පුස්ස බින්ද ඇවන්ගාඩ් විමර්ශනය Featured

Monday, 21 November 2016 12:35

රාජපක්ෂ යුගයේ සිදු වූ සියල්ල දූෂිතයි, වංචාකාරියි, නාස්තිකාරියි යනුවෙන් චෝදනා කරන වත්මන් යහපාලකයෝ, ජවිපෙ වැනි බංකොලොත් දේශපාලන පක්ෂ, ඩොලර් මත යැපෙන එන්ජීඕ කාක්කෝ ද තමන්ගේ පැවැත්ම වෙනුවෙන්, මෙය කරමින් සිටින බව හා තවදුරටත් සිදු කරමින් සිටින බව, වත්මන් දේශපාලන විපරිතය වටහා ගැනීමට පහසුම ආකාරය විය හැකිය.

එය වඩාත් නිවැරැදි යැයි සිතෙන්නේ එකදු චූදිතයකු හෝ නීතිය හමුවේ වරද කරුවකු කිරීමට යහපාලන ආණ්ඩුව දැනුවත්ව මඟ හරිමින් සිටින බවක් ද පෙනෙන්නට තිබෙන බැවිනි. ඊටත් වඩා එලෙස චෝදනා ලක් වූවන්, වත්මන් යහපාලනය සමඟ එක් වී නැවත හොරකම් කරමින් සිටීම මේ විපරිතයේ තරමට කදිම සාක්ෂියකි. මේ අතරම රාජපක්ෂවරුන් හොරකම් කළත් එසේ කළේ රටට වැඩක් කරමින් බව දැන් රට්ටු කියන්නේ වත්මන් ආණ්ඩුව වැඩ කිරීම අතින්ද සිය අසමත් භාවය පෙන්වා ඇති බැවිනි.

හොරු අල්ලනවාය කියමින් මේ යහපාලන ආණ්ඩුව බලයට පැමිණි පසුව මුලින්ම බෙල්ලෙන් අල්ලා ගනු ලැබුවේ ඇවන්ගාඩ් සමුද්‍රාරක්ෂක සේවයේ හිමිකරු විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපතිය. ගාල්ල වරායේ නීති විරෝධී ගිනි අවි පටවා ගත් නෞකාවක් තිබුණු බවත්, රාජපක්ෂවරුන් නැවත බලය ලබා ගැනීම සඳහා ප්‍රහාරයකට කුමන්ත්‍රණය කරමින් සිටිය බවත්, සේනාධිපති ජාත්‍යන්තර අවි ජාවාරම්කරුවකු බවත්, ගෝඨාභය මේ සියල්ල මෙහෙයවන බවත්, ආදී වශයෙන් චෝදනා රොත්තක් ඇද බෑවේය. ඒ අනුව ගාලු වරායේ තිබූ ඇවන්ගාඩ් සමාගමේ ‘මහනුවර’ නම් නැව අත් අඩංගුවට ගනු ලැබීය.

එහෙත් එම නැවට සිදු වූයේ කුමක්ද? එම නැවේ තිබුණාය කියූ නීති විරෝධි අවිවලට සිදු වූයේ කුමක්ද ? අපරාධකරුවන් අල්ලා ගත්තාද? අධිකරණ ක්‍රියමාර්ගයක් ගත්තාද? දඬුවම් ලැබුවෙකු සිටියාද ? මේ කිසිවක් ගැන දැන් කිසිවකුට මතක නැත.

ඉන් පසුව ඇවන්ගාඩ් ව්‍යාපාරයටම අයත් අනෙක් පාවෙන අවි ගබඩාව එම් වී ඇවන්ගාඩ් නම් නෞකාව සහ එහි තිබූ අවි ද පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී අත් අඩංගුවට ගනු ලැබුවේය. ඒ ගාල්ල වරාය ආසන්න ජාත්‍යන්තර මුහුදේදීය. එසේම ඇවන්ගාඩ් සමාගම විසින් සිදු කරමින් තිබූ ව්‍යපාරය නාවික හමුදාවට පවරාදීම ද සිදු කරන ලදී. දැන් ඊට වසරක් ගෙවී ගොසිනි. එහෙත් එසේ ව්‍යාපාරය බලහත්කාරයෙන් පවරා ගනු ලැබූව ද ඊට නිශ්චිත හේතුවක් හෝ චෝදනාවක් ඔප්පු කිරීමට ආණ්ඩුව මෙතෙක් සමත්ව ද නැත.

