Pray For Maithree සහ මිස්ටර් සෝභිත Featured

Thursday, 08 November 2018 14:14

අද සෝභිත හිමිගේ ගුණ සමරුව. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කොහේදැයි නොදනිමු. මේ කියන්නෙ ඒ කතාව නොවේ.

අපි හරිම කැමතියිනේ අපි ගැන පම්පෝරි කතා කියන්න. ඒ ව‍ගේම අපි හරි කැමතියි දේශපාලඥයෝ අපිට ලියලා ගුලි කරලා කුඩු කරලා .... තව ඉතින් කලවම් කරලා උගුරටම පොවපු ජාත්‍යාලය,දේශමාමකත්වය, භෞමික අඛණ්ඩතාවය,මාතෘ භූමිය හා බෞද්ධකම ගැන මහ ලොකුවට කියන්න.හැබැයි එහෙම රටක බෞද්ධයෝ වුණ අපිට කහ සිවුරට දෙන්න පුළුවන් ගරුත්වයත් දේශපාලනීකරණය වුණ හැටි පහුගිය කාලේ සෝභිත හාමුදුරුවන්‍ගේ අපවත් වීමෙන්ම තේරුම් ගත්තා. (කතාවට එමු)....

අපේ රටේ රජ පුටුවේ ඉදලා පහළම තැන දක්වා සිද්ධ වෙන සියලුම අසාධාරණකම් හමුවේ කහ සිවුර දරාගෙන රට වෙනුවෙන් හඩ නැගූ හිමිනමක් විදියට මාදුළුවාවේ සෝභිත හිමියන්ව හදුන්වා දිය හැකියි. උන්නාන්සේ දෙස දේශපාලන ඇසින් බැලුවොත් රැඩිකල් චරිතයක් විදියට දකින්න පුළුවන් . ඒ ව‍ගේම ධර්ම දේශකයාණන් වහන්සේ නමක් විදියට සුමධුර වාග් මාලාවක් භාවිත කළ බුදු බණම පමණක් දේශනා කළ හිමි නමක් දකින්න පුළුවන්.
(ඒ නිසා දේශපාලන කක්කුස්සි වළේ රතු කොළ නිල් පාටින් එහා ගිය විචාරශීලීත්වයකින් සියලුම උපාසක උපාසිකාවෝ ප්‍රකෝප නොවී මෙය කියවත්වා!!!!!!!!!!!!!!!)

1942 මැයි 29 වෙනිදා පතිර‍ගේ දොන් පීරිස් අප්පුහාමි හා කුරුවිට ආරච්චි‍ගේ කරලිනා හාමි මව්පියන්ට දාව පතිර‍ගේ දොන් රත්නසේකර නමින් පාදුක්ක මාදුළුවා‍වේ උපත ලැබුවේ පවුලේ දෙවැනි දරුවා ලෙසින්. මාදුළුවාවේ රජයේ පාසලෙන් අධ්‍යාපනය ලබපු රත්නසේකර තරුණයා 1955 මැයි මාසේ 09 වැනිදා මාදුළුවාවේ සෝභිත නමින් පැවිදි දිවියට ඇතුළත් වෙනවා. ඒ වයස අවුරුදු 13 දී.
එතැන් සිට පෑලිය‍ගොඩ විද්‍යාලංකාර පිරිවෙනින් අධ්‍යාපනය ලබන සෝභිත හිමියෝ විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් පිට වන්නේ ඉතිහාසය පිළිබඳව ගෞරව උපාධිය ද ලබමින්. ශිෂ්‍ය සංගම් නායකත්වය දරමින් තරුණ වියේ පටන්ම සිය මතවාදය ජනගත කිරීමට උත්සාහ ගත් සෝභිත හාමුදුරුවෝ 1967 දී නාග විහාරාධිපති තනතුරට පත් වෙනවා.

