නිකම ට හැරිල බැලුවොත් කාන්තාව සම්බන්ධයෙන් මේ ආසියාතික - වැඩවසම් සංස්කෘතිය අස්සෙ කොහොමත් ලැබිල තිබුණු සැලකිල්ල හොඳ එකක් නෙවෙයි. හැමදාම කබල් ගාන වංශෙ පටන් ගන්නෙ ම සිංහයෙක් විසින් කුමාරියක් පැහැරගෙන යාමෙන්. ඊළඟට සිංහබාහු තමන්ගෙ එකකුස උපන් සොයුරියව අඹු කමට ගන්නවා. විජය ව එයාගෙ කල්ලියත් එක්ක ම පිටුවහල් කරන්නෙ නොසණ්ඩාල හැසිරීම නිසා. මිනිහ මෙහෙ ඇවිල්ලත් තමුන්ට රජ වෙන්න උදව් කරපු කුවේණිව ළමයි දෙන්නෙකුත් ලැබුණට පස්සෙත් එළවා ගන්නව.
ඉන් එහාට දිගට ම රජ්ජුරුවො පාරක යද්දි දකින ඕනෙ ම ගෑණියෙක් අන්තඃපුරේට කුදළං යනව. ගම් වල හිටපු රදළයො තමන්ගෙ හිතේ හැටියට ගමේ තරුණියන්ව කාන්තාවන්ව ලිංගික කටයුතු වෙනුවෙන් යොදාගන්නව. මහරජ වරුන්ගෙ නමට ලියවුණු සුදුහුණු පිරියම් කරපු දාගැබ් විගාර අස්සෙන් කළු ම කළු අඳුරු කතා දාහක් නළියනව. ලෝකෙම පුදුම කෙරෙව්වයි කියන වාරි ශිෂ්ටාචාරයෙ මහ වැව් පුරවන්න ඉතිහාසයේ ගෑණු කඳූළු හලල තියෙනවා.
හැම එකට ම සුද්දට ඇඟිල්ල දික් කරන මහත්තුරු මෙව්ව දන්නව, නොදන්නව වගෙ ඉන්නව. ඇත්තට මෙව්ව අපරාධ කියල කියන්නවත් අවබෝධයක් එන්නෙ ඒ සුද්දගෙ සංස්කෘතිය ඇතුළෙන්. දැන් මේ වෙන්නෙ දෙදාස් පන්සීයක ඉතිහාසයක් අස්සෙ තිබුණයි කියන, ඒත් නොතිබුණ ව්‍යාජ සදාචාරෙකට වික්ටෝරියානු සභ්‍යත්වයෙන් අහුල ගත්තු කෑලි ටිකක් එකතු කරල හදාගත්තු අච්චාරුව කාපු සමාජෙකට බඩ එළියෙ යන එක. ලෝකයක් ගඳගස්සන අතරෙම ඒ සමාජයමත් වළපල්ලට ළං වෙනව.
කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි බලහත්කාරය මේ යන වේගෙන් සාමාන්‍යකරණය වෙනව නම් තව ටික දවසකින් මේව ප්‍රවෘත්තියක් පවා නොවෙන තැනකට යන්න පුළුවං. සමාජ ප්‍රගමනය සර්පිලාකාරව පිමි වශයෙන් වෙනව කිව්වට ඒක ඇතුළෙ අපගමනයන්ටත් ඉඩ තියෙනව. ලෝකෙ ඉස්සරහට යද්දි අපි මේ යන්නෙ ආපස්සට. මිනිස් අයිතිවාසිකම් කියන එව්ව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් හැටියට දකින රටකින් මීට වඩා හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්නත් අමාරුයි. හෙට දවස ගැන සුභ සිහිනයක් ළාවට වත් දකින්න ඕනෙ නම් සමාජයක් හැටියට අපි හිතන විදිහ සීයට සීයකින් වෙනස් කරගන්න වෙනවා. ඒ කියන්නෙ මේ ජනතාව විසුරුවා හැරල අළුත් ජනතාවක් පත් කරගන්න වෙනව.
(සේපාලිකා ඉලංගරත්න)