කෙසේ හෝ වසරකට පසුව පසුගිය දා පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය විසින් ඇවන්ගාඩ් ව්‍යාපාරය නාවික හමුදාවට පවරා ගැනීමෙන් පසුව වසරක කාලයක් තුළ රුපියල් කෝටි 233 ක ආදායමක් ලැබූ බවට පුවතක් ප්‍රසිද්ධ කර තිබිණි. ඇතැම් මාධ්‍යවලට අනුව පාවෙන අවි ගබඩා, සෝමාලියාවේ මුහුදු මංකොල්ලකරුවන් සමඟ සටන් කර නැව් බේරා ගැනීමේ සමුද්‍රාරක්ෂක සේවා ද පවත්වා ගෙන ගොස් ඇත්තේ නාවික හමුදාව විසින්ය. කෙසේ නමුත් මෙම පුවතට මෙතරම් ප්‍රසිද්ධියක් ලැබෙන්නේ මෙම ඇවන්ගාඩ් සමුද්‍රාරක්ෂක සේවය විසින් රජයට කෝටි 1140 ක පාඩුවක් සිදු කළාය, යනුවෙන් අල්ලස් කොමිසම හමුවේ පැවැරූ නඩුව ආසන්නතම හේතුව නිසාම නොව බලහත්කාරී පවරා ගැනීම සාධාරණීකරණය කර ගැනීමේ වුවමනාව නිසා බව පැහැදිලිය.

මෙරට මාධ්‍ය වාර්තා පළ කිරීමේ දී පාර්ශ්වික භාවයන් මෙන්ම තක්කඩි වුවමනාවත් වඩා ප්‍රමුඛ වීම තුළ මෙම නාවික හමුදාව ලබන ලාභය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු අනාවරණය කරන්නේ නැත. මේ සම්බන්ධයෙන් අප මීට පෙර ද සත්‍ය තොරතුරු හෙළිදරව් කර තිබේ. එය නැවත නැවත කියන්නට සිදුව ඇත්තේ මෙම අල්ලස් කොමිසමේ නඩුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පමණක් නොව දූෂණ විරෝධීන් ලෙස පෙනී සිටින විවිධ කල්ලි කණ්ඩායම් විසින් ද විවේචනය කර තිබෙන බැවිනි. මෙම නඩුව පැවරුවේ පසුගිය අගෝස්තු 31 වැනිදාය. නමුත් සත්හඬ මේ නඩුව පැවරීම ගැන වාර්තා කරනු ලැබුවේ, මේ නඩුව මඟින් ගෝඨාභය රාජපක්ෂව සුද්ධ කරන්නද යන සැකය, ඇති බව සඳහන් කරමිනි. මන්ද මෙය අතිශය දුර්වල නඩු නිමිත්තක් නිසාය. මන්ද 2009 දෙසැම්බරයේ සිට නාවික හමුදාව සමුද්‍රාරක්ෂක කටයුතු සම්බන්ධයෙන් වන ව්‍යාපාරික කටයුත්ත විවිධ අලකලංචි මධ්‍යයේ හෝ සිදු කරමින් 2012 ඔක්තෝබර් දක්වා උපයා තිබුණේ රුපියල් කෝටි 180 ක් පමණි. පසුව ඇවන්ගාඩ් සමාගම පාවෙන අවි ගබඩා සංකල්පය ද සමඟ ආරක්ෂක අමාත්‍යාංශයේ රක්නා ආරක්ෂක ලංකා සමාගම හා ඒකාබද්ධ ව්‍යාපාරයක් ආරම්භ කරමින් 2012 ඔක්තෝබර් මාසයේ සිට එම ව්‍යාපාරය පවරා ගැනීම දක්වා කාලය තුළ රජයට උපයා දුන් මුදල රුපියල් කෝටි 380 කි. ඒ රජයට මේ වෙනුවෙන් සතපහක් වත් වියදම් කිරීමට ඉඩ නොතබා ය. එමෙන්ම නාවික හමුදාව ඒවන විට සිදු කර තිබූ මෙහෙයුම් සංඛ්‍යාව මාසිකව 500 ක පමණ අගයක් ගෙන තිබූ අතර ඇවන්ගාඩ් සමාගම එය 850 ක පමණ සාමාන්‍ය තත්වයකට ගෙන එන ලදී. එමෙන්ම මේ විධිමත්, වැරැදිවලින් තොර විශිෂ්ට ව්‍යාපාරයක් බවට පත් කිරීමට ඇවන්ගාඩ් සමාගමට හැකි වූ අතර එය ලෝකයේ අංක එකේ සමුද්‍රාරක්ෂක සේවය බවට පිළිගැනීමකට ද ලක් විය.

