අද මම කතාකරන්නෙ: පාසල් ගොඩනැගිලි හදල අධ්‍යාපනය නංවන්න තමන්ගෙ ශ්‍රමය වගුරපු, රෝහල් ඉදිකරන්නට තමන්ගෙ ශ්‍රමය වගුරපු, මෙ රටේ මිනිස්සුන්ගෙ කැම බීම සපයන්න විදෙස් විනිමය සපයන්න ශ්‍රමය වගුරපු, රටේ සංවර්ධනය වෙනුවෙන් තමන්ගෙ ජීවිතය පූජා කරපු නමුත් ඒ සියල්ල අහිමි වුණු ජන කොටසක් වුණ වතුකර ජනතාව වෙනුවෙන්. ඒ අයගෙ දේශපාලනික ගමන පිළිබද යම් දැනුවත් කිරීමක් කරන්න.
මේ ජන කොටස අවුරුදු 200ක ඉතිහාසයකට උරුමකම් කියනවා. එ’තරම් අතීතයකට උරුමකම් කියන මේ ජන කොටස අද ඉතාමත් ඛේද ජනක තත්ත්වයකට පත්වෙලා. ඒ කුමක් නිසා ද? අපි හොඳටම දන්නවා ජන සංහාරය නමැති වචනය සමාජ ගතවුණේ 2009 මැයි 18 වන දිනෙන් පසුව බව. නමුත් වතුකර දෙමළ ජනතාව වසර ගණනාවක් පුරා ම නිහඬ ජනසංහාරයට ලක්වුණා. මේ ජනසංහාරය 1948 සිට අද දක්වා පවතිනවා.
පළමුවෙන් ම ඔවුන්ගේ ඡන්ද අයිතිය උදුරා ගත්තා. එමෙන් ම 1964 වසරේ දී සිරිමා ශාස්ත්‍රී ගිවිසුම හරහා ඒ ජනතාවගේ කැමැත්තකින් තොරව ලක්ෂ පහකට වැඩි පිරිසක් ඉන්දියාවට පිටුවහල් කළා. එපමණක් නොව 1972 වසරේ සිට 1976 දක්වා පැවති ඉඩම් ප්‍රතිසංස්කරණ පනත හරහා තමන්ට යමක් වගා කරගෙන කන්න තිබුණ බිම්කඩ අහිමි වුණා. එකල පැවති ආහාර හිඟය හේතුවෙන් මේ ජන කොටස කුසගින්නේ මහ මග මිය ගියා. තව ද වතු ආණ්ඩුවට පවරා ගැනීමෙන් අනතුරුව ඔවුන් සිටි ලයිම් කාමරවලින් ද පලවා හරිනු ලැබුවා. මේ සියල්ලට ම වඩා ඛේද ජනක ඉරණමකට මුහුණ දෙන්නේ 1977 සහ 83 සිදුවූ ජාතිවාදී කෝලාහල හේතුවෙනි. මෙම මර්දනය හේතුවෙන් කඳුකරයේ සිටි ඇතැම් පිරිස් වන්නි ප්‍රදේශයට පලා ගියා. මේ සියල්ල අපි දකින්නේ ජන සංහාරයක් ලෙසිනි.
වතුකරයේ ජනතාව පදිංචිව සිටි ඉඩම් පවරාගෙන වෙනත් පිරිස් වෙත පවරා දීමෙන් පසු එම ජනතාව සංවර්ධනය කළ ද වතුකරයේ සිටි දෙමළ ප්‍රජාව කෙරෙහි සැලකිල්ලක් නොදැක්වූ බැවින් එහි දී ද ඔවුන් අසරණ වුණා. මෙය ද නිහඬ ජනසංහාරයකි. මෙම ජන සංහාරය සිදුවූයේ: ඔවුන් ගේ සංස්කෘතිය, භාෂාව විනාශ කරමිනි. ඔවුන් සතුව එම ප්‍රදේශයේ තිබූ ඉඩම් බලහත්කාරයෙන් පවරා ගනිමිනි. අපි සැවොම මේ මොහොතේ ජාතින් අතර සංහිඳියාවක් පිළිබඳ සාකච්ඡා කරද්දී ඒ සඳහා ප්‍රස්තුත කරගන්නේ උතුර සහ දකුණ පමණි. නමුත් එම සංහිඳියාව වතුකරයේ දෙමළ ජනයාට ද අත් විය යුතු ය; ඔවුන් කෙරෙහි ද අපගේ අවධානය යොමු විය යුතු ය.
