ජවිපෙ දූෂණයෙන් තොරද..? කතිකාචාර්ය විජයානන්ද රූපසිංහ Featured

Friday, 02 February 2018 23:05

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දිය යුතු බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි රාවය පුවත්පතේ සිය තීරු ලිපියෙන් යෝජනා කර තිබුණි. එහි තර්කය වූයේ අනෙක් පක්ෂවල දූෂිත ස්වභාවයත් 1990න් පසු දැන් තිබෙන්නේ "වෙනස්" ජනතා විමුක්ති පෙරමුණක් බැවින් අතීත ක්‍රියාකාරකම් නොසලකා ඊට ඡන්දය ලබාදීම ගැටළුවක් නොවන බවයි.

පළමුකොටම කිවයුත්තේ මෙය අලුත් අදහසක් නොවන බවයි. 2011 පළාත් පාලන මැතිවරණයේදී "මාගේ ඡන්දය ජනතා විමුක්ති පෙරමුණට " බව මහාචාර්ය ලියනගේ අමරකීර්ති රාවය පුවත්පතටම ප්‍රකාශ කර තිබුණි.

මේ ප්‍රකාශ දෙකත්, දැන් ජවිපෙට ඡන්දය දෙන ලෙස අදහස් දක්වමින් සිටින ශාස්ත්‍රාලීය උගතුන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙනුත් සංවාදයට බදුන් කල යුතු කරුණු කිහිපයක් ගෙනහැර දැක්වීමට කැමැත්තෙමි.
නිර්මාල්ගේ ඉහත ප්‍රකාශය "රාවය" පුවත්පතේ පළවූවත් රාවය පුවත්පත සතිපතා මිළදීගැනීමටත් ඊට කවි නිර්මාණ සැපයීමත් ජවිපෙ විසින් සිය සමාජිකයන්ට තහනම් කර තිබුණේ 1990 දශකයේ අගභාගයේදීය. දැනට ජවිපෙන් ඈත්වී පෙරටුගාමී පක්ෂය සමඟ සිටින මාගේ හිතවතෙක් මට බොහෝ කලකට පෙර පවසා සිටියේ ඔහු රාවය පුවත්පත මිළදීගෙන එය කියවීම සහ නිර්මාණ සැපයීම සම්බන්ධයෙන් පක්ෂයේ ශාඛා සමිතියේදී ඔහුව ප්‍රශ්න කල බවයි. රාවය අමරිකානු අධිරාජ්‍යවාදයට සේවය කරන NGO පුවත්පතක් බවත් ඊට කියවීමෙන්වත් දායක නොවන ලෙස ඔහුට උපදෙස් ලැබුණේ ජවිපෙ සහෝදරවරුන්ගෙනි.(ඔහු පසුකලෙක පක්ෂය අතහැරියද රාවය අතනොහැරිය බව දැන්වීමට කැමැත්තෙමි.)

ජවිපෙ එම ස්ථාවරය එනම් වෙනත් මත ඉවසීමට ඇති පුරුද්දේ අද තත්වය කෙසේදැයි විමසා බැලිය යුතුය.

වත්මන් ජනත විමුක්ති පෙරමුණ දූෂණයෙන් තොර පක්ෂයක් යැයි වන සහතිකය නිර්මාල් ඇතුළු ශාස්ත්‍රාලීය බුද්ධිමතුන්ගේ තවත් අදහසකි. මේ "දූෂණ " චෝදනාවට අදාල නිර්වචනය කුමක්ද යන්න දීර්ඝ සංවාදයක් පැවත්විය යුතු කාරණයකි. එසේ ජවිපෙට යම්කිසි හෝ බලයක් තිබූ අවස්ථාවල එය දූෂණයට නෑදෑකම් පෑ අවස්ථා කිහිපයක් ගෙනහැර පෑමට කැමැත්තෙමි.