මේ අපි හැමෝම දන්න කරුණු. අවැසි වෙන්නේ හැම දෙනාම දන්න කරුණු ඉදිරිපත් කිරීමට වඩා සෝභිත නම් සඝ චරිතය අපිට වැදත් වන්නේ කොහොමද යන්න පිළිබඳව විමසා බැලීමටයි . ඇයි කහ සිවුරට එහා ගිය වටිනාකමක් සෝභිත හිමියන් ට හිමි විය යුත්තේ්?? ( අපි කතා කරමු ).

2

1972න් පටන් ගත්ත සුද්දො නැති “ලංකාව“ සිරිමා බණ්ඩාරනායක නම් වීර කාන්තාව පැවති ආණ්ඩු ක්‍රමය උඩු යටිකුරු කරමින් ස්වස්ථානික ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය කරන්න තියපු පියවර 1978 ජේ.ආර්.ජයවර්ධන නම් වූ මහා මොළකාරයා විවෘත ආර්ථිකය ලංකාවට හඳුන්වා දී ලංකාව ශ්‍රී ලංකාව කළ ‍‍ඓතිහාසික මොහොත අපේ රටේ වැදගත් සන්ධිස්ථාන දෙකක්.

එදා මෙදා තුර රජුන් තනන්නත් රජ පුටුවෙන් බස්වන්නත් 1972 සිට 2015 ජනවාරි 08 වෙනිදා වෙනතුරු සෝභිත හාමුදුරුවෝ අභීත සටනක දිවා රෑ නොබලා වෙහෙසුණා. ඒ මහන්සිය වෙනුවෙන් නාග විහාරය ලොකු කරන්නවත්, ප්‍රාඩෝ බෙන්ස් අරගෙන සැප විඳින්නවත් උන්වහන්සේ අපේක්ෂා කළේ නැහැ. උන්නාන්සේගේ ලොකුම අවශ්‍යතාවය වුණේ එදා වේල කන්න නැතිව වැඩ කරන මිනිස්සුන් ව දේශපාලන මුසාවාදයන්ගෙන් බේරා ගැනීම. 1948 නිදහස ලබා ගත් දිනයේ ඉඳලා මේ වෙනකම් මේ ර‍ටේ විවිධ දේශපාලනඥයෝ අපිට එක එක දේවල් කියලා අපේ ඡන්දෙ හොරා කාලා තියෙනවා. ඒක UNP ද, ශ්‍රී ලංකා ද, JVP ද කියලා වෙනසක් නැහැ. මේ අතරින් මුල් දෙ‍ගොල්ලොම හිතුණ හිතුණ විදියට අපිව නැටෙව්වේ බලය රැක ගන්න. අපිත් ඊට අනුව නටද්දි අපි මේ නටන්නේ උණු වතුර හැලියක නේද කියලා අපිට පෙන්නලා දෙන්න මේ රටේ අපි ගැන කැක්කුමක් තිබුණ මිනිස්සු 48න් පස්සෙත් 48ට කළිනුත් උගුර ලේ රහ වෙනකම් කෑ ගැහුවා.

ඒ අතර අපේ කුඩාපොළ හාමුදුරුවෝ, මිගෙට්ටුවත්තේ හාමුදුරුවෝ, සුමංගල හාමුදුරුවෝ ව‍ගේ සංඝයා වහන්සේලා ඉතිහාසයේ නොමැකෙන සටහන් තබනවා.

මුලින් කී පරිදි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය‍ගේ සිට වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දක්වාම රාජ රාජ මහාමාත්‍යාදීන් ළඟින් ඇසුරු කරමින් කොන්දේසි විරහිත දේශපාලන ප්‍රවාහයක් සමඟ සෝභිත හාමුදුරුවෝ උඩු ගං බලා යන ගමනක් අරඹනවා.

