ජාතික ගැටලුව නමැති මාතාකාව සාකච්ඡාවට ගන්නා මේ මොහොතේ මම සුදානම් වන්නේ ඒ සම්බන්ධයෙන් අලූත් මානයක් හඳුන්වා දීම සඳහා ය. සාම්ප‍්‍රදායික ලෙස ජාතික ගැටලූව පිළිබඳ සාකච්ඡා කරන සැවොම සිතන්නේ එය පවතින්නේ උතුරු නැගෙනහිර පමණක් යන්න ය. නමුත් එය එසේ නොවේ. මේ වන විට මුස්ලිම් ජනයාට ද යම් යම් ප‍්‍රශ්න තිබෙන බව දක්නට ඇත. එවුන්ට ද එකල එවැනි ප‍්‍රශ්න තිබූ බවක් නොපෙන්නූහ. නොකීහ. එහෙයින් ජාතික ප‍්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කරන්නේ නම් උතුරු නැගෙනහිර දෙමළ නියොජිතයන් සමග පමණක් නොව මුස්ලිම් නියෝජිතයන් සමග ද සාකච්ඡා කළ යුතු ය.
මෙ සියලූ පාර්ශවයන්ට අමතරව ජාතික ගැටලූව හේතුවෙන් පීඩා විඳින තවත් කොටසක් ද මේ රටේ ජීවත් වෙති. ඒ, උතුරු නැගෙනහිරෙන් බැහැරව රටේ නොයෙක් ප‍්‍රදේශවල වෙසෙන දෙමළ ජනතාව ය. ඔවුන් විවිධ නම්වලින් හඳුන්වති. ඒ, කඳුකර දෙමළ ජනයා සහ ඉන්දියන් සම්භවයක් සහිත දෙමල ජනයා යනාදි වශයෙනි. කෙසේ වුව ද මෙම සියලූ පාර්ශවයන් අමතක කළ නොහැකි තත්ත්වයකට පැමිණ ඇත. මෙය මා පවසන්නේ ඉතාමත් වගකීමෙනි. මන්ද දෙමළ ජාතික සන්ධානය අතුරු නැගෙනහිර වෙසෙන දෙමළ ජනයා පිළිබඳ අවධානය යොමු කළ ද උතුරු නැගෙනහිරෙන් පිට ජීවත් වෙන විශේෂයෙන් ම: බස්නාහිර පළාත, මධ්‍යම පළාත, ඌව පළාත සබරගමුව පළාත සහ වයඹ පළාත යනාදී ප‍්‍රදේශවල ජීවත් වෙන දෙමළ ජනයා දෙමළ ජාතික සන්ධානය නියෝජනය නොකරති. මෙය ඉතාමත් පැහැදිලි කරුණකි.
මෙරට පමණක් නොව විදේශවල පවා වැරදි මතයක් පවතී. ඒ උතුරු නැගෙනහිර ජනතාවට අමතරව රටේ වෙසෙන ජනතාව පිළිබඳ දෙමළ ජාතික සන්ධානය අවධානය යොමු කරනවා යන්න ය. එය සම්පූර්ණයෙන් ම අසත්‍යයකි. ඔවුන් කිසි දිනක මෙම ජනතාව පිළිබඳ කිසිවක් කර නොමැත. කවුරු බලයට පත් වුව ද මේ දේශපාලනඥයෝ හැමදාමත් ආණ්ඩුව නියෝජනය කරති. හැමදාමත් මැති ඇමතිකම් දරති. මේ එය අවසන් කළ යුතු මොහොතයි. දෙමළ ජාතික සන්ධානය සිතන්නේ සහ ක‍්‍රියා කරන්නේ රටේ ජාතික ප‍්‍රශ්නයට මුහුණ දී ඇත්තේ උතුරු නැගෙනහිර ජනතාව පමණක් ය යන අදහසේ සිට ය. ඔවුන් අපේ මිත‍්‍රයන් වුව ද සැබෑ තත්ත්වය හෙළිදරව් කළ යුතු ය.
අපි දකුණේ සිට උතුරු නැගෙනහිර ජනතාව පිළිබඳ කතා කරන්නෙමු. නමුත් ඒ සඳහා අපිට උතුරු නැගෙනහිරෙන් කිසිඳු ප‍්‍රතිචාරයක් නොලැබෙන්නෙමු. එහෙයින් උතුරු නැගෙනහිරින් පරිබාහිරව වෙසෙන දෙමළ ජනයා වෙනුවෙන් පෙනි සිට, ඔවුන් ගේ සුභ සිද්ධිය සඳහා කටයුතු කළ හැකි ප‍්‍රගතිශීලි සංවිධානයක් ළඟදී ම ගොඩනැගීමට අපි බලාපොරොත්තු වන්නෙමු.
