පතෝල වැටකොළු ආණ්ඩුව, ව්‍යවස්ථාවට වඳපෙති දෙයිද ​? Featured

Thursday, 08 March 2018 21:43

ඇඳිරි නීතිය පනවා තිබියදීත් මුස්ලිම් විරෝධී ප්‍රහාර දියත් වෙලා​. එයින් පෙන්වන්නේ මේ මිනීමරු ජාතිවාදී බලවේග සිය ලේ පිපාසාව නිවා ගන්නාතුරු තමන් ගේ ගමන නවත්වන්නේ නැහැ කියලා. එවගේම මේක සංවිධානාත්මක ප්‍රහාරයක්. එතකොට ආණ්ඩුවක්, නීතියක් මේ පිසාචයන් සළකන්නේ නෑ. මොකද, ආණ්ඩුවට පාණ්ඩුව හැදිලා.

පාණ්ඩුව හැදෙන්නේ පෝෂණයේ ප්‍රශ්නයක් නිසා. මේ ආණ්ඩුව එක්කෝ මහින්දගේ තිබුනු ආණ්ඩුව වගේ සිංහල​, බෞද්ධ ජාතිවාදෙන් පෝෂණය වෙන්න ඕන​. නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදීන් ගෙන්, සාමවාදීන් ගෙන් පෝෂණය වෙන්න ඕන​. ඒත් ජනාධිපති සිරිසේනගේ ආණ්ඩුව මේ දෙකටම නැති ගන්ධබ්බ ආණ්ඩුවක්. පාණ්ඩුව හැදිලා තියෙන්නේ ඒ නිසා. පතෝල​,වැටකොළු. ගුණත් නෑ. අගුණත් නෑ.

අපි පොඩ්ඩකට මෙහෙම උප කල්පනයක් කරමු! මේ පාරට බැහැලා ඉන්නේ දෙමළ හෝ මුස්ලිම් ජාතිකයන්. මොවුන් සිංහල ජනයාට පහර දෙමින්, දේපළ විනාශ කරනවා. එහෙම වුනානම් පක්‍ෂ විපක්‍ෂ, ගිහි පැවිදි, සිංහල බෞද්ධ සියලු පාර්ශව මොකක් කියාවිද​? මේක ත්‍රස්තවාදය​, බෙදුම්වාදය​, ජිහාඩ්, අයි,එස්.අයි. එස්. ​ඔක්කෝම එකතුවෙලා තින්දු කරනවා ජාතික ආරක්‍ෂාව වෙනුවෙන්, මහජන ආරක්‍ෂාව වෙනුවෙන් රජයේ වගකීම ඉටුකරන්න​. මොකක්ද රජයේ වගකීම​? මේ සියල්ලන් ඝාතනය කරන්න​. වෙඩි තියන්න​. හිරේ දාන්න​. ඒත් හදිසි නිති, ඇඳිරි නීති කඩාගෙන මේ පාරට බැහැලා ඉන්නේ කවුද​? සිංහල බෞද්ධයා. රාජ්‍යයට විරුද්ධවද​? නෑ. මුස්ලිම් එකාට විරුද්ධව​. නීතිය වැලි ගෑවෙන්නෙ නැමෙන්නේ අන්න ඒ නිසයි.

ප්‍රශ්නය නීතිය හා සාමයද?

මේ ගැන තවත් පැහැදිලි කරමින් විපක්‍ෂනායක ආර්.සම්බන්ධන් පාර්ළිමේන්තුවේදී වැදගත් ප්‍රකාශයක් කළා. " මේක නීතිය හා සාමයට එපිටින් යන එකක්. ව්‍යවස්ථාවෙන්ම පිළි අරගෙන තියෙනවා මේ රටේ එක් ජන කොට්ඨාශයක් අනෙක් ජන කොට්ඨාශයන්ට වඩා විශිෂ්ඨයි කියලා. ඉතින් ඒ තත්වය අවසන්කරනා තුරු මෙවැනි ගැටුම් වළක්වන්න බෑ." යි යනුවෙන්. මුස්ලිම් කොංග්‍රස් නායක හකීම් පාර්ළිමේන්තුවේදී කියා සිටියේ " කැරළි මර්දන හමුදාවන් ඇවිල්ලා ඉන්නවා මහනුවර දිගන හා තෙල්දෙණියේ. ඒත් ඒ අය කියනවා තමන්ට අණදෙන නිළධාරියෙක් නෑ කියලා."

