ජවිපෙ සන්නද්ධ කැරැල්ල පරාජයට පත්වීම සිංහල බෞද්ධ ජාතිකවාදී ව්‍යාපෘතියේ දැවැන්ත පරාජයක් - නිර්මාල් රංජිත් දේවසිරි

Wednesday, 18 March 2015 11:50

මෙරට විසූ ප්‍රකට සමාජ විද්‍යාඥයකු මෙන් ම රැඩිකල් වාම මතධාරියකු වූ ආචාර්ය නිව්ටන් ගුණසිංහ මහතාගේ 26 වන ගුණානුස්මරණය පසුගිය 16 වන දින (2015 මාර්තු) කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිදයා පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැතිවිණි. එහි මුඛ්‍ය දේශනය පැවැත්වුයේ එම විශ්වවිද්‍යාලයේ ම ආචාර්යවරයකු වන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා විසිනි. එය නම් කොට තිබුණේ ‘‘දෘෂ්ටිවාදය සහ දේශපාලනය 1983 න් පසු ලංකාව තේරුම් ගැනීමට බුද්ධිමය වෑයමක්’’ යනුවෙනි.

මතු දැක්වෙන්නේ එම දේශනය ඇසුරෙන් සකස් කළ කෙටි සටහනකි.

ආචාර්ය නිව්ටන් ගුණසිංහ අනුස්මරණ දේශනය පැවැත්වීමේ වරප්‍රසාදය ලබා දීම සම්බන්ධයෙන් සංවිධායක මණ්ඩලයට මම පළමුවෙන් ම ස්තූතිවන්ත වෙනවා.

මම නිව්ටන් ගුණසිංහ හඳුනා ගන්නෙ 1989 ගණන්වල මැද භාගයේ. ඒ කියන්නෙ කොළඹ විශ්වවිද්‍යාලයට ඇවිත් වමේ දේශපාලනය පිළිබඳ අවබෝධයක් ලබාගන්න කාලෙ. ඔහු ඒ වන විට ලංකාවෙ වාම දේශපාලන කඳවුරේ හිටපු දැවැන්තයෙක්. ඒ කාලෙ ලංකාවෙ රැඩිකල් වාමාංශික කඳවුර තුළ හිටපු සාම්ප්‍රදායයික වාමාංශික පරිකල්පනයෙන් ඔබ්බට ගිහින් වාමාංශික දේශපාලනය ගැන හිතන්න උත්සාහ කරපු කණ්ඩායමට ඔහු පහන්ටැඹක් වුණා කිව්වොත් නිවැරදි යි. මගේ වාසනාවට මටත් ඒ කුඩා කණ්ඩායමේ පරිවාරයේ ඉඳගෙන වුණත් කේන්ද්‍රයත් එක්ක ගනුදෙනු කරමින් ම ඒ කුඩා දේශපාලන කණ්ඩායම ඇසුරු කිරිමේ හැකියාව ලැබුණා.

අන්තෝනියෝ ග්‍රාම්ශ්චි සහ ලුයි අල්තුසර් යන නම් දෙක මට පළමු වතාවට අහන්න ලැබුණෙ නිව්ටන් ගුණසිංහ හරහා. ඇත්ත වශයෙන් ම කියනව නම් මේ නම් දෙක අපට ලැබීම වාමාංශික චින්තනය සම්බන්ධයෙන් ගත්තම නම් විප්ලවීය හැරවුමක්. ඇත්තටම අපිට දේශපාලනය සහ දෘෂ්ටිවාදය අතර ඇති තීරණාත්මක සම්බන්ධය රැඩිකල් වාමාංශික දේශපාලනයේ ගැටලුවක් විදියට තේරුම් ගැනීමේ හැකියාව ලැබෙන්නෙ මේ චින්තකයන් දෙනො හරහා. පසු කාලෙක දීප්ති කුමාර හරහා අප වෙත පැමිණි මිචෙල් ෆූකෝ, ෂාක් ලකාන් සහ ෂාක් ඩෙරීඩා හරහා මේ නව රැඩිකල් වාමාංශික කථිකාව තව දුරටත් දියුණු කරගැනීමට හැකිවෙනවා.

