" බොහෝ වෙලාවට රජයන් පත් වුණාම ජනතාවගේ වැඩ කරන්නේ නැතුව බලයෙන් පහ කළාට පසුව ගමට යනවා ගමේ ප්‍රශ්න කතා කරන්න. අපි පසුගිය වසර පහ තුළ විරුද්ධ පක්ෂයේ සිටින විට ගම සමඟ පිළිසඳරක් වැඩසටහන යටතේ ගම් වල තියෙන ප්‍රශ්න කතා කරලා, ඒවා අවබෝධ කරගෙන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. අපිට පසුගිය මැතිවරණ වලින් ජනතාව විශාල ජයග්‍රහණයක් ලබාදුන්නා. දැන් නැවතත් අපි ගමට යන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. අපි ඔවුන්ට පොරොන්නදු වුණා ඔවුන්ගේ ගැටළුවලට ස්ථිරසාර විසඳුම් ලබාදෙන්න. අපි අද කතා කරන්නේ අද රටේ 75%ක් පමණ වන ජන කොටසක් ගැන.ඒ අය තමයි වී ගොවියො, කිරි ගොවියෝ, එළවළු ගොවියෝ සහ විවිධ පාරම්පරික කර්මාන්ත වල යෙදෙන මේ රටේ වැඩ කරන ජන කොටස. ඒ අයගේ ජන ජීවිතය අපි රජයක් හැටියට ස්ථිරසාර කළ යුතුයි ජීවනෝපාය සංවර්ධනය කරලා. මම හමුදා නිලධාරියෙක් වශයෙන් කැබිතිගොල්ලෑව වැනි ප්‍රදේශ වල ඉඳලා තිබෙනවා. නමුත් මම එදා දැකපු ගම සහ අවරුදු 40කට පමණ පසුව දකින ගම අතර විශාල වෙනසක් නැහැ. එක් එක් කාලයේ පත් වුණ විවිධ රජයන් වලින් විවිධ සංවර්ධන ව්‍යාපෘති දියත් කළා. නමුත් සමස්ථයක් ලෙස තවමත් අපි බලාපොරොත්තු වන සංවර්ධනය ගම තුළ, ගමේ ජනතාව තුළ දකින්නේ නැහැ.
අපි බලාපොරොත්තු වන්නේ ජනතාවගේ ජීවන රටාව ස්ථාවර කරන්න. මේ කාර්ය හරිහැටි සිදු නොවුණු නිසා තමයි අද ගම්වල ඉන්න තරුණ තරුණියන් රජයේ රැකියා බලාපොරොත්තු වන්නේ. ඔවුන්ට කෘෂිකර්මය ගැන, පාරම්පරික කර්මාන්ත ගැන විශ්වාසයක් නැහැ. එයට හේතුව තමයි පරම්පරා ගණනාවක් යන තුරුත් තවමත් ඔවුන්ගේ පවුල් දරිද්‍රතාවයෙන් පෙළි සිටීම. ඔවුන් දැකලා නැහැ කෘෂිකර්මාන්තය හෝ පාරම්පරික කර්මාන්ත හරහා ඔවුන්ගේ ජීවිත නගාසිටුවෙනවා. ඒ නිසා තමයි රජයක් හැටියට අපි මේ තත්ත්වය වෙනස් කළ යුතු වන්නේ. මේ ජනතාවට ස්ථිරසාර සංවර්ධනයක් ගෙන දෙන්නට රජයක් හැටියට නිලධාරින් හැටියට අපි සුදුසු වාතාවරණය සකස් කර දිය යුතුයි. ග්‍රාමීය ජනතාවගෙන් වැඩි කොටසක් ඉන්නේ කෘෂිකර්මාන්තයේ යෙදෙන අය. මේ අයගේ අස්වැන්න වැඩි කරගන්න ජලය කළමණාකරණය , වගාවන් සඳහා අවශ්‍ය ඉඩම්, අස්වැන්න වැඩිකරගැනීමට අවශ්‍ය තාක්ෂණික දැනුම, අස්වැන්න අලෙවිකරන්න හොඳ වෙළඳපොළක් , අස්වැන්නට ස්ථිර මිලක් , අපි රජයක් හැටියට ලබාදෙන්න ඕන.