එතැනදි තරුණ සෝභීත හිමියෝ තමන් වහන්සේ තුළ විශ්ව විද්‍යාල සමයේ සිට ප්‍රකට කළ නායකත්ව ලක්ෂණත්, ශාස්ත්‍රීය වශයෙන් ලබා ගත් අභීත ඉතිහාස දැනුමත් ඉන් ලැබූ පන්නරය තුළ ගමන් ගත් වීර චාරිකාවේ මුහුණ දුන් කඨෝර අත්දැකීම් උපයෝගී කර ගත්තා. ඒ අත්දැකීම් ඔස්සේ අගාධයට යන රට හරි පාරට ගනිද්දී රජුන්ටත් වරදී යන පාඨය සනාථ කරමින් රජුන් රැජිණියන් වරද්දන වෙලාවලදී “ඕක නෙවෙයි මේකයි හරි පාර“ යනුවෙන් මඟ පෙන්වමින් සෝභිත හාමුදුරුවෝ අපේ රටේ විප්ලවීය චරිතයක් වුණා.

දිනෙන් දින ඔද වැඩුණු පක්ෂ දේශපාලනයේ අසීමිත බල තෘෂ්ණාවට එරෙහිව ඊට සමගාමීව ‍ගොඩ නැඟුණු මේ අභීත චරිතාපදානය තුළ නිදන්ගතව පැවතුණ ස්වාර්ථය එනම් මමත්වය ආත්මාර්ථකාමීත්වය ශේෂ මාත්‍රයකුදු නොපැවතීම විශේෂත්වයක්. (දැන් ඉතින් උපාසක උපාසිකාවෝ මට බනියි)

සෝභිත හාමුදුරුවන්ව අපිට විවිධ කෝණවලින් දකින්න පුළුවන්. (ඒ කාරණා කිහිපයක් ඔස්සේ. )ධර්ම දේශකයාණන් වහන්සේ නමක් විදියට උන්වහන්සේ අග්‍රගන්‍ය හිමි නමක් ලෙස අපි උන්නාන්සේව දකිනවා. හේතුව කිසිම මොහොතක ධර්ම දේශනාවකදී තමන් වහන්සේ පිළිබිඹු කරන,පෙනී සිටින දේශපාලන මතවාදය වෙනුවෙන් උන්නාන්සේ ධර්ම දේශනා යොදා නොගැනීම. බණ කියන වෙලාවට බණ දේශනා කළා. ඒ ව‍ගේම බණට අනුව කටයුතු කළා.

තවත් පැත්තකින් දේශපාලන කක්කුස්සි වළේ පීනන පණුවන්ගෙන් රටේ මිනිස්සු බේර ගන්න සමාජ ශෝධකයෙක් වුණා. එතනදී මිනිස්සුන්ට බුදු බණ කියන්නත්, ධර්මානුශාසනා කරන්නවත් උන්නාන්සේ කටයුතු කළේ නැහැ. රට හදන්න කහ සිවුරට තියෙන ඓතිහාසික අයිතිය යොදා ගනිමින් ආවේගශීලී වාග් මාලාවක් යොදාගෙන තමන්වහන්සේ ‍විශ්වාස කළ දර්ශනය ඉදිරියට ගෙන ගියා. එක් පසෙකින් රට යහමඟට හරවන තමන් වහන්සේ ‍ගේ ගමනට අන්‍යාගමිකයන් ද එක් කර ගැනීම වැදගත් බව උන්වහන්සේ නිතරම විශ්වාස කළා. ඇතැම් අවස්ථාවලදී ඉතාම සංවේදී වූ සෝභිත හාමුදුරුවෝ රට ඉදිරියට ගෙන යාමට නම් මේ රටේ හැම ආගමිකයෙක්ම එකට එක් විය යුතු බවට වූ සිය මතයේ තරයේම එල්බගෙන සිටියා.