1911 වසරේ ලබාගත් ජන සංගණනයේ දී දෙමළ ජනතාවගෙන් 13%ක් ම කඳුකර දෙමළ ජනතාව විය. මේ මොහොතේ දි එය 04.08% දක්වා පහත බැස ඇත. මෙසේ විය හැකි ද? එසේ වී ඇත්නම් ඉතාමත් සූක්ෂම ලෙස එම ප්‍රදේශයේ ජන සංහාරයක් සිදු වී නැති ද?
ජනවාරි 08 වන දිනෙන් පසු බලය ලබාගත් පාලකයන් ද මෙම ජනතාව කෙරෙහි සිය අවධානය යොමු නොකර ඇති බව පැහැදිලි ය. එසේ නම් එම ජන කොටස පිළිබඳ යම් කතාබහක් ඇති කිරීම අපගේ යුතුකමක් සහ වගකීමකි. මේ වන විට හරිත භූමි නමින් ඉඩම් බලපත්‍ර බෙදා දෙමින් පවතී. මෙම බලපත්‍රයට කිසිඳු වලංගු භාවයක් නොමැත. 1977 සිට මේ දක්වා එම ජනතාවට ඉඩම් බෙදා දෙනවා යැයි කියමින් රැවටීමට ලක් කළා මිස ඉඩමේ අයිතිය භුක්ති විඳීමට ඉඩ කඩ සලසා නැත.
1948 සිට මේ දක්වා මෙම රටේ ඉඩම් බෙදා දුන් ක්‍රම තිබුණා. එම ඉඩම් බෙදා දීම් සඳහා විවිධ නම් ද යොදා තිබුණා. එය ගොඩ ඉඩම් සහ මඩ ඉඩම් වශයෙන් ද නම් කළා. අක්කර පහේ සිට දහය දක්වා ඉඩම් ලබා දුන්නා. එහි අවම ඉඩම් කොටස වුණේ පර්චස් 20කි. නමුත් වතුකර ජනතාවට උපරිම ලබා දී ඇත්තේ පර්චස් හතකි. ඒ සඳහා ද විවිධ කොන්දේසි පනවා ඇත.
ඉඩමක් ජනතාව අතර බෙදා දීමට නම් 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ යම් ඉඩමක් ආණ්ඩුවට පවරා ගනිමින්, ගැසට් නිවේදනයක් නිකුත් කරමින්, ඉඩම් කච්චේරි පවත්වමින් එය සිදු කළ යුතු ය. ඒ හැර වතු පාලකයන්ට හෝ වතු සමාගමට ඉඩම් බෙදා දීමේ බලතල නොමැත. නමුත් වතුකර දෙමළ ජනතාවට මෙම පර්චස් හත බෙදා දෙන්නේ වතු සමාගම් මගිනි. වතු සමාගම් වෙත මෙම අයිතිය පවරා දුන්නේ කවු ද? මෙම අයිතිය ලබාදීමට පාර්ලිමේන්තුවට බලයක් තිබේ ද? එසේ නම් මින් පැහැදිලි වන්නේ කුමක් ද? එම පර්චස් හත ලබා දී ඇත්තේ ද වතුකරයේ දෙමළ ජනතාව රැවටීමට ලක් කරමිනි. මෙසේ සිදු වූයේ ඇයි?
