දැන් හැමෝම කතා කරන්නේ, දේශපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය ගැන ය. දෙපැත්තේම පිරිස්, අගමැතිවරයා ඉවත් කිරීම සහ අලුත් අගමැතිවරයෙකු පත්කිරීම පිළිබඳව පක්ෂව හෝ විපක්ෂව කතා කරති. දේශපාලනික සහ නෛතික කාරණා අතර ඇති වෙනස හඳුනා ගැනීමට බැරි තවත් සමහරු, ආතක්පාතක් නැතිව සිටිති. ‘නීති විශාරදයන්’ යැයි කියා ගන්නා ඇතැම්හු ඊට පිදුරු දමති.
මගේ මේ කොලමේ අරමුණ පැහැදිළි කළ යුතුව තිබේ. මුලින්ම, නෛතික අගමැතිවරයාට (රනිල් වික්‍රමසිංහ) හෝ තත්වාකාර අගමැතිවරයාට (මහින්ද රාජපක්ෂට) හෝ ඔවුන්ගේ කිසි පක්ෂයකට හෝ මගේ දේශපාලනික ඇඟෑලුම්කමක් නැති බව කිව යුතුය. දෙවැනුව, මගේ පක්ෂපාතීත්වය පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදී ධර්මතාවන් කෙරෙහි බව කිව යුතුය. ඒවාට මරු පහරක් වැදී ඇති බව මම දනිමි. අප කළ යුත්තේ, කෙසේ හෝ ඒ ධර්මතා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඇපකැප වීමයි.
මේ කාරණය තුළ පවතින ව්‍යවස්ථාමය නෛතික තත්වය වටහා ගත නොහැකිව ලත වෙන බොහෝ දෙනා සිටිති. එය හිසේ දරාගෙන, සාමාන්‍ය පුද්ගලයන්ට වටහා ගත හැකි වන ආකාරයෙන්, අර්බුදයේ ස්වභාවය ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් ඉදිරිපත් කිරීමට මට සිතුණි. ඒ ඇතැම් තැන්වල මගේ අදහස් ද එකතු කොට ඇත.
ප්‍රශ්න අංක 1: ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පැවරෙන බලතල සහ වගකීම් කවරේ ද?
පිළිතුර: ව්‍යවස්ථාවේ 33 වැනි වගන්තිය අනුව ජනාධිපතිවරයාගේ කාර්යය විය යුත්තේ-
1. (අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට ද, ආරක්ෂා කරන බවට ද වගබලා ගැනීම,
ජනාධිපතිවරයාට බලය ඇත්තේ-
2. (ඌ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක හෝ විධිවිධානවලට පටහැනි නොවන්නා වූ ද, ජාත්‍යන්තර නීතිය, චාරිත්‍රවාරිත්‍ර හෝ භාවිතය අනුව ඉටු කිරීමට ජනාධිපතිවරයාට බලය ලැබී ඇත්තා වූ ද, නියමිතව ඇත්තා වූ ද, සියලු ක්‍රියා හා දේ කිරීමට ය.
ඉහත සඳහන් 33 (1) ඉතා සරළ ය. පැහැදිළි ය. 33 (2) සම්බන්ධයෙන් බැලුවොත්, ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැත්තේය. එවැනි ආකාරයකින් ඔහු කටයුතු කළොත් එය බලය අවභාවිතයක් වශයෙන් සැලකිය යුතු ද?
ප්‍රශ්න අංක 2: ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ වගකීමක් පුරවැසියන්ට තිබේ ද?
පිළිතුර: ඔව්. 28 (අ) වගන්තිය යටතේ- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය ආරක්ෂා කොට අනුගමනය කිරීම ශ්‍රී ලංකාවාසී සෑම තැනැත්තෙකුගේම යුතුකම වන්නේය.
ප්‍රශ්න අංක 3: ජාතික ආණ්ඩුවක් යනු කුමක් ද?
පිළිතුර: 46 (5) වගන්තිය යටතේ, ජාතික ආණ්ඩුවක් යනු, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවක් වන්නේය.