ඉන් කැපී පෙනෙන අවස්ථාවක් වූයේ 2003 වසරේ නොවැම්බර් මස චන්ද්‍රිකා ජනපතිනිය ආරක්ෂක, පොලිස් සහ ජනමාධ්‍ය විෂය බාර අමාත්‍යාංශ පවරා ගැනීමයි. ජනමාධ්‍ය අමාත්‍යංශය පවරා ගැනීමෙන් පසු 2004 අප්‍රේල් මහ මැතිවරණය තෙක් ඒවා පාලනය වූයේ චන්ද්‍රිකා ජනාධිපතිනිය යටතේය. ඒ වන විට ජවිපෙ එක්සත් ජනතා නිදහස් සංධානයේ හවුල්කාර පක්ෂයක් වූ බැවින් රාජ්‍ය මාධ්‍යවල කරණම් ගැසීමට ජනතා විමුක්ති පෙරමුණට හැකිවිය. විශේෂයෙන් ජාතික රූපවාහිනියේ සහ ස්වාධීන රූපවාහිනියේ වැඩසටහන් වලදී කිසිදු ප්‍රතිවාදී පක්ෂයක නියෝජිතයන් නොමැතිව ජවිපෙ ඇති හැටි තමන්ගේ බෙරය සද්දෙට ගැසූ බව නොරහසකි. සෝමවංශ අමරසිංහ, නන්දන ගුණතිලක හා විමල් වීරවංශ වැනි ජවිපෙ හැරගිය නායකයන්ට අමතරව වත්මන් නායක පෙළ එහි පෙරමුණ ගෙන සිටි බව එම නාලිකාවල පුස්තකාල දර්ශණ සහතික සපයනු ඇත.
ජවිපෙ ආණ්ඩු බලයට එක්වූයේ 2004 මැතිවරනයෙනි. ඔවුනට කැබිනට් මණ්ඩලයේ ඇමති තනතුරු තුනක් හිමිව තිබුණි. ඒ කාලයේදිත් ජවිපෙ ඇමතිවරු තොරොම්බල් කරන ලද්දේ තමන් රුපියල් දහයේ බෝල්පොයින්ට් පෑන් භාවිතය සහ අමාත්‍යංශය ඉදිරිපිට බත් අම්මාගෙන් බත් පැකට් එකත් රැගෙන කෑම වැනි ළදරු හැසිරීම්ය. එහෙත් කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ වැව් දසදහසක් ප්‍රතිසංස්කරණය ඇරඹූයේ අතිශය ප්‍රදර්ශණාත්මක (ජවිපෙ ශෛලීය ) උත්සවයකිනි. එහි වැව් තාවුල්ලක බෙර කරුවන් දහසක් යොදා කල වාදනය අතිශය අලංකාර වුවත් ඊට යොදන දරන ලද වියදම රාජ්‍ය අරමුදල් වලින් පියවා තිබුණි. (මහින්දගේ මාගම්පුර වරාය දියවර මංගල්‍යය සිහිකරගන්න.)

2005 නොවැම්බර් ජනපතිවරණයේ මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණයට උදව් කිරීම වෙනුවෙන් පක්ෂයට ලැබුණු වරප්‍රසාද ද ගැනෙනුයේ අල්ලස් හෝ දූෂණ ගණයටමය. ඉන් වැදගත්ම දූෂණය වන්නේ ජනපතිවරයා යටතේ පැවති විදුලි සංදේශ නියාමන කොමිසම මඟින් ගුවන්විදුලි/රූපවාහිනි නාලිකා සදහා බලපත්‍රයක් ලබාගැනීමයි. එය විමල් වීරවංශ "නැත්ත වෙනුවට ඇත්ත" කෘතියේ දේශපාලන මණ්ඩල සම්බන්ධ සටහන් වලටද ඇතුලත් වී තිබුණි. මහින්ද ජනපතිවරයාට ආධාර කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂයක නාමික මුදලකට පොදු මහජන දේපලක් වන ගුවන් විදුලි තරංග සදහා බලපත්‍රයක් අයිතිකර ගැනීම ගැනත් පසුව එම බලපත්‍රය, එනම් VFM නාලිකාව ව්‍යාපාරික කණ්ඩායම් වලට ලබාදීමත් උපයාගත් මුදලත් ගැන ජනතා විමුක්ති පෙරමුණ පැහැදිළි කිරීමක් කළ යුතුය.
පොලොන්නරුව ගොවි සමාජයක් ප්‍රජා ගුවන්විදුලි සේවාවකට බලපත්‍රයක් ඉල්ලා ඒ සදහා ගුවන් විදුලි සංස්ථාවට රුපියල් පනස්දහසක මුදලක් ගෙවා තිබියදීත් මහින්ද රාජපක්ෂ පාලනය තුළත් වත්මන් පාලනය යටතේත් ලබාගැනීමට නොහැකිව රජයේ කාර්යාලවල රස්තියාදු වෙමින් සිටිත්දී ජවිපෙ අල්ලසක් ලෙස "ගුවන් විදුලි තරංග" ලබාගැනීම සාධාරණිකරනය කළ හැක්කේ කෙසේද..?
1956 ආරම්භ කළ රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ ප්‍රධාන දේශනය පැවතියෙ සාහිත්‍යකරුවන් සහ බුද්ධිමතුන් අතය. ජවිපෙ සංස්කෘතික ඇමති තනතුර බාරගත් විට ඒම දේශනය පක්ෂයේ "ප්‍රචාරක ලේකම්" වරයාට ලබාදුණි. මෙයද මූල්‍යමය නොවන එසේ දූෂණය ගනයට වැටෙන තෝරාගැනීමකි. (රාජ්‍ය සාහිත්‍ය නම් එය පක්ෂයේ නිළ සාහිත්‍ය විය යුතු බව ජවිපෙ සිතුවා විය හැකිය.)
බලය නැති අවස්ථා වලත් ජවිපෙ අතයට ගනුදෙණු මඟින් දූෂණයට දායකත්වය දැක්වූ බව ඉතා කෙටියෙන් දැක්විය යුතුය. ඉන් එක් අවස්ථාවක් නම් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කළ අවස්ථාවයි. රාජ්‍ය දේපල කුණු කොල්ලයට විකිණීම ගැන අදටත් සටන් පාඨ නගන ජනතා විමුක්ති පෙරමුණ සහ ඊට අනුබද්ධ වෘත්තීය සමිති රක්ෂණය හැරී ජයවර්ධනට විකිණීමේදී විරුද්ධ නොවූයේ ඇයිද යන්න පමණක් විමසමි.