අපි දන්නවා ගමක රාජ්‍ය නිලධාරින් කොපමණ ඉන්නවාද කියලා. නමුත් අපි ගමට යන විට ඒ ගම්වල ජනතාවගේ ගැටළු එකක්වත් විසඳිලා නැහැ. එදා තිබුණ තත්ත්වය වෙනස් කරලා වැඩි අවධානයක් ග්‍රාමීය ජනතාව වෙනුවෙන් යොමු කරන්න තමයි “ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට” වැඩසටහන අපි ආරම්භ කළේ.
විශේෂයෙන්ම නිලධාරින් ලෙස අපි කළ යුතු වන්නේ ජනතාවට ජීවත්වීමට අවශ්‍ය පහසුකම් ලබාදීමයි. නීති රීති විශාල ප්‍රමාණයක් තිබෙන නිසා අපිට පුළුවන් කමක් නැහැ කඩිනමින් ජනතාවට අවශ්‍ය දේවල් ලබාදෙන්න. මේ වැඩ කරන ජනතාව තමයි රටේ විදේශ විනිමය ඉතිරි කරන්නේ. දළ දේශිය ආදායම වැඩි කරන්නේ. අපි ගමට ගිහින් ජනතාව සමග කතා කරන විට තේරුම් යනවා ජනතාවගේ මතය එකක් නිලධාරින්ගේ මතය එකක් ,කොළඹ ඉන්න ප්‍රතිපත්ති හදන අයගේ මතය එකක්. නමුත් ඒ ජනතාවගේ අවශ්‍යතාවය නොවෙයි.
ඒ අයගේ පාරම්පරික ඉඩම් අපි කැලෑ කියලා වගාකිරීම තහනම් කරනවා. නමුත් අපි ඔවුන්ට කියනවා වගා කරන්න කියලා. පාරම්පරික හේන් ගොවිතැන කරන්න දෙන්නේ නැහැ. රටේ කැලෑ වැඩි කරන්න ඕන කියලා. ඒ අයට ඔප්පු දෙන්නේ නැහැ. නිදහසින් පසු මේ වසර 70කට පසු තවමත් ග්‍රාමීයව තිබෙන ගැටළු. අපි කිරි ගොවියන්ට කියනවා කිරි නිෂ්පාදනය වැඩි කරන්න කියලා. හැබැයි ගවයින්ට තණකොළ කන්න කැලෑවකට යන්න දෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි ඔවුන්ට තෘණ භුමි හදන්න ඉඩම් ලබාදෙන්න ඕන. නීති තිබෙන්න පුළුවන් නමුත් නීති ක්‍රියාත්මක කරන විට අපි බලන්න ඕන ජනතාවගේ අවශ්‍යතාවයන් මොනවද කියලා. එක නිලධාරියෙක් කියනවා වගා කරන්න කියලා. අනෙක් නිලධාරියා කියනව වන ප්‍රදේශයට ඇතුළු වෙන්න බැහැ කියලා. තවත් නිලධාරියෙක් කියනවා නම් මෙතැන තමයි ගැටළුව තිබෙන්නේ. අපි මහජන නිලධාරින් හැටියට වඩාත් වැදගත් වන්නේ ජනතාව අතරට ගිහින් ගමේ ප්‍රශ්න විසඳලා දීමයි. විවිධ ප්‍රදේශවලට ආවේනික වූ විවිධ ප්‍රශ්න තිබෙනවා. සමස්ථයක් වශයෙන් ගත් විට ප්‍රධාන ගැටළු කිහිපයක් තිබෙනවා. ඒවා කඩිනමින් විසඳිය යුතුයි. විශේෂයෙන්ම ඉඩම් පිළිබඳ ප්‍රශ්නය. ඉඩම් පිළිබඳ අමාත්‍යංශය, වනජීවී අමාත්‍යංශය, වන රක්ෂණ අමාත්‍යංශය, වෙන වෙනම වැඩ කරන්න බැහැ. මේ අමාත්‍යංශ එකට එකතු වෙලා මූලික අරමුණ තේරුම් අරගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕන.
