එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සජිත් ප්‍රේමදාසව පත් කර ජනාධිපති අපේක්ෂකයා හෝ අගමැති අපේක්ෂකයා කිරීමෙහි සාකච්ඡාවක් දැන් එජාය තුළ සිදුවෙමින් තිබේ. ඊට විකල්පව ශ්‍රීලනීපයෙන් ඒ අපේක්ෂකත්වයට ගෝඨාභය රාජපක්ෂව තීන්දු කිරීමේ සාකච්ඡාවක්ද දැන් සිදු වෙමින් තිබේ.
ශ්‍රී ලාංකිය සමාජය දේශපාලනිකව ඉදිරියට යනවා වෙනුවට ආපසු ගෝත්‍රික වුවමනාවන් වෙනුවෙන් පසුපසට ඇද දැමීමේ ක්‍රියාවලියක් මිස මෙය රටෙහි අභිවෘද්ධිය වෙනුවෙන් කිසිදු සේවයක් නොකරන බව පැහැදිලිව කිව හැකිව තිබේ. ඒ ගැන අමුතුවෙන් තර්ක විතරක කිරීමට සංවාද කිරීමට දෙයක් නොමැත.
දෙපාර්ශ්වයේම අරමුණ මේ දුප්පත් රටත් හෝ එහි වෙසෙන ජනතාව නොවේ. තමන්ගේ පක්ෂය හෝ කණ්ඩායම දිනවා රටේහි බලය අත්පත් කර ගැනීමය. එයින් සෑහීමකට පත් වීම හැර වෙනත් කිසිදු අරමුණක් මේවන විට සිදුවෙමින් පවතින දේශපාලන කතිකාව තුල නැත. 2015 මහින්ද රාජපක්ෂ පවුල් ආණ්ඩුව පෙරළා දැමීමේ ක්‍රියාවලිය තුළ වූ ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය ගැන සාකච්ඡාව බරපතල ලෙස ඉස්මතුව තිබිණි. එහෙත් දැන් ඒ වෙනුවෙන් පෙනී සිටි කොටස් වලට එය අමතකව ඇතිවා පමණක් නොව ඒ මිනිස්සු පෙනෙන්නටවත් නැත. එහෙත් 2015 බල පෙරළියෙන් සාක්ෂාත් වූ ප්‍රජාතන්ත්‍රවාදයක් යහපාලනයක් කියා පෙන්විය හැකි මහ ලොකු දෙයක් ද නැත. ප්‍රජාතන්ත්‍රවාදය හෝ යහපාලනය ක්‍රියාත්මක වීම යනු කිසිවක් නොවී පැවැතීම නොවේ. සමස්ත රටම එහි යහපත පිණිස සියලු දෙනාගේ නිදහස හා අයිතිවාසිකම් සුරක්ෂා වන පරිදි සියල්ල පාලනයකට යටත් විය යුතුය. දේශපාලනයේත් ආර්ථිකයෙත් පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදය හෝ යහපාලනය සාමාජීයවත් සංස්කෘතිකවත් බලපැවැත්විය යුතුය. එහෙත් මේ කිසිවක් සිදු නොවී පැවැතීම කියන්නේ සියල්ල අයාලේ යෑමය.
වර්තමානයේහී එජාපයත් ශ්‍රීලනීපයත්( පොහොට්‍ටුවත් ඇතුලත්ව) වඩා දියුණු දේශපාලන ක්‍රියාවලියකට යෑමට අසමත් වීම පදනම් කරගෙන තම තමන්ගේ පාර්ශ්වික බංකොලොත් බව පෙන්වා තිබේ. ගෝඨා මෙන්ම සජිත් කරළියට එන්නේ ඒ නිසාය. මේ දේශපාලන කණ්ඩායම් වලට තෝරාගන්නට වෙන විකල්ප නැත. පුද්ගලයා කේන්ද්‍ර කර ගැනීම මෙරට ගොබ්බ ජනතාව හමුවේ වඩා හොඳම තෝරා ගැනීම විය හැකි වූවත් දේශපාලනය කියන්නේ වැල යන හැටියට මැස්ස ගැසීම නොවේ.
2020 දී ගෝඨා සජිත් සටනක් නම් වෙන්නේ ඒ කවුරු දිනුවත් මේ ශ්‍රී ලාංකීය සමාජයේම පරාජයක් මිස, වෙනත් සාධනීය කිසිවක් අත්පත් කර ගත නොහැක. මේ දෙකම දේශපාලනික නොවන ගෝත්‍රික තෝරා ගැනීම් දෙකකි. ඒ නිසා 2020 සටන මෙසේ නම් සිදුවන්නේ එය මෙරට සිංහල බෞද්ධ බහුතරයේ ගොබ්බකමේ ප්‍රකාශනයක් මිස වෙනකක් නොවේ. මන්ද මේ දෙකම පදනම් වන්නේ මේ ගොබ්බ සිංහල බෞද්ධ ජනතාව මත නිසාය. එහෙත් දෙමළ හා මුස්ලිම් නායකයන් කළමනාකරණය කරගැනීම මත ජයග්‍රාහකයා තීන්දු වෙනු ඇත. ඒ අනුව එහි වැඩි වාසි සහගත තත්වය ඇත්තේ සජිත් ප්‍රෙමදාසටය. සාම්ප්‍රදායික සිංහල දෙමළ හා මුස්ලිම් ධනපති ව්‍යාපාරිකයන්ගේත් කිලී මහරාජා, ධම්මික පෙරේරා , සුමල් පෙරේරා. වැනි දේශපාලනිකව මැදිහත් වීම් සහිත ව්‍යාපාරිකයන්ගේ සහයත් ප්‍රේමදාසට හිමිවනු ඇත.එසේම එම බලපෑම මත ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයක සහය පවා ප්‍රේමදාසට හිමිකර ගැනීමේ වැඩි ඉඩක් පවතී. එමෙන්ම ඉන්දියානු රෝ ඔත්තු සේවය මෙන්ම ඇමරිකාවේ සී අයි ඒ ඔත්තු සේවාය ද ප්‍රේමදාස ගේ ජයග්‍රහණය වෙනුවෙන් පහසුකම් සලසනවා විනා රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී නොසිටිනු ඇත.
එසේම ගෝඨා දිනුවත් සජිත් දිනුවත් චන්ද්‍රිකා බණ්ඩාරනයක ,රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර වැනි මෙරට දේශපාලනයේ බලපෑම් සහගත තීරණාත්මක චරිත දේශපාලනයෙන් විශ්‍රාම යෑම ද මීට සමගාමීව සිදුවනු ඇත. ඔවුන්ට වෙන කරන්න දෙයක් ඉතුරු වන්නෙ නැත. ගොබ්බ ජනතාවක් වෙසෙන රටේ ගොබ්බ නායකයන් සිටියා කියා ප්‍රශ්නයක් වන්නෙ නැති නිසා ගොබ්බ කමට එරෙහි නායකයන් විශ්‍රාම ගියාට එය රට්‍ටුන්ට දැනෙන්නේ ද නැත.
කොහොම නමුත් 2020 කියන්නේ රටේ ගොබ්බකම ලෝකයට පෙන්වන වසර වීමේ සම්භාවිතාව ඉතා ඉහළය. දැන්ම තියා ඊට සුදානම් වීම සිහිබුද්ධියක් ඇති පිරිසගේ ශරීර සෞඛ්‍යයට ද ගුණදායක විය හැකිය.