නිව්ටන් ගුණසිංහ සහ 80 දශකයේ මැද වාමාංශික කතිකාව
නිව්ටන් ගුණසිංහ විසින් යෝජනා කළ කතිකාව තුළින් බලද්දි 1985 මැද වන විට රැඩිකල් වාමාංශය ඉදිරියේ මූලික වශයෙන් ම බුද්ධිමය වශයෙන් ම නිරාකරණය කරගත යුතු දේශපාලන අභියෝග දෙකක් තිබුණා. එකක් තමයි ලංකා සමසමාජ පක්ෂය සමග ඇරඹුණු වාමාංශික ව්‍යාපාරයේ දේශපාලන අවසානය පිළිබඳ ගැටලුව. මේක තීරණාත්මක සිදුවීම් දෙකක් මගින් සලකුණු වුණා.

පළමුවැන්න තමයි 1977 දී වාමාංශික දේශපාලන පක්ෂ ලබපු තීරණාත්මක මැතිවරණ පරාජය. දෙවැන්න තමයි මෙම වාමාංශික පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති විසින් සංවිධානය කළ 80 මහා වැඩවර්ජනය පරාද වීම.

ඇත්ත වශයෙන් ම පැරණි වාමාංශයේ බිඳවැටීම ආරම්භ වුණේ 1953 හර්තාලයෙන් කියලයි මම විශ්වාස කරන්නෙ. ඒ සිදුවීම තමයි පැරණි වමේ දේශපාලන සීමාව සලකුණු කළේ. ඊට පස්සෙ අපිට දකින්න පුළුවන් වුණේ වාමාංශික දේශපාලන පක්ෂ ක්‍රමය තුළ ඉෂ්ට කරනු ලබන කාර්යභාරය ක්‍රම ක්‍රමයෙන් වියැකී යාම. කොහොම වුණත් මේ කරුණු වෙනම ම සාකච්ඡා කළ යුතුයි කියල මම විශ්වාස කරනවා. දෙවන අභියෝගය වුණේ පැරණි වමේ දේශපාලන වියැකී යාමට සමාන්තරව ම නව වමේ ප්‍රමුඛ සහ වඩාත් බලපෑම් සහගත ප්‍රකාශනය වුණ ජනතා විමුක්ති පෙරමුණ සිංහල-බෞද්ධ ජාතිවාදය සමග සම්මුති ගතවීම. මේ සම්මුති ගතවීමට 1983 සිදුවීම්වලින් පස්සෙ මතුවුණ නව දේශපාලන සන්දර්භය තුළ විශේෂ වැදගත්කමක් ලැබෙනවා.

නිව්ටන් ගුණසිංහ අබියස තිබුණු ප්‍රමුඛ බුද්ධිමය අභියෝගය වුණේ මෙම නව තත්ත්වය සංකල්ප ගතකරන්නෙ කොහොමද සහ මේ තත්ත්වය තුළ නව රැඩිකල් දේශපාලන විකල්පයක් පිළිබඳ කථිකාව ස්ථාන ගතකරන්නෙ කොහොමද කියන එක. මෙන්න මේ තත්ත්වය තේරුම් ගැනීම සඳහා තමයි නිව්ටන් ගුණසිංහ අන්තෝනියෝ ග්‍රාම්ෂ්චි සහ ලුයී අල්තුසර් භාවිතා කරන්නෙ.

මම මේ දේශනයේ ඉතිරි කොටසින් උත්සාහ කරන්නෙ නිව්ටන් ගුණසිංහ තම ප්‍රමුඛ බුද්ධිමය දේශපාලන අභියෝගය ලෙස සැලකූ පශ්චාත් 83 ජුලි අවධිය පිළිබඳ අවලෝකනයක් කරන්න.

1983 ජූලි
1983 කියන්නෙ ලංකාවෙ පශ්චාත් යටත්විජිත ඉතිහාසයේ තීරණාත්මක සංධිස්ථානයක්. ඒක එහෙම වෙන්නෙ: සාමාන්‍යයෙන් 83 ජූලි පිළිබඳ, විශේෂයෙන් ම දෙමළ ජනයා පිළිබඳ සහවේදනාවෙන් කතා කරන, ලිබරල් සහ වාමාංශික කොටස්වල දෘෂ්ටි පථ ලක්ෂ්‍යයේ සිට බැලීමෙන් ම පමණක් නොවෙයි. සාමාන්‍යයෙන් 83 ජූලි අමතක කර දැමිය යුතු හෝ, වඩාත් ම නිවැරදිව කියනව නම් නොසිදුවීමක් ලෙස සැලකීමට කැමති සිංහල බෞද්ධ ජාතිකවාදයේ දෘෂ්ටි පථ ලක්ෂ්‍යයේ සිට බැලුවොත් මේක වැදගත් කඩඉමක්.

අපේ සාකච්ඡාවේ පහසුව සදහා පශ්චාත් දේශපාලනය කතිකාවන් දෙකක් අතර ගැටුමක් මගින් නීර්ණය වුණ අඩවියක් ලෙස හඳුනා ගන්නවා නම් වඩාත් පහසුයි. ඒ කතිකාවන් දෙක වෙන්නෙ සිංහල බෞද්ධ ජාතිකවාදය සහ එයට විරුද්ධ කථිකාමය කඳවුර යි. සාමාන්‍යයෙන් පිළිගැනීම වෙන්නෙ පශ්චාත් 83 තත්ත්වය අභියෝගාත්මක එකක් වුණේ සිංහල බෞද්ධ ජාතිකවාදයට විරුද්ධ කතිකාමය කඳවුරට කියල.

සිංහල බෞද්ධ ජාතිකවාදයට විරුද්ධ කතිකාමය කඳවුර සම්බන්ධව ගත්තොත් පශ්චාත් 83 තත්ත්වය අභියෝගාත්මක වුණේ ඇයි කියල අතිශයින් ම පැහැදිලි කරුණක්. ඒ අභියෝගය තමයි පශ්චාත් යටත්විජිත ලංකාවේ තීරණාත්මක දේශපාලන ජන කොට්ඨාසය වන සිංහල බෞද්ධ දකුණේ අධිපති දෘෂ්ටිවාදය තුළ සුජාතභාවයක් ලැබීමට මේ සිංහල බෞද්ධ ජාතිකවාදයේ කේන්ද්‍රීය අභිලාශවලට අනුගත වීම අනිවාර්යයතාවක් වීම. ඒ විදියට අනුගත නොවන හැම දේශපාලන කණ්ඩායමක් ම සිංහල බෞද්ධ දකුණේ දේශපාලන භූමියෙන් අතුගෑවී යාමේ ඉරණමකට මුහුණ දීල තිබුණා. ඇත්ත වශයෙන් ම, ජනතා විමුක්ති පෙරමුණටත් ඒ පක්ෂයේ මාක්ස්වාදි අක්කපත්‍රය නිසා ප්‍රකාශිත වශයෙන් ජාතිකවාදය වැලඳ ගැනීමට නොහැකි වුණත් දේශපාලන භූමිය තුළ සිංහල බෞද්ධ ජාතිකවාදය සමග අසීරු සංධානයකට එලඹෙන්න වුණේ ඒ නිසා.

කොහොම වුණත් අපි මෙහි දී වඩාත් තියුණු විදියට සලකා බලන්න වුවමනා කාරණය තමයි සිංහල බෞද්ධ ජාතිකවාදි කඳවුරට මෙම පශ්චාත් 83 තත්ත්වය අභියෝගාත්මක එකක් වුණේ ඇයි කියල.

1983 ජූලි සිදුවීම් එක් අතකට සිංහල බෞද්ධ ජාතිකවාදයේ ප්‍රතිඵලයක් වුණ අතර ම අනෙක් අතට සිංහල බෞද්ධ ජාතිකවාදයට අභියෝගයක් වුණා. සිංහල බෞද්ධ ජාතිකවාදී මනඃඍෂ්ටියට මුහුණ දුන්න සහ තවමත් මුහුණ දෙන තීරණාත්මක අභියොගයක් වෙන්නෙ, එහි ප්‍රධාන ම සංඝටකයක් වෙන සම්භාව්‍යය බෞද්ධ චින්තනයේ අඩංගු විශ්වීය මෙන් ම අවිහිංසාවාදි ප්‍රවේශය සහ සිංහල බෞද්ධ ජාතිකවාදය වර්තමාන දේශපාලන අභියෝග අතර සංහිඳියාවක් ඇතිකරගන්නෙ කොහොමද කියන කාරණය යි.

මේ ව්‍යායාමය වඩාත් ම උභතෝකොටිකයක් වෙන්නෙ වර්තමාන සිංහල බෞද්ධ ජාතිකවාදී දේශපාලන අභිලාෂ ඉෂ්ට කරගැනීමේ පාර්ශවයෙන් ගත්ත ම කිසියම් ප්‍රචණ්ඩකාරී හැසිරිමක් ඉල්ලා සිටින නිසා. 1983 ජූලි සිදුවීම් සහ ඊට පස්සෙ තිව්‍ර වුණ දෙමළ සන්නද්ධ සටන්කාමින් සහ සිංහල බෞද්ධ ජනතාවගෙ දේශපාලන සහ දෘෂ්ටිවාදි සහයෝගය මත මූලික වශයෙන් ම පදනම් වුණ රාජ්‍යය අතර ඝට්ඨනය විසින් මේ ගැටලුව ප්‍රමුඛ ගැටලුවක් බවට පත්වුණා. විශේෂයෙන් ම මේ ගැටලුව මුල් කරගෙන සිංහල බෞද්ධ ජාතිකවාදයේ විවේචකයො එයට විරුද්ධ අති ප්‍රබල බුද්ධිමය සහ දේශපාලන ප්‍රහාරයක් දියත් කළා. මම දකින ආකාරයට මේ සිංහල බෞද්ධ ජාතිකවාද විරෝධී ප්‍රති කථිකාවෙ තිබුණ මූලික ආචාර ධාර්මික සීමාවක් වුණේ සිංහල බෞද්ධ ජාතිකවාදී මනස වෙත සහවේදනාවෙන් බලන්න තිබුණ නොහැකියාව.

කොහොම වුණත් ඒ නොහැකියාව සවිඥානික එකකට වඩා ව්‍යුහාත්මක අවශ්‍යතාවක් බවට පත්වෙලා තිබුණ නොහැකියාවක් කියල කියන්න පුළුවන්. එවැනි සහවේදනාවක් සහිත කතිකාවක් සඳහා ඇත්ත වශයෙන් ම හැකියාවක් පැවතියා ද කියල හිතල බලන කොට මට අපූරු සිද්ධියක් මතක් වෙනවා. ඒ සිදුවීම මෙතනදි සඳහන් කිරීම වැදගත් වෙන්නෙ අපේ කතා නායකයත් ඒකෙ කොටස්කරුවෙක් නිසා.

1984 දි, ඒ කියන්නෙ පශ්චාත් 83 ජූලි සන්දර්භය ඇතුළෙ හටගත්තු අතිශයින් වැදගත් දෘෂ්ටිවාදී සංසිද්ධියක් වුණ ප්‍රකට ‘‘සංස්කෘතිය පිළිබඳ ‘දිවයින’ විවාදය’’ අතරතුර ඒ කාලෙ අද තරම් අන්ත සිංහල බෞද්ධ ජාතිකවාදියකු බවට පත්වෙලා නොහිටපු ආචාර්ය නලින් ද සිල්වා මහජන පුස්තකාලයෙදි අදාළ විවාදයට සම්බන්ධ විවාදයකදි අපූරු ප්‍රකාශයක් කළා. ඒ ලේඛනය මට හොයාගන්න බැරිවුණා. ඒ නිසා මම ඒක මතක විදියට කියන්නම්.

ඒ ප්‍රකාශය මෙන්න මෙහෙමයි

‘‘මේ සම්මන්ත්‍රණය සඳහා යොදාගෙන තියෙන මාතෘකාව ම වැරදියි. ප්‍රශ්නය අහන්න තිබුණෙ ‘සිංහලයට ශ්‍රේෂ්ට සංස්කෘතියක් තිබේද?’ කියල නෙවෙයි. ‘සිංහලයාට ශ්‍රේෂ්ට සංස්කෘතියක් තිබේ. එහෙත් ඒ සංස්කෘතිය වෙනත් ජන කොට්ඨාස මත බලෙන් පැටවීමට යාම අයහපත් ය’ කියල. ඒ කොහොම වුනත් මේ ප්‍රශ්නය මේ විදියට මතුකරන පිරිස්වලට සිංහල ජනතාව වෙත ඒ පණිවිඩය ගෙන යන්න පුළුවන් කියල මම හිතන්නෙ නැහැ’’

මේ ප්‍රකාශයට සම්මන්ත්‍රණයේ බුද්ධිමය අරමුණ පැත්තෙන් ගත්තම සාධාරණ පිළිතුරක් සපයන්න පුළුවන් වුනත් ඒ මොහොතෙ පැවතුණ දේශපාලන සන්දර්භය තුළ මේ ප්‍රකාශය මගින් යෝජනා කරපු දේශපාලන ස්ථාවරය සලකා බලන්න තිබුණා. කොහොම වුනත් සිංහල බෞද්ධ ජාතිකවාදයේ විවේචකයන් ඒ අවස්ථාවෙ නලින්ද සිල්වා ගේ මේ ප්‍රවේශය සාධනීය විදියට සලකල බැලුවෙ නැහැ. වෙන එකක් තියා මේ දිවයින විවාදය සම්බන්ධයෙන් සවිස්තරාත්මක අධ්‍යනයක් කරපු සෙරීනා තෙන්නකෝන් පවා මේ පිළිබඳව අවධානය යොමු කරල තිබුණෙ නැහැ.

කෙහොම වුනත් ගැටලුව තවදුරටත් සංකීර්ණ වෙන්නෙ නලින්ද සිල්වා මහත්මයාට පවා ඒ ස්ථාවරය වැඩි කාලයක් දරාගෙන ඉන්න බැරි වුණා කියන කාරණය සැලකිල්ලට ගත්තම යි.

කොහොම වුනත් මම මේ වෙලාවෙ විශේෂයෙන් ම අවධානයට ලක් කරන්නෙ 93 ජූලි සිදුවීම් නිසා සිංහල බෞද්ධ ජාතිකවාදි කථිකාව සසල කිරීම සිද්ධ වුණේ කොහොමද කියන කාරණය පිළිබඳව. එක අතකට සිංහල බෞද්ධ ජාතිකවාදය මූලික වශයෙන් ම උත්සාහ කළේ මෙම සිදුවීම සහ සිංහල බෞද්ධ ජාතිකවාදය අතර සම්බන්ධයක් නැහැ කියල අවධාරණය කරන්න. කොහොම වුනත් මේ උත්සාහය සම්පූර්ණයෙන් ම සහතික වුණේ නැහැ. විශේෂයෙන් ම සිංහල බෞද්ධ ජාතිකවාදයට විරුද්ධ කතිකාව තුළින් සිංහල බෞද්ධ ජාතිකවාදයේ සදාචාරාත්මක අක්ක පත්‍රය දැඩි විදියට ප්‍රශ්න කරපු නිසා සිංහල බෞද්ධ ජාතිකවාදි කතිකාව යම් සෙලවීමකට ලක් වුණ බව දකින්න ලැබුණා.

මේ සෙලවීම ඉතා හොඳින් ම ප්‍රදර්ශනය කෙරෙන සංසිද්ධියක් අපිට මේ දවස්වල දකින්න ලැබෙනවා. ඒ ‘‘මහරජ ගැමුණු’’ චිත්‍රපටිය සහ ඒ චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරය ම එහි තිරනාටකය පදනම් කරගෙන රචනා කරපු නවකතාව. මේ කෘතිය එක්තරා ආකාරයකින් 1983 සිද්ධියෙන් පස්සෙ ගණනාත් ඔබේසේකර මේ සිංහල බෞද්ධ හෘද සාක්ෂිය අරභයා මතුකරපු සුප්‍රකට පැනයකට පිළිතුරක් විදියට සලකන්න පුළුවන්. මේ කෘති දෙකෙන් ම මූලික වශයෙන් ම උත්සාහ කරන්නෙ ප්‍රමුඛතම, සිංහල බෞද්ධ ඓතිහාසික, පුරාවෘත්තමය වීරයා වුණ ‘‘දුටුගැමුණු’’ වර්තමාන සිංහල බෞද්ධ මනඃඍෂ්ටියට ගැලපෙන විදියට පුනරුත්ථාපනය කරල ඉදිරිපත් කරන්න.

මේ කෘති දෙක තුළින් අපිට හමුවන දුටුගැමුණු සහ එළාර මහාවංශයෙදි අපිට හමුවෙන දුටුගැමුණු සහ එළාරට සම්පූර්ණයෙන් ම ප්‍රතිවිරුද්ධයි. මහාවංශයේ දි අපිට හමුවෙන්නෙ යුද ජයග්‍රහණයෙන් පස්සෙ වරදකාරි හැඟීම නිසා පශ්චාත්තාපයට පත්වෙච්ච දුටුගැමුණු කෙනෙක්. නමුත් ජයන්ත චන්ද්‍රසිරිගෙ කෘති දෙකේ ම ඉන්න දුටුගැමුණු තුළ ඒ වගේ වරදකාරි හැඟීමක් දකින්න ලැබෙන්නෙ නැහැ. නමුත් ඊට ප්‍රති විරුද්ධව එළාර තුළ වරදකාරි හැඟීමක් දකින්න ලැබෙනවා. තමන් ලංකාව ආක්‍රමණය කිරීමෙන් වරදක් කරල තියෙන බව වගේ ම සිංහලයා යහපත නියෝජනය කරන බව. ඒ වගේ ම ඒ යහපත් බවේ ප්‍රතිමූර්තිය දුටුගැමුණු බවත් එළාර හොඳින් ම දන්නවා. එළාර යහපත් ගතිලක්ෂණවලින් යුක්ත මනුෂ්‍යෙයක් වුනත් බලකාමියෙක්. නමුත් දුටුගැමුණු ඒ වගේ කෙනෙක් නෙවෙයි. දුටුගැමුණු එළාරට වඩා සදාචාරාත්මක වශයෙන් උත්තරිතරයි. ඒක එළාරත් හොඳට ම දන්නවා.

ඒ නිසා මගේ යෝජනාව වෙන්නෙ මේ කෘති දෙකේ ම ප්‍රතිනිර්මාණිත එළාර සහ දුටුගැමුණු වර්තමාන සිංහල බෞද්ධ මනඃඍෂ්ටියට ගැලපෙන විදියට ගෙඩනගපු එකක් කියල යි. මේ ගොඩනැංවීම 1983 ජූලිවලින් පස්සෙ සිංහල බෞද්ධ ජාතිකවාදයට එල්ල වුණ ප්‍රහාරවලට එරෙහිව මතුවුණ කතිකාවේ ම මස්තකප්‍රාප්තිය විදියට හඳුන්වන්න පුළුවන්. මේ ප්‍රතිකතාව බිහිවෙන්නෙ 1983 ජූලිවලට පස්සෙ සිංහල බෞද්ධ ජාතිකවාදයට එල්ල වුණ බුද්ධිමය ප්‍රහාරයට විරුද්ධ ප්‍රතිප්‍රහාර එල්ල කරපු බුද්ධිමය කතිකාව තුළින්ම යි. විශේෂයෙන් ම නලින් ද සිල්වා සහ එල්ලාවල මේධානන්ද හාමුදුරුවන්ගෙ බුද්ධිමය මැදිහත්විම තුළ මේක දකින්න පුළුවන්.

පශ්චාත් 83 ජූලි අවධියේ දේශපාලනය සහ දෘෂ්ටිවාදය
පශ්චාත් 83 ජූලි අවධියේ දී සිංහල බෞද්ධ ජාතිකවාදයේ පැහැදිළි පුණර්ජීවනයක් ඇතිවුණා. ඒක සිංහල බෞද්ධ ජාතිකවාදයේ දෙවන කැරැල්ල ලෙස හඳුන්වන්න පුළුවන්. සිංහල බෞද්ධ ජාතිකවාදයේ පළමු කැරැල්ල නිර්මාණය වෙන්නෙ 19 වන ශතවර්ෂයේ මැද භාගයේ දි ඇතිවුණබෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය මුහුකුරා යාමෙන් වගේ ම එය දේශපාලනීකරණය වීමෙන්. ඒකෙ ප්‍රධාන කූටප්‍රාප්තිය සිද්ධ වුණේ 1956 මහජන එක්සත් පෙරමුණේ මැතිවරණ ජයග්‍රහණය සමගින්. කොහොම වුණත් මේ ජයග්‍රහණයේ සුවිශේෂත්වය වෙන්නෙඉක්මනින් වගේ ම අලුතින් ම නිර්මාණය වුණ දේශපාලන තන්ත්‍රය මෙහෙයවනු ලබපු ප්‍රභූ කණ්ඩායමේ න්‍යාය පත්‍රය වගේ ම සිංහල බෞද්ධ ජාතිකවාදය විසින් පරිකල්පනය කරපු දේශපාලන මනඃඍෂ්ටිය අතර ආතතියක් ඇතිවීම. මේ ආතතිය සංයුක්ත ලෙස ප්‍රකාශයට පත්වෙන්නෙ 56 ට ද්ශපාලන නායකත්වය දීපු බණ්ඩාරනායකගෙ ලිබරල් මනස විසින් ලංකාවේ බහුවාර්ගික දේශපාලන යථාර්ථය කෙරෙහි සාධනිය විදියට යොමු වෙන්න කරපු උත්සාහය සහ සිංහල බෞද්ධ ජාතිකවාදී ප්‍රකාශකයන් වුණ බෞද්ධ භික්ෂූන් අතර ඒ ප්‍රවණතාවට එරෙහිව මතු වෙච්ච විරෝධය මගින්.

මෙන්න මේ විදියට සිංහල බෞද්ධ ජාතිකවාදී මනඃඍෂ්ටිය සහ ආණ්ඩු කරන ප්‍රභූතන්ත්‍රයේ ඉහළ ම ස්ථරය අතර වරින් වර, වර්ධනය වුණ ආතතිය තමයි පශ්චාත් 56 අවධියේ අපිට දකින්න පුළුවන් වෙන්නෙ. 1987 ජූලි මාසෙ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමත් එක්ක ම මේ ආතතිය තීරණාත්මකව කූටප්‍රාප්තියට පත්වෙනවා.

සිංහල බෞද්ධ ජාතිකවාදයේ කලලමය මට්ම විදියට අපිට හඳුනාගන්න පුළුවන් වෙන්නෙ මෙන්න මේ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ගොඩනැගුණු දේශපාලන බලමුළුව යි. කොහොම වුණත් පශ්චාත් 87 ජුලි දේශපාලනය ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ නැගිටීම මගින් අධිනිශ්චය කරපු තත්ත්වයක් තුළ මේ විදියට කලලමය මට්ටමේ තිබුණ නව සිංහල බෞද්ධ ජාතිකවාදි සංවිධානයට ඒකෙ දේශපාලන කූටප්‍රාප්තියට පත්වෙන්න ලැබුණෙ නැහැ. මේ කූටප්‍රාප්තිය අපිට දකින්න පුළුවන් වෙන්නෙ 2005 මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කිරීමෙන් පස්සෙ.

ඒ කොහොම වුනත් ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කැරැල්ල පරාජයට පත්වීම සිංහල බෞද්ධ ජාතිකවාදී ව්‍යාපෘතිය ද දැවැන්ත ලෙස පරාජය වීමක් ලෙස තමයි මා දකින්නෙ. ඊට ප්‍රධාන ම හේතුව වෙන්නෙ මේ පරාජය විසින් ජාතිකවාදි නොවන දේශපාලන න්‍යාය පත්‍රයකට දකුණ තුළ ඉඩකඩ විවර වීම. මේ කියපු ජාතිකවාදී නොවන දේශපාලන පෙළගැස්ම කුටප්‍රාප්තියට පත්වෙන්නෙ1993 දි සහ 1994 දි චන්ද්‍රිකා කුමාරතුංගගෙ නායකත්වයෙන් පොදු ජන එක්සත් පෙරමුණ ලබන ජයග්‍රහණ මාලාවත් එක්ක.

1994 න් පසු සිංහල බෞද්ධ ජාතිකවාදයේ පුනරාගමනය
1994 පස්සෙ ඇති වුණ සිංහල බෞද්ධ ජාතිකවාදයේ පුනරාගමනය සහ එහි දෘෂ්ටිවාදිමය ප්‍රතිසංවිධානය විස්තරාත්මකව ම සාකච්ඡා කළ යුතුයි. මම හිතන්නෙ එය ඉතා වැදගත් කියල. නමුත් ඒක තවමත් ප්‍රමාණවත් ලෙස සිදුවෙලා නැහැ. ඒ බුද්ධිමය කාර්යභාරයේ යතුර තිබෙන්නෙ ‘ජාතික චින්තන ව්‍යාපාරය’ සහ 90 දශකයේ මැද භාගයේ දී තීරණාත්මක අවධියකට පත්වෙන නව බෞද්ධ ප්‍රබෝධය නිසි පරිදි තේරුම් ගැනීමට උත්සාහ කිරීමෙන්. මේ එකිනෙක සමග යම් යම් අතිපිහිතවීම් තිබුණත් වෙන වෙන ම තේරුම් ගන්න ඕන මේ ව්‍යාපාර දෙක පසුගිය දශක දෙක තුළ ලංකාවේ දේශපාලන රසායනය කෙරෙහි තීරණාත්මක බලපෑමක් කරමින් ඉන්න බව. ජාතික චින්තන ව්‍යාපාරය කියන්නෙ එක්තරා ආකාරයකට මේ දේශනයේ මුලදි සඳහන් කරපු වාම දේශපාලන පරිකල්පනයේ පරාජයට දක්වපු ප්‍රතිචාරයක් වුණත්, ඉක්මනින් ම ඒ වාම අඩංගුව අහෝසි වෙලා ඒක දක්ෂිණාංශික අන්ත ජාතිකවාදී ව්‍යාපාරයක් විදියට පත්වීම දකින්න පුළුවන්.

මේ ව්‍යාපාරයේ සම නිර්මාතෘවරුන් දෙන්න වුණේ නලින් ද සිල්වා සහ ගුණදාස අමරසේකර. ඔවුන් 1977 ජේ. ආර්. ජයවර්ධන විසින් ආක්‍රමණශීලි විදියට පහසුකම් සපයපු ධනේශ්වර ආර්ථික ව්‍යාපෘතියේ සහ ඒ හා බැඳුණු පරිභෝජනවාදී මෙහෙයුමේ විවේචකයෝ වුණා. නමුත් ඒ ජයවර්ධන ව්‍යාපෘතියේ කූටප්‍රාප්තිය වන 2005 – 2015 අතර පැවති රාජපක්ෂ ව්‍යාපෘතියේ ප්‍රමුඛ සහායකයන් වීම මගින් එහි අඩංගුව තිබුණ වාමාංශිකත්වය වියැකී ගියපු බව අපිට හොඳින් ම දැකගන්න පුළුවන්.

