රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සියලූ අදහස් දක්වන්නේ මේ මතය ගොඩ නඟා ඒ මත පිහිටාය. එහෙත් විමැසිය යුත්තේ සැබැවින්ම එය එසේ විය යුතුද? සත්‍යය එය ද? එහෙත් විය යුත්තේ එම්.බී.බී.එස් උපාධිය ලද වෛද්‍යවරයා ඕනෑම කටයුත්තක් සඳහා පුහුණු කිරීමට හැකි විය යුතු වීමය.
එම්.බී.බී.එස් වෛද්‍යවරයා සම කළහැක්කේ පදම් කළ මැටි ගොඩකටය. එය රළු නැත. අවශ්‍ය නම් එයින් මල් බඳුනක් සැකැසිය හැකිය. නැත්නම් පිඟානක් සැකැසිය හැකිය. එනම් එම්.බී.බී.එස් නමැති උපාධිය ලද ප‍්‍රමිතියක් හා හැකියාවක් සහිත ඔහුට හෝ ඇයට මඟපෙන්වීම යටතේ ඕනෑම මට්ටමක වැඩක් කිරීමේ ශක්‍යතාව තිබිය යුතුය.
පළමු වැනි තර්කය එතැනය. එහෙත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියන්නේ මේ කතාව නොවේ. ඔවුන් කියන්නේ එම්.බී.බී.එස්ලාභී වෛද්‍යවරයාට ඕනෑම දෙයක් කළ හැකි බවය. ඒ කතාව වැරදිය. උදාහරණයක් හැටියට එම්.බී.බී.එස් වෛද්‍යවරයකු අපට නිර්වින්දන වෛද්‍යවරයකු හැටියට පුහුණු කළ හැකිය. එවිට ඔහුට නිර්වින්දනය කිරීමේ හැකියාව ලැබේ.
එහෙත් ඔහුට ශල්‍ය වෛද්‍යවරයකුගේ හැකියාව ඉන් ලැබෙන්නේ නැත. සියල්ල තීරණය වන්නේ ලබාදෙන පුහුණුව මතය. මේ තර්කයටම අදාළ දෙවැනි කාරණය වන්නේ පුහුණුවේ මට්ටම්ය. ප‍්‍රමිතියෙන් යුතු එම්.බී.බී.එස් වෛද්‍යවරයකු අපට ක‍්‍රම දෙකකට පුහුණු කළ හැකිය. එකක් නම් පුහුණු වෛද්‍ය කාණ්ඩයයි. අපේ රටේ සාතිශය බහුතරයක් වෛද්‍යවරුන් අයත්වන්නේ මේ පුහුණු වෛද්‍ය නමැති කාණ්ඩයටය. සරලව කිවහොත් තමන්ට උගන්වා ඇති දෙය ක‍්‍රියාවට නැඟීමට ඔවුනට හැකිය.
උදාහරණයකට ඇස් රෝහල ගනිමු. ඇස් පිළිබඳව කටයුතු කරන එහි වෛද්‍යවරුන්ට ඇසට වැටුණු කුණු කැබැල්ලක් ඉවත්කිරීමට, ඇස් පරීක්ෂා කිරීමට, උපැස් යුවලක් නිර්දේශ කිරීමට, ඇස්වල රුධිර පීඩනය මැනීමට හැකිය. එය තවත් දියුණු කර ඇස් කාචයක් දැමීම වැනි තත්ත්ව දක්වා වර්ධනය කළ හැකිය. මා යටතේ පුහුණුව ලබන වෛද්‍යවරුන්ට සීසර් ශල්‍යකර්මයක් කිරීමට, නළ ගර්භයකදී නළ ගර්භය ඉවත්කිරීමට එක්තරා පුහුණුවක් දී ඇත්තෙමි. එහෙත් යම්කිසි පුද්ගලයකුගේ කනට කෘමි සතකු ඇතුළු වූ විටක ඌ ඉවත්කිරීමට ඔවුන්ට නොහැකිය. එවැන්නකට ඔවුනට පුහුණුවක් නැත.
