ස්වභාවික මරණයක් උරුමවු ජවිපෙ නායකයෙක්...‏‏

Monday, 13 June 2016 12:51

වසර 1987 දී නිවට රාජ්‍ය නායකයෙකුගේ ආරාධනා ලැබ ලංකා භූමියෙන් තුනෙන් පන්ගුවක ආක්‍රමණික ඉන්දියානු හමුදා වාඩිලා ගෙන සිටිද්දී, කුජීත ආන්ඩුවට විරුද්ධව සටන්කරන තරුණ පරපුරකට දැනුම සම්පාදනය කිරීමට යුද්ධ විද්‍යා පාඩම් සැකසු, 1971 දී එන්ගලන්ත රැජිණගේ කොළඹ ආණ්ඩුව පෙරලා දැමීමට අපිට අයිතියක් තිබේ යයි ඊනියා අපරාධ විනිශ්චය කොමිසමට අභියෝග කළ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ හම්බන්තොට බැද්දේගමක උපන් තරුණයෙක් පසුගිය දා නිහඬවම මෙලොවින් සමුගත්තේය.

ඔහු උපන් රට හා එහි වැසියන් ඔහු ගැන දැන සිටියේ දෙවතාවක් ලංකා රාජ්‍යයට විරුද්ධව අවි ඔසවා අභියෝග කල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ධූරය 1978 සිට 1982 දක්වා දැරු බව පමණකි. නමුත් දයා වන්නිආරච්චිගේ දේශපාලන ජීවිතය දිර්ඝ මෙන්ම දුශ්කර එකකි. වන්නිගේ මරණය සැලවීමත් සමගම ජවිපෙ අතීතයේ විසු වර්තමාන සමාජය තුළද තවමත් දිවි ගෙවනා බොහෝ දෙනෙකුට ඔහු පිළිබඳ අතීත මතකයන් ස්මරණය වීම නොවැලක්විය හැක්කකි. වන්නි ඒ තරමට පක්ෂ සගයින් අතර සිත් බැඳගත් චරිතයකි.

වන්නිගේ ස්වභාවික නමුත් අකාල මරණය බලවත් සිදුවීමක් ලෙස අපට දැනෙන්නේ ඔහු මරණය තෙක්ම තමාගේ දේශපලන විස්වාසයන් පුද්ගලික ලාබ ප්‍රයෝජන තබා ජිවිතය වෙනුවෙන් වත් වෙනස් නොකළ නිසාය. සත්තකින්ම ඔහු ජනතා විමුක්ති පෙරමුණේ සංවිධාන වලින් නිල වශයෙන් ඉවත්වන්නෙ 1982 ජේ. අර්. ජයවර්ධන මහාමැතිවරණය වෙනුවට ලාම්පු-කලගෙඩි සෙල්ලම පෙන්වා පැවැත්වූ අතුරු මැතිවරණ වලින් පසුවය. නමුත් ඔහු නිරන්තරයෙන්ම උවමනාවන්ට උපකාර කිරීමට ඔනෑම මොහොතක සැදි පැහැදී සිටියේය.

වීරකැටිය හීන්බුන්න ගමේ ගොවිතැනින් යැපුණු දස දෙනකුගෙන් යුත් දරු පවුලක වැඩිමහල් පුතා ලෙස 1948 අවුරුද්දේදී උපන් දයාරත්න වන්නිආරච්චි ගමේ පාසලෙන් පළමුවද, වීරකැටිය මධ්‍යම මහා විද්‍යාලයෙන් දෙවනුවද ඉගෙනුම ලැබුවේය. දරිද්‍රතාවය උසස්පෙලින් ඉහලට ඉගෙනීම වෙනුවට ඔහු අනාගත රුකියා ඉලක්කයක් හා එකල වියලි කලාපයේ දිලිඳු ජනයාට අගනා මෙහෙයක් ඉටුකල මැලේරියා මර්ධන ව්‍යාපාරයේ ස්වෙච්චා සේවකයෙක් බවට පත්වුනේය. 1969 තරමේදී ජවිපෙ හම්බන්තොට දිස්ත්‍රික් නයකයා වු පැන්ටිස් අයියා මුනගැසී වියලි කලාපයේ දුප්පත්කම මැලේරියා මර්ධනයෙන් පමණක් ජයගත නොහැකි බවට තර්ක කෙරුනු පසු ඔහු පුර්ණකාලීන දෙශපාලනයට පිවිසියේය. 1971 නැගීටීම සිදුවනවිට ඔහු ජනතා විමුක්ති පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දෙවැනි නායකයා බවට පත්වීමට තරම් දේශපාලනිකව සක්‍රීයව සිටියේය.