අද නාවික හමුදාව වර්ෂයකට කෝටි 233 ක ආදායම් ලබන්නේ මෙලෙස විධිමත් ලෙස සකස් කෙරුණු අනුන්ගේ ව්‍යාපාරයක් බලහත්කාරයෙන් ඩැහැ ගැනීමෙන් පසුවය. එපමණක් නොවේ. එවකට ඇවන්ගාඩ් සමාගම විසින් එක මෙහෙයුමක් වෙනුවෙන් අය කර ගත් ඩොලර් 3500 ක මුදල නාවික හමුදාව විසින් 2500 ට අඩු කරනු ලැබීය. එමඟින් රජයට සිදු කර ඇති පාඩුව ඔවුන් විසින් සිදු කරනු ලැබුවයි කියන වාර්ෂික මෙහෙයුම් 6,646 (මාසික 554) හා සැලකීමේ දී ඩෝලර් 664,600 ක පමණ පාඩුවක් මෙරටට සිදු කර තිබේ. අදාළ ලාභය ගැන කතා කරන මාධ්‍ය වාර්තාවන් හි මේ අලාභය ගැන වචනයකදු සඳහන් නැත. එමෙන්ම ඇවන්ගාඩ් සමාගම කෝටි 1140 ක ආදායමක් වාර්තා කළේ වසර 3 ක කාලයක දී වන අතර ඒ අනුව නාවික හමුදාව එක් වසරක් තුළ දී අඩුම තරමින් රුපියල් කෝටි 350 ක් වත් ආදායම් උපයා ගැනීමට සමත් විය යුතුව තිබිණි. එහෙත් නාවික හමුදාව එම නොහැකියාව සනාථ කොට ඇත.

මේ නොහැකියාවේ පදනම වන්නේ මෙම ව්‍යාපාරයේ ආයුධ ගබඩා කර ගැනීම හා අදාළ වෙළෙඳ නෞකවල සිට ආයුධ ප්‍රවාහනයේ දී ආරක්ෂාව සැපයීම පමණක් නාවික හමුදාව සිදු කරන බැවිනි. නාවික හමුදාවට පාවෙන අවි ගබඩා ඇත්තේ නැත. එවැනි අවි ගබඩාවක් ජාත්‍යන්තර මුහුදේ පවත්වාගෙන යාමට නාවික හමුදාවට නීතියෙන් අවසරයක් ද නැත. එමෙන්ම සමුද්‍රාරක්ෂක නිලධාරීන් (සී මාර්ෂල්වරු) සේවයෙහි යෙදීමේ අවසරය ද නාවික හමුදාවට නැත. එනම්, මේ තමන්ට කරන්න බැරි වැඩක් බාර ගැනීමකි. ලාභ උපයමින් තිබූ අනුන්ගේ ව්‍යාපාරයක් කොල්ල කා ගැනීමකි. මෙම ව්‍යාපාරය කොල්ල කෑම සඳහා දේශපාලකයන් කිහිප දෙනකු හා ව්‍යාපාරිකයන් කිහිප දෙනකු පසුගිය කාලයේ දැඟලූ බව ප්‍රසිද්ධ කරුණකි.

