සිවරාම් හෙවත් තාරකී අමු ම අමු කොටියකු, ත්‍රස්තවාදියෙකු ලෙස පින්තාරු කිරීමේ නින්දිත ව්‍යාපාරය මා ද නියෝජනය කළ පිළෙන් ම ප්‍රබල ලෙස ක්‍රියාත්මක කෙරුණි. සැඳෑවක අවන්හලක මිතුරෙකු හමුවී මදුවිතක් තොළගෑම පවා මහා සදාචාර විරෝධී ක්‍රියාවන් ලෙස හුවා දැක්වෙන්නට ගත්තේ ඝාතනය කෙරුණු මිනිසෙකුගේ දෙණ ඉදිරිපිට මය. ඔහු විසින් ත්‍රස්තයට පත් කෙරුණේ කවුරුන් වුවද ඒ ඉතා බියගුළු සත්ව විශේෂයක් බව මට නැවත නැවත නැවතත් අවධාරණය කෙරුණේ පෑන්තුඩකට පිළිතුරු දෙන්නට උණ්ඩ යොදාගත් බැවිනි. ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු ඝාතනයෙන් අනතුරුව එකී ඝාතනය සාධාරණීකරනය කරනු වස් කහ කළු ඉරි අඳිමින් කොටි පින්තාරුව යෙදීම මා ලද ප්‍රබලත ම කම්පනයක් වූ අතර මා නියෝජනය කළ දේශපාලනය දෙස වෙනත් ඇසකින් බලන්නට පොළඹවන්නක් විය.
එයින් වසර කීපයක ඇවෑමෙන් එකී දේශපාලන ව්‍යාපාරයෙන් බිඳුනෙමි. තාරකී යැවූ මග ඔස්සේ ම ලසන්ත වික්‍රමතුංගද යැවෙනු බලාසිටියෙමි. මහා විනාශයක ඉතිහාස සාක්ෂිකරුවෙකු වීමි. එහෙත් සිවරාම් හෙවත් තාරකී ඔහුගේ අවසන් ගමන තුළින් දුන් පණිවිඩයක් හැඳින්නෙමි. අදට ද නිතර ඔහු සිහි කරමි.
මිනිසෙකුගේ අකුරු ප්‍රබලතම වන්නේ කොතැනදීද ? මම තව ම සිතමි.
~ රුවන් නෙලූ