2009 වසරේ මහමග කිරිබත් පිස අනුභව කළ පිරිස වැනි තවත් පිරිසක් මියගියවුන් සැමරීම කොටියා සැමරීමක් ලෙස සිතා තම ජාතිවාදි මතය වපුරන්නට සමාජ වෙබ්අඩවි උපරිමයෙන් භාවිතා කළහ. සහෝදරත්වයේ අගය පහදා දෙන්නට උත්සාහ කළ පිරිසගේ නිර්මාණාත්මක ප‍්‍රචාරක දැන්වීම්වලට විරුද්ධ දැන්වීම් මතු නොව ඒ හා සමාන දැන්වීම් ද නිර්මාණය කර එවා ද සහෝදරත්වයේ අගය සමරන්නන් ගේ ගිණුමට බැර කරන්නට නින්දිත උත්සාහයක යෙදුණි. ඔවුන් එසේ කළේ සහෝදරත්වයේ අගය වටහා දෙන්නට යත්න දැරූ පරපුර කොටි හිතවාදීන්, ඩොලර් කාක්කන් හෝ ජාති ද්‍රෝහීන් ලෙස නම් කරමිනි. නමුදු මේ කිසිදු ජාතිමාමකයෙක් නොදුටු පැතිකඩ කුමක් ද?
‘‘ප‍්‍රභාකරන් සාධකය’’ බිහි වන්නේ අහඹුවකින් නොවේ. එය නිර්මාණයකි. ඒ නිර්මාණකරුවා අන් කිසිවකු නොව ලාංකීය මහ ජාතිය යි. එනම් සිංහල බෞද්ධයා යි. සිංහලකම ද බෞද්ධකම ද සින්නකරයට ලියාගෙන ඇති මේ කොදෙව්වේ එක් පිරිසක් මෙම සංකල්පවල මූලයන් මොනවාද යන්න සොයා නොබලති. අලූත උපන් මිනිස් ජීවියාගේ උප්පැන්නයේ ‘‘ආගම’’ යන පැනයට ඉදිරියෙන් නැවුම් මිනිස් ජිවියාගේ පියාගේ ආගම සඳහන් කරන්නේ කුමන පදනමක් යටතේ ද යන්න එම ජිවියා වැඩිහිටියකු බවට පත්වූ පසු ද ප‍්‍රශ්න නොකරයි. යම් ආකාරයකින් මේ මා-පිය යුවළ ආගම් දෙකකට අයත් නම් සිදුවන්නේ කුමක් ද? එහි දී වැඩි නැඹුරුතාවක් දක්වන්නේ පියාගේ ආගම නැවුම් ජීවියාගේ ආගම ලෙස උප්පැන්න සහතිකයේ සටහන් කිරීමට ය. මේ සියල්ල සිදුවන්නේ මා-පිය දෙපළගේ අවශ්‍යතාව මත මිස නැවුම් මිනිස් ජීවියාගේ අභිමතය පරිදි නොවේ. ඒ එක් පාර්ශවයකි.
ජාතිය පිළිබඳ සංකල්පය මීට බොහෝ සෙයින් වෙනස් මගක් ගනී. චිරාත් කාලයක් සිට පැවත එන හෙයින් අපි සිංහල වෙමු. තව කොටසක් දෙමළ වෙති. තවත් කොටසක්: යෝනක,මරක්කල, තම්බි හෝ මුස්ලිම් වෙති.
සිංහල දෙමළ යනුවෙන් ලේබල් කෙරෙන්නේ කතා කරන භාෂාව අනුව බව පැහැදිලි ය. එහෙත් තෙවැන්නා ලේබල් කෙරෙන්නේ කුමන පදනමක් යටතේ ද යන්න නිසි විග‍්‍රහයක් නොමැත. මන්ද ‘‘මුස්ලිම්’’ යනුවෙන් ආගමක් හෝ භාෂාවක් නැත. ලී ඉරන මිනිසාට ද මස් පිණිස සතුන් මරන්නාට ද ‘‘මරක්කල’’ යන නාමය පටබැඳේ මෙය මිනිස් කොට්ඨාසයක් හැඳින්වීම සඳහා කෙතරම් ගැළපේද යන්න විමසා බැලිය යුතු ය. මන්ද මිනිස් ජිවය ආරම්භක යුගයේ බහුතරයක් පිරිස් සතුන් ගේ මස් අනුභව කර ඇති බව නොරහසකි. පසු කලෙක දී තම පුද්ගලික භාවිතය ඉක්මවා ගොස් අලෙවිය පිණිස සතුන් මැරුවේ එක් මිනිස් කොට්ඨාසයක් පමණක් නොවේ. ලෝකයේ වෙනත් රටවල්වල වුව ද මස් පිණිස සතුන් මැරූ පිරිස් අපමණ ය. එසේනම් සැබෑ ‘‘මරක්කලයා’’ කවුද? ඔවුන්ගේ නිජ භූමිය කුමක් ද?