අපි කියනවා ආයෝජන ගේන්න කියලා. නමුත් ආයෝජනයක් ආවාම ආයෝජකයාට වැඩ කරන්න දෙන්නේ නැහැ. විවිධ බාධක තිබෙනවා. ගම්වල වගා කරන්න ආයෝජකයෝ ඉන්නවා. නමුත් විවිධ හේතුන් නිසා ඒ කාර්ය ඉටු කරන්න දෙන්නේ නැහැ. බොහෝ දේවල් වෙලා තිබෙන්නේ වැඩ නොකරන්න. මේ කාරණය මතක තියාගෙන නිලධාරින් ලෙස රටේ සංවර්ධනය උදෙසා ප්‍රමුඛත්වය දීලා ක්‍රියාකරන්න කියලා මම ඉල්ලා සිටිනවා.
විශේෂයෙන්ම අපි පොරොන්දු වුණා තාක්ෂණය ගමට ගෙනයනවා කියලා. ගොවි ජනතාවගේ අදායම ඉහළට ගෙන ඒම තමයි වැදගත් වන්නේ. ඒ අයගේ වගා කරන ඉඩම් ප්‍රමාණය වැඩි කර දිය යතුයි. වගාවන් සඳහා අවශ්‍ය බීජ අපි නිෂ්පාදනය කළ යුතුයි. ඒ සඳහා තාක්ෂණය අවශ්‍යයි. ඒ වගේම අපි කතා කරනනවා කාබනික කෘෂිකර්මාන්තය ගැන. අපි කියනවා ගොවි ජනතාව පොහොර වැඩි වශයෙන් භාවිතා කරනවා කියලා. තාක්ෂණය ගොවි ජනතාව අතරට ගෙනයන්න ඕන. ගොවියාගේ දැනුම වැඩි කරන්නත් නිලධාරින් කටයුතු කළ යුතුයි.
ඩොලර් බිලියන 4.5ක් වසරකට ණය වශයෙන් ගෙවනවා. ආහාර සඳහා ඩොලර් බිලියන 02ක් පිට රටට යනවා. ඩොලර් බිලියන 1.5ක් කිරිපිටි සහ එතනෝල් වැනි දේවල් ගෙන්වීමට වැය වෙනවා. අපිට පසුගිය වසරේ සංචාරක අංශයෙන් ලැබුණ ඩොලර් බිලියන 5ක පමණ ප්‍රමාණයක් අහිමි වුණා.
කොවිඩ් වසංගතය නිසා අපි හිතුවා කර්මාන්තශාලා වහලා තිබුණු නිසා අපනයන ආදායමේ අඩුවක් වෙයි කියලා. නමුත් වාසනාවකට අපේ අපනයන ආදායම ඒ හා සමානව පැවතුනා. ආනයන වියදම අපි පාලනය කරගත්තා. මේ නිසා තමයි අපිට මෙරට වගා කළ හැකි දේවල් පිටරටින් ආනයනය කිරීම නවත්වලා ගොවීන්ව දිරිමත් කළේ. ඒ නිසා අපිට පුළුවන් වුණා අපනයන සහ ආනයන ප්‍රමාණය අතර වෙනස පාලනය කරගන්න. ඒ නිසා විදේශ විනිමය අනුපාතය පාලනය කරගන්න අපිට පුළුවන් වුණා. මෙරට නිෂ්පාදනය කළ හැකි කෘෂි නිෂ්පාදන අපි මෙරටදීම නිෂ්පාදනය කරන්න ආරම්භ කරන්න ඕන.