මේ අතර අම්පාර හා නුවර මුස්ලිම් ජනයාට පහර දීමට විරෝධය දක්වමින් කල්මුනේ මුස්ලිම් ජනයා මහපාරේ ටයර් පුලුස්සමින් පසුගිය 06 දා විරෝධතාවක් කර තිබුනා. විරෝධතාකරුවන්ට පහර දී එළවා දැමූ පොලිසිය 30 ක පිරිසක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

නමුත් එදිනම රාත්‍රියේ මහනුවර මැණික් හින්න ප්‍රදේශයේදී ඇඳිරි නීති නොතකා 400කට අධික පිරිසක් මුස්ලිම් ජනයාගේ දේපළ ගිනි තබමින් පහරදීම්කර තිබුනා. සියලුම සිංහල මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙම පිරිස පළවා හැරීමට පොලිසිය අහසට වෙඩි තැබූ බවයි. හොඳම විහිළුවනම් අහසට වෙඩි තැබීමේදී සියලු පිරිස් පලාගිය බවත්, තුවාල කරුවන් සිටීද යන්න කිව නොහැකි බව උසස් පොලිස් නිලධාරියෙක් කී බවත් මාධ්‍ය වාර්තා කර තිබිමයි.

පසුගියදා පැවැති කැබිනට් හමුවේදී අම්පාරේ වඳපෙති අන්දරය රාජිත සේනාරත්න ඇමැති ලවා හැබෑ කරගන්න උඩ පැන පැන වලි කාපු එක මාධ්‍යවේදියකු වත් මුස්ලිම් විරෝධයට පොලිසිය දැක්වූ දායකත්වය ප්‍රශ්න කරනවා දකින්න ලැබුනේ නෑ. පොලිසියේ මුස්ලිම් විරෝධී කණ මාන්දම කෙසේ වෙතත් සිංහල විරෝධී වඳ පෙත්ත ගැන නම් පරීක්ෂණ ඇරඹිලා.

දැන් ජනාධිපති, අගමැති ගේ ඉඳලා චම්පික රණවක දක්වා කියන්නේ මොකක්ද​? අනෙක් පැත්තෙන් මහින්ද රාජපක්‍ෂගේ ඉඳලා විමල් වීරවංශ දක්වා කියන්නේ මොකක්ද​? මල්වතු අස්ගිරියේ ඉඳලා ඥානසාර දක්වා කියන්නේ මොකක්ද ? කාල්මාක්ස් ගේ, ලෙනින් ගේ හිසේ සිට නියපොත්ත දක්වා ඉපදුනා යැයි කියා ගන්නා විවිධ විප්ලවකාරීන් කියන්නේ කුමක්ද​? මෙකී නොකී සිංහල බෞද්ධයා ගේ චන්දයෙන් හෝ උන්ගේ උවැටනින් බඩවියත සරිකර ගන්නා හැම සිංහල බෞද්ධයාම​ මේ මොහොතේ ඉන්නේ එකම ස්ථාවරයකය​. කිසිඳු බේදයකින් තොරව කියන්නේ එකම කතාවක්‍​. එනම් "මේ ප්‍රචන්ඩකාරීන්ට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි" යි කියලා.