මම මේ සඳහා උදාහරණ කිහිපයක් ඉදිරිපත් කරමි.
සමස්ත රටේ ම වෙසෙන දෙමළ ජනතාව ගේ ප‍්‍රමාණය 31,13,247කි. ඒ අතුරින් උතුරු නැගෙනහිර වෙසෙන ප‍්‍රමාණය 16,11,036කි. උතුරු නැගෙනහිරෙන් පිට ජීවත්වන දෙමළ ජන ප‍්‍රමාණය 15,02,211කි. මෙය ප‍්‍රතිශතයක් ලෙස ගතහොත් උතුරු නැගෙනහිර 7.91%කි. දකුණේ ප‍්‍රතිශතය 7.38%කි. මේ අනුව බලන විට මෙම ප‍්‍රමාණය සම තත්ත්වයක් නොවන්නේ ද? නමුත් එසේ සම සමව ජිවත්වන දෙමළ ජනයා පිළිබඳව කිසිවකු කතා නොකරන්නේ සහ ක‍්‍රියාත්මක නොවන්නේ මන්ද යන පැනය දැන් ඉතිරිව නැති ද?
අනෙක් කරුණ නම්, දකුණේ ජිවත්වන ලක්ෂ පහළොවෙන් ද ලක්ෂ හයක් පමණ ජීවත්වන්නේ මධ්‍යම කඳුකරයේ ය. ඔවුන් හඳුන්වන්නේ‘වතු කම්කරු ජනතාව’ යනුවෙනි. මොවුන්ගේ ප‍්‍රශ්නය ජාතික ප‍්‍රශ්නය යැයි සිතින් මවාගෙන යම් දේශපාලකයන් කොටසක් එම ප‍්‍රදේශය නියෝජනය කරති. තවත් සමහර දෙමළ දේශපාලකයෝ මෙය දැන දැන ම නිහඬව සිටිති.
වතුකර ජනතාවගේ ප‍්‍රශ්න මොනවාද යන්න මදක් විමසා බලමු.
ඔවුන්ට කම්කරු ප‍්‍රශ්න ඇති බව සැබෑවකි. ඒ, වැටුප් ප‍්‍රශ්න, නිවාස ප‍්‍රශ්න සහ සෞඛ්‍ය ප‍්‍රශ්න යනාදිය යි. එම ප‍්‍රශ්න කටුනායක, කොග්ගල සහ බියගම වෙළෙඳ කලාපවල රැකියාවල නියුතු කම්කරුවන්ට ද දැඩිව බලපා ඇත. එමෙන්ම සිංහල ජනතාව අතර ද මුස්ලිම් ජනතාව අතර ද මෙවැනි ප‍්‍රශ්න සහිත කම්කරුවෝ බොහෝ වෙසෙති. උතුරේ, නැගෙනහිර, දකුණේ සහ කදුකරයේ වෙසෙන සෑම කම්කරුවකුට ම ප‍්‍රශ්න ඇත. උතුරු නැගෙනහිර මතු නොව කදුකරයේ ඇතැම් දේශපාලකයෝ ද සිතා සිටින්නේ මේ ප‍්‍රශ්නය මෙලෙසම තිබිම ඔවුන්ට වාසි සහගත බවයි. කම්කරු ප‍්‍රශ්න විසඳාගැනීම සඳහා වෘත්තිය සමිති මට්ටමින් අපි මැදිහත් වෙන්නමු. නමුත් ඉන් ඔබ්බට ගිය උතුරු නැගෙනහිර සිංහල,දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ මෙන්න ම උතුරු නැගෙනහිරින් පිට ජීවත් වෙන දෙමළ ජනයාගේ ප‍්‍රශ්න කෙරෙහි ද දේශපාලනික විසඳුමක් අවශ්‍ය වී ඇත.
