හෝමාගම Tech City ගැන චම්පිකගේ වදන Featured

Published in පුවත්
Tuesday, 09 June 2020 10:00

මේ රටේ අනාගත හැරවුම් ලක්ෂය වන හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ නගරය (Tech City) ඉදිකිරීමේ කටයුතුවලදී දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් එය කඩාකප්පල කිරීමට කළ හැකි සෑම ආකාරයකින්ම කටයුතු කළ, ඇතැම් අය අද කිසිදු ලැජ්ජාවකින් තොරව එය තමන්ගේ නිර්මාණයක් ලෙස විවෘත කිරීමට කටයුතු කිරීම තරම් නින්දා සහගත ක්‍රියාවක් නොමැති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අද(08) දිනයේ හෝමාගම පිටිපන පිහිටුවන ලද තාක්ෂණ නගරයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අයත් තාක්ෂණ පීඨය විවෘත කිරීමට මහින්ද රාජපක්ෂ අගමැතිතුමා සහ උසස් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා කටයුතු කරන බවට මාධ්‍ය වාර්තා පළකර තිබීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා අදහස් පළකර සිටියේ, අද සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා,

පළමුවෙන්ම කියන්න ඕන මැතිවරණයක් පැවැත්වෙන වෙලාවෙ මෙවැනි විවෘත කිරීම් සිදුකිරීම ගැන මැතිවරණ කොමිසමට පැමිණිලි කරල තිබුණත් අපිට තාමත් වාර්තා වෙලා නෑ ඒ ගැන විධිමත් ක්‍රියාමාර්ගයක් ගත් බව. කෙසේ වෙතත් මේ විශ්වවිද්‍යාලය පිටිපන පිහිටුවීම පිළිබඳව සත්‍ය මේ රටේ ජනතාව දැනගත යුතුයි.

මෙම තාක්ෂණ පීඨය ඇතුළුව කොළඹ, මොරටුව විශ්වවිද්‍යාලවල තාක්ෂණ පීඨ, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන පර්යේෂණ උසස් අධ්‍යාපන ආයතනය, ආතර් සී ක්ලාක් ආයතනයේ ප්‍රධාන චන්ද්‍රිකා තාක්ෂණ මධ්‍යස්ථානය, ජීව තාක්ෂණය පිළිබඳ ආයතනය යන සියල්ලට එකම දවසක තමයි අපි මුල්ගල තැබුවෙ. ඒ 2016 සැප්තැම්බර් 22 එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ රටේ අපනයන පිළිබඳව ප්‍රධාන අවස්ථා තුනක් තිබේ. පළමුවැන්න, ජේම්ස් ටේලර් 1867 වගේ කාලයේදී මේ රටට තේ වගාව හඳුන්වාදීම. දෙවැන්න, 1978 උපාලි විජයවර්ධන මැතිතුමා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සමඟ කටුනායක නිදහස් වෙළෙඳ කලාපය බිහිකිරීම. තුන්වැන්න, නවෝත්පාදනය මඟින් දැනුම පදනම් කරගත් ආර්ථිකයකට අවශ්‍ය කරන දැනුම නිෂ්පාදනය හා දැනුම අපනයනය කිරීම පිළිබඳව විධිමත් කලාපයක් ලෙස තමයි මෙම තාක්ෂණ නගරයේ කටයුතු ආරම්භ කරන්නේ. ඒ මම මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් ලෙස.

මෙහි ඉතිහාසය කුමක්ද ?

2009 දි ලෝක බැංකුව විසින් ලංකාවේ තාක්ෂණය ඉදිරියට ගෙනයන්න කවරාකාරයේ පියවර ගත යුතු ද යන්න සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකර ලබාදුන්නා. විශේෂයෙන්ම ජීව තාක්ෂණය, නැනෝ තාක්ෂණය ආදී ක්ෂේත්‍රවල. මෙහිදී මා ස්තුතිවන්ත විය යුතුයි, වගේම ගරු කළ යුතුයි, තිස්ස විතාරණ මහත්මයා මැදිහත්වීමක් කරල තමයි නැනෝ තාක්ෂණ ආයතනය ආරම්භ කළේ. ඒක විවෘත කළේ 2013 මම තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයාව සිටියදී.

2013 මම තාක්ෂණ ඇමතිවරයා ලෙස විද්‍යාඥයින් 600 කට වැඩි පිරිසක් සමඟ එකතුව ලංකාවට සැලසුමක් හදල දුන්නා, නවෝත්පාදනයෙන් දැනුම පදනම් කරගත් ආර්ථිකයකට කුමන ආකාරයේ ආයෝජනයක් රාජ්‍ය අංශයත්, පුද්ගලික අංශයත් කරන්න ඕන ද කියන එක පිළිබඳව. අද හුඟක් දෙනෙක් දැනුම පදනම් කරගත් ආර්ථිකයක් ගැන කතා කරනවා. නවෝත්පාදනය ගැන කතා කරනවා. නමුත් ඒ පිළිබඳව මුල්ම සංකල්පීය අදහස මේ රට තුළ අපි ස්ථාපිත කළේ වැඩපිළිවෙලක් එක්ක 2013 දී.