ජනපති, අගමැති ටෙලිපෝන් කෝල්

එතකොට මතුවන ප්‍රශ්ණය තමයි ජනාධිපති, අගමැති හෝ පොලිසිය භාර ඇමති හැමදාම උදේට පොලිසිවලට කතා කරකර කියනවාද නීතිය ක්‍රියාත්මක කරන්න​, දැඩිව ක්‍රියාත්මක කරන්න කියලා. කල්මුනේ මුස්ලිම් ජනයා අත් අඩංගුවට ගන්න කියලා වෙනම උපදෙස් දුන්නාද​? යුනිෆෝම් එක අන්දවලා, තුවක්කුව අතට දෙන්නේ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න කියලා නේද​? නැතිනම්, ජනවර්ග අනුව නිතිය ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම ගැන වෙනම කෝල් දෙන්න ඕනෙද? ඒකට හේතුව තමයි විපක්‍ෂනායකවරයා ඉතාම නිවැරදිව කියලා තියෙන්නේ.

එවගේම නුවර අපරාධයන්ට සම්බන්ධ භික්‍ෂූන් ගේ හා සියලුම පුද්ගලයන් ගේ නම් වීඩියෝ සහිතවම, සාක්‍ෂි සහිතවම අන්තර්ජාලයේත් විවිධ වෙබ් පුවත් පත් වලත් තිබෙනවා. ඒත් ජනාධිපති සිරිසේන ගේ කොන් ද පණනැති ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා ඒ අපරාධකරුවන් අත් අඩංගුවට ගන්න​. ලංකාව ආසියානු තොරතුරු තාක්ෂණයේ මුදුන් මල්කඩ කරන බවට පම්පෝරි ගහන ආණ්ඩුව ඒ වෙනුවට කළේ වට්‍ස් ඇප්, වයිබර්, ෆේස්බුක් සියල්ල අවහිර කිරීම​. ඒකට හේතුව තමයි විපක්‍ෂනායකවරයා ඉතාම නිවැරදිව කියලා තියෙන්නේ.

මහින්ද ගේ A සහ B

2015 මහින්ද ජනාධිපතිවරණය තැබුවේ A සහ B කියනා ප්ලෑන් දෙකක් අතැතිව​. ප්ලෑන් A තමයි සිය විශ්වාසය අනුව චන්දෙන් දිනා තුන්වැනි වරටත් ජනාධිපති පුටුවේ වාඩි වීම​. ප්ලෑන් B තමයි එය වැරදුනොත් චන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට පැන චන්ද පෙට්ටි උස්සා කෝලාහලයක් කර, එය දඩමීමා කරගනිමින් චන්දය අහෝසි කිරීම​. ඉන්පසු බොහෝවිට රටේ චන්දයක් නොතිබෙන්නටද පුලුවන්. තිබ්බත් අනිවාර්යෙන්ම දිනුම්. ඒත් මහින්දගේ මේ ප්ලෑන් දෙකම පරාජය වුනා. පළමු එක මහින්දලාගේ සියලු තර්ජන​, මර්දන මැද චන්දදායකයා ගිහින් රාජපක්‍ෂ රෙජීමයට විරුද්දව සිය චන්දය පාවිච්චි කර ජනතාව විසින් බිඳ දැමුවා. ප්ලෑන් B ව්‍යවර්ථ වුනේ එලෙස මහජනයා ප්‍රකශ කළා වූ තීන්දුව ආරක්‍ෂා කරදෙන්න​, සිය වගකීම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න බැඳී සිටියා වූ මැතිවරණ කොමසාරිස්වරයෙක් හිටිය නිසා. ඔහු කිව්වේ "මහජනයාගේ චන්දය මංකොල්ල කන්න ආවොත් දණෙන් පහළ නෙමේ, ඔලුවටම තියන්න" කියලා. ඒනිසා මහින්දලාගේ B ප්ලෑන් එකත් ව්‍යවර්ථ වුනා.

ඒත් ඇඳිරි නීති, හදිසි නීති නොතකා දින පහක් තිස්සේ නුවර ප්‍රදේශයේ සිදුකරනා අපරාධකරුවන්ට වෙඩි තියන්න නියෝගයක් දෙන්න ජනාධිපති සිරිසේනගේ කොන්ද පණ නැති ආණ්ඩුවට බැරිවෙලා තියෙනවා. ඒ වෙනුවට කරන්නේ අපරාධකාරී චීවරධාරීන්ට ගිලන්පස පූජා කරනා එක​. අපරාධකාරී ගිහියන්ට ආරක්‍ෂාව සලසන එක​.