මෙරට අධිකරණයද දූෂිත බවත් එය ප්‍රධාන දේශපාලන පක්ෂ වල සුරතලුන්ගේ තැන්බ වටත් ජවිපෙ විටින් විට චෝදනා කර තිබුණි. එහෙත් අග්‍රවිනිශ්චයකාර සරත් එන් ද සිල්වා යුගයේ ජනතා විමුක්ති පෙරමුණ තමන් කැමති හා ආසා කරන වර්ගයේ තීන්දු එමගින් ලබාගත් බව නොරහසකි. ඒවාද දූෂණ/ අල්ලස් ගණයට නොවැටෙන්නේ නම් පැහැදිළි කිරීමක් ඇසීමට කැමැත්තෙමි.
දූෂණය ගැන සාකච්චාවට ඒ ප්‍රමාණවත්ය. දැන්නැවතත් ජවිපෙට ඔක්සිජන් සපයන ශ්‍රාස්තාලීය බුද්ධිමතුන්ගෙන් ඇසිය යුතු වැදගත් ප්‍රශ්න කිහිපයක් තිබේ.

ජවිපෙට කවදත් "සිවිල් චරිත" වැදගත් විය. ඒ අය ලවා චරිත සහතික ලබාගැනීමත් ඒ අයව ආශ්‍රය කිරිමත් මහා බලවත් සාධකයක් ලෙස සැලකූ බව 1971 අවධියේ සිටම දකින්නට ලැබෙන්නකි. අදත් ඉන් මිදීමට නොහැකි වී තිබේ.

2015 මැතිවරණයේදී ජවිපෙ සටන්පාඨ අතරින් ප්‍රධාන වූයේ ජාතික ලැයිස්තුවේ සාමාජිකත්වය ගැනය. රටක ජාතික ලැයිස්තුවක් තිබීමේ වැදගත් කමත් ඊට වෘත්තිකයන් එක් කිරීමේ අවශ්‍යතාවයත් ජවිපෙ නිවැරදිව පෙන්වා දුන්නේය. ප්‍රධාන පක්ෂ අතරින් වැදගත්ම ජාතික ලැයිස්තුව ඉදිරිපත් කර ඇත්තේ තමන් බවට පැහැදිළි කළේය.
එහෙත් ප්‍රතිඵල අනුව ජවිපෙට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට හිටපු විගනකාධිපති සරත් මායාදුන්නේ පත්කර එක දවසකින් ඉල්ලා අස්වීමට කටයුතු කළේය. ප්‍රකාශිත හේතුව වූයේ ජවිපෙට පක්ෂයේ මතය බලවත් ලෙස රැගෙන යාමට පක්ෂ කාඩර්වරයෙක්ම අවශ්‍ය බවය. ඒ අනුව අනෙක් දේශපාලන පක්ෂ අනුව යමින් තමන්ගේද කිසිදු වෙනසක් නැති බව පෙන්වා "පරාජිත" අපේක්ෂකයන් මන්ත්‍රීධූරයේ වාඩිකරවීය. වැදගත් මුහුණු, චරිත, සිවිල් ලේබල් පෙන්වා ලැබුණු මන්ත්‍රිධුරයද පක්ෂ‍යටම හිමිකරගැණුනි. (මායාදුන්නේට අස්වීමට තර්ජනය කළ බවට පවත්නා මතය සත්‍යයදැයි නොදනී.) හිටපු විගනකාධිපතිට මන්ත්‍රීධුරය අහිමි කරලීමෙන් ජවිපේ අනාගතය සදහාද වන බරපතළ වරදක් කළේය. එනම් බැදුමකර වංචාව පිළිබද කරුණයි. යම් හෙයකින් සරත් මායාදුන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සිටියා නම් ඔහුගේ විගනකාධිපති නිපුණතා පාර්ලිමේන්තුවේදී බැදුම්කර සිද්ධිය මතුකරලීමට ප්‍රයෝජනවත් වීමට ඉඩ තිබුණි.

