ආණ්ඩුව මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන සාධනීය විග්‍රහයක් ඇති අතරම ඇහැට පෙනෙන්න තිබෙන කණට ඇහෙන්න තිබෙන දුර්වලතාවයන්ද බොහෝය. ආණ්ඩුවේ දුර්වලතා ගැන බොහෝ විවේචනාත්මක අදහස් පසුගිය කාලයේ සමාජ ජාලාවල ඇති පදම් සාකච්ඡාවට ගැනුන නමුත් .. ආණ්ඩුව විවේචනය කිරීම අත් අඩංගුවට ගැනීමට හේතුවක් වන බවටත් ගිය ප්‍රචාරයත් බොරු ප්‍රචාරය කළැයි චෝදනා එල්ල කර අත් අඩංගුවට ගැනීම් කිහිපයක්ම සිදු වීමත් නිසා පවත්නා තත්වයන් ගැන සාකච්ඡා බිඳ වැටී තිබේ.. තොරතුරු දැන ගැනීම පමණක් නොව භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතියත් පුරවැසියා සතුය. ඒ අනුව ආණ්ඩුවේ කවර වැඩ පිළිවෙලක් හෝ ගැන විවෙච්නය කිරීමේ අයිතිය ද පුරවැසියා සතුය. ඊට බාධා පැමිණෙන්නෙ නම් ඊට එරෙහි වීමේ අයිතියද පුරවැසියා සතුය.
පුරවැසියාට අවශ්‍ය වන්නේ ඒක පාර්ශවික තොරතුරු මාර්ගයකින් ලැබෙන තොරතුරු විශ්වාස කරගෙන සිටීමට නොවෙ. ලැබෙන තොරතුරු වල තහවුරුවක්ද අවශ්‍යය. එසේම පුරවැසියාගෙ ඉල්ලීම් යෝජනා ප්‍රමාණයක්ද තිබේ. එය ආණ්ඩුව දැන ගත යුතුය. ඊට ප්‍රකාශන මාධ්‍යක්ද පුරවැසියාට අවශ්‍යය. සමාජ මාධ්‍ය හැර අනෙකුත් මාධ්‍යන් එම අවස්ථාව පුරවැසියාට දැන් අවුරා තිබේ. ඉතිරිව තිබෙන්නේ සමාජ මාධ්‍ය හරහා කරන ප්‍රකාශනයක් පමණය. එහෙත් ඊට කරන බාධා කිරීම ද , එම තොරතුරු අදාල බලධාරීන්ගේ සාකච්ඡාවට ගැනෙනවාද තබා ඔවුන් ඊට යොමු වෙනවද යන්වත් තහවුරුවක් නැත.
පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති මොහොතක පුරවැසියා විසින් තෝරා පත්කරන ලද මහජන නියොජිතයන්ගේ හඬ ද දැන් යටපත් කර ඇති නිසා පුරවැසියා ඇද වැටි ඇත්තේ වඩා අසීරු තැනකටය. පුරවැසි වුවමනාව ප්‍රකාශයට පත් වන තැන පාර්ලිමේන්තුවයි. රටේ නීතිය හදන තැන , පුරවැසි අයිතිය රකින තැන පාර්ලිමේන්තුවයි. රටේ මුල්‍යමය තීන්දු එය පරිපාලනය කෙරෙන තැන පාර්ලිමේන්තුවයි..රටෙ ආභිවෘද්ධිය වෙනුවෙන් අවසන් තීන්දු ගැනෙන තැන පාර්ලිමේන්තුවයි...එහෙත් එය වස දමා තිබේ. ආණ්ඩුවක් කියා එකක් ක්‍රියාත්මක වනවා පෙනෙන්නේ මාධ්‍ය වල පමණය..සියල්ල ජනාධිපති නම් තනි මිනිහෙකු විසින් මෙහෙයවමින් සිටින බවට ව්‍යාජ ප්‍රවාදයකුත් පතුරුවමින් තිබේ.