තමන්ගේ කාර්යයන්ට වඩා පොදු කටයුතු බහුල වීම නිසා වරින්වර රෝගාතුර වුණත් සියල්ල අත හැරිය යුතුය යන සනාථන දහම ගුරු කොට ගනිමින් කටයුතු කළ උන්වහන්සේ ලාභ ප්‍රයෝජන තකා පන්සලේ බණ මඩුවේ ඡන්ද පත්‍රිකා ගබඩාවක් පවත්වාගෙන යාමටවත්,දේශපාලන මඩ ‍ගොහොරුවේ සිටින විවිධ වර්ණයේ කොකු පණුවන් පන්සලට කැඳවා මාධ්‍ය සාකච්ඡා පවත්වන්නටවත්, පන්සලේ බෝ සෙවණේ සිසිලස ලබමින් ගල් පැළෙන මුසාවාද අත හැරීමට දේශපාලුවන්ට ඉඩ දීම සඳහාවත් තමන්ගේ භික්ෂුත්වය උකසට නොතැබීම කැපී පෙනුණා. මේ නිසා පීඩිත ජනතාවගේ සහාය සෑම විටම සෝභිත හාමුදුරුවන් වටා පෙල ගැසී තිබුණා.imagesf

සිය ධර්ම කථිකත්වයට යෙදූ තමන්ගේ සන්සුන් රිද්මයට සටන්කාමීත්වය මුසු කළ උන්නාන්සේ කිසිදු අවස්ථාවක ජනප්‍රිය,වෛරී දේශපාලනය ඉදිරියේ හිස නැමුවේ නැහැ. “නැහැ” “බැහැ” යන වචන ප්‍රතික්ෂේප කළ සෝභිත හාමුදුරුවෝ සෑම දෙනාටම ප්‍රිය මනාප වන ආකාරයට උදව් කළා ව‍ගේම ජීවිතේ අනන්ත දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන්නත් උන්නාන්සේට සිදු වුණා.
එක් වරක් සෝභිත හාමුදුරුවන් දරුණු ලෙස ගිලන් වූ අවස්ථාවක නාග විහාරයේ ඒ මොහොත වන විට වාහනයක් තිබී නැහැ. කෙසේ හෝ උන්නාන්සේ රෝහල වෙත රැගෙන යාම සඳහා හිතවත් දායකයෙකු නාග විහාරයට කැඳවාගෙන තිබෙනවා. වාහනයට ගොඩ වීමට සෝභිත හිමියන් වඩින අතරම තවත් මෝටර් රථයක් විහාරයට පැමිණ තිබෙනවා. ඒ මොහොතේ පැමිණි පුද්ගලයා පැමිණි කාරණය ගැන විමසන විට ඔහු කියා සිටියේ “අද රෑ අපේ ගෙදර බණ හාමුදුරුවන් භාර ගත් බවත් බණට වැඩමවාගෙන යාමට පැමිණි බවත්”ය. ඒ මොහොතේම තම ගිලන්බව අමතක කළ සෝභිත හාමුදුරුවෝ ඒ පැමිණි වාහනයේ නැගී බණට වැඩම කළ බව සඳහන්.

මේ මානව හිතවාදී ගුණය සෑම විටම ජීවිත අත්දැකීම් සමඟ වැඩිදියුණු කරමින් සෝභිත හිමියෝ සෑම විටම මිනිසුන් වෙනුවෙන් මිනිසා උදෙසාම සේවය කළා.
විටෙක “මේ රටට ආණ්ඩුවක් හදන්න සුදුසුම පක්ෂය මෙයයි” වදාරන උන්නාන්සේම එකී පක්ෂයේ අඩුපාඩු ජනතාවට පෙන්වා දුන්නා.

වර්ගයකට,කුලයකට පක්ෂගත නොවුණු සෝභිත හිමියෝ මනුෂ්‍යත්වයේ නාමයෙන් සිය ගාම්භීර හඬ හැසිරවූ ශ්‍රේෂ්ට ලංකා පුත්‍රයෙක් වුණා.
අපේ තරුණ පරපුර මතින් තොර ජාතියක් කිරීමට මතින් තොර රටක් වෙනුවෙන් හඬ නැගූ උන්නාන්සේ සමස්ත ලංකා අමද්‍යප මහා සභාව මඟින් දැවැන්ත ක්‍රියාවලියක් ඇරඹුවා. “මව්බිම සුරැකීමේ සංවිධානය“,“ජාතික වීර පදනම“ හා “සිංහල බල මණ්ඩලය“ යන සංවිධානයන්හි සභාපති තනතුර ද “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු“ ලෙස ද නියැළෙමින් පන්සලේ බත කකා නොඉඳ මේ ලිපිය ලියන ම‍ගේත්, කියවන ඔබේත් පන්තිය වෙනුවෙන් පාරට බැස්සා.

