අභියෝග එකින් එක අපි දිනනවා - ජෝන්ස්ටන් ප්‍රනාන්දු

Published in පුවත්
Thursday, 25 November 2021 14:06

 අපේ ආණ්ඩුවට වගේම ඔබතුමන්ටත් අභියෝග ගොඩක් තියෙනවා. පළවෙනි එක තමයි බොරුව, අපි ජයග්‍රහණය කරනවා ජනතාවට සත්‍ය පෙන්වලා දීලා. ඔබතුමන්ගේ සෞභාග්‍යයේ දැක්මේ දී මේ රටේ මිනිසුන්ට දෙන පොරොන්දු එකිනෙක ඉටු කිරීමෙන් එය ජයග්‍රහණය කළ හැකියි. ඔබතුමා කිව්වා මම අනුන්ට මඩ ගහන්නේ නැහැ, මම වැඩ කරන නායකයෙක්, මට බලය දෙන්න මම වැඩකරනවා කියලා.

අන්න ඒ බලය යොදාගෙන වැඩකරපු දවසක් තමයි මේ අද උදාවෙලා තියෙන්නේ මේ කල්‍යාණී රන් පිවිසුම විවෘත කලේ කියලා, අපි විපක්ෂයට මතක් කරනවා. ඒ නිසා මේ අභියෝග එකින් එක අපි දිනනවා. යැයි ඊයේ නව කැළණි පාලම විවෘතකරන අවස්ථාවේදී මහාමාර්ග ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු උත්සව සභාව අමතමින් ප්‍රකාශ කළේය.

එම සම්පූර්ණ කතාව

මම ස්තූතිවන්ත වෙනවා හත්වන විධායක ජනාධිපති තුමාට අපේ ආරාධනාව පිළිඅරගෙන මේ පාලම විවෘත කරන්න පැමිණීම ගැන. මමත් අමාත්‍යාංශයේ සියලුම දෙනා වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා. පරිණත නායකයා වන අගමැතිතුමන් ගේ පැමිණීම අපිට විශාල ශක්තියක්. ඔබතුමාට හදවතින් ස්තූතිවන්ත වෙනවා.

අතිගරු ජනාධිපතතුමනි, මෙම කල්‍යාණි රන් පිවිසුම කොවිඩ් වසංගතය තිබියදීත් ඔබතුමාගේ නියෝගය අනුව කොහොම හරි නියමිත දිනට වැඩනිම කරන්න කිව්වා. මෙහි ඉහළම නිලධාරින් වන ඉංජිනේරුවරයාගේ සිට සාමාන්‍ය කම්කරුවා දක්වා ජීවිත පරදුවට තියලා මොවුන් කර සේවය ඉතිහාසගත වෙනවා. මේ රට වෙනුවෙන් ඔබතුමන්ලා කරා වූ ව්‍යායාමයට අපගේ ගෞරවය හා ජාතියේ ප්‍රණාමය හිමිවෙනවා.

අතිගරු ජනාධිපතිතුමනි, තව අවුරුදු දෙක තුනක් කොවිඩ් තිබුණා නම් කොවිඩ් වසංගතය දිහා බල බල හිටියා නම් මෙම පාලම හදන්න වෙන්නේ නැහැ. මාගේ අමාත්‍යංශයේ සියලු දෙනාට ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කැඳවලා කිව්වේ කිසිදු ව්‍යාපෘතියක් නතර කරන්න එපා කියලා. කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහන නතර කරන්න එපා කියලා කිව්වා. මෙම සංවර්ධන වැඩසටහන් ඉදිරියට අරගෙන යන්න කිව්වා. කොවිඩ් අර්බුදයත් එක්ක මෙම අර්බුදයට අපි මුහුණ දෙමු යි කිව්වා. කොවිඩ් නිසා සංවර්ධනය නතර කළා නම් රටක් හැටියට මේ රට වැටෙනවා. මෙම ව්‍යාපෘතියේ හිටි අයට කොවිඩ් ආසාදනය වීම නිසා මෙම ව්‍යාපෘතිය අවසන් කරන්න දවස් 56ක් පමණ කල් ගත වුණා.