දැන් ඔබට කිසියම් දුරකට මේ කතාව වැටහෙනු ඇත. එම්.බී.බී.එස් අවශ්‍ය වන්නේ පුහුණුවට මූලික සුදුසුකමක් වශයෙනි. අවශ්‍ය නම් එම්.බී.බී.එස් උපාධිධාරියාට විශේෂඥ පුහුණුවක් ද ලැබිය හැකිය. ඒ සඳහා ඔවුන් ඇතුළත් විය යුතු විවිධ පරිසාධන මට්ටම් තිබේ. එහෙත් මහජනයාට දී ඇති අදහස වන්නේ එම්.බී.බී.එස් වෛද්‍යවරයාට විශේෂඥ වෛද්‍යවරයකු සේ කටයුතු කළ හැකිය වැන්නකි. එහෙත් එවැනි තත්ත්වයක් වෛද්‍ය ක්‍ෂෙත‍්‍රයේ නැත.
සාමාන්‍ය එම්.බී.බී.එස් වෛද්‍යවරයකු උදරාබාධයක් ගැන තරමක් ගැඹුරින් විමර්ශනය කර ශල්‍යකර්මයකට සූදානම් වෙද්දී විශේෂඥ වෛද්‍යවරයකුට ඇතැම්විට රෝගියාගේ උදරය අතින් තෙරපා බලා සුළු බෙහෙතක් නියම කිරීමට හැකිය. ඒ වෙනසට හේතුව නම් විශේෂඥ වෛද්‍යවරයාගේ ඉහළ පරිසාධන මට්ටම මිස අනෙකක් නොවේ. ඒ අනුව ප‍්‍රමිතියෙන් ඉහළ වෛද්‍යවරයකු තැනීමට සාධක කීපයක්ම අවශ්‍ය වේ. එක් සාධකයක් තිබූ පමණින් එවැන්නකු නිර්මාණය නොවන අතර එක් සාධකයක් සම්පූර්ණ නොවුණා යැයි කියා නිර්මාණය මුළුමනින්ම අහෝසි වන්නේ ද නැත. එසේනම් මේ සාධක මොනවාද? අංක එක නම් න්‍යායාත්මක පුහුණුව ලබාගැනීමට අවශ්‍ය වන දේශන, පුස්තකාල පහසුකම් හා අන්තර්ජාල පහසුකම්ය. දෙවැන්න සායනික පුහුණුවට අවශ්‍ය සායනික අමුද්‍රව්‍ය හා උපකරණය. ඇතැම්විට එම සායනික අමුද්‍රව්‍ය සජීවී ඒවාම විය යුතු නැත.
ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සංගමය සංවිධානය කරන වැඩමුළු වලදී ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ට උගැන්වීමට මා භාවිත කරන්නේ ආකෘතිය. අවසාන කරුණ නම් විභාගයි. ලබාගත් දැනුම ආවර්ජනය කිරීමේ හැකියාව මැන බැලෙන්නේ විභාගයෙනි. විභාගයේ ද වර්ග දෙකකි. එකක් නම් මතක ආවර්ජනය පරීක්ෂාවයි. දෙවැන්න නම් ප‍්‍රායෝගික පුහුණුව පිළිබඳ පරීක්ෂාවයි. ප‍්‍රමිතියෙන් යුත් වෛද්‍යවරයකු නිර්මාණයට මේ සාධක ත‍්‍රිත්වයම අත්‍යවශ්‍යය.
එසේ බලද්දී ස්ථාන දෙකක ලබාදෙන අධ්‍යාපනයේදී මේ සාධක තනිව ගෙන සැලකීමෙන් ඒවායේ ප‍්‍රමිතිය ගෙන සාධාරණ මැනීමක් කළ හැකි නොවේ. සයිටම් විරෝධය කුළු ගන්වන ඇත්තන් මහජනයාට නොකියන ඇත්ත මෙයයි. එසේ බලද්දී වෛද්‍යවරුන්ගේ ප‍්‍රමිතිය ගැන ඔවුන්ගේ පළමු තර්කයම ඉතා පහසුවෙන් බිඳිය හැකි ශක්තියෙන් හීන කතාවකි.
