බල ලෝභීව බලහත්කාරයෙන් බලයේ එල්ලී ඉන්න එපා!

Published in විදෙස්
Saturday, 01 August 2015 10:06

“මම ඇත්තටම හිතනවා මං ආකර්ෂණීය ජනාධිපතිවරයෙක් කියලා. මං හිතන්නේ මං ආයෙමත් ඉල්ලුවොත් මට දිනන්න පුළුවන්. ඒත්; මට එය කළ නොහැකියි... අමෙරිකාව වෙනස් කිරීමට හුඟක් දේවල් කරන්න මම කැමැතිවෙයි. ඒත් නීතිය නීතියයි. නීතියට ඉහළින් කිසිවකුත් නැහැ. ජනාධිපතිවරයා පවා ඊට ඉහළින් නැහැ.”

අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඉකුත් අඟහරුවාදා මේ ප්‍රකාශය කළේ ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවරදී අප්‍රිකානු සංගම් සමුළුව අමතමිනි. ජනාධිපති ධුරය සඳහා තෙවැනිවරටත් ඔහු තරඟ කරනු ඇතිද යන්න පිළිබඳ දැනට කලකට පෙර සිටම මත පළවෙමින් තිබිණි. සිය දේශනයේදී ජනාධිපති ඔබාමා ඒ පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් කළ බැවින් එම දේශනයට ජාත්‍යන්තර මාධ්‍ය විශාල ප්‍රසිද්ධියක් ලබා දී තිබේ.

ජනාධිපති ඔබාමා මේ ප්‍රකාශය කළ දිනයේම CNN ආයතනය මඟින් කළ මත විමසුමක ප්‍රතිඵල ද නිකුත් වී තිබිණි. ඉන් පළවූයේ අඛණ්ඩව දෙවන මාසයට ද ? ඔහුට ඇති පිළිගැනීම ඉහළට පැමිණ ඇති බවයි. අප්‍රිකානු සංගම් සමුළුව ඇමතූ පළමු අමෙරිකා ජනාධිපතිවරයා වන්නේද බැරක් ඔබාමාය. අ‍ප්‍රිකානු රටවල නායකයන් අමතමින්, ඇතැම් නායකයන් තුළ බලය පැවරීමට ඇති නොකැමැත්ත ගැන ද ඔහු අදහස් දක්වා තිබිණි. එය අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාදාමයට බාධාවක් බව ජනාධිපති ඔබාමාගේ අදහසයි. මෙය තේරුම් ගැනීම තමාට තරමක් අපහසු බව කියා සිටි ඔහු ජනාධිපති ධුර කාලය සම්පූර්ණ කිරීමෙන් පසු එතැන් සිට ඉදිරියට ඇති කාලය ගෙවාදමන ආකාරය ගැන තමා කල්පනා කරමින් සිටින බව ද පවසා තිබේ.

ඇතැම් නායකයන් බලහත්කාරයෙන් බලයේ රැඳී සිටීමට පෙළඹෙන්නේ ඇයි දැයි තමාට නොවැටහෙන බව ඔහු ප්‍රකාශ කළ විට සභාවෙන් වේගවත් අත්පොළසන් නාදයක් නැඟිණි.

ඉතියෝපියාවේ මෙන්ම සෙසු අප්‍රිකානු රටවල ද ප්‍රශ්නයක්ව ඇති දූෂණය ගැන කතාකළ ඇමෙරිකා ජනාධිපතිවරයා කියා තිබුණේ එය එම කලාපයට පමණක් ආවේණික ගැටලුවක් නොවන බවයි. අප්‍රිකාවේ ආර්ථික විභවයට දූෂණය නම් පිළිකාව බාධාවක් බවද කියා සිටියේය. කිසිවකුට හෝ ව්‍යාපාරයක් ඇරැඹීමට, නැත්නම් පාසලට, දරුවකු ඇතුළත් කිරීමට හෝ රැකියාවක් ලබාගැනීමට නිලධාරියකුට අල්ලසක් දීමට සිදුවන්නේ නම් එතැන ඇත්තේ අප්‍රිකානු ක්‍රමය නොවන බව ජනාධිපති ඔබාමා සඳහන් කර තිබුණේ එය ඔබ නියෝජනය කරන මිනිසුන්ගේ ගරුත්වයට හානියක් සිදු කරන බව අමතක නොකරන්නැයි ඉල්ලා සිටිමිනි.