1972 දී සමගි පෙරමුණු ආණ්ඩුව ඇටවූ අපරාධ යුක්ති විනිශ්චය කොමිසමේ ඇසුණු දෙවන නඩුවේ සැකකරුවෙකු වූ ඔහු බොහො දේශපාලන වීරයන් ඉක්මනින් ගෙදර යාමට එන්ගලන්ත රුජිනට විරුද්ධව කැරලිගැසීමෙ චෝදනාවට සිරිමා බන්ඩාරන්නයක ආන්ඩුවේ නිති විරෝධි කොමිසම ඉදිරියේ වරද පිලිගනිද්දී, හම්බන්තොට හීන්බුන්නේ වන්නිආරච්චි එන්ගලන්ත රුජිනට විරුද්ධවීමෙ අයිතිය බාරගෙන දීර්ඝ සිරඳඩුවම් හිමි අතලොස්සට එකතු වුනේය.

"වන්නි" යන ආදර නාමයෙන් මුළු පක්ෂයම හඳුනාගෙන සිටි ඔහු හැර අනෙකෙක් අද වන තෙක්ම ජ වි පෙ ඉතිහාසයේ නැත. ඔහුගේ සන්සුන් පැවත්ම හා අධ්‍යාපනයට දැඩිසේ කැපවීමක් තිබූ නිසා ඔහුට පක්ෂය තුළ සුවිශාල ගෞරවයක් තිබුණේය. මේ උරුමය ඔහු උසස් අධ්‍යාපනය අහිමිව සිරගත වූ තැන්පටන්ම රැගෙන ආ එකකි. 1971 දී සිරගත වූ බොහෝ දෙනෙකුට මෙන් ඔහුටද සිපිරිගෙය තක්ෂිලාවක් වූයේය. සිරගෙදරදී ඔහු වැඩිම කාලයක් වැය කළේ කියවීමට හා දේශපාලන සංවාදවලට බව ඔහුගේ පැරණි සගයෝ කියති. දර්ශනවාදය, ඉතිහාසය ඔහුගේ ජනප්‍රිය විෂයන් බවට පත්වී තිබුනේය. ඔහු මේ දැනුම නිර්ලෝභීව නව පරපුර සමග බෙදා හදා ගත්තේය. මේ අධ්‍යාපනික පුහුණුව නිසා ඔහු පක්ෂයේ ගැටලු මෙන්ම දේශපාලන ගැටළු නිරාකරණය කිරීම සඳහා ඔහුටම ආවේනික ක්‍රම වේදයක් අනුගමනය කළේය.

වන්නිගෙ බුද්ධිය නැවත පක්යෂට අවශ්‍ය වන්නෙ වසර 1987 දීය. රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා කෙටිකාලින හා පැතිරුණු නාගරික ගරිල්ලා යුද්ධයකට සුදානම් වෙමින් සිටි පක්ෂ කේඩරය සුදානම් කිරීම සඳහා ලොව ප්‍රකට ගරිල්ලා යුද අත්දැකිම් ඇසුරෙන් තැනුණු යුද විද්‍යා පාඩම් මාලවක් යුද පුහුණුවේ න්‍යායික තලය ලෙස ඉගැන්වීමට අවශ්‍ය විය. පක්ෂයේ සන්නද්ධ අංශයේ ප්‍රධානියා වු සමන් පියසිරි සහෝදරයාට මේ කටයුත්ත්ට උපදේශකයා හැටියට රෝහණ සහෝදරයා නම් කළේ ඉතා විස්වාස වන්තයෙකු වු දයා වන්නිආරච්චිය. වන්නි ඉතාම දුශ්කර තත්වයන් යටතේ මේ වගකීම ඉටුකලේය. එපමණක් නොව වික්‍රමාන්විත සගයෙකුට පෙම්වතියක් තම පවුලෙන් හිමිවීමද සුහදව බලා සිටියේය.

1989 වසර අවසන් වෙද්දී ප්‍රේමදාස -රන්ජන් හවුල මෙහෙයවූ හමුදා කල්ලිවලට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන නායකයන් වැඩි දෙනෙක් මරා දැමීමට හැකිවී තිබුනේය. ජිවිතය රැකගැනීමට සමත්වු සන්නදධ අංශයේ නායක සමන් පියසිරිට නැවත පක්ෂය සන්විධානය කිරිමට අවශ්‍ය වුනේය. ඔහු මේ වෙනුවෙන් දේශපලන උපදෙස් ගත්තේ වන්නිගෙනි. ඔහුගේ උපදෙස් අනුව දෙවන නයකත්වය කැඳ වුනේය. මේ නායකත්වයට ශාන්ත බන්ඩාර, උපාලි ජයවීර, රන්ජිතම් ගුණරත්නම්, ලලිත් විජේසිංහ, ගාමිණි විජේගුණසේකර , හම්බන්තොට ආරියදාස හා රාගම සෝමේ යන කණ්ඩායම සමන්ගේ නයකත්වයෙන් රැස් කෙරුනේය. මේ නව නායකත්වයට එකතු වීමට සෝමවංශ අමරසිංහට කතා කෙරුණත් ඔහු ආරක්ෂක හේතුමත පැමිණිය නොහැකිබව දන්වමින් සියළු රැසිවීම් මඟ හැරියේය. නායකත්වය සඳහා සමන් පියසිරි සහෝදරයා නම් කරනා බවද සෝමවංශ අමරසිංහ සිය අත් අකුරින් ලියා එව්වේය. 1990 මාර්තු මාසය වෙද්දී සතුරු හමුදා මේ දෙවැනි නයකත්ව මණ්ඩලය අත්ඩංගුවට ගැනිමට හෝ මරා දැමීමට සමත් වෙද්දි වන්නි හුදකලා වුනේය.