‘‘මුස්ලිම්’’ සහ ‘‘මුසල්මානුවා’’ යන වචන යුගලය වෙත යළි අවධානය යොමු කළ විට ඉන් හැඟවෙන්නේ ද ‘‘ඉස්ලාම් භක්තිකයා’’ යන්න ය. ‘‘යෝනක’’ නමැති වදන නම් මෙකී ප‍්‍රජාවගේ අනන්‍යතාව යම් දුරකට තහවුරු වන වදනක් ලෙස සැලකිය හැකිය. මන්ද එය අරාබි ජාතිකයන් සහ ග‍්‍රීක ජාතිකයන් හැඳින්වීමට භාවිතා කරන හෙයිනි. මෙය තවදුරටත් තහවුරු වන්නේ පිටකොටුවේ ‘‘පරණ යෝන් වීදිය’’ සහ ‘‘නව යොන් විදිය’’ නමින් හැඳින්වෙන මාවත් ද්විත්වයෙනි. එකල මෙම මාවත් දෙක හැ`දින්වූයේ ‘‘පරණ යෝනක වීදිය’’ සහ ‘‘නව යෝනක වීදිය’’ යනුවෙනි. පසු කලකදී කුමන හේතුවක් මත එය ‘‘පරණ යෝන් වීදිය’’ සහ‘‘නව යෝන් වීදිය’’ යනුවෙන් නම් කළා ද යන්න අපහැදිලි ය. ඇතැම් විට ‘‘යෝන්’’ යන වදන ‘‘යොවුන්’’ යන්නට සමාන හෙයින්ද යන්න සැක සහිත ය. මන්ද එවිට මෙරට වෙසෙන තවත් ජාතියක නමින් මාවතක් හෝ දෙකක් නම් කර ඇති බව වසන් වන බැවිනි; එය යෞවනයන්ගේ මාවතක් හෝ දෙකක් ලෙස හැඳින්විය හැකි බැවිනි.
සිංහල, දෙමළ හැරුණ විට මෙරට වෙසෙන අනෙක් ජාතියක් හැදින්වීම සඳහා මෙතරම් වචන ප‍්‍රමාණයක් මිඩංගු කිරීමට සිදු වූයේ අදාළ ප‍්‍රස්තුථය පිළිබඳ වියමන වඩාත් සාර්ථක කර ගැනීමේ ප‍්‍රයත්නයක් වශයෙනි.
සිංහලයා ද දෙමළා ද ඉස්ලාම් භක්තිකයා ද මෙරටට සංක‍්‍රමණය වූයේ වෙනත් දේශයකින් බව පැහැදිලි ය. එහි මූලයන් සෙවීම වෙනම ම කාරණයකි. එහෙයින් යළි මුඛ්‍ය ප‍්‍රස්තුතය වෙත පිවිසෙමු.
නිවසක වෙසෙන දරුවන් කිහිප දෙකනකු අතරින් එක් පුද්ගලයකු වෙන් කර සලකන්නේ නම් ඔහු/ඇය අනෙක් පිරිසට එරෙහි අරගලයකට යොමු වීම ස්වයං සිද්ධවීමකි. පවුලේ එක් දරුවකු වෙන් කොට සලකන්නේ නම් ඔහු සිය පවුල කෙරෙහි කලකිරීම සාමාන්‍ය සිද්ධියකි. උතුරේ මතු නොව දකුණේ ද කඳුකරයේ ද දෙමළා සහ සිංහලයා අතර පැවතියේ විවිධාකාරයේ වෙනසකි. ඇතැම් විට උතුරේ වෙසෙන දෙමළ වැසියා එහි වෙසෙන සිංහල වැසියාට වඩා අධ්‍යාපනයෙන්, සමාජ තත්ත්වයෙන්, උගත් භාවයෙන් ඉහළින් සිටින විට කඳුකරයේ සහ දකුණේ මෙය ඊට සපුරාම වෙනස් ය. කඳුකරයේ දෙමළ වැසියා වතුකම්කරුවකු වූ අතර දකුණේ බොහෝ දෙමළ වැසියෝ සිංහල ධනවතුන්ගේ සහ ප‍්‍රභූවරුන් ගේ ආතේවකරුවෝ වූහ. පහත රට තේ කර්මාන්තයට සම්බන්ධ වූයේ ද මේ දෙමළ වැසියෝ ම ය.