කාන්තාවන්ට හා මාධ්‍යවේදීන්ට සලකන ආකාරය වැනි තවත් ආන්දෝලනාත්මක කාරණා දෙසට ද ජනාධිපති ඔබාමාගේ දේශයෙන් අවධානය යොමුකර තිබිණි. ඔහු කාන්තා අයිතීන් පිළිබඳ කතා කළේ තාත්තා කෙනෙකු ලෙස සිය භූමිකාව ඉදිරිපත් කරමිනි. “පියෙක් වශයෙන්, මම විශ්වාස කරන්නේ මගේ දියණියන් දෙදෙනාට ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීම සඳහා ඇති අවස්ථාවම අන් ඕනෑම අයකුගේ පුතකුට ද ඇති බවයි. එම අවස්ථාවට මෙහි, අප්‍රිකාවේ ගැහැනු ළමුන්ට ද එලෙසම තිබිය යුතුයි.”

ජනාධිපති ඔබාමා තුන්වන වතාවටත් ජනාධිපතිවරණයට තරග කළේ නම් ඔහුට ජයග්‍රහණය කළ හැකි ද යන්න අමෙරිකා දේශපාලන ක්ෂේත්‍රයේ සංවාදයට තුඩුදුන් මාතෘකාවක් විය. මෑත භාගයේදී ඔහු යම් සාර්ථකත්වයක් ලැබූ බව ඇතැම් විචාරකයන් පෙන්වා දෙන්නේ; ඔහු ඉදිරිපත් කළ සෞඛ්‍ය රැකවරණ සැලැස්මට ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය ලැබීම, ඉරාන න්‍යෂ්ටික අර්බුදය ගැන සම්මුතියකට එළැඹීමට හැකිවීම, කියුබාවත් සමඟ දිගු කලකට පසු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇතිකරගැනීමට සමත්වීම වැනි කාරණා දක්වමිනි. කෙසේ වෙතත්; ජනාධිපති ඔබාමාගේ ආර්ථික පිළිවෙත හා විදෙස් ප්‍රතිපත්තිය බොහෝ අමෙරිකානුවන්ගේ විවේචනයට තුඩුදී තිබේ.

සිය ධුර කාලය තුළ ජනාධිපති ඔබාමා අප්‍රිකාවේ සංචාරය කරන අවසාන අවස්ථාව වන්නේ ද මෙයයි. ඔහුගේ අප්‍රිකානු සම්භවය කළු ජාතිකයන් තුළ ඔහු කෙරෙහි පිළිගැනීමක් මෙන්ම ආකර්ෂණයක් ඇතිවීමට ද බලපෑ බව නොරහසකි. අප්‍රිකානු සංගමය අමතා දේශනය පැවැත්වීමට පෙර ඔහු හඳුන්වා දෙමින් අප්‍රිකානු සංගමයේ සභාපති කොසෂානා ඩ්ලාවිහී ෂුමා කියා සිටියේ, ඔහු අමෙරිකා දේශපාලනයේ එවරස්ට් කන්ද තරණය කළ බවයි. ඒ; එරට බලයට පත් පළමු කළු ජාතික ජනාධිපතිවරයා ලෙස ඉතිහාසයට එක්වෙමිනි. ෂුමා වැඩිදුරටත් කියා සිටියේ අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස ඔහු පිළිගන්නා අතරම ඔවුන්ට අයත් කෙනෙකු වශයෙන් ද ඔහු පිළිගන්නා බවයි.

දීර්ඝකාලයක් තිස්සේ බලයේ සිටින රාජ්‍ය නායකයන් අප්‍රිකානු කලාපයට අමුත්තක් නොවේ. ජනාධිපති ඔබාමා ඒ දෙසට සිය අවධානය යොමු කළේ කිසිවකුත් ජීවිත කාලය පුරාවටම ජනාධිපති ධුරයේ සිටියයුතු නැතැයි කියමිනි. “ඔබ සතුව අලුත් රුධිරය සහ අලුත් අදහස් ඇත්නම් ඔබේ රට මීට වඩා හොඳ තැනක තියේවි.” යනුවෙන් ඔහු පවසා තිබුණේ තමා තවමත් ලස්සන තරුණයකු වුවද නව ශක්තියක්, නව දැක්මක් ඇති කිසිවකු තම රටට සුදුසුයැයි පෙන්වා දෙමිනි.

