17 අලුත් වෙන්න යන 86 වන්නමට

Tuesday, 03 January 2017 16:18

ලංකාව කියන රටේ වාමාංශිකයන් එමටයි. පඳුරකට ගැහුවොත් ටක්කෙටම දහයකට වඩා සොයා ගැනීම කොහෙත්ම අමාරු වැඩක් නෙවෙයි. ඒත් කවදාවත් වමට රාජ්‍ය බලය අත්කර ගන්න හැකිවෙලා නෑ. ඒ ඇයි? අපි ඒ ප්‍රශ්නය ඉතා දැනුවත්ව පැත්තකින් තියලා වමේ කියන අය ගැන කතා කරන්නයි මේ සුදානම් වෙන්නෙ.

මේ කතාවට අපි පසුබිම් කරගන්නේ,  මේ රටේ අග්‍රාමාත්‍යවරයා යෝජනාකර තිබෙනවා යැයි කියනවා,  ශ්‍රේෂ්ඨ රුසියානු විප්ලවයට වසර 100ක් සපිරෙන 2017 දී, ඒ සියවසක සැමරුම රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකළ යුතුයි කියලා. ඇත්තටම ජනප්‍රිය වාමාංශය නියෝජනය කරන අයෙකුට මේ වගේ කතාවක් ඇහුණාම හිනා යනවා. සමහරු කට අල්ලගෙන හිනා වෙමින් ඇස් වලින් කතා කරන්න හදනවා. තවත් සමහරු ඉන්නවා ඒ අය කරන්නේ රනිල් කියන්නේ කව්ද කියලා අනිත් අය දන්නෙ නෑ කියලා හිතාගෙන රනිල් කව්ද කියලා විස්තර කරන්න පටන් ගන්නවා. ඒ කතාව පටන් ගන්නෙ "අන්ත දක්ෂිණාංශික රනිල්, ලංකාවේ අන්ත ධනපති පක්ෂයේ නායකයා" වගේ ලේබලයකින්. ඒ කතා අවසන් වෙන්නෙ "ඉතිං බං රනිල් වගේ එකෙක් රුසියානු විප්ලවේ සමරන්න එකතු වෙන එක මොන ජෝක් එකක්ද" කියලා.

ඒ කියන්නෙ මේ මොහොත තුල එක පැත්තකින් දක්ෂිණාංශික රනිල් ජාත්‍යන්තරවාදී වේශයක් අරගෙන. ඒ වේශය දැකලා වමේ කියන අය තනියම තමන්ටම හිනා වෙමින් ඉන්නවා. ඒත් ඇතුලතින් ඒ අය දැවෙන කාරණයක් තියනවා. ඒ තමයි ජනප්‍රිය වම මේ මොහොතේ බරපතල ලෙස දුර්වලවී සිටීම. 2000 වසර වන විට ඔවුන් පක්ෂ ලෙස හෝ පුද්ගල පෞරුෂ අත්කරගෙන සිටි බලය මේ වන විට ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකව බරපතල ලෙස පිරිහිලා. ඒ සමයේ විප්ලවයේ නියමුවන් ලෙස දිලිසුණු තරු මේ වන විට හොරු, ඩීල් කාරයන්, ජාතිවාදීන්, කප්පම්කරුවන්, වගේම විප්ලවය කල් දැමූ කාඩර්වරුන් බවට පත්වෙලා. ශුද්ධවූ අයෙක් සිටියේද ඔවුන් වාෂ්ප බවට පත්වෙලා.