ලංකා ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක් වූ 19 වන සංශෝධනය සම්මත කරන දිනයේ පැවති පා ගමනේදී පාර්ලිමේන්තු සංකීර්ණය අසළට පෙළපාලියකින් පැමිණි සෝභිත හාමුදුරුවෝ සිය පාද ඉදිමෙනතුරු පපුවේ හතිය වැඩිවන තුරු පා ගමනින්ම පාර්ලිමේන්තු සංකීර්ණය අසළට වැඩි ආකාරය වරක් දඹර අමිල හිමියෝ සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියා.

මාදුළුවාවේ සෝභිත හිමියන් ඉතාම උපායශීලී චරිතයක්. 78 සිටම තමන් විරුද්ධ වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට යෝජනා කළා. නමුත් රාජපක්ෂ ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කිරීමත් සමඟම උන්නාන්සේගේ මීළඟ උපක්‍රමය වුණේ පවතින පාලන බලය වෙනස් කර රටේ මුල් පුරවැසියා වෙනස් කළ යුතු බවට වූ පිරිසකගේ මතය හා එක් වීමයි.

ඉන් අනතුරුව ජනවාරි 8 වැනිදා පොදු අපේක්ෂකයා දිනවීමේ කාර්යයට උන්වහන්සේ සහාය දෙන්නේ තම පොදු ජන අභිලාශයන් ඉෂ්ඨ කර ගැනීමේ සිහිනය පෙරදැරි කර ගනිමින්. එහිදී එකී ගමන් මඟ තුළ තම ජීවිතය පවා අහිමි වීමට ඉඩ තිබුණත් ඒ සියල්ල පසෙකලා පෙර පිනෙන් තමන්ට ලැබුණු භික්ෂුත්වයේ ගරුත්වය රැක ගනිමින් සිය ජාතික මෙහෙවර තවදුරටත් ඉටු කිරීමට උත්සුක වුණා.

සියලු දෙයෙහි අනිත්‍ය බව පසක් කර ගත් හිමිනමක් සෝභිත හිමියෝ නාග විහාරයට ලැබෙන ත්‍යාග,පිරිකර ආදී සියල්ල අන්‍යයන්ට බෙදා දුන්නා.(හැබැයි උන්නාන්සේට තිබුණා ඒ සැප සම්පත් තියාගෙන පන්සල ඇතුළේ party දාලා කාන්තාවෝ ලවා Birth Day Cake කපන්නත්)
නාග විහාරයේ දොරටුව සෑම විටම උස් පහත් බේදයකින් තොරව සියල්ලන්ටම විවෘතව තිබුණා. එතනදී සිය අයිතීන් දිනා ගැනීමට හෝ දිනවීමට කාන්තාවන්ට,අන්‍යාගමිකයන්ට අපහාස නොකළ භික්ෂුවක් විදියට සෝභිත හිමියෝ දකින්න පුළුවන්.

සෝභිත හිමි චරිතාපදානයේ මා හැඟි අවස්ථාවක් විදියට උන්වහන්සේ වැවයි දාගැබයි ගමයි පන්සලයි සංකල්පය අනුව යමින් මහවිලච්චියේ තැනවූ නිවාස100 සහ පන්සල ද වැව ද තැනවීම පෙන්වා දිය හැකියි.(මේවා තවමත් නිහඬ කරුණු)
මේ සියල්ල අවසානයේ දශක ගණනාවක ආගමික,සමාජයීය,සංස්කෘතික මෙහෙවර තුළ තමන් ගෙන ගිය ඒක පුද්ගල වීර චාරිකාව අවසන් කරමින් උන්නාන්සේ සදහටම දෙනෙත් පියා ගත්තේ තවත් කරන්නට ඉතිරිව තිබූ දහසකුත් එකක් කටයුතු පසෙක තිබියදී.