කෙසේ නමුත් අපගේ වැදගත්ම ප්‍රශ්නය වන්නේ ඇවන්ගාඩ් ව්‍යාපාරය සම්බන්ධයෙන් එල්ල කරන ලද කප්පරක් චෝදනා සම්බන්ධයෙන් හා කෙරුණු විමර්ශනවලට සිදු වුයේ කුමක්ද යන්න ගැනය. පොලීසිය, රහස් පොලීසිය, ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම හා අල්ලස් කොමිසම විසින් පරීක්ෂණ ගණනාවක් පසුගිය වසරකට වැඩි කාලයක් තිස්සේ සිදු කරනු ලැබීය. අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනය හා ඔවුන්ගේ ක්‍රියාමාර්ගය ගැන රටටම දැන් හොඳ අවබෝධයක් තිබේ.
වරක් ‘මහනුවර’ නම් නැවෙහි පවත්වාගෙන ගිය අවි ගබඩාව සම්බන්ධයෙන් අතිරේක සොලිසටර් ජනරාල්වරයකුගේ නිර්දේශයක් අල්ලාගෙන දූෂණ විරෝධීන් ලෙස පෙනී සිටින ඇමැතිවරුන් වන රාජිත සෙනාරත්න. චම්පික රණවක, අර්ජුන රණතුංග මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ, සිරස මාධ්‍ය ආයතනය සහ ඩොලර් මත යැපෙන ඊනියා දුෂණ විරෝධී රාජ්‍ය නොවන සංවිධාන දෙක තුනකුත් ජෝගියක් නැටුවේය. මේ අය හිටපු නීතිය හා සාමය පිළිබඳ ඇමැති තිලක් මාරපන මහතාට චෝදනා එල්ල කොට ඔහුව ඇමැතිකමෙන් නෙරපීය. වත්මන් අධිකරණ ඇමැතිවරයාට ද චෝදනා එල්ල කරමින් තිබේ. හිටපු නීතිපතිවරයා මෙන්ම ඊළඟ පත් වීමට සිටි ජ්‍යේෂ්ඨතම නිලධාරියා වෙනුවට නව නීතිපතිවරයෙක් ද පත් කර ගන්නා ලදී. එහෙත් සිදු වුණ දෙයක් නැත. අද ඒ ගැන කිසිදු කතාවක් නැත.

අත් අඩංගුවට ගත් දෙවන නැව (ඒම් වී ඇවන්ගාඩ්) සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය විසින් සිදුකරමින් තිබෙන විමර්ශනයට අදාල නඩුවක්, ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ තිබේ. රක්නා ලංකා සමාගමේ අවි රතු මුහුදේ ගබඩා කිරීම සඳහා යොදා ගත් එම් වී ඇවන්ගාඩ් නැව එම අවි නැවත රක්නා ලංකා සමාගමට භාරදීමට පැමිණෙමින් සිටියදී 2015 ඔක්තෝබර් 05 වන දින රාත්‍රියෙහි ගාල්ල ආසන්න ජාත්‍යන්තර මුහුදේ දී නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගන්නා ලදි. චෝදනාව වූයේ නීති විරෝධි ගිනි අවි මෙරටට රැගෙන ඒමට ගත් උත්සාහයක් සම්බන්ධයෙනි. ඒ අනුව වන මේ විමර්ශනය දැන් තේරුම් ගත නොහැකි අමුතු කටයුත්තක් බවද පෙනෙන්නට තිබේ.

පොලීසිය විසින් අත් අඩංගුවට ගත් ඇව්න්ගාර්ඩ් නැවේ කපිතාන්වරයා ලෙස සිටි යුක්‍රේන් ජාතිකයා පසුගිය ජූලි මාසයේ සිට රිමාන්ඩ් බාරයේ සිටී. ඒ නීති විරෝධී ලෙස මෙරටට අවි ප්‍රවාහනය කල චෝදනාවටය. නමුත් ගැටලුව වන්නේ මෙම නැව හා එහි ගබඩාකර තිබූ අවි හා පතොරම් මෙරටට රැගෙන ඒම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ ලිඛිත අවසරය ලැබී තිබියදී නාවික හමුදාව විසින් නැව අත් අඩංගුවට ගැනීමය. 2015 සැප්තැම්බර් 23 වන දින එම අවසර ලිපිය නිකුත් කර තිබෙන අතර නැවත ඔක්තෝබර් 06 වන දිනද ඒ නාවික හමුදාපතිවරයාට දැනුම් දි තිබිනි. එමෙන්ම පොලීසිය පවසන්නේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් යොමු කළ අවසර ලිපිය පිළිගැනීමට නාවික හමුදාව සූදානම් නැති බවය. පොලීසියට මෙම විමර්ශන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසෙන්නේ ඒ අනුවය. ත්‍රිවිධ හමුදා සේනාධිනායකයා වන ජනාධිපතිවරයා සාමාන්‍යයෙන් ත්‍රිවිධ හමුදාවේ කටයුතු සම්බන්ධයෙන් නියෝග දෙන්නේ ආරක්ෂක අමත්‍යාංශය හරහාය. ඒ පිළිපැදීමට ත්‍රිවිධ හමුදාව බැඳී සිටී. එහෙත් මේ සිදුව ඇත්තේ ඊට පරස්පරය ය.