ප්‍රශ්න අංක 4: මේ කියන 46 වැනි වගන්තියේ සඳහන් ජාතික ආණ්ඩුවක් පිළිබඳ මුලික ලක්ෂණ කවරේ ද?
පිළිතුර: වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගත් පක්ෂය, වෙනත් පක්ෂ හෝ කණ්ඩායම් සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවීම.
ප්‍රශ්න අංක 5: ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සුදුසුකම් ලබන්නේ කවර පක්ෂය ද?
පිළිතුර: 46 (4) වැනි වගන්තියට අනුව, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගත්, පිළිගත් පක්ෂයයි.
ප්‍රශ්න අංක 6: ජාතික ආණ්ඩුවේ එක පක්ෂයක් ඉන් ඉවත් වුණොත් ජාතික ආණ්ඩුවට කුමක් සිදු වේ ද?
පිළිතුර: ව්‍යවස්ථාවේ ඒ ගැන සඳහනක් නැත. මන්ද යත්, කෙනෙකුගේ සාමාන්‍ය බුද්ධිය අනුව එය තීරණය කළ හැකි බැවිනි. ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගත් පක්ෂය විසිනි. ඕනෑම පාර්ශ්වකාර පක්ෂයක් ඒ ආණ්ඩුවෙන් ඉවත් වුණොත්, ඉන් පසුවත් අර කියන ප්‍රධාන පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති තාක් කල් ආණ්ඩුව දිගටම ගෙන යා හැකිය.
ප්‍රශ්න අංක 7: ‘ජාතික ආණ්ඩුවක්’ සහ ඇමති මණ්ඩලය අතර ඇති අදාළත්වය කුමක් ද? එවැනි අදාළත්වයක් තිබෙන්නේ ඇයි?
පිළිතුර: ‘ජාතික ආණ්ඩුවක්’ සහ ඇමති මණ්ඩලයක් අතර ඇති එකම අදාළත්වය වන්නේ, ‘ජාතික ආණ්ඩුවක්’ යටතේ ඇමති මණ්ඩලයේ සංඛ්‍යාව ඉහළ දමා ගැනීමට ඇති හැකියාව පමණි. වෙන කිසිවක් නොවේ. එය 46 (4) යටතේ මෙසේ දැක්වෙයි: “ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවෙදී අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන් සංඛ්‍යාව ද, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන් සංඛ්‍යාව ද, නියෝජ්‍ය අමාත්‍යවරයන් සංඛ්‍යාව ද, පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුත්තේය.”
‘ජාතික ආණ්ඩුවක්’ නොවන සාමාන්‍ය ආණ්ඩුවක් යටතේ පත්කර ගත හැකි අමාත්‍යවරුන් සංඛ්‍යාව ව්‍යවස්ථාවෙන්ම තීන්දු වී තිබේ. එය ව්‍යවස්ථාවේ 46 (අ) සහ (ආ) යටතේ මෙසේ දැක්වෙයි: “අමාත්‍ය මණ්ඩලයේ මුළු අමාත්‍යවරයන් සංඛ්‍යාව තිහ නොඉක්මවිය යුතුය. අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයන්ගේ සංඛ්‍යාවේ එකතුව හතළිහ නොඉක්මවිය යුතුය.
ප්‍රශ්න අංක 8: කැබිනට් ඇමතිවරුන්ගේ සංයුතිය ජනාධිපතිවරයාට වෙනස් කළ හැකි ද?
පිළිතුර: ඔව්, එසේ කළ හැකිය. 43 (3) වගන්තියට අනුව, ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවකදී වුව ද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්යය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම ද කරනු ලැබිය හැක්කේය.
ප්‍රශ්න අංක 9: ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කරනු ලැබීම නිසා, පවතින අමාත්‍ය මණ්ඩලය අහෝසි වෙයි ද?
පිළිතුර: නැත. ඉහත සඳහන් 43 (3) වගන්තියේම තවදුරටත් දැක්වෙන පරිදි, “ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම, අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරණ වගකීමේ අඛණ්ඩ පැවැත්මට බල නොපාන්නේය”.