සිංහල ජාතිය නම් වූ මිනිස් සමූහයා නිරන්තරයෙන් දෙමළා නම් වූ මිනිස් කොට්ඨාසය දෙවන ස්ථානයෙහි ලා සැලකූ බව නොරහසකි. එය ලියුම්කරු ගේ පුද්ගලික අත්දැකීමෙන් ද ඇසු දුටු ඛේදවාචකයකි. මනුෂ්‍යයකු වන ඔහු කතා කරන භාෂාව අනුව ම වෙනත් හෝ පහත් මනුෂ්‍යයකු වශයෙන් සැලකුවේ කුමන පදනමක් යටතේ ද යන්න තවමත් ගැටලූවකි. කෙමෙන් කෙමෙන් මෙම ගැටලූව මෝරා වැඩෙද්දී නිදහසින් පසු මෙරට පාලනය කළ කිසිඳු පාර්ශවයක් දෙමළ වැසියාගේ සැබෑ ප‍්‍රශ්න දෙස නිසි අවධානයක් යොමු නොකළහ. දෙමළ ප‍්‍රජාව අතර සිටි ප‍්‍රභූවරු ද තම වාසිය පතා පවතින දේශපාලන ක‍්‍රමයට අනුගත වෙමින් තම ජාතියේ වළ කපන්නට භූමිය සැකසූහ. අවසන පීඩනයට පත්වූයේ පහළ නිර්ධන පන්තියේ වැසියෝ ය. පැවති ආණ්ඩුවලට හෝ පාලන ක‍්‍රමයට එරෙහිව නැගී සිටියේ මේ පහළ පන්තියේ දෙමළ වැසියෝ ය. ඒ තමන් වෙත එල්ල වන පීඩනය දරාගැනීම අපහසු වූ මොහොතේ ය. එය දීර්ඝ සෙල සාකච්ඡා කළ යුතු කරුණකි. අවසානයේ ‘‘ප‍්‍රභාකරන් සාධකය’’ බිහිවන්නේ මේ සියල්ලේ විපාකයක් ලෙසිනි.
ප‍්‍රභාකරන් දෙමළ ජනතාවගේ එකම ගැලවුම් කරුවා ලෙස දෙමළ ජනයා හඳුනා ගන්නේ ද ඔහුගේ තිබූ සුවිශේෂත්වයක් නිසා නොව අන් කිසිවකු ඒ වෙනුවෙන් ඉදිරිපත්වන බවක් දක්නට නොලැබුණු හෙයිනි. දියේ ගිලෙන්නට යන මිනිසා පිදුරු ගහෙත් එල්ලෙනවා මෙන් පීඩනයට පත්ව සිටි දෙමළ ජනයා ‘‘ප‍්‍රභාකරන් සාධකය’’ වටා රොක්වන විට ද වෙනත් දෙමළ සංවිධාන කිහිපයක් උතුරේ සංවිධානගතව සිටි බව අපි අමතක කළ යුතු නොවේ. එහෙත් මේ අතුරින් ප‍්‍රභාකරන් සුවිශේෂි වන්නේ ඔහු ද යම් ආකාරයක ඒකාධිපතිත්වයක් ගොඩනගන්නට දැරූ උත්සාහය හේතුවෙනි. එහි දී ඔහු සූක්ෂම ලෙස තම අරමුණ ඉටු කරගත්තේ ය. ඔහුට මුහුණ දීමට නොහැකි, ඔහු අභිභවා යා නොහැකි ඇතැම් සංවිධාන පවතින ක‍්‍රමය සමග අත්වැල් බැඳගනිමින් පාර්ලිමේන්තු ක‍්‍රමයට අනුගත වූහ. පවතින පාලනයට ද තමන් සමග එක් වූ පිරිස ‘‘හරි ෂෝක්’’ වූ අතර තමන්ගෙන් වියුක්ත වූ පිරිස සතුරු පිරිසක් ලෙස සලකා කටයුතු කරන්නට වූහ.