වන්නිගේ දේශපාලන ජිවිතයේ සැබෑ නාටකීය අවස්ථාව උදා වුයේ 1990 ඔක්තෝබර් මාසයේ දිනක ඔහු පැහැරගෙනයාමට දඩබල්ලන් තාවකලික නවාතැනට කඩා වැදුණු මොහොතේය. ප්‍රේමදාසගේ යුඇන්පි ආණ්ඩුව ජවිපෙ දෙවැනි නයකත්වය 1990 මර්තු අග වෙද්දී දී විනාශකර දැමුණු පසු හුදකලාවු වන්නි නැවත පක්ෂයේ වැඩ අරඹමින් සිටි කන්ඩායමකට හමුවන්නෙ අලුත්ගම පැත්තේ කොහු මෝලක කම්කරුවෙක්ව සිටිද්දීය. කොහුමෝලේ දුෂ්කර කම්කරු ජීවිතයෙන් දුර්වලව රෝගාතුරව සිටි ඔහු රුගෙන යන සගයෝ අනාගත පක්ෂය වෙනුවෙන් වන්නි ආරක්ෂා කර ගැනීමට, වඩා සුරක්ශිත ස්ථානයක් හැටියට හඳුනාගෙන සිටි ඇල්පිටියේ වතු අධිකාරි නිල නිවසක නතර කළහ.

වන්නිට මේ වතු අධිකාරී නිවස්නයේ ඉන්නට ඉඩ ලැබුනේ ඉතාම ටික කාලයකි. හදිස්සියේම එක් හිමිදිරි උදෑසනක ප්‍රා ඔත්තුකරුවන්ගේ මග පෙන්වීම මත රන්ජිත් පිරිස්- ලෙෆ්ටිනට් මුතාලිෆ් මෙහෙයවු මිනිමරු හමුදා කල්ලිය එතැනට කඩා වැදුනේය. මේ වන විටත් රන්ජිත් පිරිස් අතට අසුවෙන සගයන්ට අත්වන බිහිසුනු ඉරණම දැන සිටි වන්නි මරුවා පෙනිපෙනි නාන කාඹරයට ගියේය.

වන්නිගේ පසුපසින් හඹාආ රන්ජිත් පිරිස් නානකාඹරය තුළදී ඔහු හඳුනා ගත්තේය.


තමා හඳුනා ගත් මාරයාට පැරණි අහිංසක සිනාවෙන් සංග්‍රහ කළ වන්නි දෙතොලට දබරූඟිල්ල තබා පිරිස්ට නිශ්ශබ්ද්ද වන්නැයි ඉල්ලාසිටියේය. අනතුරුව පීරිස්ගේ අතින් අල්ලා ගත්තේය. මඳක් සලිතවු පීරිස් බලාපොරොත්තු සුන්වූ හඬින් කැ ගැසුවේය.


"වන්නි මම ආවෙ උඹ සොයගෙන නෙවෙයි. අමරසිංහ ඉන්නව කියල හිතාගෙන. වැරදි ඔත්තුවක්. අපරාදෙ මෙච්චර දුරක් ආවෙ. යමු යන්න. යමු යන්න. "

පීරිස් මේසේ කීවේ පක්ෂයේ වාසනාවට සගයන් ටිකදෙනෙකුගේ හෝ ජිවිත ගැලවුනු ප්‍රවේනි විස්වාසයක් ඔහු තුල තිබුනු නිසාය. කෑගල්ලේ රන්ජිත් පීරිස් හැමදාමත් විශ්වාස කලේත් කීවේත් ජනතා විමුක්ති පෙරමුණේන් ගිය කෙනෙක් නැවත කිසිදාක පෙරලා නොපැමිනෙන බවකි.