ප්‍රශ්න අංක 10: ජාතික ආණ්ඩුවට සම්බන්ධ පක්ෂයක් හෝ කිහිපයක් ආණ්ඩුවෙන් ඉවත් වූ විට අමාත්‍ය මණ්ඩලයත් අහෝසි වන්නේය යන්න සැබෑවක් ද?
පිළිතුර: නැත. අමාත්‍ය මණ්ඩලය යනු ආණ්ඩුවේ අති වැදගත් අංශයකි. 47 (1) වගන්තියට අනුව, “පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ලබන තෙක් ක්‍රියා කළ අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ලැබුව ද, දිගටම ක්‍රියා කළ යුත්තේය.” එහි අදහස වන්නේ මුළු පාර්ලිමේන්තුවම විසුරුවා හැරිය අවස්ථාවකදී පවා අමාත්‍ය මණ්ඩලය විසිරවෙන්නේ නැති බව ය. එබැවින්, එක් පක්ෂයක් ඉවත් වූ පමණින් අමාත්‍ය මණ්ඩලයක් අහෝසි වන්නේය යන්න අතාර්කික කතාවකි.
ප්‍රශ්න අංක 11: අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව වෙනස් වීම, අගමැතිවරයාගේ තනතුරට බලපාන්නේ ද?
පිළිතුර: නැත. අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් වීමක් නිසා අමාත්‍ය මණ්ඩලය අහෝසි නොවන බැවින්, අගමැතිවරයාගේ තනතුරට එය බල නොපාන්නේය.
ප්‍රශ්න අංක 12: අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් වූ අවස්ථාවක පවා අමාත්‍ය මණ්ඩලය දිගටම කටයුතු කරන්නේ නම්, අගමැතිවරයාත් දිගටම කටයුතු කරති යි කීම හරි ද?
පිළිතුර: හරියටම හරි.
ප්‍රශ්න අංක 13: අමාත්‍ය මණ්ඩලය අහෝසි වුණොත්, අග්‍රාමාත්‍යවරයාගේ ධුරයත් ඒ සමගම අහෝසි වන බව කීම සත්‍යයක් ද?
පිළිතුර: ඔව්. එය සත්‍යයකි. 46 (2) වගන්තියේ එය මෙසේ දැක්වෙයි: “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද, ඒ තාක් කල් අගමැතිවරයා ස්වකීය ධුරය දරන්නේය.”
ප්‍රශ්න අංක 14: අමාත්‍ය මණ්ඩලයක් විසිරී ගියේ යැයි සලකන්නේ කුමන අවස්ථාවකදී ද?
පිළිතුර: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (1) වගන්තියේ එය මෙසේ දැක්වෙයි: “මරණයට පත්වීම නිසා හෝ ඉල්ලා අස්වීම නිසා හෝ අන්‍යාකාරයකින් හෝ අග්‍රාමාත්‍ය ධුරය දැරීම නතර වූ විට, අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය.”
(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල පරිවර්තනය තුළ, ඉහත කී ‘මරණයට පත්වීම නිසා’ යන්න වෙනුවට, ‘ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන්’ යනුවෙන් වැරදියට පරිවර්තනය වී තිබේ. කෙසේ වෙතත්, අගමැතිවරයාව ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට ඇති බලයක් ගැන වර්තමාන ව්‍යවස්ථාවේ කිසි තැනක සඳහන් නොවන නිසාත්, 18 වැනි ව්‍යවස්ථාවේ 47 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයාට තිබූ එම බලය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ප්‍රකාශිතවම ඉවත් කොට ඇති නිසාත්, ඉහත කී ඉංග්‍රීසි මුල් පිටපතේ සිංහල පරිවර්තනය හුදු දෝෂ සහගත එකක් බව වටහා ගැනීම අපහසු නැත- පරිවර්තක).