මේ අවස්ථාවේ රනිල් ගණන් බලන්නේ ඉතිරිව තියන අවක්ෂේප වලින් වැඩක් ගන්නෙ කොහොමද කියන එකයි. මොකද රනිල් දකිනවා ඉතිරි අවක්ෂේප මේ වෙනකොටත් වාෂ්පීකරණය වීම වලක්වා ගන්න කරමින් සිටින දේවල්. පිරිසක් තමන්ගේ රතු පැහැය රෝස පැහැයට හරවා ගන්නවා. තවත් පිරිසක් පොත් අරගෙන ගුරුන් සොයා යනවා. දිගින් දිගටම විවිධ මාතෘකා තේමා කරගෙන ජනප්‍රිය වම බෙදෙනවා. තවත් අය ශුද්ධත්වය පතා ආගමික සිද්ධස්ථාන වල පිංකම් වලට සහභාගී වෙමින් සිටිනවා.

අනිත් අතට ඇත්තටම මේ ජනප්‍රිය වමේ අය දන්නෙ නැත්තෙ රනිල්ට ඒ වෙනුවෙන් ශුද්ධවූ අයිතියක් තියන බවයි. ඒ අයිතිය රනිල්ට විතරක් නෙවෙයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිටත් තියනවා. එහෙම කිව්වාම අපිට කියන්න පුළුවන් අපි ආණ්ඩුවට කඩේ යනවා කියලා. ඔව්, එහෙම කියන්න පුළුවන්. මොකද ඒක ඒ අයගේ සිතීමේ නිදහස. අපි ඒ නිදහසට ගරු කරනවා. නමුත් ඒ විවේචන අපි ගානකටවත් ගන්නෙ නෑ. මොකද වචන වලට තණ පතක් වත් හොලවන්න බැරි බව අපි ටක්කෙටම දන්න නිසා. ඒ නිසා වචන වලට වඩා වැඩි අවධානයක් අපි ක්‍රියාව වෙනුවෙන් යොමුකරනවා.

ඒ නිසා අපි ආණ්ඩුවට කඩේ යනවා කියලා කියන උදවියට මෙහෙම කියනවා. අපි ජාතික විමුක්ති අරගලය තුලින් සමාජවාදයට කියලා, මේ තියන පරිභෝජනවාදී ක්‍රමය සමඟ වැඩවසම් රාජ්‍යක් වෙත යන්න පාර කැපුවෙ නෑ. ඒ වගේම තමයි ධනේෂ්වර රාජ්‍යයේ භෞතික දේශසීමාවල නාමයෙන් ඒ දේශසීමා ඇතුළත ඉන්න තවත් ජනතාවකට බෝම්බ ගහන්න අනුබලදීලා නෑ. ඒ වගේම බර අවි වලින් පහර දෙන්න කියලත් නෑ. රටේ දේශපාලන ප්‍රශ්නයක් පරිපාලන ප්‍රශ්නයක් දක්වා කිසිම ලැජ්ජාවකින් තොරව මහදවාලේ දුෂණය කරන්න අපි මැදිහත් වෙලත් නෑ. ඒ නිසා අපි නමට මාර මාක්ස් වාදීන්, ලෙනින් වාදීන්, මාක්ස්- එංගල්ස්- ලෙනින් වාදීන්, පශ්චාත් මාක්ස්වාදීන්, නොවෙනවා විතරක් නෙවෙයි, ඒ සුරුවම් අයිතිකරගෙන ඔවුන්ගේ ඓතිහාසික සමාජ මැදිහත්වීම දුෂණය කිරීමටත් අපේ සම්බන්ධයක් නෑ.

නමුත් ඉතා පැහැදිලිව 1994 ජවිපෙ මුලිකව ගොඩනැගුනු මේ රටේ ජනප්‍රිය වම මේ දක්වා සිදුකළ දේශපාලන මැදිහත්වීම හොඳ කේස් ස්ටඩියක් බව අපි විශ්වාස කරනවා. අපිට මොන වචන වලින් මේ වෙලාවේ පහර දුන්නත් ඒ වෙනුවෙන් වන ක්‍රෙඩිට් එක ජනප්‍රිය වමට දෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි, එය අධ්‍යයනය කිරීමත් වැදගත් වෙනවා. එතැනදී අපි මුල් තැන දෙන්නේ වම කලේ මොකක්ද කියන කාරණයට වඩා වම නොකර ඉන්න තිබුණේ මොකක්ද කියන දේ ගැන සලකා බලන්නයි. ඒ කාරණය යම් තරමකට හෝ පරීක්ෂා කර බැලීම 2017 වසර ආරම්භය සමග අත්‍යාවශ්‍ය කාරණයක් බව අපි කියන්නේ රනිල් - මෛත්‍රී ගේ දේශපාලන හැසිරීම ගැනත් හොඳ අවබෝධයක් ඒ ඔස්සේ ලැබීමට අවස්තාව උදාවෙන නිසයි.

