් තත්ත්වය ඔබ දුටුවා. ඒ ආකාරයේ සිදුවීම් මාලාවක් අද අපි බංගලදේශයේ දකින්නේ. නමුත් ශ්‍රී ලංකාවේ පැවැති එම අරගල අවස්ථාව එක තුවක්කුවක්වත් භාවිතා නොකර පාලනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වුණා. එදා ජනතාව ඉල්ලුවේ ජීවත්වීම සඳහා ඉන්ධන ,ගෑස් හා ඖෂධ ලබා දෙන ලෙසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගෙන ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීමට කටයුතු කළා. එම කාලවකවානුවේදී ඔබතුමන්ලාගේ ප්‍රශ්න පිළිබඳ සොයා බැලීමට අපට හැකියාවක් නොලැබීම පිළිබඳ කණගාටු වෙනවා.

ඔබතුමන්ලා ඉදිරිපත් කළ කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා . මාධ්‍යවේදීන් ආවරණය කිරීම සඳහා නව පනතක් සකස් කරමින් සිටිනවා. එහිදී ඔබතුමන්ලාගේ වෘත්තීය ගරුත්වය සහ අයිතිවාසිකම් ලබාදීමට අවස්ථාව සැලසී තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී ඔබ වෙනුවෙන් රක්ෂණාවරණයක් ලබාදීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමටත් සැලසුම් කර තිබෙනවා. ඒ වගේම ප්‍රාදේශීය මාධ්‍යවේදීයෙක් ආයතනයකින් ඉවත් කළහොත් ඔවුන්ට මාස 3ක කාලයක් වන්දි ලබාදීමට කටයුතු කරනවා .මේ පනත සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත වී තිබෙනවා. එය මේ වන විටත් නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. මේ සියල්ල සිදු කරමින් මාධ්‍යවේදීන්ගේ වෘත්තිය අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කටයුතු කරනවා.

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා

මාධ්‍යවේදීන් විශාල දුෂ්කරතා මැද තම මෙහෙය සිදු කරනවා. මේ රටේ තිබෙන සියලු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය රඳා පවතින්නේ ඔබලාගේ දහඩිය මහන්සිය මතයි. මේ මාධ්‍යවේදීන්ට රක්ෂණයක් නැති බව. අප දන්නවා . ඊළඟ අයවැය ඉදිරිපත් කරන විට මාධ්‍යවේදීන්ට රක්ෂණාවරණයක් ලබාදීමට රුපියල් මිලියන 100වෙන් කරන බව කිව යුතුයි . ඒ අයවැය ඉදිරිපත් කරන්නෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාමයි. ඒ වගේම ජනමාධ්‍යවේදීන්ට අවශ්‍ය උපකරණ ලබා ගැනීමට ඉදිරියේදී මුදල් වෙන් කරනවා .

පසුගිය කාලයේ පැවති ආර්ථික අර්බුදය නිසා මාධ්‍යවේදීන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට හැකියාව තිබුණේ නැහැ . එදා රට භාර ගැනීමට කිසිදු නායකයෙක් ඉදිරිපත් වුනෙත් නෑ. අද බංගලාදේශයට වී තිබෙන තත්ත්වය ඔබ දකින්න ඇති. එදා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් නොවුණා නම් අද මේ රට බලා ගන්න වෙන්නෙ හමුදාපතිවරයෙක් යටතේයි.

ආර්ථිකය පරිවර්තනය නීතිය හා මාධ්‍ය සම්බන්ධව පනත් ගෙන එද්දි සමහරු බිල්ලන් මැව්වා. නමුත් ඒවා අද වන විට පුස්සක් වී තිබෙනවා. ඉදිරියේදී ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය භාවය සුරක්ෂිත කිරීමට රජයක් හැටියට කටයුතු කරනවා.

රට වටා ජනමාධ්‍යවේදීයෝ සංවිධානයේ සභාපති ජූඩ් සමන්ත මහතා

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් අද මෙතන සිටින්නේ පහෙන් එකක කොටසක් පමණයි. අනෙක් මාධ්‍යවේදීන් නොයෙක් සිදුවීම් සමඟ ජනතාවගේ තොරතුරු අයිතිය සුරකිමට එක්ව සිටිනවා. මෙලෙස වගකීමෙන් යුතුකම් ඉටු කරන මාධ්‍යවේදීන්ට කම්කරු පනතින් ආවරණයක් නැහැ . ඒ වගේම ඔවුන්ට රක්ෂණ ආවරණයක් පවා නැහැ. මේ වන විට කම්කරු ඇමතිවරයා විසින් කම්කරු පනතින් මාධ්‍යවේදීන්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට පොරොන්දු වී තිබෙනවා. එය ඉදිරියේදී සිදුවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ පුහුණු වැඩසටහන් විශාල වශයෙන් පැවතුණා . නමුත් මේ වන විට එය නවතා දමා තිබෙනවා . ජනමාධ්‍යවේදීන්ට පුහුණුව ලබා දීමට මූල්‍ය පහසුකම් ලබා දෙනවා. එය නැවත ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.

අමාත්‍ය කංචන විජේසේකර , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, ප්‍රේමනාත් සී.දොළවත්ත, ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ .

2024-08-06

Last modified on Tuesday, 06 August 2024 20:36

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us