බොහෝ දෙනා සයිටම් ප‍්‍රශ්නයේදී ප‍්‍රමිතිය යන වදන නිතර උළුප්පා දක්වමින් පුනරුච්චාරණය කරති. එහෙත් සැබැවින්ම ප‍්‍රමිතිය යනු කුමක් ද? වර්තමානයේදී ප‍්‍රමිතිය යනු රටකට නොව ජාත්‍යන්තරයට අවශ්‍ය වන පරිදි සකස් විය යුත්තකි. ප‍්‍රමිතිය පරීක්ෂා කළ යුත්තේ රජයයි. රජය යැයි කීවට එය පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන්ට කළ හැක්කක් නොවේ. එනිසා රජය විසින් එය විද්වත් මණ්ඩලයකට පවරනු ලැබිය යුතුය
එය ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විෂය ප‍්‍රවීණයන්ගෙන් සමන්විත පූර්වේක්ෂණ යාන්ත‍්‍රණයක් විය යුතුය. උදාහරණයකට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එංගලන්තය, ඇමෙරිකාව, ඕස්ටේ‍්‍රලියාව, කැනඩාව වැනි රටවල වෛද්‍ය සභා නියෝජිතයකු ඊට ඇතුළත් විය යුතුය. දේශීය වශයෙන් ගතහොත් එය හුදෙක් රාජ්‍ය විශ්ව විද්‍යාලවලට පමණක් බාරදීම නොකළ යුතුය. වෛද්‍යවරුන්ට සායනික පුහුණුව ලබාදෙන ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් ද ඊට ඇතුළත් විය යුතුය. මන්දයත් 99%ක්ම සායනික කටයුතු සිදුකෙරෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ වන බැවිනි. එනිසා එහි අතිමහත් බහුතරය විය යුත්තේ මේ පිළිබඳ පළපුරුද්දක් ඇති දක්ෂයෝය. ප‍්‍රවීණයෝය. විශ්ව විද්‍යාලයට ද යම්කිසි නියෝජනයක් දිය යුතු අතර අධ්‍යාපනවේදීන් ද සිටිය යුතුය. ප‍්‍රමිතිය සකස් කරනු ලැබිය යුත්තේ මේ විද්වත් මණ්ඩලය විසිනි. ලංකාවේ නොවන්නේ ද එයයි. වෛද්‍ය සභාව නියාමනය කළයුත්තේ ඔවුන් එසේ සකසා දෙන ප‍්‍රමිතියයි. එහෙත් දැන් සිදුව ඇත්තේ කුමක් ද? රජයට අයිති ප‍්‍රමිතිය සැකැසීම ද වෛද්‍ය සභාව තමන්ගේ රාජකාරියක් බවට පත්කර ගෙන ඇත. ප‍්‍රමිතිය නියාමනය කිරීම පවා වෛද්‍ය සභාව කළයුත්තේ නිරපේක්ෂවය.