මාදුළුවාවේ සෝභිත චරිතය අලුත් පරපුරට වැදගත් වන්නේ පක්ෂයකට, පාටකට, ජාතියකට , කුලයකට, ගැති නොවී කටයුතු කිරීමේ මා හැඟි ගුණාංගයයි. ධර්ම ප්‍රචාරයට එහා ගිය සර්‍වාගමික දේශපාලනයක නියැළිම නිසාදෝ උන්නාන්සේගේ අපවත් වීම අපේ රටේ ඇතැමුන්ට කිරිබත් කන්න, බඩ පිනුම් ගහන්න තරම් සිදුවීමක් වුණා.

unnamed

දේශපාලන පොරපිටියේ පිල් බෙදාගෙන ගිරිය කඩාගෙන කෑ ගහන සම - හරක් මගෝඩිස්ලා ට උන්වහන්සේ ව අමතක වුණා. ඒ කළ සේවය අමතක වුණා.
මලබද්ධ.......... නෑ නෑ වැරදුණා ... ඒකාබද්ධ විපක්ෂයේ (A/L ලියන්නත් කළින්) ජාතියේ වීරවංශය ලියන්න අත්තෙන් අත්තට පැනපු වීරවංශලාගේ,මහා සිංහල බෞද්ධ පිවිතුරු ගම්මන්පිලලාගේ කටවල් ඉබ්බො දාලා වහලා තිබුණා.
(මං හිතන්නේ ඒකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්).

සෝභිත හිමියන්ගේ අපවත් වීම මේ රටේ පීඩිත පන්තියේ නිහඬ වීම නෙවෙයි.රටේ පාලකයා කුමන පක්ෂයක් දැරුවත් ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට පත් වන වෙලාවේ පාලක පක්ෂයට නොව ජනතා පක්ෂයට වැඩ කරමින් සෝභිත හිමියෝ විනයානුකූල දේශපාලනයක් ගෙන ගියා. (සිවුරට ගරුත්වයක් වගේම සිවුරේ ගරුත්වයත් රැකලා දුන්නා)

එතනදී උන්වහන්සේ භික්ෂුව දේශපාලනයේ නියැළීම පිළිකෙව් කළා. හෙළා දැක්කා. එසේ පිළිකෙව් කරමින් රටේ ප්‍රබල දේශපාලන බලකණු සමඟ කරට කර සටන් කළා. ඒ සටනේදී ගෙන ගිය අරගලය අවසානයේ උන්නාන්සේ අපිට එක දෙයක් මතක් කරලා දුන්නා.
ඒ තමයි “ අපි....... (ලංකාවේ සිංහල බෞද්ධ මිනිස්සු) කොතනද ඉන්නෙ ” කියන කාරණය..............

නිල්වාදී, කොළවාදී වීම මත බයි ටොයි ජනතාව “මාදුළුවාවේ සෝභිත” නාමය “Mr.Sobhitha” බවට පත් කළ අමනයන් සිටින මහා ලොකු බෞද්ධයන්ගේ රාජ්‍යය කියලා අපි මුළු ලෝකෙටම පෙන්නුවා.