කොවිඩ් අර්බුද කාලයෙහි පාරවල් හදන්න ඕනද පාලම් හදන්න ඕනද කියලා ජනාධිපතිතුමන්ට විපක්ෂය අපහාස කෙරුවා. ජනපතිතුමන්ගේ නියෝගය සහ අගමැතිතුමන්ගේ ගමන් මාර්ගය අපට පෙන්වා දී තිබෙනවා. බැසිල් රාජපක්ෂ මැතිතුමාව පත්කිරීමෙන් උපක්‍රමශීලීව මෙම සංවර්ධන වැඩසටහන් කරගන යන්න ශක්තියක් උනා. ඒ නිසා අද පාලම විවෘත කරන්න හැකි වුණා. මේ පාලමට බිලියන 41ක් වියදම් කරලා තියනවා.

අද පාර්ලිමේන්තුවෙන් මම මේ වැඩසටහනට එනකොට මට ඇහෙනවා විපක්ෂය කියනවා, මේ ව්‍යාපෘති සියල්ල යහපාලන ආණ්ඩුවේ ආරම්භ කරපු දේවල් කියලා. අමාත්‍යංශ ලේකම්තුමා දින වකවානු සමග කිව්වා. නැවත වරක් මම එය මතක් කරනවා සමහර අයට ඒවා මතක නැති නිසා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අධිවේගී මාර්ග සංකල්පය මේ රටට ගෙනාවා. කටුනායක අධිවේගී මාර්ගය 2013 දී විවෘත කරා. 2012 දී කර සමීක්ෂණයකින් තහවුරු වුණා කැලණිය පරණ පාලම හරහා මාර්ග තදබදය ඒ නිසා අලුත් පාලමක් අවශ්‍ය බව. ඒ සදහා සියලු සැලසුම් සකස් කරලා 2013 ජයිකා ආයතනය සමඟ ආධාර ලබාගන්න පී. බී ජයසුන්දර මහතාට නියෝග කරලා ප්‍රේමසිරි ලේකම්තුමා ඇතුළු කණ්ඩායම මෙම ව්‍යාපෘතිය 2013 අගෝස්තු මස ආරම්භ කෙරුවා. 2013 පෙබරවාරි මස කැබිනට් අනුමැතිය අරගත්තා. ජයිකා ආයතනය සමග ගිවිසුම් අත්සන් අරගෙන තිබුනෙ 2014 මාරුතු වෙනිදා. මේ සංවර්ධන ව්‍යාපෘතිය අවුරුද්දකට කලින් ඉවර කරන්න තිබුණා. නමුත මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ පවුලෙන් පලිගන්න තිබුණ උවමනාව නිසා මේ ව්‍යාපෘති යම්කිසි ආකාරයකින් ප්‍රමාද වුණා. ‍

ඊයේ දින කින්යාවේ අහිංසක දරුවන් හතරදෙනෙක් සහ දෙමව්පියන් දෙන්නෙක් ෆෙරියක් පෙරලී මරණයට පත් වුණා. අපි ඒ ගැන ගොඩක් කණගාටු වෙනවා. ඒ නිසා අද මේ උත්සවයේ තීබූ රංගන අංග නතර කෙරුවා. අපට ජපන් රජය විසින් ඔවුන්ගේ සතුට වෙනුවෙන් විශාල ගිනිකෙලි සංදර්ශනයක් ලබා දීල තිබුණා. අපි ජනාධිපතිතුමා, අගමැතිතුමා සමග සාකච්ඡා කරලා එම සංදර්ශන අවලංගු කලේ කින්යාවේ ඇතිවුණු ඛේදවාචකය නිසා. කොහොම නමුත් උත්සවාකාරයෙන් අද දින පැවැත්වුණු මේ දවස ඉතිහාසගතවන දවසක්. පසුගිය අවුරුදු පහ තුළ කින්යාවෙ ඔය පාලම හැදුවා නම් මේ අහිංසක අය මැරෙන්නේ නැහැ. නැගෙනහිර බහුතරයක් ඡන්දය දුන්නේ යහපාලන ආණ්ඩුවට. ඒ පාලම හදන්න බහුතරයක් අපිට ඡන්දය නොදීත් අපේ ජනාධිපතිතුමා නියෝග කෙරුවා ඒ පාලම හදන්න. මගේ රාජ්‍ය ඇමතිතුමා ගිහිල්ලා මුල්ගල තිබ්බා. ඒ ෆෙරියට එජාපයේ නගරාධිපතිවරයා මුස්ලිම් කොංග්‍රසයේ සභාපතිවරයා තමයි අනුමැතිය දීලා තියෙන්නේ. එකෙන් මුදල් හම්බකරගන්න පාවිච්චි කරලා අහිංසක මිනිසුන් මැරුන්න හැරියා.