එහෙත් වත්මන් වෛද්‍ය සභාවම සමතුලිත නැත. වෛද්‍ය සභාව තවමත් සංයුක්ත වන්නේ 1927 වෛද්‍ය ආඥා පනත සම්පාදන කාලයේ වගේමය. වෛද්‍ය සභාව පත් කරන ක‍්‍රමවේදයම ව්‍යාකූලය. එම ක‍්‍රමවේදයේදී ඡන්දයක් සාධාරණව පැවැත්වීමට හැකියාවක් නැත. අදටත් ඡන්ද පත‍්‍රිකා සකස් වන්නේ 1927 දී වගේමය. මෙය වහාම රජය මැදිහත් වී නිවැරැදි කළ යුතු තත්ත්වයකි. වෛද්‍ය සභා ආඥා පනතේ ඉතිහාසයටම එය වෙනස් කර තිබෙන්නේ එක් වරකි. ඒ, 1987 දීය. ප‍්‍රතිපත්ති සකසන්නා රජය බවත් මේ සියලූ දේ අභිබවා යෑමට සෞඛ්‍ය ඇමැතිවරයාට බලය ඇති බවත් එහි පැහැදිලිව සඳහන් වේ. නියාමනය පමණක් රාජකාරිය වන වෛද්‍ය සභාවට ප‍්‍රමිතිය ගැන කතාකිරීමට ඇති අයිතිය කුමක් ද? මේ සියල්ලට මූලික වී ඇත්තේ වෛද්‍ය සභාවට තමන්ට අයිති නැති රාජකාරි පවරාගැනීමට ඉඩ දීමේය.
සයිටම් ප‍්‍රශ්නය අවුල් කිරීමේදී බල පෑ ප‍්‍රධාන හේතුවක් නම් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අත්තනෝමතික ලෙස සිය බලතල තමන් විසින්ම නිශ්චය කරනු ලැබීමයි. උදාහරණයකට විදේශයන්හි වෛද්‍ය අධ්‍යාපනය ලබා මෙරට සුදුසුකම් ලැබීමට ප‍්‍රථමයෙන් මුහුණ දෙන ඇක්ට් 16 විභාගය දැක්විය හැකිය. ආරම්භයේදී එය පැවැතියේ කෙටි සායනික පුහුණු විභාගයක මට්ටමේය. එය ඇක්ට් 16 විභාගය බවට පත්වුණේ පසුවය.
පසුව එය ඊ.ආර්.පී.එම් දක්වා විකාශනය විය. මේ විකාශනයේදී වෛද්‍ය සභාව තමන්ට අවශ්‍ය අංගෝපාංග කිසිදු පදනමක් නැතිව ඊට රිංගවයි. උදාහරණයක් ගෙන බලමු.
අධිකරණ වෛද්‍ය විද්‍යාව ගැන වෛද්‍ය ශිෂ්‍යයන් ඉගෙනගන්නේ සිව් වැනි වසරේදීය. පස් වැනි වසරෙන් පසුව නැවතත් පැවැත්වෙන අධිකරණ වෛද්‍ය විද්‍යා පරීක්ෂණයට පිළිතුරු බඳින්නට ප‍්‍රථම පන්තියේ සාමාර්ථයක් ලැබූවෙකුටවත් බැරිය. එය අවශ්‍ය ද නැත. අතීතයේදී රුසියාවේ පැවැති ඇතැම් වෛද්‍ය විද්‍යාලවල අධිකරණ වෛද්‍ය විද්‍යාව උගැන්වූයේ නැත. එහෙත් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට රජයේ වෛද්‍යවරුන්ට ද සිදු වූ පසුබිමක එසේ වෛද්‍ය උපාධි ලබා පැමිණෙන්නන්ට අධිකරණ වෛද්‍ය විද්‍යාව දැනුම අත්‍යවශ්‍ය විය. මේ වනවිට සියලූම රටවල අධිකරණ වෛද්‍ය විද්‍යාව උගන්වන අතර වෛද්‍ය සභාව එම අධ්‍යාපනය පිළිගනී.
එහෙත් ඒ වෛද්‍ය සිසුන් නැවතත් අධිකරණ වෛද්‍ය විද්‍යා විභාගයකට සම්මුඛ කරන්නට වෛද්‍ය සභාව කටයුතු කරයි. විදේශවල සීමාවාසික පුහුණුව නොපිළිගන්නා බවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හිටිහැටියේ තීරණය කළේ 2005 දීය. ඒ අනුව එංගලන්ත වෛද්‍ය සිසුවකු මෙරටට පැමිණියාට එරට සීමාවාසික පුහුණුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගන්නේ නැත. එහෙත් ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවකු එංගලන්තයට ගිය විට සීමාවාසික වෛද්‍ය පුහුණුවේ යළි නියැලෙන්නැයි එරටින් කියන්නේ නැත. මේ තත්ත්වය සලකා එංගලන්තය ද අපට එසේම පෙරළා ප‍්‍රතිචාර දක්වන්නට පටන්ගතහොත් මෙරට සිටින පශ්චාත් උපාධිලාභී වෛද්‍යවරුන්ට ද එංගලන්තයට ගොස් වැඩ කරන්නට බැරි වනු ඇත.