තිස්වසරක් පුරා ඇදී ආ යුද්ධය එහි ප‍්‍රතිඵලයක් මිස අහඹුවක් නොවේ. එම යුද්ධයේ දී සිංහල,දෙමළ, මුස්ලිම්/ඉස්ලාම්, බර්ගර් සහ වෙනත් ජාතිහු මරණයට පත්වූහ. මේ බොහෝ පිරිසක ගේ දේපළ අහිමි වූහ. මේ සෑම පුරවැසියකුම සිය ජිවිත සහ දේපළ අහිමි කරගත්තේ ඒ ඒ පුද්ගලයන්ගේ හෝ කණ්ඩායමේ අරමුණට සාපේක්ෂව ය. එනම් සාමාන්‍ය දෙමළ මිනිසා තම අයිතිය වෙනුවෙන් කුමන හෝ කණ්ඩායමක් සමග කඳවුරු බැඳගත්තේ ය. එය ඔවුන්ට අනුව සාධාරණය. රටක් අරාජික වීම වැළැක්වීමේ අරමුණින් රාජ්‍ය පාලකයෝ සිය සතුරා යැයි හැඳින්වෙන, රාජ්‍යයෙන් වියුක්තව සිය අභිමතය පරිදි කටයුතු කරන සංවිධානය මර්දනය කළේ ය. එහෙත් මේ කුමන කාරණයේ දී වුව මිය ගියේ ‘‘ලක් මව ගේ දරුවෝ’’ ය. පසුගිය18, 19 යන දෙදින තුළ සැමරිය යුත්තේ මේ ලක් දරුවෝ මිස සිංහලයා හෝ දෙමළා නොවේ. එහි දී මිය ගිය යුද සෙබළුන් සහ සිංහල ජනතාව සැමරීමේ අයිතිය සිංහලයාට තිබෙන්නාක් මෙන් ම මිය ගිය ‘‘දෙමළ මිනිසුන්’’ සැමරීමේ අයිතිය දෙමළ වැසියන්ට ද තිබිය යුතු ය. එය මූලික මිනිස් අයිතිවාසිකමකි; සංස්කෘතික අයිතියකි; වගකීමකි; යුතුකමකි.
එහෙත් දකුණේ සිංහලයාට ඇති අයිතිය උතුරේ දෙමළාට නැතැයි කියන්නට, ඊට එරෙහිව කටයුතු කරන්නට දකුණේ සිංහලයා යළි පෙලඹෙන්නේ නම් උතුරේ ජනයා ඊට එරෙහි වීම අරුමයක් නොවේ. එය යළි යළිත් උතුරේ දෙමළාගේ අයිතිවාසිකම් උදුරාගැනීමකි. ඔවුන්ගේ සංස්කෘතිකාංග ප‍්‍රතික්ෂේප කිරීමකි; ඔවුන්ගේ නිදහස අවුරාලීමකි; රටක් ජාතියක් වශයෙන් එය නොහොඹිනා ක‍්‍රියාවකි. එහෙත් එය දැන දැනම අවස්ථාවාදී ජාතිවාදීන් එම ක‍්‍රියාවේම නියැළෙති.
ජනතාව යනු වාසි පැත්තට හෝයියා කියන පිරිසකි. එහෙත් පාලකයන් වශයෙන් මෙහි දී සාධාරණව කටයුතු කළ යුතු ය. ඒකාධිපති පාලකයකු පළවා හැර යහපාලනය සඳහා පත්කරගත් ආණ්ඩුවක් යටතේ ද උතුරේ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ නම්, ඔවුන්ගේ සංස්කෘතිකාංග තහනමට ලක් කරන්නේ නම් එය උතුරේ ජනයා මෙන් ම යහ පාලනය උදෙසා දරදිය ඇදි ජනයා කෙසේ ඉවසන්න ද? කිසිඳු රාජ්‍ය ආයතනයක් හෝ නිලධාරියකු තම හිතුමතේට තීරණ නොගන්නා බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ. දකුණේ පහන් දල්වන්නට ඉඩ දෙන රාජ්‍යය බලධාරීන් උතුරේ පහන් දැල්වීම තහනම් කරන්නේ කුමන පදනමක් යටතේ ද යන්න විමසා බැලිය යුතු ය. යම් ආකාරයකින් රාජ්‍ය මට්ටමෙන් එවැනි නිල නියෝගයක් නිකුත් කර නොමැත්තේ නම් අදාළ බලධාරීන් එසේ කටයුතු කළේ ඇයි ද, සහ කෙසේ ද යන්න විමසා බලා ඊට එරෙහිව යුක්තිය පසිඳලීම ද යහ පාලකයන්ගේ වගකීමකි. යහ පාලන පළමු වසරේ සිදු වූ මෙම වෙනස්කම මින් මතුවට සිදු නොවන්ට යහ පාලකයෝ වගබලාගත යුතු ය. ජනතාවගේ අදහස් සමපාත නොවුව ද රාජ්‍යයක් ලෙස ලක් වැසි සැමට එක හැන්දෙන් බෙදිය යුතු බව වටහාගත යුතු ය.
ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.