මම දැක්කා නව තාක්ෂණය එක්ක ඉන්න අය අපිව විවේචනය කරනවා. ඔවුන් කියනවා කැලණි පාලම විවෘත කරනවා අනිත් පැත්තකින් අහිංසක මිනිසුන් මැරෙනවා කියලා. නමුත් ඔවුන් දන්නේ නැහැ. ඔවුන්ට දැනගන්න උවමනාවකුත් නැහැ. ඒ වගේම දැනගන්න කැමතිත් නැහැ. ඒ නිසා මෙම විවෘත කිරීමට මඩ ගහනවා. එනිසා අපි කියනවා අතිගරු ජනාධිපතිතුමනි, අපේ ආණ්ඩුවට වගේම ඔබතුමන්ටත් අභියෝග ගොඩක් තියෙනවා. පළවෙනි එක තමයි බොරුව, අපි ජයග්‍රහණය කරනවා ජනතාවට සත්‍ය පෙන්වලා දීලා. ඔබතුමන්ගේ සෞභාග්‍යයේ දැක්මේ දී මේ රටේ මිනිසුන්ට දෙන පොරොන්දු එකිනෙක ඉටු කිරීමෙන් එය ජයග්‍රහණය කළ හැකියි. ඔබතුමා කිව්වා මම අනුන්ට මඩ ගහන්නේ නැහැ, මම වැඩ කරන නායකයෙක්, මට බලය දෙන්න මම වැඩකරනවා කියලා. අන්න ඒ බලය යොදාගෙන වැඩකරපු දවසක් තමයි මේ අද උදාවෙලා තියෙන්නේ මේ කල්‍යාණී රන් පිවිසුම විවෘත කලේ කියලා, අපි විපක්ෂයට මතක් කරනවා. ඒ නිසා මේ අභියෝග එකින් එක අපි දිනනවා.

මේ විපක්ෂය කොවිඩ වසංගතය එක්ක සෙල්ලම් කරනවා. කොවිඩ් අර්බුදය තියෙන වෙලාවේ මේ අහිංසක ජනතාව පාරට ගෙන්නුවා. ගෝඨාභය ජනාධිපතිතුමා ලෝකය දිහා බලලා මේ රටේ මිනිස්සුන්ට එන්නත දෙන්න තීන්දු කරා. එන්නත ගෙනාවා. ඒකට රටේ ජනතාවගේ අවිස්වාසය ඇතිවෙන ආකාරයට වැඩ කළා. විපක්ෂ නායකතුමා කිව්වා මේ රට පරීක්ෂණාගාරයක් කරන්න එපා, මේ එන්නතින් මිනිසුන් මැරෙනවා කියලා. මේ එන්නත ලබාගන්න එපා කියලා අසත්‍ය ප්‍රචාර යැව්වා. ජනාධිපති තුමා සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය වගේම රාජ්‍ය නිලධාරීන් හැම කෙනෙක්ගේම සහයෝගය ඇතිව මේ එන්නත ලබා දෙන වැඩපිළිවල ක්‍රියාත්මක කෙරුවා. බැරිම තැන කොළඹ ජීවත් වන ලක්ෂ දෙකක ජනතාවක් එන්නත ගහල නැතිවුණාම ගෙවල්වලට ගිහින් එන්නත ලබා දෙන්න නියෝග කරා. එතුමන්ට ෆයිසර් එන්නත එනකොට අපි ගහගනී කියලා එතුමන් මන්නාරමටයි පුත්තලමටයි එය ලබා දුන්නා. ඒ ආකාරයට තමයි අපේ ජනාධිපතිතුමා සිස්ටම් එක වෙනස් කෙරුවේ. එතුමන්ට ඒ පැතිවලින් ඡන්දවත් හම්බුනේ නැහැ. මන්නාරමටයි පුත්තලමටයි එන්නත දෙනකොට විපක්ෂය මොනවත් කිව්වේ නැහැ. නමුත් එතුමන් හම්බන්තොටට ෆයිසර් එන්නත ලබා ගනිද්දී විවේචනය කෙරුවා. එකේ තියෙන්නේ රට වෙනුවෙන් හිටගන්න මිනිස්සුන්ට දක්වන ඊර්ෂ්‍යාව සහ වෛරය. මොන දේ කෙරුවත් විරුද්ධ වෙන විපක්ෂයක් අද අපිට ඉන්නේ.