මෙම අවි බාරව සිටියේ රක්නා ආරක්ෂක ලංකා සමාගමේ නිලධාරීන් ය. එම අවි තමන්ගේ බවට රක්නා ආරක්ෂක ලංකා සමාගම ලිඛිතවම පිළි අරගෙන ද තිබේ. එමෙන්ම මෙම ගිනි අවි හොර ඒවා බවට එල්ල කෙරුණු චෝදනාවට ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් පැහැදිලි පිළිතුරක් ලබා දී තිබේ. ඒ අනුව මෙහි නිති විරෝධි ගිනි අවියක් හෝ පතොරමක් තිබී නැත. ගිනි අවි වල ලියාපදිංචි අංක මකා ඇති බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයා සහතික කළේ ඒ ලියා පදිංචි අංකයක් නොව ඒ සියලු අවිවල ඇති පොදු අක්ෂරයක් බවය. එය චීන අක්ෂරයකි. නැව අත් අඩංගුවට ගැනීමෙන් පසුව එම අවිවල ලියාපදිංචි අංක හිතා මතා සූරා ගෙන තිබෙන බවට තොරතුරු ලැබී ඇති බව ද ඇවන්ගාඩ් සමාගම චෝදනා කර තිබේ.


රස පරීක්ෂක වාර්තාව සම්බන්ධයෙන් ඇමැති රාජිත සේනාරත්න මහතා රට හමුවේ බොරු බේගල් අත හරින විට, රස පරීක්ෂකවරුන්ගේ සංගමය ද මැදිහත් වී පැවසුවේ ඇමැතිවරයා බොරු පවසන බවය. එමෙන්ම මෙම අවි අත් අඩංගුවට ගැනීමෙන් පසුව නාවික හමුදාව යුධ හමුදාව වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව හා පොලීසිය ද පරික්ෂා කළ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතියෙන් තොර එකදු ගිනි අවියක් හෝ එම නැවෙහි තිබූ බව අනාවරණය නොවීය.

මෙම පාවෙන අවිගබඩාව හා ඇවන්ගාඩ් සමාගමට තිබෙන එකම සම්බන්ධය එම නැව කුලියට ගත්තේ එම සමාගම විසින් වීමය. එම කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයට පඩි නඩි ගෙවන ලද්දේ ඇවන්ගාඩ් සමාගම වීමය.

නමුත් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය, කවදා හෝ ඇවන්ගාඩ් සමාගමට එරෙහිව කුමක් හෝ චෝදනාවක් ඔප්පු වන තුරු මෙම නඩුව සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දීම කල් දමමින් තිබෙනවා ද යන්න ගැන සැකයක් තිබේ. මෙහි අනෙක් විහිළුව නම් මෙම කපිතාන්වරයා සමඟ අත්අඩංගුවට ගත් මෙම අවිවල බාරකාරිත්වය දැරූ රක්නා ලංකා සමාගමේ නිලධාරීන්ව මෙම අධිකරණය විසින් ඇප පිට නිදහස් කිරීමය. නැවේ තිබුණේ නීති විරෝධී ගිනි අවි බවට චෝදනාවක් එල්ල වී තිබිය දි එම ගිනි අවි තමන්ගේ යනුවෙන් එහි අයිතිය වෙනුවෙන් පෙනී සිටින පිරිස එළියේය. නැව පදවාගෙන පැමිණි කපිතාන් මාස ගණනාවක් තිස්සේ රිමාන්ඩ් බාරයේය.

මේ අතරම ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය අවසර ලබා දීම නිති විරෝධී බවට ද චෝදනාවක් එල්ල වී තිබේ. නමුත් ගැටලුව වන්නේ ඒ සඳහා පසුගිය ආණ්ඩුව සමයේ ආරක්ෂක අමාත්‍යාංශය අනුමැතිය දී තිබීම නීති විරෝධී නම් වත්මන් ආණ්ඩුව ඇවන්ගාඩ් සමාගම හා පවතින ගිවිසුම් සියල්ල අහෝසි කොට පැවැති ආණ්ඩුවෙහි එම ගිවිසුම්වලට ඇතුළු වූ නිලධාරීන්ට එරෙහිව නිත්‍යානුකූල පියවර ගත යුතුය. මන්ද වරදක් සිදු කොට ඇත්තේ එම රාජ්‍ය අධිකාරිය විසින් වන නිසාය.