48 (2) වගන්තියේ මෙසේ ද දැක්වෙයි: “පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත හෝ ප්‍රතික්ෂේප කළොත් එවිට ද, ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත කළොත් එවිට ද, අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය.”
ඉහත කී අවස්ථා දෙකෙන් එකක්වත් මේ දක්වා සිදු වී නැත. එබැවින්, අග්‍රාමාත්‍යවරයාගේ ධුරය අහෝසි වී නැත. එහි තාර්කික දිගුව වන්නේ, අමාත්‍ය මණ්ඩලය ද විසිරී ගොස් නැති බවයි.
ප්‍රශ්න අංක 15: පාර්ලිමේන්තුව විසුරුවා හැරිය අවස්ථාවක අමාත්‍ය මණ්ඩලය විසිරී යන්නේ ද?
පිළිතුර: නැත. පාර්ලිමේන්තුව විසුරුවා හැරිය අවස්ථාවකදී පවා, අමාත්‍ය මණ්ඩලය එක දිගටම පවතී. එය 47 වැනි වගන්තියේ දැක්වෙන්නේ මෙසේ ය: “පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලබන තෙක් ක්‍රියා කළ අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුව ද, දිගටම ක්‍රියා කළ යුතුය.”
එවැනි තත්වයක් තිබියදී, ආණ්ඩුවේ එක් පාර්ශ්වකරුවෙකු වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම ඉල්ලා අස් වූ පමණින් අමාත්‍ය මණ්ඩලයත් විසුරුවා හරිනු ලැබූ ලෙස සලකන්නේ කෙසේද? ඔවුන්ගේ ඉල්ලා අස්වීම නිසා ඇති වූ වෙනස සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කටයුතු කළ හැක්කේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42, 43, 44 සහ 45 යන වගන්ති යටතේ, අගමැතිවරයාගේ උපදෙස් මත අලුතින් ඇමතිවරුන් ඒ තනතුරුවලට පත්කිරීමයි.
ප්‍රශ්න අංක 16: අගමැති ධුරය අහෝසි වූ ලෙස සලකන්නේ කුමන අවස්ථාවකදී ද?
පිළිතුර: ව්‍යවස්ථාවේ 46 (2) වගන්තිය (අදාළ කොටස): “අග්‍රාමාත්‍යවරයා-
(අ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් හෝ,
(ආ) තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවුවහොත් මිස,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද, ඒ තාක් කල් ස්වකීය ධුරය දරන්නේය.”
ප්‍රශ්න අංක 17: අග්‍රාමාත්‍යවරයා පත්කිරීමට අදාළ නීතිය කුමක් ද?
පිළිතුර: ව්‍යවස්ථාවේ 42 (4) වගන්තිය මෙසේ කියයි: “ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිය යුත්තේය”
පසුගිය ඔක්තෝබර් 28 වැනි දා ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවේදී අලුත් අගමැතිවරයෙකු පත්කිරීමට හේතු වූ කරුණු ගණනාවක් කීවේය. එහෙත් අවාසනාවට, ඒ හේතු කිසිවක්, ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි, “පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්කළ යුතුය” යන්න සමග ගැලපෙන්නේ නැත. ඊටත් වඩා, අලුතින් පත්කරන ලද අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇති බව පෙන්වීමට අවස්ථාවක් නොදෙමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම නිසා තත්වය තවත් නරක අතට හැරුණි.
අවසාන වශයෙන් සලකා බලන විට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (1) සහ (2) වගන්තිවලට පටහැනිව ජනාධිපතිවරයා විසින් බලය අපයෝජනය කොට ඇත්තේ ද යන ප්‍රශ්නය මතුවෙයි. එසේම, ව්‍යවස්ථාව අනුගමනය කරන බවට සහ ආරක්ෂා කරන බවට වගබලා ගැනීමට ඔහු අසමත්ව ඇත්තේ ද ප්‍රශ්නයත් මතුවෙයි.
2018 ඔක්තෝබර් 30 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ
Constitutional Coup or Crisis- Questions and Answers
නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි