ඒ භාග්‍යවත් මස ඇරඹුමත් සමග ම සවන් පත් සිසාරා දෝංකාර දුන් වෙඩි හඬ නිමා වූයේ සතුරන් ද මිතුරු කරගන්නැයි සැවොම උනුන් හට පවසන, රටේ පිහිටි සෑම සිංහල දෙමළ නිවසක ම කිරිබත් ඉදෙන: කැවුම්, කොකිස්, අතිරස, මුංගුලි යනාදී රසකැවිලිවලින් කැම මේසය පිරෙන: ලොකු කුඩා සැවොම අලුත් ඇඳුමින් සැරසී සිය නෑ හිත මිතුරන් බැදැකීමට යන: චක්ගුඩු, වළ සල්ලි, වළ කජු, දාදු කැට සහ පංච දැමීම, ඔන්චිලි පැදීම වැනි ක්‍රීඩාවන්හි නිරත වන මහා සැණකෙළි සමය පැවැත්වෙන නිමේශයේ ය. එදා මුළු රට ම ගිලී තිබුණේ අභාගයවන්ත වටපිටාවක ය.
සතුට උතුරා යන වදන් වෙනුවට දසතින් නැගුණේ සිය නෑ මිතුරන් ගේ, ස්වාමි පුරුෂයා ගේ, බිරිඳ ගේ මව ගේ, පියා ගේ, පෙම්වතා ගේ, පෙම්වතිය ගේ, සොහොයුරා ගේ, සොයුරිය ගේ, පුතු ගේ, දියණිය ගේ වියෝව උසුලාගත නොහී වැලපෙන නෑ මිතුරන් ගේ, බිරින්දෑවරුන්ගේ, ස්වාමි පුරුෂයන් ගේ,පියවරුන් ගේ, මවුවරුන්ගේ, දූ දරුවන් ගේ, සොයුරු සොයුරියන්ගේ ළසෝ රාවය යි; ලාංකීය වා තලයට මුසු වූයේ මෙකී ජන සමූහයාගේ සන්තානයේ රැඳි සුසුම යි. දොරින් දොර රැව් පිළිරැව් දුන්නේ රටේ අනාගත පරපුර භක්ෂණය කළ යක්ෂණියට එරෙහි විරෝධය යි; සාපය යි; දෙස් දෙවොල් තැබීම යි.
රතු එරබදු මල්වලින් පිරීගිය ගස්වල සුන්දරත්වය විදිනු වෙනුවට සිදු වූයේ රක්ත වර්ණයෙන් පිරි, රුධිරයෙන් තෙත් වූ පොළෝ මත තැන් තැන්වල වැටී මිය ගිය තාරුණ්‍යයෙන් පිරි මිනිස් සිරුරු දෙස බලමින් හදවතට නැගෙන වේදනා බර හැඟීම් උහුලා සිටීම ය. එය බුදුන් වැඩිය රටේ සිදු විය යුත්තක් ද, සැබැවින් ම සිදු වුවා ද යන්න පවා අදහාගත නොහී විශ්මයානුකූලත්වයට පත්වීම ය.
එහෙත් අරුමයක මහත! එදා විදේශිකයන් විසින් දස දහස් ගණනින් ලාංකිය ජන සමුහයා ම්ලේච්ඡ අයුරින් ඝාතනය කිරීමෙන් අනතුරුව ප්‍රථම වරට මේ බුදුන්ගේ දේශයේ බුදුන් වහන්සේ අදහන්නන් විසින් ම තවත් බෞද්ධාගමිකයෝ සහ වෙනත් ආගමිකයෝ දස දහස් ගනනක් ඝාතනය කරන ලදී. එසේ කිරීමට එකම හේතුව කුමක් ද? සාධාරණ, යුක්තිසහගත, සැමට සම අයිතිවාසිකම් ලැබිය යුතු පාලන තන්ත්‍රයක් මෙරට ස්ථාපිත කළ යුතු යැයි අදිටනින් රටේ තරුණ පරපුර කළ ඉල්ලීමට සවන් නොදුන් පිරිසක් අවදි කරනු වස් අවි ආයුද එසවීම ය. එය හුදෙක් එක් කණ්ඩායමකට, එක් වර්ගයකට, එක් ජාතියකට, එක් ආගමකට, එක් කුලයකට එරෙහිව අවි එසවීමක් නොව එකම එක පන්තියකට එරෙහිව අවි එසවීමකි. එනම් ධනේශ්වර පන්තියට එරෙහිව, ඔවුන්ගේ සපත්තුවට පෑගී පොඩිවී සිටි සමස්ත ලාංකිය ප්‍රජාවම ඉන් මුදවාලීමේ පරම පවිත්‍ර චේතනාවෙන් අවි ආයුද එසවිම ය.
එහෙත් පීඩක සතුරා බලවත් විය. ඒ සඳහා ධනේශ්වර පාලකයන්ගේ අන්තේවාසිකයන් ලෙස කටයුතු කළ ඊනියා වාමවාදියෝ ද පීඩකයා බලවත් කිරීමට උපස්තම්භක වූහ; තමන් එතෙක් අත්පත් කර ගෙන සිටි අනෙකාගේ භූමිකාව වෙනත් අනෙකෙක් උදුරා ගනීවි යන චිත්ත වියෝවෙන් දැවි දැවී, පීදෙන්නට වෙර දරන මල් තළා පෙළා දැමීමට පීඩක පාලකයන් වෙත හැකි උපරිමයෙන් සහයෝගය ලබාදුන්හ. පීඩකයෝ ජයග්‍රහණය කළෝ ය. පීඩිතයෝ පසුබසින්නට වූහ; බාරවන්නට වූහ. ඇතැම්හු සිය දිවි නසාගත්හ. තවත් සමහරු අත්අඩංගුවට පත්වූහ. (මේ අතර පාවා දෙන්නෝ ද නොසිටියා නොවේ.)
අවසන ඔවුනට එරෙහි එල්ල වූ චෝදනාව වූයේ කුමක් ද? ‘‘රැජිනගේ ආණ්ඩුවට එරෙහිව අවි එසවීම’’ යන්න ය. ඒ, එකල මෙරට පාලනය කළ රැජිනට එරෙහිව යැයි වරදවා වටහා නොගන්න. එකී චෝදනාවට අනුව ඔවුන් එදා එලෙස එරෙහි වූයේ හිරු නොබසින අධිරාජ්‍යයේ රැජිනට එරෙහි ව ය; එංගලන්තයේ මහ රැජිනට එරෙහිව ය. එහෙත් යටත් විජිත පාලකයෝ මෙරටින් පන්නා දැමීමට ලක්ෂ ගණනින් දිවි පිදූවන් සමරන රටේ, ඒ මහ රැජිනට එරෙහිව අවි එසවූවා යැයි චෝදනා නගමින්, ඒ රටේ ම පාලකවරියක් මේ තරුණ තරුණියන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නට තීරණය කළා ය. චෝදනාව එංගලන්තයේ මහ රැජිනට එරෙහිව අවි එසවීම ය. දඬුවම ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ රැජිනට එරෙහිව අවි එසවීමට ය. ‘‘නෑ එය එසේ නොවේ’’ යැයි යමෙකුට තර්ක කළ හැකි ය. එහෙත් යථාර්ථය එය යි. මන්ද මේ අභීත තරුණ පරපුරට දඬුවම් පමුණුවනු වස් එවකට තිබූ නීති, අණ-පනත් නොසෑහුණ කල්හි නව නීති අණ පනත් සම්මත කරගත්හ. අධිරාජ්‍ය විරෝධි සටනේ පෙරමුණේ රාළලා වූ ඊනියා වම්මු ද එකී අණ පණත් සම්මත කරගන්නට සිය දූෂිත, රැධිරයෙන් තෙත් වූ දෑත් ඉහළට එසවූහ.
සිය බලය රැක ගැනීම උදෙසා, ධනේශ්වරය ඔසවා තැබීම උදෙසා දස දහස් ගණනක් වූ තරුණ රුධිරය පානය කළ, තරුණ මාංශ භක්ෂණය කළ යක්ෂණිය ඇතුළු ඊනියා වාම යක්ෂ සමුහය ද සදාකල් බලයේ රැඳිමට අවැසි නීති අණ පනත් ද සම්මත කරගත්හ. එහෙත් අවසන සිදු වූයේ කුමක් ද? ඔවුහු කුජීත වූහ. සැබැවින් ම කුජීත වූවා නොව කුජීත කළහ. මේ ධනේශ්වර පාලක රැළ එසේ කුජීත කළේ මේ රටේ පීඩිතයන් විසින් ම ය. එහෙත් ඒ පිඩිතයෝ එදා ද, අද ද වරද්දා ගත්තෝ ය; හෙට ද වරද්දා ගන්නෝ ය. මන් ද? පීඩිතයාට විමුක්තිය අත්පත් කරදීමට සුදුසු බලවේගයක් ඉක්බිතිව බිහි නොවී ය. මතුවට බිහිවේ යැයි විශ්වාස කළ නොහැකි ය.
අද සමරන්නේ බක් මහ විරුවෝ වෙති. එහෙයින් මේ මොහොතේ ඉල් විරුවන්, දේශ හිතෛෂීන්, මානෙල් මල් පැලඳවූවන් සිහිපත් නොකරමි. එහෙත් මතු දැක්වෙන කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු ව ඇත.
එදා ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැද දිවි බේරාගත් බක්මහ විරුවෝ ද අද දෙපළක ය. රටේ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් 87-89 යුගයේ සටන් වැද අනතුරුව දෙමළ මිනිසාගේ රුහිර සිඳී යන තෙක් ධනේශ්වර පාලකයන්ට කැඹුරූ (දෙමළා චුත කිරීම වෙනුවෙන්) විරුවෝ ද අද දෙපළක ය. ඔවුන් එකිනෙකාට පසමිතුරෝ ය.
එදා ඊනියා වම්මුන්ගේ අනෙකා වූයේ ජනතා විමුක්ති පෙරමුණයි. අද ජනතා විමුක්ති පෙරමුණේ ද, ධනේශ්වර පාලකයන්ගේ ද අනෙකා වන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්ව ගොස් නව පක්ෂයක් පිහිටුවාගත් පිරිස ය. මේ සියලු දෙනා අද එකිනෙකාට එරෙහිව අවි ඔසවන තත්ත්වයට පත්ව ඇත. එවන් තත්ත්වයක් තුළ පුද්ගල වෙනසක් මිස ප්‍රතිපත්ති වෙනසක් හෝ ක්‍රම වෙනසක් කිසිඳු පක්ෂයකින් බලාපොරොත්තු විය නොහැකි ය. එහෙයිනි, ජනතාවගේ (පීඩිතයාගේ) ගැලවුම්කරුවකු බිහිවන බවක් දක්නට නොමැති බව ප්‍රකට කළේ. භාග්‍යවන්ත මාසයේ අභාග්‍යය එය ම නොවන්නේ ද?
ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.