ඇත්තට ම 1990 දශකය මැදදි ඇති වුණ නව බෞද්ධ පුනර්ජීවනය විශාල දේශපාලන විභවයක් සහිතව හැඩගැසුණ ආගමික සංස්කෘතික ව්‍යාපාරයක්. ආරම්භක අවධියේ දී එහි තීරණාත්මක ප්‍රකාශකයා වුණේ ගංගොඩවිල සෝම හිමි. උන්වහන්සේගේ මැදිහත් වීම එවකට පැවතුණ පක්ෂ දේශපාලන බෙදීම්වලට ඉහළින් පැවතුණ එකක් වුණත් ඒක ඉතා ඉක්මනින් ම දේශපාලන පැහැයක් ගත්තා. විශේසයෙන් ම උන්වහන්සේ මුස්ලිම් දේශපාලනය සමග පැවතුණ විරසකය මේ ව්‍යාපාරය දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක මෙහෙයක් ඉටු කළා. ජාතික චින්තන ව්‍යාපාරය මූලික වශයෙන් ම දෙමළ ජාතිවාදි දේශපාලන ඉල්ලීම්වලට එරෙහිව සිංහල බෞද්ධ දේශපාලන මනසසංවිධානය කිරීමේ නියැළුණා නම්, සෝම හිමියන්ගේ ව්‍යාපාරය මුස්ලිම් දේශපාලනයට විරුද්ධව සිංහල බෞද්ධ දේශපාලන මනස සංවිධානය කළා. මෙම ව්‍යාපාර දෙක ම වර්තමානය දක්වා ම එකිනෙකින් පෝෂණය වෙමින් සිංහල බෞද්ධ දේශපාලනය පෝෂණය කිරීමේ නියැළී සිටිනවා.

සමාලෝචනය
1983 පස්සෙ ඇති වුණ සිංහල බෞද්ධ ජාතිකවාදයේ නව පිබිදීම 2005 මහින්ද රාජපක්ෂ ගේ ජනාධිපතිවරණ ජයග්‍රහනයත් එක්ක ම කූටප්‍රාප්තියට පත්වුණත් ඒ එක්ක ම එහි සීමාව සලකුණු වීමක් ද දකින්න ලැබුණා. ඒ කියන්නෙ මේ ව්‍යාපාරයේ තාර්කික වර්ධනය විසින් සිංහල බෞද්ධ නොවන ජන කොටස් බැහැර කිරීමේ යථාර්ථය. මේ සිංහල බෞද්ධ ජාතිකවාදයේ දේශපාලන සීමාව තමයි 2015 ජනාධිපතිවරණයේ දී ඉතාමත් තිරණාත්මක ලෙස නිරාවරණය වුණේ. ඒ වගේ ම 2015 ජනවාරි පරාජයෙන් පස්සෙ මේ සිංහල බෞද්ධ ජාතිකවාදී ව්‍යාපාරය නව දේශපාලන පුනරාගමනයකට සුදානමින් සිටින අතර ම ඊට සැලකිය යුතු ජන සහයෝගයක් ද ගොනුවෙමින් සිටින බව දකින්න පුළුවන්.

එහෙම වුණත් මේ වයාපාරය මුහුණ දෙන ගැටලුව තමයි 2015 ජනවාරි ජනාධිපතිවරණ පරාජයෙන් නිරාවරණය වුණ සිමාවන්, ඒ කියන්නෙ සිංහල බෞද්ධ නොවන ජනකොටස්වලට අඩුම තරමින් කෙටිකාලීනව හෝ ආමන්ත්‍රණය කරන්නෙ කෙසේ ද යන තීරණාත්මක අභියෝගය ජයග්‍රහණය කර නොතිබීම. කොහොම වුනත් තවම සිංහල බෞද්ධ දේශපාලන මනඃඍෂ්ටිය සංවිධානය කිරීම සම්බන්ධයෙන්මේ වපාරයට දැවැන්ත විභවතාවක් තිබෙනවා.

සටහන - ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

Last modified on Wednesday, 18 March 2015 12:34

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us