මාලිගාවත්තේ මුස්ලිම් සහෝදරයෝ ( අපිට අනුව හම්බයෝ ) සෝභිත කියලා බෞද්ධ ස්වාමින්වහන්සේ නමක් වෙනුවෙන් සිය ශෝකය පළ කරද්දී තඹුත්තේගම රජයේ රෝහලේ වෛද්‍යවරයෙක් විදියට වැඩ කරන යැයි පැවසෙන “යසනාත් ධම්මික බණ්ඩාර” #Yasanathdhammikabandara මහා සංඝ රත්නය නියෝජනය කරන ස්වාමින් වහන්සේ නමකට මිස්ටර් සෝභිත යැයි පවසමින් අපහාස කළා. (ඒකට මොකද අපි මහ ජාතියනේ)
මේ දේවල්වලින් දේශප්‍රේමය, ජාත්‍යාලය, බෞද්ධකම, සිංහලේ කැක්කුම හද පතුලෙන් නැගෙන්නේ සෝභිත හිමි දැරූ දේශපාලන මතවාදය අනුව බව අපි පෙන්නුවා. බෞද්ධකම අස්සෙන් පෙනෙන සුදු රෙද්ද පල්ලෙන් පෙරෙන අපේ බොරු මුසාවාදී බොදු බැතිය නිසා “යහපාලනයට උදව් කළා,අපේ රජා එළෙව්වා,මුළු රටේම දරුවන්ගේ අප්පච්චි (මගේ හැර........ මොකද අම්මට ගරු කරන කෙනෙක් ඔහොම මෝඩ කතා කියන්නෙ නැහැ.මම අම්මට ආදරෙයි) පන්නලා දැම්මා ඒ නිසයි ඕකාට ඔහොම වුණේ” කියලා කියන්න තරම් අපි සත්තු වුණා.

ප්‍රංශෙට බෝම්බ ගහද්දි (Bokka Cool) වුණ අපේ සිංහ ලේ ඇත්තන්ට,පෝල් වෝකර් මැරෙද්දි RIP කියපු ඇත්තන්ට අපේ රටේ සෝභිත හාමුදුරුවෝ අපවත් වෙනකොට (Bokka Cool) නොවුණේ අපි තවමත් මිනිස්සුන්ව දකින්නේ රතු,නිල්,කොළ පාට කණ්නාඩිවලින් නිසා.

ඒකයි ශ්‍රී ලංකා ආණ්ඩු කාලෙට සිරිමාවෝ මැතිණිය,බණ්ඩාරනායක මැතිතුමා විතරක් සමරන්නෙත්, #UNP කාලෙට සේනානායක මැතිතුමා,ප්‍රේමදාස මැතිතුමා, විතරක් සමරන්නෙත්.

උඩරට අවසන් රජ්ජුරුවෝ අපේම මිනිස්සුන්ගේ පාවා දීම මැද ඉංග්‍රිසින් අල්ලාගෙන යද්දි තාන්න මාන්න බෙදා ගන්න අපි ගිවිසුම් ගහනකොට කාලයක් යද්දි අපේම මිනිස්සුන්ට ඇත්ත තේරෙනකොට,අපිට රජෙක් නැහැ කියලා ‍තේරුම් යනකොට අපිට තේරුණා ආපහු ගොඩ ඒමක් නැහැ කියලා.

තමන්ගේ නායක කුහුඹුවා පස්සේ යන කුහුඹු රැළක් දැකපු අපේ කුංකුණාවේ හාමුදුරුවෝ රජෙක් නැති සොවින් කවියක් කිව්වා.ඒ කවියේ අවසන් පද පේළි කිහිපය සෝභිත හාමුදුරුවන්ගෙත් අවසන් පැතුම වෙන්න ඇති.ඒ වගේම අලුත් ලොවක් වෙනුවෙන් ජනතා පක්ෂයට කඩේ යෑම උන්වහන්සේ මෙලෙසින් නින්දා අපහාස ලැබීමට හේතුවක් වෙන්නත් ඇති.

“රජෙක් ලැබුණෝතින්
කැවුම් කිරිබත් කන්නම්

පෙරහර පාන්නම්
සාදු නාදෙන් ගිගුම් දෙන්නම්”

 

- ප්‍රව්දා සිවකුමාර් -

134567

Last modified on Thursday, 08 November 2018 14:19

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us