මෙහි දි රාජ්‍ය පාලකයන් සහ වතු සමාගම්කරුවන් කියා සිටින්නේ කුමක් ද? පාලකයන් කියාසිටින්නේ ඔබ මෙම පර්චස් හත තුළ සිටින්න යනුවෙනි. පාලකයන් කියා සිටින්නේ ඔබ මෙතැන සිට වත්තේ සේවයට එන්න යනුවෙනි. සැබැවින් ම එය රැකියාවට යාම ඒම සඳහා පවරා ඇති නවාතැනක් පමණක් ම ය. මෙය ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවයට යන සේවක සේවිකාවන් බෝඩිමක සිට වැඩට ගොස් නැවත සවස බෝඩිමට පැමිණෙනවාට වඩා වෙනසක් නැත. එම භූමිය පිළිබඳ කිසිඳු අයිතියක් ඔවුන්ට නැත. ජනවාරි 08 වන දින සිට පත්වූ ආණ්ඩුව ද මේ පිළිබඳ අවධානය යොමු කර නැත. අද වතුකරයේ සිටින දේශපාලකයන් ද මෙම ක්‍රමයට ම මුක්කු ගසන පිරිසකි.
හෙට දිනයේ ද නුවර, නුවරඑළිය හෝ වෙනත් ප්‍රදේශයක මෙම පර්චස් හත බෙදා දීමට ඉඩ ඇත. මේ සම්බන්ධයෙන් පත්තරවල ලිපි පළ වනු ඇත. වෙනත් මාධ්‍යය ඔස්සේ සාකච්ඡා පැවැත්වෙනු ඇත. නමුත් මෙම ගැටලුවට සැබෑ විසඳුමක් දීමට කිසිවකුට අවශ්‍ය නැත. ඔවුන් පාලක පක්ෂය සමග එකතු වී තමන්ගේ වාසිය උදෙසා පමණක් කටයුතු කරනු ඇත.
මීළඟට වැටුප් ප්‍රශ්නය පිළිබඳ විමසා බලමු. ලංකාවේ කම්කරුවන්ගෙන් අඩුම වැටුපක් ලබන්නේ වතු කම්කරුවන් ය. ඔවුන් ගේ වැටුප දිනකට රුපියල් 420කි. දින 19ක් වැඩ කළොත් පමණි ඔවුන්ට රුපියල් 650ක් ලැබෙන්නේ. මෙවැනි ක්‍රමයක් වෙනත් කිසිම කම්කරුවකුට බලපාන්නේ නැත. මෙය වහල් ක්‍රමයකි. එ’නිසා අපි කියා සිටින්නේ මේ රටේ වෙසෙන ගෞරවනීය ජන කොටස අතරට වතු කම්කරු ජනතාව ද එක් කර ගත යුතු ය යන්නයි. ඔවුන් ජාතියක් ලෙස පිළිගත යුතු ය.
සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ මැලේ යනුවෙන් අපි පොදුවේ භාවිතා කරයි. නමුත් කඳුකරයේ වෙසෙන වතුකම්කරු ජනතාව මෙතෙක් ජාතියක් ලෙස පිළිගෙන නැත. එම ජනතාවට ද ගෞරවනීය ලෙස ජිවත් වී, ගෞරවනීය ලෙස දේශපාලනයේ යෙදෙමින් අනෙක් ප්‍රජාව විඳින වරප්‍රසාද ද ලබාගත යුතු ය. ඔවුන්ගේ ශ්‍රමයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා මෙන් ම ඔවුන්ගේ ආර්ථිකය ද ශක්තිමත් කළ යුතු ය. මන්ද මේ වන විට රටට විදේශ විනිමය ලබා දෙන තුන්වන ශ්‍රම බලකාය වතුකම්කරුවන් ගේ ශ්‍රම දායකත්වය යි. එම නිසා ඔවුන්ට එම ගෞරවය ලබා දිය යුතු යි.
ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
‘‘ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක්’’ යන මැයෙන් විවෘත සාකච්ඡාවක් පසුගිය 30 වන දින (2015-05-) කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී පැවැත්විණි.
එහි දී අදහස් ඉදිරිපත් කළ ෂෙරාඩ් පියතුමා සිය අවධානය යොමු කළේ මේ රටේ විදේශ විනිමය උපයන තුන්වන ශ්‍රම බලකාය වන වතු කම්කරුවන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙනි. සැබැවින් ම අපි කිසිවකු මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකරන බව සහ ඒ පිළිබඳ දැනුවත් භාවයක් නැති බව ඒත්තු ගියේ එතුමාගේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව ය. එහෙයිනි එතුමාගේ අදහස් දැක්වීම් මෙලෙස ඉදිරිපත් කිරීමට අදහස් කළේ.
Leave a comment