මේ වන විට රටේ වඩාත් කතා බහට ලක්ව ඇත්තේ 20 වන සංශෝධනය පිළිබඳව ය. එනම් ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීමේ යෝජනාවක් බව සැවොම දන්නා කරුණකි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මීට මාස දෙකකට පමණ පෙර අපි සමග සාකච්ඡා කළේ ය. ඒ සමගම කැබිනට් මණ්ඩලයට සහ විධායක සභාවට යෝජනා මාලාවක් ද ඉදිරිපත් කළේ ය. එය කේවල ක‍්‍රමය සහ සමානුපාතික ක‍්‍රමය මිශ‍්‍ර කළ ක‍්‍රමයක් බවද පැවසුවේ ය. අපි එය දුටු විගසම ඉවත දැමූවෙමු. මන්ද එය අපේ නියෝජනය කඩාකප්පල් කරන ආකාරයේ යෝජනාවකි. එහි උතුරු නැගෙනහිරින් පිටත ජිවත් වෙන දෙමළ ජනයා නියෝජනය කිරීමට ඇති ඉඩකඩ අවුරා ඇත.
පවතින ක‍්‍රමයේ කෙතරම් අඩුපාඩු තිබුණ ද අපේ නියෝජනය සඳහා ඉඩකඩ විවරව ඇත්තේ මෙම ක‍්‍රමය තුළිනි. සුළු ජාතීන් පමණක් නොව සියලු සුළු ජන කොටස්, සුළු දේශපාලන පක්ෂ වෙත ජනතාවට සේවය කිරීමේ අවකාශය සැලසී ඇත්තේ මෙම ක‍්‍රමය තුළිනි. මොවුන් දැන් මෙහි හොඳ පාර්ශවය සියල්ල වසා දමා මනාප නිසා ගහමරාගන්නා බව පවසමින් අපගේ නියෝජනය අහෝසි කිරිමට සැරසේ. කොට්ඨාසයට මන්ත‍්‍රීවරයෙක් නැතැයි පවසමින් මෙම ක‍්‍රමය සහමුලින් ම ඉවත් කිරිමට සැරසේ. කොට්ඨාසයට මන්ත‍්‍රීවරයෙක් සිටිය ද මේ හොරු කිසිඳු සේවයක් නොකරන බව විශ්වාස ය. අනෙක් පසින් විශාල වියදමක් දැරීමට සිදුවන බවත්. එම වියදම පියවා ගැනීමට පත්වෙන මන්ත‍්‍රිවරුන් පෙලඹෙන බවත් මොවුන් පවසයි. එසේ නම් ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්ත‍්‍රීවරු සොරකම් කරන්නේ මන්දැයි මොවුන් ප‍්‍රශ්න නොකරයි; සොයා නොබලයි.
කොට්ඨාසයට මන්ත‍්‍රීවරයෙක් අවශ්‍යය බවත්, මනාප අවසන් කළ යුතු බවත් අපි පිළිගන්නෙමු. එය ඉතා යහපත් ක‍්‍රියාවකි. නමුත් මේ මොහොතේ අප වෙත ලැබි තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදි නියෝජනය ද මෙහි දී අහිමි වනු නියත ය.
මෙය සිංහල, දෙමළ, මුස්ලිම් සහ අනෙකුත් ජාතින්ට පමණක් නොව සියලු ම සුළු පක්ෂවලට ද සම සමව බලපාන්නේ ය. අපි සැවොම එක්වී මහින්ද රාජපක්ෂ පාලනය අවසන් කළේ එය ඒකාධිපති වියරුවක් ලෙස රටට පෙන්වා දෙමිනි. දැන් රට පාලනය කරන්නේ පක්ෂ දෙකකි. එනම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යි. එම පක්ෂ දෙකට අවශය පරිදි පමණක් රට පාලනය කිරිම යුක්තිසහගත නොවේ. මහින්ද එළවා දැමුවේ ද මෛත‍්‍රි ජනාධිපති වූයේ ද සුළු ජන පක්ෂ සහ සුළු ජනතාව ගේ නියෝජනයෙනි.
අපගේ ගැටලුව පිළිබඳ අවධානය යොමු කොට ඇති ගරු ජනාධිපතිතුමා මේ වන විට වෙනත් යෝජනාවලියක් ඉදිරිපත් කොට ඇත. එහි හරය වඩාත් නැඹුරුවන්නේ සමානුපතික ක‍්‍රමයට ය. දැනට සමානුපාතික ක‍්‍රමය යටතේ මන්ත‍්‍රීවරු 196ක් පත්වන අතර අපේක්ෂකයා නියෝජනය කරන්නේ කුමන ආසනය ද යන්න ද මෙහි දි පැහැදිලි ලෙස දැනගත හැකි ය. ඡන්ද දායකයාට ද සිය ඡන්දය තම ආසනයේ නියෝජිතයාට ලබා දිය හැකි ය. අදාළ ආසනයේ වැඩි ඡන්ද ලබාගත් අයට එම ආසනය බාර දෙන ආකාරයේ යෝජනාවකි.
