රට තුළ මේ මොහොතේ සිදුවෙමින් ඇති දේශපාලන වර්ධනයන් ඔබ, කියවන්නේ මොන විදිහට ද? එතැනින් අපි, මේ කථාබහට ප්‍රවේශයක් ලබාගත්තොත්...
මෙහෙමයි. 19 වන සංශෝධනය සම්මතවීමෙන් පසු ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරතාව සම්බන්ධයෙන් තිබූ සැකය, යම්කිසි දුරකට අඩු වී තියෙනවා. නමුත් ඒක සම්පූර්ණයෙන් නැති වෙලා නැහැ. ජනවාරි අට වැනිදා මැතිවරණයෙන් අනතුරුව ජනාධිපතිවරයා අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලයේ නොඑසේ නම් විධායකයේ වෙනසක් වුණාට පාර්ලිමේන්තු බල තුලනයේ වෙනසක් වුණේ නැහැ. විශේෂයෙන් ම මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති තනතුරට පත්වුණා.
එතුමා ඒ නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වුණාට ඔහුට පක්ෂය තුළ පාලනයක් නැති බව පෙනෙන්නට තිබෙනවා. එතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් නායකයා වුණාට ඒ තුළත් එතුමාට පාලනයක් නැහැ. මේ අතරේ ක්ෂණිකව බලයට ඒමේ විශාල අවශ්‍යතාවක් මහින්ද රාජපක්ෂ මහතාටත් තියෙන බව පෙනෙන්නට තියෙනවා.
ඔහු වටා සිටින බලවේගවලටත් ඉක්මනින් ම හිටපු ජනාධිපතිවරයාව යළි බලයට ගෙන ඒමට අවශ්‍ය වී තිබෙනවා. දැනට ශ්‍රීලනිපයේ බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක් තුළ තව මොනතරම් කාලයක් මේ ආණ්ඩුවට කටයුතු කරන්න පුළුවන්ද, කියන සාධාරණ ප්‍රශ්නය රටේ මතුව තියෙනවා.
දින 100 කට පසුව මහා මැතිවරණයකට යන බව එදා ජනාධිපතිවරණ අවස්ථාවේදී, පොදු අපේක්ෂකයාගේ කඳවුර ප්‍රකාශ කළා. ඒත්, බලය ලබාගැනීමෙන් පසු මේ අදහස වරින් වර උඩ ඇවිත් යට යන ගතියක් තමයි පෙනෙන්නට තියෙන්නේ. රජය, දැන් මහ මැතිවරණයකට යා යුතුය කියලා ඔබ හිතනවාද?
ඔව්. මම එහෙම හිතනවා. ඇත්තටම දැනටත් ඒ සඳහා ප්‍රමාද වැඩියි. මේ ආණ්ඩුවට දැනට තියෙන ප්‍රධානතම ප්‍රතිවිරෝධතාවක් නැතිනම් ගැටලුවක් විසඳාගත හැක්කේ එහෙම කළොත් විතරයි. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සඳහා වගේ ම දූෂණයට විරුද්ධව සටන් කිරීමට, දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව කටයුතු කිරීමට විධායකයට, ජනවරමක් ලැබී තියෙනවා.
නමුත් මේ පවතින ව්‍යවස්ථාදායකයට එවැනි වරමක් හිමිව නැති නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි කියලා එජාපය, ජවිපෙ විතරක් නෙවෙයි, ජාතික හෙළ උරුමයත් කියනවා කියලා මම හිතනවා.
මේ සම්බන්ධව ජනාධිපතිවරයා හිතන විදිහ මම හරියටම දන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ කණ්ඩායමේ අයට ශ්‍රීලනිපයෙන් නාම යෝජනා නොලැබුණොත් බොහෝ විට ඒ අය වෙනම තරග කරන්න පුළුවන්. එහෙම වෙනම තරග කළොත්, තම නායකත්වයෙන් යුත් ශ්‍රීලනිපයට බහුතර ආසන සංඛ්‍යාවක් ලබාගත නොහැකි යැයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා හිතනවා කියලා මම විශ්වාස කරනවා.
ඒ අවුල ලිහා ගැනීමට තරම් හැකියාවක් ජනාධිපතිවරයාට තියෙනවාද?