ඇතැම් අවස්ථාවල එය අප්‍රිකානු රටවලට ද එලෙසින්ම සුදුසු බව ඔබාමාගේ අදහස විය. මින් පෙර 2009 වසරේදී ඝානාවේ සිදුකළ සංචාරයකදී අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ අප්‍රිකා‍වට අවශ්‍ය ශක්තිමත් පාලනයක් නොව ශක්තිමත් ආයතන ව්‍යූහයක් බවයි.

බුරුන්ඩි ජනාධිපතිවරයා තුන්වැනි වතාවටත් බලයට පත්වීම සඳහා මැතිවරණයකට ගියේ මේ මාසයේදීය. රුවන්ඩා ජනතාව වත්මන් ජනාධිපති පෝල් තගමේට තුන්වැනි වරටත් ධුරයේ රැඳී සිටීමට හැකිවන පරිදි ව්‍යවස්ථාමය වෙනස්කම් සිදු කිරීමට අනුමැතිය පළ කළේ ද මේ මාසයේ දී මය. බ’කීනා ෆාසෝ’ ජනාධිපතිවරයා සිය 27 අවුරුදු පාලන කාලය තවදුරටත් දීර්ඝ කරගැනීමට දරන ලද ප්‍රයත්නය ජනතා විරෝධය මැද බිඳ වැටිණි. කොංගෝ ජනර‍ජයේ ජනාධිපති ජෝෂප් කබීලා ජනාධිපති ධුරය දැරීමට දෙවරක් දක්වා ඇති සීමාව, 2016 වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල්දැමීමට වෑයම් කරමින් ඉවත් කිරීමට සැරසෙන බවට විවේචන එල්ල වෙමින් තිබේ.

අප්‍රිකානු සංගමයට අයත් රටවල් 50කට වැඩි ප්‍රමාණයක් අතරින් අඩකගේ පමණ බලයේ සිටින ජනාධිපතිවරු හා අගමැතිවරු අමෙරිකානු ජනාධිපති ඔබාමාට වඩා වැඩි කාලයක් බලයේ සිටින්නෝ වෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් දශක ගණනාවක් තිස්සේ එම ධුර දරමින් සිටිති. තියඩෝරෝ විබැසගෝ ගිනියාව පාලනය කරන්නේ 1979 පටන්ය. 1980 සිට සිම්බාබ්වේ රාජ්‍ය පාලනය කරන්නේ ජනාධිපති රොබට් මුගාබේය. පෝල්බියා 1982 සිට කැමරුන් රාජ්‍ය පාලනය කරමින් සිටී. උගන්ඩාව 1986 පටන් පාලනය කරන්නේ යොවෙරි මුසවේනිය. ඔමාර් හසන් අල් බෂීර් 1989 සිට සුඩානය පාලනය කරමින් සිටී.

ඇතැම් අප්‍රිකානු රටවල පරිවර්තනයක් ද සිදුවිය. අප්‍රිකානු කලාපයේ වැඩිම ජනගහනයක් සහිත රට වන නයිජීරියාවේ හමුදා පාලනය නිමාවීමෙන් පසු බලයේ සිටි රජය වෙනස් විය, ආරක්ෂක තත්ත්වය මත නයිජීරියාවට යාම අපහසුවී තිබූ අතර ජනාධිපති ඔබාමා මේ පරිවර්තනය අගය කළේ නයිජීරියා ජනාධිපති මුහම්මදු බුහාරිට ධවල මන්දිරයට ඇරියුම් කරමිනි. එම හමුව මීට දින කිහිපයකට පෙර සිදුවිය.