කොළඹ දිස්ත‍්‍රික්කයේ පවතින්නේ ආසන 15කි. මන්ත‍්‍රිවරු 19ක් පත්වෙති. ඒ ජාතික ලැයිස්තුවේ මන්ත‍්‍රීවරු හතරදෙනාද සමගිනි. සමස්ත පාර්ලිමේන්තුවට ම මේ ආකාරයට ආසන 198 ආසන 255 දක්වා ඉහළ යනු ඇත. ඇතැම් අය මෙය ප‍්‍රතික්ෂේප කිරීමට හැකිය. එහෙත් එහි ඇති යථාර්ථය මම ඔබට පැහැදිලි කරන්නෙමි.
අපගේ අවධානය යොමු වී ඇත්තේ සීමා නීර්ණ කොමිසම වෙත ය. අප වෙත සීමා නීර්ණය අවශ්‍ය ය. එය දැනට නොපවතී. එය අවසන් වූයේ 1978 වසරේ දී ය. එනම් මීට 37කට පෙර දී ය. එවිට රටේ ජනගහනය 75,00000 කි. එහෙත් වර්තමාන ජන අනුපාතය ලක්ෂ 200කි. එසේ නම් සීමා නීර්ණය අනිවාර්යයෙන් ලැබිය යුතු ය. එය දෙමළ ජනයාට පමණක් නොව සිංහල මුස්ලිම් සහ අනෙකුත් සියලූ ජනයාට ලැබිය යුතු ය. එය සාධාරණ ලෙස ලැබේ ද? සිදුවේ ද? යන ගැටලූව තවමත් පවතී. මෙම යෝජනාවලියට අපගේ කැමැත්ත ලබා දීමට නම් සීමා නීර්ණය පිළිබඳ අප වෙත සහතිකයක් ලබා දිය යුතු ය. එසේ විය යුත්තේ ඇයි ද යන්නට මම උදාහරණයක් ඉදිරිපත් කරමි.
මේ වන විට ජනාධිපති ක‍්‍රමය, පාර්ලිමේන්තු ක‍්‍රමය, පළාත් සභා ක‍්‍රමය සහ අවසන් වශයෙන් පළාත් පාලන ක‍්‍රමය ස්ථාපිතව ඇත. මෙය ගම්වල පවතින්නේ ප‍්‍රාදේශීය සභා වශයෙනි. මෙම පළාත් පාලන ප‍්‍රදේශවල ඇතැම් විට නියෝජනය වන්නේ හත් දහසක් හෝ දස දහසක ජනතා නියෝජනයක් පමණි. මෙහි දි මා ප‍්‍රකාශ කරන්නේ එයට අකමැති බව නොවේ. මන්ද ජනතාවට බලය ලැබෙන්නේ ප‍්‍රාදේශිය සභා තුළිනි. නමුත් වව්නියා දකුණ ප‍්‍රාදේශීය සභාව ගතහොත් එහි නියෝජනය වන්නේ ඉතා අඩු ජන කොටසකි.
මෙය තවත් පැහැදිලි කරන්නේ නම්, අඹගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකි. මෙම එක් කොටසක ජනගහනය ලක්ෂයකි. මා ඉහත සඳහන් කළ ආකාරයට ජනගහනය දස දහසකින් යුත් කොටසකට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් තිබේ නම් අඹගමුවට සහ නුවරඑළියට ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාස 40ක් අවශ්‍ය ය. බොගවන්තලාවේ සිට මස්කෙළිය,නෝර්වුඞ්, හැටන් පසුකර කිතුල්ගල මංසන්ධිය දක්වා එක් ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකි. ප‍්‍රාදේශිය සභාවක් ලෙස වෙන් කොට තිබෙන්නේ ගිනිගත්හේන ය. බොගවන්තලාවේ සිටින මිනිසා ගිනිගත්හේන දක්වා පැමිණිය යුතුය. එහෙත් කිසිවකු පැමිණෙන්නේ නැත. මය වසර ගණනාවක සිට පවතින ගැටලූවකි. මෙය කොටස් කර දෙන ලෙස කාලයක සිට අපි ඉල්ලීම් කළෙමු. එහෙත් පැවති ආණ්ඩු සහ එහි පාලකයෝ එම ඉල්ලීම් කිසිවක් තුට්ටුවකට මායිම් කළේ නැත.