රන්ජිත් පීරිස් 1982 වසරේදී සිදුවුනු යම් විනය කාරනාවක් හේතුවෙන් පක්ෂයේ වගකිම් වලින් ඉවත් කරන ලද පුද්ගලයෙකි. 83 පක්ෂ තහනමින් පසුව අවස්තා කිහිපයකදීම ඇතිවුනු ගැටුම් සගත තත්වයන් නිසා පීරිස් අම්පාර අතහැර කොළඹට පැමිණ ජවිපෙ විනාශ කිරිම සඳහා ආණ්ඩුව මගින් එවකට පිහිටුවා තිබූ යුධ හමුදා ඔබ්ස් කොම්බයින් මූලස්ථානය හා එක් වූයේය.. එකල අත් අඩංගුවට ගන්නා ලද ජවිපෙ බොහෝ නායකයින්ට පිරිස් විසින් ප්‍රශ්න කිරීම් හා පහරදීම් ඇතුලු නොයෙකුත් වදබන්දනයන් සිදු කලාය.

එහෙත් වාසනාවකට මෙන් වන්නිගේ ජීවිතය බේරි යන්නේද පීරිස් නිසාය. පිරිස්ගේ අවසන් මතකයට අනුව හා ඔහුගේ දැනීම මත වන්නි 1982 වසරේ දී පක්ෂයෙන් ඉවත්ව ගිය කෙනෙකි. එසේ ඉවත්ව ගිය කෙනෙකු නැවත පක්ෂය හා එක්වෙනු ඇතයි පිරිස්ගේ මතයට අනුව සිදු නොවිය හැක්කකි.

නමුත් වන්නි දුටු මුතාලිෆ්ට සතුට දරාගත නොහැකිවිය. "එහෙමනම් අපිට විජේවීරගෙ දේශපාලන මංඩලේ 13 වනියගෙත් මුණ දකින්න ලැබුන...!" යි කියු මුතාලිෆ් වන්නිත් කුදලාගෙන කොලඹ එන්න පිටත් වුනේය.

ඇල්පිටියේ වතු අධිකාරි නිලනිවසක සොමවංශ අමරසිංහ සැඟවී සිටින බවට වැරදි ඔත්තුව ගියේ එම නිලනිවස එවකට අයිතිවු වතු අදිකාරිවරයගේ බිරිඳගේ සොහොයුරා හෙවත් මස්සිනා ගෙනි. මේ පුද්ගලයා කොළඹ සරසවියේ ස්වාධින ශිශ්‍ය සංගමයේ සමාජිකයෙක්ව කථිකාචාර්ය දයන් ජයතිලක මෙහෙයවු ප්‍රා කල්ලියේ සමජිකයෙක් බව නවතැන් සැපයු වතු අධිකාරිවත් නොදැන සිටියේය. වන්නි පැහැර ගත්පසු මේ කල්ලිය පසුව ස්වකීය නිල හමුදා මිත්‍රයන් සමඟ එම නිවසේ සැඟවී සිට එතැනට පැමිණි සගයන් දෙදෙනෙක් අල්ලා ගන්නා තෙක්ම එහි අනතුර පක්ෂ කණ්ඩායමට හන්දුනාගත නොහැකිවිය.

කොළඹ්ට රැගෙන එනු ලැබු වන්නි, ලෙෆ්ටිනට් මුතාලිෆ්ගේ නායකත්වයෙන් මෙහෙයවුණු වධකාගාරයට "පෙරුමල්" යන නාමයකින් ඇතුලත් කෙරෙන්නේය. මෙයට හේතුව ප්‍රේමදාස හා රන්ජන් විජේරත්න පාලනය යටතේ ලංකා රාජ්‍ය හමුදා තුළ විවිධ මිලිටරි නායකයන් යටතේ තරඟකාරි මිනිමරු කල්ලි නිර්මානය කර තිබුණේය. වැඩිවැඩියෙන් මිනිමරා උසස්වීම් හා සම්පත් සොයමින් සිටි මේ කල්ලි අතර අත්තඬංගුවට ගන්නා ජවිපෙ සාමජිකයන් රඳවා ගැනීමට, ප්‍රශ්න කිරිමට හා මරා දැමීමට තරඟයක් තිබුණේය. මෙබඳු සිදුවීමක් නිසා බ්‍රිගෙඩියර් ලකී අල්ගම හා කැප්ටන් මුතාලිෆ් අතර ඇතිවු ගැටුමක් නිසාවෙන් මේවනවිට මුතාලිෆ් කැප්ටන් තනතුරෙන් ලෙෆ්ටිනට් තනතුරට පහලට වැටි සිටියේය. නමුත් රාජ්‍ය යන්ත්‍රයට අත්‍යාවශ්‍ය දඩබල්ලෙක් නිසා ඔහුට පැරණි නිලයේ වගකීම් ඒ ආකාරයටම කරගෙන යාමට ඉඩකඩ සලසා තිබුණේය.