අපගේ ජනාධිපතිතුමන්ගේ ගමන නිවැරදියි. මේ අභියෝග අපි දිනිය යුතුයි. එතුමා තමයි මේ රටට පත්වුණු හොදම නායකයා. ඒ විතරක් නෙවෙයි මාස දෙකක් යනකොට කොවිඩ් වසංගතයක් පැමිණියා. විපක්ෂය හිතාගන ඉන්නවා වසංගතය ආවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණ නිසා කියලා. හැටනම ලක්ෂයක වහල්ලු ඉන්නවා කියනවා. වහල්ලු වහල්භාවයට පත්වෙච්ච නිසා තමයි මේ සියලු ප්‍රශ්න ඇතිවුණේ කියලා විපක්ෂය හිතනවා. ප්‍රේමදාස මහත්තයා නැත්තම් වෙන කවුරු හරි ජනාධිපතිවුණා නම් මේ රටට පත්වෙන ඉරණම ගැන හිතාගන්නවත් බෑ. ලක්ෂ දෙකක් මැරෙනවා කිව්වා. ඉන්දියාව වගේ වෙනවා කිව්වා. පාර දිගේ මැරෙයි කිව්වා. පුළුවන් තරම් නින්දා අපහාස කරමින් මිනිසුන්ගේ ඔලුව විනාශ කරන්න හැදුවා. බැරිම තැන තමන්ගේ පක්ෂවල ඉන්න ගුරුවරු ගෙන්වලා පාරට බැස්සෙව්වා. මිනිසුන් මරවලා හරි තමන්ගේ බලය අල්ලගන්න දගලන විපක්ෂයක් අද ඉන්නේ. පාර්ලිමේන්තුවේ දී වගේම පාර්ලිමේන්තුවේන් පිට සමහරු කිව්වේ මේ මරණවලට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වග කියන්න ඕනේ කියලා.

සමහරු කිව්වා මේ රටේ එන්නත ලබා ගන්නේ සියලුම ජනතාව එන්නත ලබා ගත්තයින් පසුව කියලා. නමුත් එහෙම කියපු විපක්ෂ නායකතුමා එන්නත ලබා ගත්තා. අපේ විපක්ෂ නායක තුමා කිව්වා මේ රටට චැම්පියන් කෙනෙක් අවශ්‍යයි කියලා. අපි කිව්වා මේ රටට චැම්පියන් කෙනෙක් අරගෙන ඉවරයි කියලා. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමන් කිව්වේ දූෂණයෙන් තොර රටක් බවට මේ රට පත් කරනවා කියලා. අද එතුමා සහතිකයක් දීලා තියෙනවා. කිසි කෙනෙකුට ඇගිල්ල දික්කරන්න විදිහක් නැහැ එතුමා දූෂිතයෙක් කියලා. එතුමන් අද පිරිසිදුම නායකයෙක් හැටියට අද වැඩකටයුතු කරගෙන යනවා කියන එක ඉතාමත් විශ්වාසයකින් ගෞරවයකින් කියනවා. නමුත් එතුමන්ට ඇන්ටිජන් වලට මඩ ගැහුවා, වැක්සින්, පොහොර වලට මඩ ගහනවා. සියල්ල පාර්ලිමේන්තුව ඇතුළදී විතරයි. එලියෙදී කිසිම චෝදනාවක් කරන්න විදියක් නැහැ.

ඊළග ලොකුම කාරණය වෙන්නේ පාස්කු ප්‍රහාරය. යහපාලන ආණ්ඩුවේ හිටපු ආරක්ෂක ඇමති කියනවා පොලිස්පති හිටියේ සිරිකොත කියලා. අද කාටහරි කියන්න පුළුවන්ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ගෙදර හරි පොහොට්ටුවේ කාර්යාලයේ හරි පොලිස්පති ඉන්නවා කියලා. බුද්ධිමත් ජනතාවට අපි කියනවා අවදියෙන් ඉන්න කියලා. රට වෙනුවෙන් පෙනී සිටින හැම කෙනාටම මඩ ගහන කාලයක් මේක. මේ රටට සංඝරත්නය පෙනී සිටියත් සංඝරත්නයට මඩ ගහනවා. උන් වහන්සේලා රාජපක්ෂ වෙනුවෙන් පෙනී හිටියොත් නරක වෙනවා. නමුත් බොරුව වෙනුවෙන් පෙනී සිටියොත් උන් වහන්සේලා හොද වෙනවා. හැටනම ලක්ෂයෙ පොදු ජනතාවට අපි කියනවා මේ හැම දේම කරන්නේ කොවිඩ් අර්බුදයත් එක්ක ඔවුන් ගෙනාව පනත් නිසා කියලා. අපි ඡන්ද කල් දාලා නැහැ. ඡන්ද තිබ්බා නම් අද මොවුන් මෙහෙම කතා කරන්නේ නැහැ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ මගපෙන්වීම මත ඡන්දය තිබ්බා නම් අපි අනිවාර්යෙන් ඕනම ඡන්දයක් ජයග්‍රහණය කරන්න මේ රටේ පොදු ජනතාව හිටගන්නවා කියලා අපි කියනවා. අපි ඡන්ද කාලයට ඡන්ද කරමු.

අපි මේ රට හදනවා. මේ රට හදන්න පුළුවන් නායකයෙක් රටට පත් කරලා තියෙනවා. නිවැරදි නායකත්වයක් නිවැරදි දර්ශනයක් එක්ක තමන්ගේ ඉලක්කය වගේම ජනතාවට පොරොන්දු වුණ දේවල් ලබා දෙන්න එම නායකත්වය වැඩකරමින් යනවා. අපි ඒ දෑත් ශක්තිමත් කරන්න ඕනෑ. පරිණත නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙයට ලොකු ශක්තියක්. ඒ නිසා අපි කිසිවෙකුට මේ ජනපතිතුමාවත් අගමැතිතුමාවත් මේ රජයවත් වට්ටන්න අපි ඉඩ තියන්නේ නැහැ කියන එක කියන්න කැමතියි. අපි මේ රජය දිවි හිමියෙන් ආරක්ෂා කරමින් හැම අභියෝගයක්ම ජයග්‍රහණය කරනවා. මේ රටේ මහාමාර්ග පද්ධතිය නිර්මාණය කරනවා. නවීන මාර්ග පද්ධතියක් ලබා දෙන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ එකම බලාපොරොත්තුව.

ඉක්මනින් ගොවි ජනතාවගේ නිෂ්පාදන වෙළදපොලට අරන් යන්න, රෝහලට යන්න, ඉක්මනින් පාසලට යන්න මේ මාර්ග පද්ධති නිර්මාණය කළ යුතුයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ කාලයේ පාරවල් හැදුවා පාලම් හැදුවා, මනම්පිටිය, කින්නියා වගේ ලංකාවේ දිගම පාලනුත් හැදුවා. කෝකිලායි පාලම විතරයි විශාල පාලමකට ඉතුරු වෙලා තියෙන්නේ. ඒකත් හදන්න ඔබතුමා නියෝග කරා. පාලම් 10,000 ක් හදන්න රාජ්‍ය ඇමතිතුමාට භාර දීලා තියෙනවා. කිලෝමීටර ලක්ෂයේ වැඩසටහනට අපි ආරම්භ කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙනාපු වැඩපිළිවෙළ ඉදිරියට නව තාක්ෂණයත් සමග ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නව ගමනක් යනවා.

1959 කැලණි පාලම විවෘත කෙරුවේ අදින් අවුරුදු 62කට කලින්. එදා එස්.ඩබ්.ආර්. ඩී බණ්ඩාරනායක අගමැතිතුමන් එය විවෘත කරා. එදා බණ්ඩාරනායක අගමැතිතුමන් එක්ක ඩී. ඒ රාජපක්ෂ ඇමතිතුමන් එදා ඒ ආණ්ඩුවේ හිටියා. දෛවයේ සරදමක් විදියට ඩී.ඒ රාජපක්ෂයන්ගේ ඒ පුත්‍ර දෙපල මෙය විවෘත කිරීම ඉතිහාසගත වෙයි කියලා මතක් කරනවා.

අද අපි ජනතාවට කියනවා අපි මේ ගමන නොරැවටී ඉදිරියට යමු කියලා. කොළඹ ඉදගෙන නින්දා අපහාසකරන අයට අපි කියනවා අහිංසක ගම්මානවලට ගිහින් බලලා අගය කරන්න කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමන්ලාට අපහාස කරන්න එපා. මෙතුමන්ලාව ගෙනාවේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද ක්‍රමයකින්. පහලොස් ලක්ෂයක වැඩි ඡන්දයකින් ජයග්‍රහණය කරපු නායකයෙක්. කොහොම උනත් ගම්වල ජනතාව රාජපක්ෂ පවුල එක්ක ඉන්නවා කියන එක මතක් කරන්න කැමතියි.

 

- රන්ජනා සෙව්වන්දි

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us