එතුමා පසුගියදා මහින්ද රාජපක්ෂ මහත්තයා මුණගැසී සාකච්ඡාවක් පැවැත්වූවා. ඒ සාකච්ඡා මොනතරම් දුරක් යයි ද කියලා අපිට කියන්න බැහැ. නමුත්, පැත්තක ඉඳන් ඒ දිහා බලන් ඉන්න කෙනෙක් හැටියට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රීලනිපයේ ඒ කණ්ඩායම දේශපාලන වශයෙන් දිනාගැනීම ජනාධිපතිවරයාට පහසු නැහැ කියලා පෙනෙන්නට තියෙනවා. දූෂණ විරෝධී සටන ඉදිරියට ගෙනියනවාය කියලා මෛත්‍රිපාල සිරිසේන මහතා පොරොන්දු වී තියෙනවා.
ඒ කියපු විදිහටම ඉදිරියට යනවා නම්, බොහෝ වෙලාවට ඒ සටනේ, ඉලක්ක බවට පත්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායමේ අයයි. එවැනි තත්ත්වයක් තුළ මේ දෙගොල්ලන්ට එකට එකතු වෙන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි.
ඔබ කියන විදිහට එහෙම එකඟතාවක් පිළිබඳ බලාපොරොත්තු තියාගන්නත් බැරි නම්, මේ සාකච්ඡා කරන්නේ මොකකට ද? ඒ එක්කම, දූෂණ විරෝධී සටන ඉදිරියට දමමින්, ඇතමුන් මේ ක්‍රියාවලියේ සදාචාරමය භාවය ප්‍රශ්න කරනවා.
මෙහෙමයි. මේ දක්වා අපි මේ දිහා බැලුවේ අපේ පැත්තෙන්. අපි මේක හරියට තේරුම් ගැනීමට නම් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පැත්තෙන් බැලීමත් වැදගත්. එතුමා මැතිවරණ ක්‍රියාවලිය තුළදී යම් යම් දේ කියපු බව ඇත්ත. නමුත්, බලයට ආවට පස්සේ, ශ්‍රීලනිප දෙකඩ කිරීමේ කර්තෘත්වය, තමන්ට ලැබෙනවාට එතුමා කැමැති නැහැ වගේ ගතියක් පෙනෙන්නට තියෙනවා.
මම හිතන විදිහට ඒකට මහින්ද රාජපක්ෂ මහත්තයත් කැමැති නැහැ. ඒක ඒ දෙන්නම මුහුණදෙන ලොකු අභියෝගයක්. පක්ෂය දෙකඩ කළාය කියන චෝදනාවෙන් තමන් බේරෙන්න නම් පුළුවන් තරම් පක්ෂය එකට තියාගන්න ඔවුන් උත්සාහ කරාවි. මේ සාකච්ඡාව සිද්ධ වුණේ ඒ අරමුණින්ය කියලා මම හිතනවා.
නමුත් ශ්‍රීලනිපයේ සමහරු කියන්නේ රනිල් ගෙදර යැවීමේ අරමුණින්, මේ සාකච්ඡා සිදුවෙනවාය කියලයි...
ශ්‍රීලනිපයේ කොටසකට ආණ්ඩු බලය ලබාගැනීම අවශ්‍ය වී තියෙනවා. ඒක අපි අමතක නොකළ යුතුයි. නිමල් සිරිපාල, ජී.එල්. පීරිස්, අනුර යාපා, ඩිලාන් පෙරේරා යන අය පසුගිය කාලේ කරපු කතාවලින් යළි ආණ්ඩු බලය ලබාගැනීමේ පිපාසයකින් ඔවුන් පෙළෙන බව පැහැදිලිවම පෙනෙන්නට තියෙනවා. අර කියපු අයගෙන්, සමහරු මෛත්‍රීපාල සිරිසේන මහත්තයට, පසුව තම සහාය ලබාදුන්නත්, ශ්‍රීලනිප ප්‍රධානත්වයෙන් යුතු ආණ්ඩුවක් හදන්න ඔවුන්ට ලොකු කැමැත්තක් තියෙනවා.