මෙකල ලෙප්ටිනන්ට් මුතාලිෆ්ගේ වධකාගාරය පිහිටා තිබුනේ අයිතිකරුවන් පලවහැර බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටි ගල්කිස්ස මුහුද ආසන්නයේ අලුත් හෝටල් ගොඩනැගිල්ලක් තුළය. පෙරුමාල් නමින් නම් ගන්වා මුතාලිෆ්ගේ වධකාගාරයට ඇතුල් කෙරුනු වන්නි ජවිපෙන් ඉවත්වූ නායකයෙකු හැටියට සැලකීමට හේතු වූයේ අලුතින් ඔහු ගැන කිසිවෙකු හෝ හෙලිදරව්කර නොතිබීම නිසාය. මේ විශ්මය ජනක මිනිසා තමන් නිදහස් කෙරුණු සැනින් රතු කුරුස මූලස්ථානයට ගියේය. එවකට එහි ප්‍රධානී ප්‍රැන්සිස් බිලෝන් අපට පැවසූ ආකාරයට වන්නි අත්අඩංගුවට ගෙන කොළඹට රැගෙන ඒමෙන් අනතුරුව ඒ බවක් නොදැන වන්නි හමුවීමට ඇල්පිටියේ වතු අධිකාරී නිවස තුළට පැමිණි එහි යොදා තිබූ හමුදා උගුලට අසුවූ ( ඇම්බුස් ) පක්ෂ සගයින් දෙදෙනා ගැන සොයා බලන ලෙසට ඉල්ලීමක් කර තිබිණි. මේ සිදුවීමේ තිබූ ඛේදනීය මතකය ඔහු ජීවිත කාලය පුරාවට ගෙන ගියේය.

එතැන් පටන් වන්නි ජිවත් වීමට නොයෙක් වර්ගයේ රුකියා කළේය. අනාගතයේ මුළු දේශපාලන ව්‍යාපරයම සතුරාට පාවාදීමට නියමිත නන්දන ගුණතිලක, විමල් වීරවංශ හා සෝමවංශ අමරසිංහ ජවිපෙ දේශපාලන කිරුළු පලඳින හැටි උපේෂා සහගතව බලා සිටියේය. මේ වනවිට දැඩි මානසික පීඩනයන්ට ලක්වී සිටි ඔහු තමා හඳුනාගත් පක්ෂ හිතවතෙක් රටේ දේශපාලන තොරතුරු විමසු විට මහමගදී දිර්ඝ දේශපාලන සාකච්චා පවාත්වන තරමට මනසික ආවේගයන්ට පත්වෙමින් සිටියේය.

වසර 2003 දී පමන දිනක් වන්නි තන්ගල්ලේ විදීයක මෙබඳු දුශ්කර අවස්ථා වකට මුහුණ දෙනු දුටු පැරණි සගයෙක් වරක් ඔහුට මෙසේ කිවේය.

"සහොදරය ඔය කතාකිරීම නතර කරල ඕවා ඔක්කොම ලියන්න පටන් ගන්න...!"

වැඩක් නෑ සහෝදරය, දැන් මිනිස්සු කියවන්නෙ අපි ලියන දෙවල් නෙවෙයි. විමල් වීරවංශ ලියන දේවල්. දැන් ඒ ගානට මේ පක්ශය වැටිල...! වන්නි සගයාට උත්තර දෙමින් කීවේය.


1979 වසරේදී ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා මාතර උයන්වත්තේ පැවති දේශනයකදී එතෙක් කල් අප්‍රකටව සිටි වන්නි ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවට ගෙනාවේ මෙවැනි හැඳිවීමක් කරමිනි....


"මේ දයා වන්නිආරච්ච් සහෝදරය අපේ පක්ෂයෙ කීර්තිමත් නායකයෙක්. මෙයා මේ මෙච්චර කලක් ඇඳක් යට හංගගෙන ඉඳල මම එක්ක ආව නෙවි. හම්බන්තොට දිස්ත්‍රීක්කයෙ වීරකැටියෙ ගොවිපවුලක පුතෙක්. උසස්පෙල හදාරල තමන්ට ලැබෙන්න තිබුණු රැකියාවත් අතහැරල ජනතා විමුක්ති පෙරමුණේ අපි එක්ක එකතු වුනේ මේ රටේ දුගී දුප්පත්කම තුරන් කරල සමාජවාදී රටක් ගොඩනගන්න ඕන කියන පරමාර්තයෙන්. තමන්ගෙ තරුණ කාලය විප්ලවවාදී ව්‍යාපාරයක් වෙනුවෙන් වැය කරල තමන්ගෙ ජීවිත කාලයම හිරගෙදර වුනත් ඉන්න සූදානම් වුණු සහෝදරයෙක්. අපි එක්ක එකතුවුනු සමහරු අනේ අපිට මෙහෙම හිරගෙවල්වල ජීවිතය ගෙවන්න බැහ කියල පිලික්ස් ඩයස් බන්ඩාරනායකගෙ ඒ අපකීර්තිමත් අපරාධ යුක්ති කොමිසන් සභාවට ගිහින් සමාව අරගෙන නිදහස් වෙලා ගියා. සතුරා ඉදිරියෙ දනින් වැටෙන්නෙ නැතුව උඹලගෙ හිරගෙවල් අපට ලොකු නැහ කියල වරද පිළිගැනීම ප්‍රතික්ෂේප කරපු සහෝදරයෙක් දයා වන්නිආරච්චි....