එමෙන්ම නුවරඑළිය ප‍්‍රාදේශිය ලෙප්කම් කොට්ඨාසයේ හැටන් මංසන්ධියේ සිට කඳවල දක්වා පිහිටා ඇත. ජනතාව ලක්ෂයකි. දසදහසක ජනතාවක් සඳහා අපි ප‍්‍රාදේශිය සභාවක් නොඉල්ලන්නෙමු. උතුරු නැගෙනහිර එසේ වූයේ විශේෂ හේතුවක් මත ය. එය එසේ විය යුතු ය. එහෙත් අවම වශයෙන් 25,000 ක ජනතා නියෝජනයක් සඳහා ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයක් ලැබුනේ නම් එය කෙතරම් පහසුවක් ද?නමුත් එසේ ලබා නොදේ. එයට හේතුව ලෙස දක්වන්නේ වැඩිපුර මන්ත‍්‍රිවරු පත්වන බවයි. විශේෂයෙන් ම දෙමළ මන්ත‍්‍රීවරු පත්වන බැවිනි. වැඩි දෙමළ මන්ත‍්‍රීවරු පිරිසක් ප‍්‍රාදේශිය සභාවට යන බැවිනි. එසේ නම් මේ රටේ ජාතික සමගියක් ඇතිවන්නේ කෙසේ ද? මින් වඩාත් පැහැදිලි වන්නේ වතුකම්කරු ජනතාවට කිසිඳු අවස්ථාවක් ලබා නොදෙන බව නොවේ ද? අපි සිමා නීර්ණය අවශ්‍ය යැයි හඩ නගන්නේ මෙම කාරණාව හේතුවෙනි. මෙය නිසි අයුරින් සිදුවේ ද යන්න සැක සහිත ය.
දැනට පත් කර ඇති සිමා නීර්ණ කොමිසමට පත් වී ඇති පුද්ගලයන් පස්දෙනාට අමතරව අධීක්ෂකයන් වශයෙන් පුද්ගලයන් සිව් දෙනකු පත් කළ යුතු යැයි මම යෝජනා කළෙමි. නමුත් සරත් අමුණූගම, ගයන්ත කරුණාතිලක ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, එස්. බී. දිසානායක, චම්පික රණවක යනාදි කිසිවකු මෙම යෝජනාවට එකඟ නොවූහ. එයට හේතු වන්නේ සීමා නීර්ණය සම්බන්ධයෙන් මේ රටේ පවතින්නේ වැරදි අත්දැකීමකි. එය නිවැරදි කිරීමට නම් මෙය ක‍්‍රියාත්මක විය යුතුම ය. ඉන් එක් පුද්ගලයෙක් උතුරු නැගෙනහිර ජනතාව නියෝජනය කළ යුතු ය. තවත් පුද්ගලයකු දකුණේ දෙමළ ජනයා නියෝජනය කළ යුතු ය. තෙවැන්නා මුස්ලිම් ජනතාව නියෝජනය කළ යුතු ය. සිව්වැන්නා උතුරු නැගෙනහිර ජීවත් වන සිංහල ජනතාව වෙනුවෙන් නියෝජනය විය යුතු ය.
මේ සියලූ කාරණා පැහැදිලි කිරීමෙන් අනතුරුව මෙම කොමිසමේ සාමාජිකයෝ අපගේ යෝජනාවට පක්ෂ වුහ. මේ සඳහා අනවරත අරගලයක නිරතවීමට සිදුවිය. එහෙත් එය ජයග‍්‍රහණයකින් නිමාවට පත්වීම සම්බන්ධයෙන් එම කොමිසමේ සාමාජික මහත්වරුන්ට ස්තූතිවන්ත විය යුතු ය.
සටහන ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
දෙමළ ජනයා වෙසෙන්නේ උතුර නැගෙනහිර පමණක් ද? - පළාත් සභා මන්ත්‍රී මනෝ ගනේෂන්
Published in
විශේෂාංග
Friday, 05 June 2015 12:09
පසුගිය 06 (2015-06) වන දින ‘‘ජාතික ගැටලුවට විසඳුමක්’’ යන මැයෙන් කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ පැවති සම්මන්ත්‍රණයේ දී ෂෙරාඩ් පියතුමා දැක්වු කරැණු අපි මීට පෙර ඉදිරිපත් කළෙමු. අද අපි ඉදිරිපත් කරන්නේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මකෝ ගනේෂන් මහතා එදින ඉදිරිපත් කළ අදහස් ඇසුරෙන් සකසන ලද ලිපියකි.
Leave a comment