මා සිතන හැටියට නම් එම්.බී.බී.එස් වෛද්‍යවරයකුට උත්පත්තිය දීමේ හැකියාව මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට තිබේ. ඒ නිසා මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් දුර්මත පළකිරීමේ ප‍්‍රතිවිපාක ද වෛද්‍ය සභාවේ කල්ක‍්‍රියාවට නොදෙවැනිය. ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පුහුණුවට නිශ්චිත රෝහලක් නැත. සිදුවන්නේ එහි වෛද්‍ය සිසුන් නොයෙක් රෝහල්වල සායනික පුහුණුවට අනුයුක්ත කිරීමය. එසේ නිශ්චිත රෝහලක් නොමැතිව වෛද්‍ය පීඨ සිසුන් අනුයුක්ත කිරීම් නිවැරැදි යැයි කියන රටක නිශ්චිත රෝහලක් සහිත සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වන්නේ කෙසේද? ශ්‍රී ජයවර්ධනපුර රෝහල ද ආණ්ඩුවට අනුබද්ධ නමුත් පෞද්ගලික මුහුවකි. එය සිය සායනික සේවා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට විකුණයි.
කොතලාවලට විකිණිය හැකි නම් ඒ පුහුණුවම සයිටම් විද්‍යාලයට විකිණිය නොහැකිවන්නේ කෙසේද? මේ තර්කම අසාධාරණය. යම් හෙයකින් සයිටම් වෛද්‍ය විද්‍යාලයට අගතියක් සිදුකළහොත් තව වසර තිහකට කිසිම ආයෝජකයකු නැවත වතාවක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ලංකාවේ ස්ථාපිත කිරීම ගැනවත් නොසිතනු ඇත. අනෙක් අතට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම පෞද්ගලික අංශයෙන් නොකරන්නේ නම් කළයුතු වන්නේ රජයයි. එහෙත් සැබැවින්ම රජය විසින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරනු ලැබීම යථාර්ථයක් නොවන ප‍්‍රතිපත්තියට පටහැණි ක‍්‍රියාවකි.
විදේශික සිසුන්ට ද ආරාධනා කරමින් රජයට පෞද්ගලික(මුදල් ගෙවා) වෛද්‍ය විද්‍යාල හතරක් ආරම්භ කළ හැකි නම් පෞද්ගලික අංශයට ආයෝජනය කරන්නට ද දෙයක් ඉතිරි නොවනු ඇත. පේරාදෙනිය වෛද්‍ය පීඨය ආරම්භයේ පටන්ම දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාවට බඳවාගත්තේ සිසු සිසුවියන් හැත්තෑ දෙනෙකු පමණි. ජනගහනය වැඩි වී දත් රෝග බහුලව ඇතත් අදටත් දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාවට තෝරාගැනෙන්නේ පේරාදෙණියට බඳවාගන්නා හැත්තෑව පමණි. ඉතින් මුළු ලංකාවටම වසරකට දන්ත ශල්‍ය වෛද්‍යවරු 70 ක් සෑහේ ද?