ඔවුන් ඉන්නේ ඒ න්‍යාය පත්‍රයේ. ඕනෑම, මොහොතක තමන්ට බලය ලබාගැනීමේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරිම දේශපාලන පක්ෂවල මූලික ස්වභාවයක්. ඒ නිසා ශ්‍රීලනිපයට දොස් කියන්න බැහැ. ඊට මුහුණදිය හැකි දේශපාලන ක්‍රියාමාර්ගයක් ගැනීමට එජාපයේ හා මෛත්‍රිපාල සිරිසේන මහත්තය දැනගත යුතුයි. වඩා වැදගත් වෙන්නේ ඒකයි. නමුත් මෛත්‍රිපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ මහත්වරු ඒ සඳහා සාමූහික පියවරක් ගන්නවද කියලා අපි හරියට දන්නේ නැහැ. ඒ දෙන්නා සාමූහිකව සාකච්ඡා කර එවැනි පියවරක් ගත්තේ නැත්නම් බොහෝ විට ශ්‍රීලනිපයේ න්‍යාය පත්‍රය සාර්ථක වෙන්නත් ඉඩ තියෙනවා.
ඇත්තටම වත්මන් ජනාධිපතිවරයාට හා හිටපු ජනාධිපතිවරයාට, එකට එක්කහුවෙලා යන්න ගමනක් තියෙනවද?
අමාරුයි. එහෙම එක්ව යනවා නම්, ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය අවස්ථාවේ දීපු පොරොන්දු සියල්ලටම පස්ස හරවන්න මෛත්‍රිපාල සිරිසේන මහත්තයට සිද්ධ වෙනවා. එතුමාට, ඒක කරන්න පුළුවන් ද කියලා මට හිතන්න අමාරුයි. ඇත්තටම, මේ තත්ත්වය, තුළ හැම දේශපාලන පක්ෂයක් ම පහසුවෙන් ගැලවිය නොහැකි උගුල්වල හිරවෙනවා. එක්සත් ජාතික පක්ෂයත් එහෙමයි. මෛත්‍රිපාල සිරිසේන මහත්තයත් එහෙමයි. ශ්‍රීලනිපයත් එහෙමයි. ඡන්දදායකයන් වන අපිත් එහෙමයි. අපි හැමදෙනා ම ඉන්නේ, පහසුවෙන් ගැලවිය නොහැකි දේශපාලන උගුල්වලයි.
පවතින තත්ත්වය තුළ එජාපයේ භූමිකාව කුමක් විය යුතුද කියලද ඔබ කියන්නේ?
මෙතැනදී එජාපයේ භූමිකාව විය යුත්තේ මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ එකට වැඩ කරමින්, හැකිනම් පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට තුඩු දුන්, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යළි පණ ගැන්වීමට හෝ අලුතින් සකස් කිරීමට පියවර ගැනීමයි.
එහෙම නැතුව තනි පක්ෂයක් විදිහට යූඇන්පීයට අනාගතයක් නැද්ද?
තනි පක්ෂයක් හැටියට අමාරුයි. ලංකාවේ දේශපාලනය තුළ ඒක ටිකක් දුෂ්කරයි. ඒක ශ්‍රීලනිපයටත් අදාළයි. දැනට තියෙන සමානුපාතික නියෝජන ක්‍රමය තුළ අද තියෙන දේශපාලන වාතාවරණය ඇතුළේ එක පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතරයක් ලැබෙයි කියලා හිතන්න අමාරුයි. බොහෝ විට දැනට තියෙන තත්ත්වය ඇතුළේ, එජාපය ඊළඟ මහා මැතිවරණයේ දී වැඩි ම ආසන සංඛ්‍යාවක් දිනාගන්නා මුත්, පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති පක්ෂය බවට පත්වීමේ විභවතාව තියෙනවා.
එහෙම වුණොත් වෙනත් දේශපාලන පක්ෂ සමඟ එකතු වී හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට ඔවුන්ට සිද්ධ වෙනවා. බොහෝ විට, ශ්‍රීලනිපයටත් ඒක වෙන්න පුළුවන්. එක්සත් ජනතා නිදහස් සන්ධානය 2010 දී පාර්ලිමේන්තුවේ අතිවිශාල මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් හිමිකර ගත්තේ යුද ජයග්‍රහණයත් සමඟ ඇති වුණු අතිවිශේෂ තත්ත්වයක් එක්කයි.