ඒ එක්කම 2008-2010 ජවිපෙ බෙදී වෙන්වීම තුළවත් වමක් විසින් නොකළයුතු දේ ගැන අවශ්‍ය බරකින් කතා බහක් මතු වුණේ නෑ. අපි දැකපු විදිහට එතැනදී වම තමන්ගේ ජනප්‍රියවාදී පදනම් රැක ගන්න ඒ කතා බහ යට කළා. කවුරු කවුරුත් තමන්ගේ ව්‍යාපාරයේ පස්ස නැති කල ඒ එළඹුම හදිසියකදී එළියට ගැනීමේ අපේක්ෂාවෙන් එය සමාජයෙන් වසන් කළා කිව්වොත් හරියටම හරි.

අන්න ඒ හදිසියට සඟවපු දේ 2017 දී එළියට ගන්න මේ වෙන කොට ජනප්‍රිය වම සුදානම් වෙමින් ඉන්නවා. ඊට ඔවුන් වාහකයක් ලෙස යොදාගන්න සුදානම් වෙන්නෙ මේ වන විටත් පාර්ලිමේතුව තුල සැලකිය යුතු දුරක් ගෙනවිත් තිබෙන යෝජිත නව ව්‍යවස්ථාවයි. රනිල් තෙල් දාලා හුළං ගහන්නෙ ඒ දේ ටිකක් ඉක්මන් කරලා එළියට ගන්න.

කොහොම හරි, 2016 වසර අවසන් වන මොහොතේ ජවිපෙ ඒ සඟවපු දේ අතට ගන්න පළමු පියවර තැබුවේ “රට බෙදන ව්‍යවස්ථා මර උගුල පරාජය කරමු” කියලා පෝස්ටරයක් රට පුරා අලවමින්. ජවිපෙ අතට ගත්ත ඒ කොඩිය අත්පත්කර ගන්න මේ වෙනකොට ජවිපෙ වෙතින් ඉවත් වුණු පාර්ශව විතරක් නෙවෙයි, ලිබරල් ජාතිවාදීන් වන පාඨලී සහ මහින්ද පාර්ශවයත් පොරයකට වැටී සිටිනවා. ඒ වගේම ශ්‍රීලනිප ය සහ එජාප ය මේ පොරය තුල තමන්ගේ පංගුව විශාල කර ගැනීමේ සීතල යුද්ධයක් ආරම්භ කරලා. ඒ පසුබිමේ අපි දකිනවා මහ දවාලේ ඝාතනය වූ රවිරාජ් ඝාතකයින් උසාවියේ දී නිදහස් වෙනවා, මේ විදිහට හෙට අපිට ආරංචි වෙන්න පුළුවන් එක්නැලිගොඩ සියදිවි හානිකරගෙන, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරලා තියෙන්නේ පිටසක්වල ජීවින් කියලත්. ඔය පසුබිමේ 2015 දී රාජපක්ෂ රෙජීමයේ මර්දනය මෙහෙයවූ ගෝඨාභය ත්, ආර්ථිකය දුෂණය කල බැසිල් ඇතුළු නඩය ත් යලි සුදුරෙදි සහිතව කරළියට ගොඩවෙමින් සිටිනවා.