ඉලෙක්ට්‍රොනික් උපකරණ, වාහන මේ රටේ නිෂ්පාදනය කරන්න එකපාරටම හැකියාවක් නැහැ. නමුත් කෘෂි නිෂ්පදාන එක කන්නයක් තුළ මේ රටේ නිෂ්පාදනය කරන්න පටන් ගන්න පුළුවන්. සමහරු කියන්න පුළුවන් මේ දේවල් පිටරටින් ගෙන්වන්න කියලා නමුත් අපි පිටරට ගොවියාට යන මුදල අපේ රටේ ගොවියා අතට පත් කළ යුතුයි. ඒ නිසා තමයි අපි ගමට ගිහින් ගොවියාට අවශ්‍ය ජලය, පොහොර හා ඉඩම් කළමණාකරණය කර දෙන්න කටයුතු කරන්නේ. එය අපේ වගකීම. යම් කෙනෙක් කියනවා නම් සහල්, ඉඟුරු, කහ, සෝයා, කව්පි පිටරටින් ගේන්න කියලා එය ඉතාමත් අසාධාරණයි. අපිට මේ දේවල් එක කන්නයක් තුළ මේ රටේ වගාකරලා නිෂ්පාදන ජනතාවට ලබාදිය හැකියි.
අපි දකිනවා විශාල වැව් ප්‍රමාණයක් උතුරු මැද, වයඹ පළාත්වල තිබෙනවා. නමුත් මේ වැව් බොහෝ ප්‍රමාණයක් ගොඩවෙලා. අපිට යල මහ දෙකන්නයම කරන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරලා ජල කළමණාකරණය කරන්න පුළුවන්. නමුත් ගොවියන්ගෙන් ඇහුවොත් කියන්නේ ජලය නැහැ කියලා. අපි මෙවර අයවැයෙන් කුඩා වැව් ප්‍රතිසංස්කරණය සඳහා වෙන් කරලා තිබෙනවා.
පසුගිය ආණ්ඩුවලින් විවිධ ව්‍යාපෘති සඳහා පිටරටින් ගත් ණය මුදල් අපි තවම ගෙවනවා. ඒ මුදල් තිබෙනවා. නමුත් ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වන්නේ නැහැ. ව්‍යාපෘති භාර නිලධාරින් පවා සිටිනවා. ඔබ ඒ ගැන හොඳින් දන්නවා. මේ ව්‍යාපෘති ක්‍රියාත්මක නොවන විට ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්නේ නැහැ. මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අමාත්‍යවරුන් , අමාත්‍යංශ ලේකම්වරුන් සහ නිලධාරින් සිදු කළ යුතුයි. හැම දිස්ත්‍රික්කයකටම මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන් කර තිබෙනවා පානීය ජලය සඳහා. මාර්ග සංවර්ධනය සඳහා මුදල් වෙන් කර තිබෙනවා. තවමත් ඇතැම් ග්‍රාමීය මාර්ග තිබෙනවා ප්‍රතිසංස්කරණය කළ යුතු. ඒ වගේම ගමේ විවිධ අංශ වල තිබෙන සුළු ප්‍රශ්න නීති රීති නිසා විසඳන්න බැරුව තිබෙනවා. මිනිස්සු දිහා මිනිස්සු විදිහට බලලා කටයුතු කරනවා නම් මේ ගැටළු විසඳන්න පුළුවන්. මම මේ අයගෙන් ඉල්ලන්නේ වැඩිපුර ගමට යන්න. ගමේ ප්‍රශ්න කඩිනමින් විසඳන්න. ගමේ ප්‍රශ්න අපි හඳුනගෙන ප්‍රතිපත්ති හදලා අයවැය හදලා තියෙනවා, ඒවා දැන් ක්‍රියාත්මක කරන්න. අපි ජනතාවට සෞභාග්‍යයේ දැක්මෙන් පොරොන්දු වුණ දේවල් ඉටු කරමු. "