මම 2015 වර්ෂයේදී මහනගර අමාත්‍යවරයා පත්වුණාට පස්සෙ මේ මහනගර සැලසුම අපි සම්පූර්ණයෙන්ම විධිමත්ව (ඒ වෙනකොටත් කොටසක් එහි සකස් කරල තිබුණා) අවසන් කරල ජනාධිපතිවරයාට, අගමැතිවරයාට 2016 ජනවාරි 29 පිළිගැන්වුවා. ඒ මහනගර සැලසුමේ තිබුණු වැදගත්ම අංගයක් තමයි ඇමෙරිකාවේ සිලිකන් වැලිය, ඉන්දියාවේ බැංගලෝරය වැනි නවෝත්පාදන නගරයක් (Tec City) බිහිකිරීමේ වැඩපිළිවෙල.

එය ඉදිරියට ගෙනයමින් 2016 මැයි මාසෙ මම මහනගර ඇමතිවරයා හැටියට, කොරියාවේ ඉඩම් සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ අමාත්‍යවරයා සමඟ එකතු වෙලා ගිවිසුමක් අත්සන් කළා මේ තාක්ෂණ නගරය සහ තවත් කරුණු ගණනාවක් ගැන කොරියාවේ සහයෝගීතාවයෙන් ඉදිරියට ගෙනයන්න. ඒ ගිවිසුමට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එහි සංචාරය කළා 2017 වසරේදී. ඒ අවස්ථාවේදී දිගු කාලීන ආයෝජනයක් ලෙස කොරියානු ආණ්ඩුව මෙම ව්‍යාපෘතිය තෝරා ගත්තා. ඒ අනුව දැවැන්ත වියදමක් දරල කොරියානු ආණ්ඩුව මේ තාක්ෂණ නගරය සැලසුම් කරල තිබුණ. එම ව්‍යාපෘතිය තුළ පාරවල් සකස් විය යුතු ආකාරය, විදුලිය ගෙන යායුතු ආකාරය, 5G තාක්ෂණය ගේන විදිය, ප්‍රවාහනය සිදුවිය යුත්තේ කෙසේද , ගොඩනැගිලි ඉදිවිය යුතු ආකාරය, උද්‍යාන, කසළ කළමණාකරණය, වැනි සියල්ල අතුළත් කර තිබුණා.

ඒ වගේම පාසල් දරුවන්ට විද්‍යාත්මක කෞතුකාගාරයක් ඇති කරන්න, ව්‍යාපාරික ක්ෂේත්‍රයට, යම් යම් නවෝත්පාදනයන් කරන පිරිස්වලට තමන්ගේ නවෝත්පාදන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරගන්න ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ඉදිකිරීමටත් යෝජනා සකස් කර තිබුණා. ඒ සඳහා අපි වෙනම කලාපයක් සඳහා මීට යාබදව කර්මාන්ත පුරයක් ඇතිකිරීම වෙනුවෙන් ඉඩම් ලබාගත්තා. ඒ ඉඩම් දැන් පරණ වතු සමාගම්වලට පවරාදීමේ උත්සාහයක් තිබෙනා බවට ආරංචියක් තිබෙනවා. එය සහගහන අපරාධයක්. මොකද මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයන්න තියෙන ප්‍රධානම කර්මාන්ත පුරවරය තමයි මේ නවෝත්පාදන කර්මාන්ත පුරවරය.

මෙය සම්පූර්ණ කළහොත් 150,000 කට සෘජු රැකියා ලැබෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයො 14,000 ක් පමණ පැමිණි පසු මේ ස්ථානය දැනට තියෙන අනෙකුත් ආයතනත් එක්ක සම්පූර්ණයෙන්ම විධිමත් ස්ථානයක් බවට පත්වෙනවා. ඒ වෙනුවෙන් අපි එහි අභ්‍යන්තර පාරවල් විධිමත් ලෙස නිර්මාණය කළා, නව විදුලි පද්ධතියක් ගැනීමේ කටයුතු කළා. කළු ගඟෙන් නව ජල පද්ධතියක් ගෙනඑන්න කටයුතු කළා. හෝමාගම ප්‍රදේශයේම කසළ කළමණාකරනය කරන්න මෙතන විධිමත් කසළ අංගනයක් හදන්න වැඩපිළිවෙළක් හැදුව. මේ සියල්ල අපි කරගෙන ගියා.