විජේවීර සහෝදරයාට වන්නි කෙරෙහි බරපතල විශ්වාසයක් තිබුණේ ඔහුගේ මෙම දේශපාලනික නිර්භීතබාවය වෙනුවෙනි.

දයා වන්න්නිආරච්චි නම් මේ පැරණි සගයා ගැන එදා රෝහණ සහෝදරයා විසින්ම රටට හඳුන්වා දුන් ඒ කෙටි වාක්‍ය කිහිපය එක් ඉතිහාස කතාවක මහා දිගුවක් ලෙසට වර්තමානයේ ඔහු ගැන විමසන කෙනෙකුට වුවද ඉතා පහසුවෙන්ම වටහා ගත හැකියයි මා විශ්වාස කරමි. 1971 දී සිරගතවූ ජවිපෙ බොහෝ දෙනෙකු සිරගෙදර දේශපාලන තක්ෂිලාවක් කරගත්තේය. දයා වන්නිආරච්චිටද එය එසේ විය. සිරගත ජීවිතයෙන් වැඩිකාලයක් ඔහු වැයකරනු ලැබුවේ දේශපාලන පතපොත කියවීම හා එවනි සංවාදයන් වෙනුවෙන් බව ඔහුගේ පැරනි සගයින්ගේ මතකයයි. විශේෂයෙන්ම දේශපාලන දර්ශනය හා ඉතිහාසය පිලිබඳව ඔහුට තිබුණේ හසල දැනුමකි. පසුකලක සිරගෙදරින් ලබා ගත් ඒ මාක්ස්වාදී අධ්‍යාපනික දැනුම ඥානය එකල ජවිපෙ සමග එක්වූ නවක පරපුර සමග ඔහු බොහෝ නිහතමානී ලෙසට බෙදා හදා ගත්තේය. ඇතිවන දේශපාලන ප්‍රශ්න ගැටළු නිරාකරණය කිරීමේදී ඔහු ඉතා සුමට ක්‍රමවේදයන් අනුගමනය කළේය.

නීත්‍යානුකූල දේශපාලන පසුබිමක් තිබූ 1977 න් පසු ඇරබුණු ජවිපෙ දේශපාලන ගමන්මග ඉතා වේගවත් වූ අතර පක්ෂයට සිය දහස් ගනනින් සාමාජිකයින් එක් රොක් වුණු කාලයකි. මෙකී සාමාජිකයින් අතරින් ඇතමුන් පක්ෂ නායකත්වයේ ඉහල වගකීම් දක්වාම ගමන් කරන්නට වූහ. විශේෂයෙන්ම ශිෂ්‍ය අංශයේ සහෝදරවරුන් දෙතුන් දෙනෙකු මධ්‍යම කමිටුව හා දේශපාලන මණ්ඩලය දක්වාද ගමන් කළෝය. මෙම නවක පක්ෂ නායකයින් පරම පිවිතුරු පක්ෂයක් පිලිබඳව ඉතා දැඩිව විශ්වාසය තබා කටයුතු කළවුන්ය. එකළ පක්ෂයේ ඉහළ සිට පහළ දක්වාද, පහළ සිට ඉහළ දක්වාද තිබූ විනය හා ශික්ෂාකාමිත්වය ඉතා විනිවිධ පෙනෙනා ලෙසට සකස් වූවකි. බරපතල විනය ගැටලු ඇති වුණු අවස්තාවලදී පුද්ගල තරා තිරම නොබලා තීරණ තීන්දු බොහෝ විට සිදුවීය. දයා වන්නිආරච්චි සහෝදරයා සම්බන්දවද එක් අවසනාවන්ත නිමේෂයකදී මෙවනි ගැටලු සහගත තත්වයක් පක්ෂය තුළ මතු විය. වන්නිට පක්ෂයෙන් යන්න වීම හා දේශපාලන හුදකලාවකට තල්ලුවීම ඔහුගේ දෙවයේ සරදමකට වඩා ජනතා විමුක්ති පෙරමුණේ දේශපලන ඉතිහාසයේ සිදුවූ වරදකැයි මගේ විශ්වාසයයි.