ඒ අතර වසංගත තත්වය සහ ඒ සම්බන්ධ ආණ්ඩුවේ නියමයෙන් ප්‍රකාශ කෙරෙන නිල කතන්දර වල විශ්වාසනියත්වය පිළිබඳ ගැටළු පැන නැගි තිබේ. සෞඛ්‍ය අංශ වල මැදිහත් වීමෙ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක භාවයන් ගැන විවෙචන එම අංශ වලින්මත් පැන නැගෙමින් තිබේ. ඇඳිරි නීතිය දමාගෙන රට දැන් සති දෙක තුනක් මුලුල්ලේ දුවන්නේ කෙසේද යන ගැන පැහැදිලි තාවයක්ද නැත. හෙට දවස ගැන කිසි නිනව්වක් නැත. අද රටෙන් භාගයක් පමණ බඩ ගින්නේ සිටී. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා නිසියාකාරව බෙදා හැරීමක් නැත. පුරවැසියාට සහන සැලසීමේ හැකියාව සහිත මහා රාජ්‍ය යාන්ත්‍රණය අකර්මන්‍යකර දේශපාලන යාන්ත්‍රණයක් පණ ගන්වමින් තිබෙන බවත් පෙනෙන්ට තිබේ.
වසංගත තත්වයටත් රටේ සාමාන්‍ය පැවැත්මටත් ආණ්ඩුව රජයේ මුදල් වැය කරනෙන් කෙසේද යන්න ගැන කිසිදු විනිවිධ භාවයක් දකිනට ලැබෙන්නේ නැත. එය සැඟවුණු කාරණාවක්ව තිබේ. වසංගත මර්දනය වෙනුවෙන් ඇතී කළ අරමුදල කුමක්ද ඒ වියදම් කරන්නෙ කෙසේද යන්න ගැන කිසිවකුත් මීක නැත. ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධානවලිනුත් විදේශ රාජ්‍ය වලිනුත් ලැබුණා කියන බිලියන් ගනන් ණය සහ ආධාරවලට සිදුවන්නෙ කුමක්ද යන ගැන කවුරුවත් මොකුත් දන්නෙ නැත. මේ මුදල් ලැබුණත් ඒවා වැය කරන්නේ කාගේ අවසරයක් අනුමැතියක් පරිදි ද. ඒවයේ වගකීම කා සතුද ආදිය ගැනත් වගක් නැත.. මේ ආදී වූ බරපතල ගැටලු රාශියක් මේ වන විට පැන නැගී ඇත. මේවාට කවුද උත්තර දෙන්නේ.. ආණ්ඩුවේ කිසිවකුත් ඒ ගැන කතාවක් නැත. පාර්ලිමේන්තුව රැස් කරන්නැයි ඉල්ලීම් එන්නේ මේ ප්‍රශ්නවලට උත්තර අවශ්‍ය නිසාය.. ඒවා පුරවැසියාගේ ප්‍රශ්නය.. ඊට උත්තර පුරවැසියාට අවශ්‍යය. ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන මෙ රටේ පුරවැසියා මග හැර රවටා කිසිවක් කිරීමෙහි ඉඩක් නැත. සියල්ල තිරණය වන්නෙ ජනතාවගේ කැමැත්ත මතය. එනම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට මිස, ඒකාධිපතියතුගේ මුරණ්ඩු මුග්ධ කැමැත්ත අනුව නොවේ යන්නය.
විධායකයට , පාර්ලිමේන්තුවට අධිකරණයට හිතු මනාපේ කටයුතු කළ නොහැක. ඒවා ක්‍රියාත්මක විය යුතු පිළිවෙත ජනතා සම්මුතියක්, නීතියක් ලෙස පුරවැසියා විසින් සම්මත කර ගත් දෑ ලෙස තිබේ. ඒ අනුව සියල්ල සිදු විය යුතුය..
ඒ අනුව රට තුල පැන නැගී ඇති වසංගත තත්වය හමුවේ වහාම පාර්ලිමේන්තුව කැඳවා මේ ගැන සත්‍ය තොරතුරු හෙළිදරව් කිරීම විය යුතුය. පුරවැසි හඬට ඉඩක් නිර්මාණය විය යුතුය. ඒ අනුව පුරවැසියාගේ යහපත පිණිස ගත යුතු සියළු පියවරයන් ගත යුතුය.
පාර්ලිමේන්තුව වහා කැඳවනු ! යැයි අපත් දැඩිව ඉල්ලා සිටින්නෙ එය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පුරවැසියාගේ පරම අයිතියක් නිසාය.