මොකක්ද එදා මේ සඳහා රජපක්ෂලාගේ ප්‍රතිචාරය වුණේ ? මුළු ගමම මෙයට එරෙහිව පෙළෙඹෙව්වා ඉඩම් ගන්නව කියල. කිසිම ගම්වාසියෙකුගේ ඉඩමක් අපි ගත්තෙ නෑ. පරිසරය විනාශ කරනව කියල උද්ඝෝෂණ ඇති කළා. කොන්ත්‍රාත්කරුවන්ට යන්න දුන්නෙ නෑ, මිනින්දෝරුවන්ට යන්න දුන්නෙ නෑ. 2018 පෙබරවාරි මාසෙ හෝමාගම ප්‍රාදේශීය සභාවේ ලොකුම ප්‍රශ්නය වුණේ, කොරියාවට ඉඩම් විකුණන්න යනවාය කියල පතුරවපු පට්ටපල් බොරුව. ඒ බොරුව සමාජගත කරගන්න අපේ අමාත්‍යාංශය ඉස්සරහ ඇවිල්ල වැටලීම් කළා. 2018 නොවැම්බර් මාසෙ සිදු කරපු බලය පැහැරගැනීම වෙලාවෙ දිනේෂ් ගුණවර්ධන මහත්තය නාගරික සංවර්ධන ඇමති හැටියට නීති විරෝධී අගමැති මහින්ද රාජපක්ෂට සහයෝගය ලබාදීම සඳහා හෝමාගම පවත්වපු රැලියෙදි, මේ තාක්ෂණ නගරයේ වැඩ නතර කළා. තාක්ෂණ නගරයක් හෝමගමට ඕන නෑ කිව්ව.

ඊට අමතරව අද නැවත ආරම්භ කරනවා බස් ප්‍රමුඛතා මංතීරු. ඒක මගේ සංකල්පයක්. අපි තමයි එය ක්‍රියාත්මක කලේ. එය කවුරුත් දන්නවා. ඒකට බැඳුම්කර සල්ලිවලින් ගහන පත්තර වලින් අපිට මඩ ගැහුව මේ මෑත කාලයේදීත්. නමුත් මේක අද ඉඳන් ආයෙත් ආරම්භ කරනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. ඒක මේ රටේ පොදු ප්‍රවාහනයට තබපු ඉදිරි පියවරක්. ඒ බස් ප්‍රමුඛතාවය සඳහා අවශ්‍ය කරන සීග්‍රගාමී බස් සේවයක් පිළිබඳව වෙච්ච තාක්ෂණික වාර්තාවත් අපට කොරියානු ආයතනය විසින් සකස් කරල දුන්නා (BTS). පොදු ප්‍රවාහනයට උදේ සහ සවස ප්‍රමුඛතාවය ලැබෙන විදියට කාර්යාල වේලාවන් වලදී මේ බස් ප්‍රමුඛතා මංතීරු පොදු ප්‍රවාහනයට ශක්තියක් හැටියට හඳුන්වල දුන්නෙ.

නූගත්, පවුල්වාදී, පැරණි රදල නශ්ටාවශේෂ කල්පනා කරපු ආකාරයත්, අපි නවීනව ඒ කටයුත්ත කරපු ආකාරයත් පිළිබඳව අද රටට සතුටුවෙන්න පුළුවන්. අපිටත් සතුටු වෙන්න පුළුවන්. මේ ව්‍යාපෘතීන් නතර කරන්න පුළුවන් සෑම වැඩක්ම කරල, අද තමන්ගේ වගේ මේවා විවෘත කරන්න කටයුතු කිරීම තරම් නින්දා සහගත වැඩක් තවත් නැති බව ප්‍රකාශ කළ යුතු බව ද හිටපු අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

මේ රටේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තවදුරටත් ව්‍යසනයකට පත්වෙන, අපේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබාගැනීමට බාධා කරන කිසිදු ආකාරයේ ක්‍රියාවලියකට අපි එකඟ වෙන්නේ නෑ. රාගම කරගෙන ගිය NCMC ආයතනයත්, 2009 මහින්ද රාජපක්ෂ මහතා ආරම්භ කළ සයිටම් ආයතනයත්, දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කිරීමට යන ආසිරි පුද්ගලික විශ්වවිද්‍යාලයත් සම්බන්ධයෙන් අපි කරුණු කිහිපයක් දැඩිව අවධාරණය කළ යුතුයි. එනම්, කිසිම ආකාරයකට අධ්‍යාපනය කියන එක ලාභ උපයන එකක් විය යුතු නෑ. එමෙන්ම ලාභ ඉපයීම කිසිසේත්ම අධ්‍යාපනයේ පරමාර්ථය විය යුතු නැති බවද හිටපු අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us