අනතුරුව ඇවන්ගාඩ් ව්‍යාපාරය විනාශ නොකොට ඒ තවදුරටත් පවත්වාගෙන යාම සඳහා වන වත්මන් ආණ්ඩුවේ නිත්‍යානුකූල ක්‍රියාපටිපාටිය අනුව කටයුතු කළ යුතුව තිබිණි. එහෙත් එවැන්නක් සිදුව නොමැත. නමුත් වත්මන් ආණ්ඩුව ද එම ගිවිසුම් පසුගිය වසරේ දී අලුත් කර තිබිණි. මෙම ව්‍යාපාර විසින් සිදු කරනු ලැබුවේ රුපියල් බිලියන ගණනක විදේශ විනිමය උපයා ඒ සියල්ල මෙරටට රැගෙන ඒම මිසක් මෙරට ධනය හොරා කෑම නොවේ. රැකියා දහස් ගණනක් මෙන්ම අති විශාල සමාජ සුභසාධන කටයුත්තක් ද මෙම ව්‍යාපාරය හරහා සිදු කර තිබේ.


අද නාවික හමුදාව ආදායම ලැබීම සම්බන්ධ පුවත අනුව මේ ලැබූ ආදායම දැන් බැර කරමින් තිබෙන්නේ රජයේ එකාබද්ධ අරමුදලටය. මීට පෙර මෙම ආදායම බැර කරනු ලැබුවේ නාවික හමුදා ව්‍යාපෘති අරමුදලටය. ඒ නාවික හමුදාවේ දියුණුවටය. වත්මන් ආණ්ඩුවේ කටයුතු පිළිබඳ සලකා බැලිමේ දී කියන්නට සිදු වන්නේ වත්මන් නාවික හමුදාපතිවරයා විසින් මේ රජයේ දූෂණ වංචා හා නාස්තිකාර වියදම් පියවා ගැනීම වෙනුවෙන් මේ ලැබෙන ආදායම රජයේ එකාබද්ධ අරමුදලට බැර කරන බවය. ඒ ඔහුගේ කැමැත්ත විය හැකිය. ඒ කෙසේ වෙතත් ඇවන්ගාඩ් ව්‍යාපාරය නාවික හමුදාව අතට ගැනීමෙන් පසුව සේවය අහිමි වූ හිටපු ආරක්ෂක අංශ සෙබළුන් කිසිවකුට හෝ රැකියාවක් ලබාදීමට මේ නාවික හමුදාපතිවරයා සමත්ව නැත. මේ සේවය අහිමි වූවන් අතර තුන් දහසක් පමණ ආබාධිත සෙබළුන් සිටින බව පැවසේ. රුපියල් ලක්ෂ එකහමාරේ සිට ලක්ෂ 30 දක්වා වැටුප් තල වල ඔවුන් එවකට කටයුතු කරනු ලැබීය. ඊටත් වඩා මේ අතරින් සියයට 80 ක පමණ දෙනා නාවික හමුදාවේ ම සේවය කළ අයවලුන් වේ. නාවික හමුදාපතිවරයා තමන්ගේ හමුදාව ගැන එහි හිටපු සෙබළුන් හා නිලධාරීන් ගැන දක්වන සැලකිල්ල කෙතරම් දැයි එමඟින් කල්පනා කළ හැකිය.

කොහොම නමුත් ඇවන්ගාඩ් සිදු වීම සම්බන්ධයෙන් වන ගැටලුව ආණ්ඩුවට දැන් දැනෙනු ඇත්තේ ගලේ පහරා ගත් බළලාට හිතුණු විදිහට විය හැකිය. නමුත් හත් පොළේ ගා නොගෙන මේ ඉක්මනින් විසඳා ගැනීමට ආණ්ඩුව සමත් විය යුතුය.

පසුගිය දා ජනාධිපතිවරයා ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් අවධාරණය කරනු ලැබුවේ ද මේ කරුණමය. එනම් මේ විමර්ෂණ කටයුතු දේශපාලන න්‍යායපත්‍ර අනුව සිදුවීම, පමා වීම , හා විසුළුකාරී ක්‍රියාමාර්ග නැවැත්විය යුතු බවය.

සුභාෂ් ජයවර්ධන

sathhanda.lk

Leave a comment

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us