ඇමෙරිකාව, එංගලන්තය, කැනඩාව, සිංගප්පූරුව, ඕස්ටේ‍්‍රලියාව හා මැද පෙරදිග වෛද්‍ය හිඟයක් තිබේ. ඔවුන්ගේ අඩුව පිරවෙන්නේ ආසියාවෙනි. ආසියාවෙන් ද අතිබහුතරය ඉන්දියාවෙනි. ඉන්දියාව මෙහිදී මුහුණ දී ඇති ප‍්‍රමුඛ ගැටලූවක් වී ඇත්තේ හොඳ වෛද්‍යවරයකු බිහිකරගැනීමට ඉන්දියාව සතු ආයතන ගණනින් සීමිත වීමය. මේ අතරේ වෛද්‍ය සිසුන් බිහිකරන ක‍්‍රමවේදයේ ද ව්‍යාකුලතා හා ගැටලූ රැසකි. මේ නිසා ජාත්‍යන්තර මටටමේ වෛද්‍ය විද්‍යාලයකට ප‍්‍රවේශ පහසුකම් වෙතොත් ඒ වෙත යොමුවීමට අපේක්ෂාවෙන් සිටින ඉන්දීය තරුණ කැල සංඛ්‍යාත්මකව අතිවිශාලය. මෙම ඉන්දීය මානව සම්පත කෙටි වේලාවකින් ළඟාවීමට හැකි අප රටට විශාල වෙළෙඳපොළකි. එනිසා එම කාර්යය කරන්නට සිදුවන්නේ පෞද්ගලික අංශයටය. නොඑසේව රාජ්‍ය පෞද්ගලික අනුබද්ධවය. එහෙත් දැන් අපේ රටේ සිදුවෙමින් පවතින්නේ කුමක් ද? එවැනි ගමනකට මුලපිරිය යුතු මොහොතක එහි පෙරගමන්කරුවාට ද්වේෂ සහගතව දේශපාලන ප‍්‍රහාරයක් එල්ලකිරීමය.
එංගලන්තයේ රාජකීය නාරි හා ප‍්‍රසව රෝග වෛද්‍ය සංගමයට අනුබද්ධව සැකැසෙන එම්.ආර්.සී. ඕ.ජී නමැති ජාත්‍යන්තර මට්ටමේ විභාගයේ මධ්‍යස්ථානයක් හැටියට ශ්‍රී ලංකාව භාවිත කැරිණි. මේ එම විභාගයේ පැවැති දෙවන වාරයයි. මේ වාරයට පමණක් එම විභාගය ලියන්නට විදේශයන්ගෙන් විසි හතර දෙනෙක් පැමිණියහ. ඒ, පාකිස්තානයෙන් හා බංගලිදේශයෙනි. ඊට හේතුව වූයේ ඉන්දියාවට යන්නට වීසා බලපත් ලබාගැනීම ඔවුන්ට දුෂ්කර වීමය.
ඉන්දියාවේ පවා ඇතැමුන්ට රට අභ්‍යන්තරයේ ගමනාගමනයට වඩා ලංකාවට පැමිණීම පහසුය. මේ තනිකරම ආර්ථික අවස්ථාය. එහෙත් සයිටම්.. සයිටම් යනුවෙන් කෑකොස්සන් ගසමින් නැඟෙන හුදු විරෝධයට මේ සියල්ල යටපත්වන්නේ ඛේදනීය ලෙසය. සයිටම් සම්බන්ධයෙන් නැගෙන තර්ක පදනමින් තොර ආධානග‍්‍රාහීත්වයේ ඒවාය. මේ නිසා අඩුපාඩුවක් වේ නම් එය සකසාගෙන රටත් රටේ ආර්ථිකයක් දරු පරපුරත් වෙනුවෙන් තීන්දු ගැනීම වෙනුවට සිදුවෙමින් පවතින්නේ අත්තනෝමතිකව අඳුරට යෑමය. දැන දැනම සිදුවන මෙවැනි ක‍්‍රියාවලි ඛේදවාචක නමින් හැඳින්වීමට අපට බැරිය. මේවා අපරාධය.
ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය - ප‍්‍රදීප් ද සිල්වා
උපුටා ගැනීම ලංකාදීප පුවත්පතෙනි