අමෙරිකානු ජනාධිපති ඔබාමාගේ දේශනයට අප්‍රිකානු රටවල නියෝජිතයන්ගෙන් උණුසුම් ප්‍රතිචාර පළවූ බව වාර්තා විය. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, එම දේශනය අතරතුර සභාවෙන් 75 වතාවකදී අත්පොළසන් හඬ ඇසුණු බවයි. ඇතැම් විචාරකයන් මේ දේශනය ඇගැයීමට ලක් කළ ද තවත් විචාරකයන්ගේ අදහස වූයේ එය ස්වෛරී රටවල රාජ්‍ය නායකයන්ට කරන ඍජු බලපෑම සුළු එකක් බවයි. කෙසේවෙතත් මීට පෙර ඔහු කෙන්යාවට සහ ඉතියෝපියාවට පැමිණි අවස්ථාවලට වඩා දැඩි ස්වරයකින් මේ වතාවේ සිය දේශනය කළ බව ඔවුන්ගේ අදහසයි. ඉතියෝපියාවේ පාලක පක්ෂය සහ ඔවුන්ට සහාය දක්වන පක්ෂ එරට පාර්ලිමේන්තුවේ ආසන සියල්ලේම බලය සවිකර ගෙන සිටී.

කුමන්ත්‍රණ මඟින් හෝ නීතිවිරෝධී අයුරින් බලය හුවමාරු කිරීම ද ජනාධිපති ඔබාමා අනුමත කර නැත. අප්‍රිකානු සංගමය එවැනි ප්‍රයත්නයක් හෙළාදැක ඇති බව ඔහු සඳහන් කර තිබේ. මේ දේශනය මඟින් අරාබි වසන්තය මෙන් අප්‍රිකානු වසන්තයක් ගැන ද අමෙරිකානු ජනාධිපතිවරයා ඉඟි කළේ දැයි පැහැදිළි නැත. අ‍රාබිකරයේ ද මෙලෙසින්ම දීර්ඝ කාලයක් බලයේ සිටි දැඩි අධිකාරීවාදී පාලකයන් නෙරපීමට අමෙරිකාව එම රටවල අභ්‍යන්තර කණ්ඩායම්වලට සහාය දැක්වීය. වසන්ත කැරැලි යනුවෙන් ජනප්‍රියවූ එම ක්‍රියාදාමයේදී එවැනි පාලකයන් නෙරපනු ලැබ ඇතත් එම රටවල උද්ගතව ඇත්තේ තිබුණාටත් වඩා අයහපත් හා අස්ථාවර වාතාවරණයකි.

අමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රශස්ත නොවන බව ද සිය දේශනයේදී ජනාධිපති ඔබාමා පිළිගෙන තිබිණි. එහෙත්, සිය ප්‍රජාතන්ත්‍රවාදය වඩා හොඳින් පවත්වා ගැනීමට වරින්වර එය පරීක්ෂාවට ලක් කරන බවද ඔහු පැවසීය. මෙය පැහැදිලි කරගත හැක්කේ අමෙරිකාව සිය ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රදර්ශනය කර ඇති ආකාරය විමසා බැලීමෙනි.

ජනාධිපති ඔබාමා තුන්වන වතාවටත් බලයට පත්වීම සඳහා රහසිගත සැලැස්මක් මත පිහිටා ක්‍රියාකරන බව වාර්තාවූයේ මීට දෙවසරකටත් එපිටදීය. ඔහු තියඩෝර් රූස්වෙල්ට් හා ෆ්‍රෑන්ක්ලින් ඩෙලනෝ රූස්වෙල්ට් අනුව යන බව පෙනෙන්නට ඇතැයි ඇතැම් විචාරකයේ පැවසූහ. ෆ්‍රෑන්ක්ලින් ඩෙලනෝ රූස්වෙල්ට් ජනාධිපතිවරයාගේ තුන්වැනි ධුර කාලය නිමාවූ පසු 1951දී අමෙරිකානු ව්‍යවස්ථාවට 22 වැනි සංශෝධනය එක්කෙරුණු අතර ඉන් කියවුණේ “කිසිදු අයකුට දෙවරකට වැඩියෙන් ධුරය සඳහා පත්විය නොහැකි බවයි.” එම සංශෝධනය වෙනස් කිරීමට හැකි වන්නේ ප්‍රාන්ත ¾ ක කැමැත්තෙනි.

ධම්මික සෙනෙවිරත්න

dinamina

 

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us