අපගේ මතකයේ හැටියට ජේ. අර්. ජයවර්ධන 1988 ජනමතවිචාරණයෙන් නියමිත මහා මැතිවරණය කල්දමා ජනමතවිචාරණයෙන් එජාපය පරාදවූ මැතිවරණ කොට්ටාශ 16 ක පමණ අතුරු මැතිවරණ පැවැත්වුයේය. මේ අතුරුමැතිවරණ නිතරඟ ගිවිසුමකින් තරඟ වැදීමට ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රිලනිපය ප්‍රමුක පක්ෂ එකඟවුවත් විපක්ෂයෙහි සිටිය කොමියුනිස්ට් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණට එක ආසනයක් වත් දීමට විරුද්ධ වුනේය. එහි ප්‍රථිපලය වුයේ ජනතා විමුක්ති පෙරමුණ සියලුම ආසන වලට එනම් ආසන 16ටම තරඟ වැදීමය. දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක තුනේ පැවති අතුරුමැතිවරණ වලට පක්ශය පත්කල ප්‍රධාන සම්බන්ධීකකරක තනතුර පැවරුනේ වන්නිටය. මැතිවරණ අවසන්වී ආදායම් වියදම් පියවද්දී වන්නිට රුපියල් 75000 ක් තරම් මුදලක ට ගනුදෙනු පියවා ගැනීමට නොහැකි වුනේය.

එකල පක්ශයේ දේශපාලන මණ්ඩලයට අලුතෙන් පත්වූ ශාන්ත බන්ඩාර, වන්නිගේ 'දකුණු අතුරුමැතිවරණ ගනුදෙනුවල තිබු පියවිය නොහැකි මුදල' ගැන තදින්ම සිටියේය. පක්ෂය අමාරුවෙන් එකතුකරන හැම සතයකටම වියදම්කරන්නා ගනන් පියවියුතු බවට ඔහු තදින්ම දේශපාලන මණ්ඩලයට කියා සිටියේය. දයා වන්නිආරචිචි ද එසේ නොකොලොත් තමා ඔහු සිටින දේශපාලන මන්ඩලයේ හෝ මධ්‍යම කමිටුවේ අසුන්නොගන්නා බව කියා සිටියේය. තමාගේ මුදල් අවුල නිසා පක්ෂය ඇතුලේ අර්බුදයක් ඇතිවීම වලක්වනු පිනිස ඔහු පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී රුකියාවක් කර මුදල් උපයා හිඟ මුදල පියවා පක්ෂයට එමේ පොරොන්දුවීමකින් පසු පුර්ණකාලීන දේශපාලනයෙන් ඉවත් වුනේය.



මෙය මුදල් වංචාවක් නොව කාර්ය බහුලව මැතිවරණ කටයුතු වල යෙදෙද්දී සිදුවු නොසැලකිල්ලක් බව සනාත කෙරෙන කතාවක් එකල පක්ෂය තුළ තිබුණේය. වන්නිගේ නොසැලකිල්ල හා අවදානයෙහි තිබූ මද බව පිලිබඳව බොහෝ උදාහරණ එකළ තිබිණි. 1978 වසරේ මුල මුලින්ම රුපියල් ලක්ෂයේ අරමුදල එකතුකර එම මුදල කිසියම් කටයුත්තක් සඳහා ගෙනයාමට පැවරී තිබුනේ වන්නිට හා රාගම සෝමෙටය. මුදල ගෙනියන්න පැවරුනේ සෝමෙටය. නිල කාර්යය වන්නිටය. ගමන යන්න බස් රථයට ගොඩ නැගුණු තැන් පටන් සොමේ මුදල් පාර්සලය කමීසය අස්සට දමා ගෙන තදින් අල්ලා ගෙන වන්නිගෙ පිටු පසින් බස්රථයේ හිටගෙන යමින් සිටියේය. වතාවක් සොමේ බලද්දී ගැට කපන්නෙක් වන්නිගෙ සාක්කුවට අත දමමින් සිටියේය. වැඩ කාරයෙකු හැටියට ප්‍රසිද්ධ රගම සොමේ " මොකද ඔයි තමුසෙ තමන්ගෙ සාක්කුව තියාගෙන අනුන්ගේ සාක්කුවට අත දාන්නේ යයි ? කෑ ගසන විටත් ගැට කපන්නාට මිස වන්නිට එය නෑසුනු බව ප්‍රකටය. වන්නිගේ හැටි එහෙමය. ඔහු දේශපාලන න්‍යායයන් මිස බාහිර ලෝකය ගැන උනන්දු නොවීය.