මහදැනමුත්තාගේ උපදේශය

මේ පිළිබඳව හතර අතේ බැන වැදුනු චම්පික රණවක ඇමතිවරයා අවසානයේ මහදැන මුත්තා ගේ යෝජනාවක් කර තිබුනා. "රටේ ඇතිවන ජනවාර්ගික ගැටුම් මර්දනය සඳහා පොලීසිය යටතේ ක්‍රියාත්මක ක්‍ෂණික විහිඳුම් බලකායක් පිහිටවිය යුතුයි" යි කියලා. මේ කතා කරන්නේත් සිංහල බෞද්ධ චන්දවලට​. සුළු ජන කොටස්වලට අනතුරු හඟවන්නේ උඹලා දෙවැනි පන්තියේ පුරවැසියන් සේ හිටපල්ලා. දැඟලුවොත් ගුටි කෑමට නියමිතයි. අපි උත්සාහ කරන්නම් හැකි තරම් දුරට ඒවා මැඩ පවත්වන්න​.

එහෙත් ඉහත සඳහන් මහදැනමුත්තාගේ යෝජනාවට මුලුමනින්ම පරස්පර යෝජනාවක් ඉදිරිපත් කරන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසන්නේ "ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාව තුළ හෝ පොලීසිය තුළ සිංහල නොවන එකදු රෙජිමේන්තුවක් හෝ නැහැ. එබැවින් මෙවැනි ජාතිවාදී කෝලාහලයකදී සිංහල හමුදාවක් හෝ පොලීසියක් යොදවා එය මැඩලීම අපහසුයි. මෙයට විසඳුමක් ලෙස​ සිංහලවාදී නොවන , සිංහලවාදී සංකේත පමණක් භාවිත නොකරන හමුදා සහ පොලිස් ඛණ්ඩයක් රටට අවශ්‍යයි" යනුවෙනි.

ඒ නිසා එකක් පැහැදිලියි. හදිසි නීති, ඇඳිරි නීති නෙමේ මාෂල් ලෝ දැම්මත් දෙමළ, මුස්ලිම් ජනතාව ගේ ආරක්‍ෂාව​, ගෞරවය රැකදෙන්න, කලු කපුටා සුදු උනත් මේ කිසිම ආණ්ඩුවකට නම් මේ කපේදි බැහැ.

දෙමළ, මුස්ලිම් ජනතාව ගේ ආරක්‍ෂාව​, ගෞරවය රැකදෙන්න නම් තියෙන්නේ එකම මාවතයි. ඒ තමයි ව්‍යවස්ථාවෙන්ම නැතිනම් නීතියෙන්ම පිළිගෙන තිබෙන එක් ජන කොට්ඨාශයක් පමණක් අනෙක් ජන කොට්ඨාශයන්ට වඩා විශිෂ්ටයි, එක් ජන කොට්ඨාශයක් අදහන ආගම අනෙක් ජන කොට්ඨාශ අදහන ආගම්වලට වඩා ශ්‍රේෂ්ඨයි කියන ව්‍යවස්ථාවේ පිළිගැනීම අහෝසි කරන එක​.නමුත් ජනාධිපති සිරිසේන ගේ කොන්ද පණ නැති ආණ්ඩුවට එවැනි එඩිතර පියවරක් ගතහැකිදැයි සිතීම පවා සිහිනයක්. එනිසා බොහෝවිට සිදුවිය හැක්කේ කෙටුම්පත් කර ඇති නව ව්‍යවස්ථාවට සිංහල බෞද්ධ වඳපෙති දීමය​.

ඥානසිරි කොත්තිගොඩ

Last modified on Thursday, 08 March 2018 21:55

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us