දෙවන කරුණ වන්නේ අද මැතිවරණයේදී ජවිපෙට ඡන්දය දෙන්නට යැයි කියන බුද්ධිමතුන්ගේ ඡන්දය වසර දෙකකට වැඩි කාලයක් නෛතික හා නෛතිකමය නොවන ලෙස පමා කිරීම පිළිබද අනුගමනය කළේ කුමන පියවරක්ද යන්නයි.

රටක ප්‍රජාතන්ත්‍රවාදය අනුව නිසිකළට මැතිවරන පැවත්විය යුතුය. එසේ නොපැවැත්වීම ගැන බණ්ඩාරනායක අගමැතිනියට, ජේ.ආර්ට සිවිල් බුද්ධිමතුන්ගෙන් චෝදනා එල්ලවිය. මහින්ද රාජපක්ෂ තමන්ට වාසිවන අවස්ථා වලදී කළින් මැතිවරන පැවැත්වීමටද විරුද්ධත්වය ප්‍රකාශ කෙරිණ. එහෙත් මැතිවරනය බැලූ බැල්මට පෙනෙන ආකාරයෙන් කල්දැමීම ගැන කිසිදු අදහසක් "ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්" නොදැක්වූ අය මැතිවරනය පැමිණි පසු එසේ හඬ නොනැගු ජවිපෙට ඡන්දය දීමට ‍යැයි ප්‍රකාශ නිකුත් කරති.
තුන්වැනි කරුණ වන්නේ බුද්ධිමත් අයගේ නියෝජනයක් ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට බව පැවසීමයි. එබැවින් අටපාස් නැති, මැර දූෂිත අය පත්නොකරන ලෙස කරන ඉල්ලීමයි. මෙය බැලූ බැල්මට සත්‍යයකි. ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපාධිධාරීහු වෙති. අනෙක් පක්ෂවල අය එසේ නොවෙති. බලූ බැල්මට මේ සුන්දර කතාවේ ආකර්ශණයක් ඇති මුත් යටි පෙළ ඉතා අවලස්සන බව කිව යුතුය. ජවිපෙ විශ්වවිද්‍යාලවල දේශපාලනය කළේද, කරන්නේද අන් කිසිදු මතයකට ඉඩ නොදෙන පරිදිය. එය 1980 දශකයේ අගභාගයේ සිටම දක්නට ලැබෙන්නකි. ඒ අනුව විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් තමන්ගේ මතයට නම්මාගෙන ශිෂ්‍ය සංගම් හරහා ජවිපෙ දේශපාලනය දක්වා රැගෙන ඒමේ පැහැදිළි මඟක් එම පක්ෂය සතුවේ. එජාපයට, ශ්‍රිලනිපයට හෝ අනෙකුත් කිසිදු පක්ෂයකට එම වරප්‍රසාදය නැත. එම පක්ෂවලට යන්තම් හෝ සම්බන්ධයක් ඇති අයට විශ්වවිද්‍යාලය තුල හිමිවන ඉරණම අන් සියල්ලන්ටම වඩා ආචාර්ය නිර්මාල් දන්නවා ඇත. තම පක්ෂයට දේශපාලන කාඩර්වරුන් රජයේ වියදමින් පුහුණු කර ලැබාගැනීමට ජාතික විශ්වවිද්‍යාල නැමැති දේශපාලන ඇකඩමිය බලහත්කාරයෙන් යොදාගන්නා අතර අනෙක් දේශපාලන පක්ෂවල සිටින්නේ "මැට්ටන්" ලෙස හැදින්වීම කොතරම් දුරට දූෂිත නොවන්නේද යන්න මැතිවරණයට පෙර පැහැදිළි කරගත යුතුව ඇත.

කතිකාචාර්ය විජයානන්ද රූපසිංහ.

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us