ඡන්ද ක්‍රමය වෙනස් විය යුතු බව කියමින්, ප්‍රබල සංවාදයක් මේ වනවිට රටේ ඇතිව තියෙනවා. ඔබ ඊට එකතුවෙන්නේ කොතැනින්ද?
නියෝජන ක්‍රමය වෙනස් කිරීම අත්‍යවශ්‍යයි. නමුත් එය සිදුකළ යුත්තේ, එක් එක් ප්‍රධාන දේශපාලන පක්ෂවලට වාසි ලබාගැනීමේ අර්ථයකින් නොවෙයි. ඒක විය යුත්තේ ලංකාවේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් හා ගැඹුරු කිරීමේ අරමුණින්. ඒ නිසා මෙවැනි වෙනසක් සිදු කරද්දී ලොකු කුඩා භේදයකින් තොරව ලංකාවේ හැම දේශපාලන පක්ෂයක් සමඟම ඒ ගැන සාකච්ඡා කිරීම වැදගත්. පැහැදිලිවම ඒක, දේශපාලන පක්ෂයක හෝ දෙකක මතය, නීතිය බවට පත්කිරීමට යන ක්‍රියාමාර්ගයක් නොවිය යුතු යි.
ඒ සඳහා හැම දෙනාගේ ම සහයෝගය ලබාගැනීම එතරම් පහසු දෙයක් නෙමෙයි. දැනට ක්‍රියාත්මක සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ වගේ ම මනාප ක්‍රමය පිළිබඳවත් විශාල විවේචනයක් ලංකාවේ තියෙනවා. ඒ වගේ ම ඉන් වාසි ලබන අයත් ඉන්නවා. සුළු දේශපාලන පක්ෂ, සුළු වාර්ගික දේශපාලන පක්ෂ සමානුපාතික නියෝජන ක්‍රමයෙන් සෑහෙන වාසි ලබපු අය. ඒ වගේ ම ලංකාවේ පැතිරී සිටින, විසිරී සිටින කුල කණ්ඩායම්, මනාප ඡන්ද ක්‍රමයෙන්, යහපතක් ලබපු අය. ඒ නිසා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රමය ශක්තිමත් කිරීමටත්, ගැඹුරු කිරීමටත්, හැකිවන අයුරින් මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුතුයි.
ඒක තමයි තියෙන අභියෝගය. ඒක පහසු දෙයක් නෙමෙයි. මාසෙකින්, දෙකකින් ඒක කරනවාය කියලා, ඔය සමහරු කියනවා මට ඇහිලා තියෙනවා. එහෙම කරන්න බැරි නැහැ. නමුත් ඒක එතරම් ප්‍රජාතන්ත්‍රවාදී නොවෙන්න පුළුවන්.
පවතින තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂ ගේ දේශපාලන අනාගතය මොනවගේ වෙයිද? ඔහුට තවත් දේශපාලනයක් ඉතුරු වී තියෙනවද?
ඔහු දැන් කළ යුත්තේ දේශපාලනයෙන් විශ්‍රාම ගෙන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස ක්‍රියා කිරීමයි. නමුත් එවැන්නකට එතුමාගේ සූදානමක් නැති බව, පෙනෙන්නට තියෙනවා. මහින්ද රාජපක්ෂ මහතා, හා ඔහු යළි බලයට ගෙන ඒමට සූදානම් ව සිටින පිරිසගේ දේශපාලනය දිහා බලද්දී ඒ කණ්ඩායම, දැනට ලංකාවේ ඉන්න, අතිශයින් ම පසුගාමී දේශපාලන බලවේගයක්ය කියලා පෙනෙන්නට තියෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට ගෙන ඒමට ඔවුන් කියන හේතු මොනවද? එතැනදී ඔවුන් කිසිම දේශපාලන හේතුවක් කියන්නේ නැහැ. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ගොඩනැඟීම, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇති කිරීම, මානව හිමිකම් තත්ත්වය දියුණු කිරීම, දූෂණයෙන් තොර ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීම ආදී ඒ කිසි දෙයක් ඔවුන් කියන්නේ නැහැ. ඒ හැමෝම කියන්නේ මහින්ද රාජපක්ෂ මහතා, නැවත වරක් බලයට ගෙන ආ යුතු බව විතරයි. ඒක සාධනීය සටන් පාඨයක් නෙමෙයි. දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගයක් ඉදිරියට ගැනීමට මොවුන් කටයුතු කළ යුතුයි. එවැනි ක්‍රියාමාර්ගයක් ඉදිරියට ගෙනි යන්න මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙන එනවා නම් එතැන ප්‍රශ්නයක් නැහැ. නමුත් දැනට එවැනි ගතියක් පෙනෙන්නට නැහැ.