දේශපාලන හුදකලාවට ගිය තැන් පටන් වන්නි විවිධාකාර නම් වලින් කොලඹ අවට පුද්ගලිකව ඉංග්‍රීසි හා දේශපාලන විද්‍යාව ඉගැන්වීමේ යෙදුනේය. ඔහු කෙතරම් ජන්ප්‍රිය ගුරුවරයෙක් වුවද කිවහොත් ධනවත් පවුල්වල දරුවන්ට නිවසට පැමිණ ඉගන්වීමට ඔහුට ඇරයුම් ලැබුනේය. ගල්කිස්සේ පදිංචිවී සිටි බලවත් ශ්‍රිලනීප නායකයෙක්වු සී. වී.ගුණරත්නගේ දරුවන්ට පුද්ගලිකව නිවසට ගොස් උගන්වමින් සිටියේය. තමාගේ නිවසට යන එන මේ නන්නාඳුනන ගුරුවරයා කවුදැයි දැනගැනීමට සී. වී. ගුනරත්නට අවශ්‍ය වෙද්දී වන්නිආරච්චි ටියුෂන් ගුරුකම අත්හැර දැමුවා පමණක් නොව එම ප්‍රදේශයද අතහැර දමා ගොස් තිබුනේය. සත්‍ය ලෙසම වන්නි දක්ෂ ඉංග්‍රිසි ගුරුවරයෙකු වීමට ඉගෙන ගත්තේ සිර ගෙදරදී නොවේ. ඔහු පක්ෂයෙන් ඉවත්වූ පසු ඉතිරි වූ කාලය ගත කලේ පක්ෂයේ දේශපාලන හිතවතෙක්ව සිටි රත්මලාන ප්‍රදේශයේ විසූ අබේරාම නම් ප්‍රකට ගුරුවරයෙකුගෙනි. මාස හයක් තරම් කෙටි කලකදී ඉංග්‍රිසි භාෂාව මැනවින් ප්‍රගුණ කළ වන්නි දක්ෂ ගුරුවරයෙකු බවට පත්වූයේය. මෙම අබේරාම ගුරුවරයා 1989 අවසන් කාලයේ රාජ්‍ය හමුදා දඩබල්ලන් විසින් පැහරගෙන ගොස් මරා දැමුනේය. ඔහුගේ දරු පවුල පසුව ජීවිත ආරක්ෂාව පතා විදෙස් රටකට පලා ගියේය.

රටක් හා එහි ජීවත්වූ ජනයාගේ නිදහස අයිතීන් හා අනාගතය වෙනුවෙන් මුළු ජිවිතයම කැපකළ මේ මිනිසුන්ට තමන් එරෙහිවු රාජ්‍යයෙන් ජිවිතකාලය බැටකා වැඩි දෙනෙකුට මරණයද හිමිවී ස්වකීය දේශපාලනය අවසන් කිරීමට සිදුවුයේය. නමුත් ඔවුන් මරණින් මතුත් මුහුන දෙන දේශපාලන සරදම මෙයනොවේ. ඔවුන් ස්වකීය ජිවිත කාලය පුරා ලෙයින් හා දහඩියෙන් නිර්මාණය කල පක්ෂයේ නුතන නායකත්වය එහි මාරාන්තික සතුරන් සමඟ මරාදැමුණු සගයන්ගේ සොහොන්මතට වී මධුසාද පැවැත්වීමය. ඉතිහාසය මොනතරම් සරදම්කාරිද?

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉපිද එහිම නැඹුල් තරුණවිය ගෙවා හිරගෙට යාමට කොලඹට පැමිණි හීන්බුන්නෙ දයා වන්නිආරච්චි අකලට මහළුවී මහළු වියට පෙර ආකාලේ මියගියෙන් උපන් බිමේම හුදකලාව වල දැමුනේය. නමුත් දැනුවත් ජීවිතකාලයෙන් වැඩි කොටසක් කොමියුනිස්ට් විප්ලවවාදියෙක්ව සිටි තමා මියගිය පසු ප්‍රාණය නිරුද්ධ සිරුර වැසීමට රතු කොඩියක් හම්බන්තොට දිසාවේ ඉතිරිවි නැතිබව ඔහු හොදින්ම දැනසිටින්නට ඇත. ලංකාවේ සිදුකෙරෙන සමාජ විප්ලවයකින් සමාජවාදය ප්‍රාර්ථනා කළ රෝහණ විජේවීර ඇතුළු තම සගයන් වැඩි දෙනෙකුට අත්වු ඉරනම දැක, දැන සිටි දයා වන්නිආරච්චිට ජීවත්ව සිටිද්දී සවකීය මරණයට එසවෙන සුදුකොඩි මිස රතුකොඩි නොපෙනෙන්ටත් ඇත.

වන්නි මෙලොව තනිකර ගිය සමීපතමයන් සිවුදෙනෙකි. ඔවුහු, එකම හා දිගුකාලීන සහකාරිය හා දියණියන් තිදෙනාය. දරුවන් තිදෙනාම වන්නිගේ ජානමය උරුමයෙන් අනුව යමින් ලංකාවේ අධි තරඟකාරි සරසවිවලින් උසස් අධ්‍යාපනය ලබා සිටිති. ඔහු දැනුවත් පුරවැසියෙකු මෙන්ම පියෙක් ද වු බවට මේවා සාක්කි දරනේය.

සටහන - යෙනුලි ද සිල්වා

Last modified on Monday, 13 June 2016 13:17

Leave a comment

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us