ඒ කියන්නේ 2015 ජනවාරි 08 වෙනස කිසිම වෙහෙසක් නැතුවම පරණ පාරට අවතීරණ වෙන්න අවශ්‍ය සියළු කාරනා දිනපතා සකස් වෙමින් තිබෙනවා. යළිත් වතාවක් ඉතිහාසයේ එකම වරද වෙනස් සන්ධර්භයක සිදුකිරීමට ජනප්‍රිය වම සුදානමින් සිටිනවා. ඇත්තටම සමාජය යළිත් වරක් පසුපසට අදින්න සුදානම් වන වමේ මේ වන්නමට අපි කියන්නේ 86 වන්නම කියලා. එහෙමත් නැත්නම් රෝහණ විජේවීර ලංකාවේ ජාතික ගැටලුව පදනම් කරගෙන ලියපු “දෙමල ඊළාම් අරගලයට විසඳුම කුමක්ද ?” කියන න්‍යාය ග්‍රන්ථය.

94න් පසුව ඔය කියන වමේ ශේෂ පත්‍රය පරීක්ෂා කිරීමේදී ඔය 86 වන්නම විසින් අපේ සමාජයට දායාද කර තිබෙන්නේ අන්ත දුෂිත ව්‍යවස්ථාපිත ඒකාධිපතියෙක් දොහොත් මුදුනින් පිළිගන්න මිනිසුන් සහිත සමාජයක්. රටක ජීවත් වන ජනතාවට වඩා ඒ රටේ ජාතික දේශසීමා වැදගත් බව සිතන සමාජයක්. ධනපති රාජ්‍යයේ මර්දන උපකරණ එම රාජ්‍යයේ ම තවත් ජනකොටසක් අමානුෂිකව ඝාතනය කරන විට එය ඉවසා දරාගෙන සිටීම දේශප්‍රේමය ලෙසට අර්ථ දක්වාගත් සමාජයක්. අවසාන විග්‍රහයේදී සිංහලයාගේ සියලු දුක් කම්කටොලු වලට හේතුව දෙමළා හෝ මුසල්මානුවා බවට විශ්වාස කරන සමාජයක්.

ඇත්තටම ඒ සමාජ මතය නිර්මාණය කරන්න නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර වගේ අයත් දායක වුණා. ඒත් සමාජ මතයක් ලෙස තිබුණු දෙයට ජීවයක් එක්කළේ 86 වන්නම විසිනුයි. ඇත්තටම රනිල් 2017 වසරේ රුසියානු විප්ලවයේ 100 සමරුව ගැන කතා කරන්නේ ජනප්‍රිය වම ඒ නිසා කොච්චර කලබල වෙනවද කියලා හරියටම දන්න නිසයි. ඒ විතරක් රනිල් දන්නවා මේ මොහොතේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය අර්බුදයට යාම වගේම එම අර්බුදයට යාම තුල එජාපයට සිදුවන දේශපාලන හානිය උපරිමයෙන් අවම කරගැනීමටත් 85 වන්නම හරහා අවස්තාව උදාකරගත හැකි බව. ඒ වගේම 85 වන්නමට ඕන තොයිලයක් පටන් ගන්නට හැකියාව තිබුනත් එය කළමනාකරණය කරගැනීමේ සහ අවසන් කිරීමේ හැකියාව තියෙන්නේ කාටද යන්න රනිල් සහ මෛත්‍රී දෙන්නාම දන්නවා. ඒ අනුව දැනට අපි හමුවේ තිබෙන්නේ රනිල් වෙනුවෙන් හිතන්නේ නැතුව වැඩට බහින්න සුදානම් වමක්.

ඒක වෙන්නෙ කොහොමද? ඉතිහාසයේ වුණේ කොහොමද ? වගේම ජනප්‍රිය වමට වඩා රුසියානු විප්ලවය සැමරීමේ වැඩි අයිතියක් ධනපති පක්ෂ නායකයන්ට ඇති බව අපි පිළිගන්නේ ඇයිද යන්න 86 වන්නම හරහාම අපි ඉස්සරහට ලියනවා!

- සෝර්බා

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us