ඔබ මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයේදී ඡන්දේ දෙන බව ප්‍රසිද්ධියේ කියපු ලියපු කෙනෙක්. ආණ්ඩුවට දැන් දින සීයක් සම්පූර්ණ වී තියෙනවා. පසුගිය කාලයේ ජනාධිපතිවරයා හා ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ගැන ඔබ තෘප්තිමත් ද?
මෙහෙමයි. දවස් සීයක් තුළ ආණ්ඩුවක් යමක් කරන්නේ නැත්නම් ඒ දේ කරන්න බොහෝම අමාරුයි. දින සීයේ වැඩපිළිවෙළ එක්තරා විදිහකට, යථාර්ථවාදී නොවන දෙයක්. නමුත් බොහෝ රටවල් ඔහොම කරනවා. ඉන්දියාවේ මෝදි මහත්මයත් එහෙම කළා. එහෙම කරන්නේ, ඡන්දදායකයන්ගේ දේශපාලන පරිකල්පනයට ආයාචනා කරන්න. නමුත් දින සීය වෙනුවෙන් ඇත්තටම සකස් කළ යුතුව තිබුණේ ඊට වඩා කෙටි යථාර්ථවාදී වැඩපිළිවෙළක්. ඒත් ඒක කළේ නැහැ. මේ දින සීය තුළ තියෙන වැදගත්ම ජයග්‍රහණය විදිහට මම නම් දකින්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආණ්ඩුව නොවැටී සිටීමයි.
සැප්තැම්බරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්වෙනවා. එතැනදී ලංකාව ප්‍රධාන මාතෘකාවක් බවට පත්වීමට වැඩි ඉඩක් තියෙනවා. රටේ මේ මොහොතේ සිදුවන දේශපාලන චලනයන් එතැනට අදාළවෙන්නේ කොහොමද?
මට හිතෙන විදිහට ලංකාවේ දේශපාලනය, ඉතාම දැඩි ලෙස ගැටුම්කාරී හා ධ්‍රැවීකරණයවීමකට තුඩු දීමට බොහෝ විට ඉඩ තියෙනවා.
මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒමට උත්සාහ කරන කණ්ඩායම තම උත්සාහයේ ඉදිරි පියවරක් විදිහට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටු වාර්තාව පාවිච්චි කිරීමේ අවදානමක් තියෙනවා. අගෝස්තු මාසයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමට මෛත්‍රිපාල සිරිසේන මහතා පියවර ගත යුතුයි කියලා මම කියන්නේ ඒකයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටු වාර්තාවේ තියෙන දේවල් අපි දන්නේ නැහැ. නමුත් යුද අපරාධ කළාය, කියලා චෝදනා ලබන අයගේ නම් හා නිර්දේශ ඉදිරිපත් කරමින්, ආණ්ඩුවට යම් බලපෑමක් එල්ල කිරීමේ හැකියාව ඒ තුළ තියෙනවා.
ඒ තුළ නැවත වතාවක් සිංහල සමාජයේ ජාතිකවාදී දේශපාලනයට පණ ලැබීමේ විශාල අවස්ථාවක් නිර්මාණය වෙනවා. ඒ නිසා ඊට පෙර ආණ්ඩුව මහා මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතුයි. එතකොට තමයි ආණ්ඩුවට යම්කිසි දේශපාලන ස්ථාවරයක් ලැබෙන්නේ. එවැනි දේශපාලන ස්ථාවරභාවයක් නොමැතිව සැප්තැම්බර් වනතුරු හිටියොත් බොහෝ විට මේ ආණ්ඩුවේ තියුණු දේශපාලන අර්බුදයක් ඇතිවීමට හොඳටම ඉඩ තියෙනවා.
සංවාද සටහන
චාමර ලක්ෂාන් කුමාර
silumina