මව් සෙනෙහස නොලැබෙන දරුවන් ජීවිතවල සිදුවන විනාශ අපි ඕනෑතරම් අත්විඳ ඇත්තෙමු. සෑම අම්මා කෙනෙක්ටම පාවෙල්ගේ අම්මා වෙන්නට බැරි බව සත්‍යකි. නමුත් මව් සෙනෙහස කිසිවකට සමාන කළ නොහැක.
පසුගියදා විමල් විරවංශගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔවුන්ගේ දරුවන් තම මව වැළඳ හඬා වැටෙන අයුරු ඡායාරූ ප මගින් පල කොට තිබුණි. ඒ ඡායාරූපය මගින් පවසා සිටින්නේ දරුවන්ගෙන් මව් සෙනෙහස අහිමි කිරීම පමණක් නම් අපි ඊට එකඟ වන්නෙමු. විමල්ගේ දරුවොත් දරුවෝය. වෙන කිසිවෙකුට වඩා ඔවුන්ට තම මව වටියි. ඔවුන්ගේ කඳුළු වල කිසිඳු අසාධරණයක් නැත. නමුත් මව් සෙනෙහස අයිතිය ඇත්තේ විමල්ගේ දරුවන්ට පමණද?
විභුශිකාට, එක්නැලිගොඩගේ දරුවන්ට, සරත් ෆොන්සේකාගේ දූවරුන් දෙදෙනාට, ලසන්ත වික්‍රමතුංගගේ දරුවන්ට, මීගමුවේ ධිවරයින් වෙනුවෙන් හඩ නැගූ ඇන්ටනී ප්‍රනාන්දුගේ දරුවන්ගේ, කූගන්ගේ දුවට මව් සෙනෙහස හෝ පිය සෙනෙහස දැනෙනුයේ වෙනස් විදියටද. ඔවුන්ගේ දෑසින් ගැලූ කඳුළු කඳුළු නොවේද?
එසේම අපි නම් නොදන්නා බොහෝ මව්වරු රුපියල් 500 දඩය ගෙවාගැනීමට නොහැකිව හෝ ඉතා සුළු වරදකට නීතිය ඉදිරියේ වැරදිකරුවන් වී සිරගතව සිටියි. ඔවුන්ගේ දරුවන් ගැන කතා කරන්නේ කවුරුන්ද. දරුවන් සමඟ සිරගතව වෙසෙන මව්වරුන් කීයක් ලංකාව තුල වෙසේද? නොකළ වරදකට සිය ළමා කාලයෙන් වන්දි ගෙවන කිරි සප්පයන්ගේ ඡායාරූප පළවනු අප දැක ඇත්තේ කලාතුරකිනි.
එමෙන් ම ප්‍රබාකරන්ගේ දහතුන් හැවිරිදි දරුවා වූ බාලචන්ද්‍රන් ද දරුවෙකි. පියාගේ දේශපාලන ක්‍රියාකරකම් වෙනුවෙන් ජීවිතයෙන් වන්දිගෙවූ බාලචන්ද්‍රන් ගැන කතා කිරීම පවා දේශද්‍රෝහී ක්‍රියාවක් බව කීවේ ද මේ වීරවංශලා ම ය.
මව්වරුන් ගැන කතා කරොත් උතුරේ අතුරුදන් වූ තම දරුවන් වෙනුවෙන් කඳුළු සලන අම්මලා ගැන කතා කිරීමට විමල්ගේ බිරිඳගේ මව් සෙනෙහස ගැන දුක කියන මාධ්‍ය අවධානය යොමු නොකිරීම ගැටලුවකි. ඇත්තටම ඒ තුල ඇත්තේ මනුස්සකම නොව කුහක කමයි. ඔවුන් මේ සිදු කරමින් සිටින්නේ පිළිකුල් සහගත ලෙස විමල්ගේ දරුවන්ගේ කඳුළු තම දේශපාලන ව්‍යාපෘති සඳහා යොදා ගැනීමයි. අනිත් කරණය විමල් විරවංශ මේ වනවිට උත්සහ ගනිමින් සිටින්නේ තම දරුවන් විකුණා හෝ තම අරමුණු සඵල කර ගැනීමයි. එක අතකින් විමල් විරවංශ වැනි පුද්ගලයන්ගෙන් එවැනි තත්ත්වයකට පත්වීමද අරුමයක් නොවේ.
අනිත් කරුණ වන්නේ අපි විමල් විරවංශගේ බිරිඳ අත්අඩංගුවට ගැනීම අනේ හොඳයි යයි කියා අහක බලා ගැනීමට උත්සාහ නොකරන්නෙමු. පොඩි හෝ ලොකු වැරද්දක් නම් වරදකි. එයට දඬුවම් ලැබිය යුතුය. නමුත් ගැටලුව වන්නේ තෝරු මෝරු නිදහසේ දිවි ගෙවද්දී හාල් මැස්සෙක් දැලේ පැටලීමයි. ඒ අර්ථයෙන් ගත්කළ ආණ්ඩුව විසින් මේ සිදුකර ඇත්තේ විමල් විරවංශ නම් දේශපාලන හෙන්චයියෙකුගෙන් පලිගැනීම යැයි කිසිවකු හෝ කීවද එහි වරදක් නැත.
විමල් පසුගිය ආණ්ඩුව සමයේ ක්‍රියාත්මක වූ සෑම ජඩ වැඩකටම සහයෝගය දෙමින් ඒවා කිරීමට සහය දුන් බව සැබෑවකි. නමුත් විමල් විරවංශගේ බිරිඳට ක්‍රියාත්මක වූ නීතිය ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් ක්‍රියාත්මක නොවුනි. පසුගිය කාලයේ සිදුවූ රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් හිටපු ජනපති බිරිඳ වූ ශිරන්ති රාජපක්ෂට චෝදනා එල්ල විය. නමුත් ඇයව අත්අඩංගුවට ගැනීමක් පිළිබඳ අපිට දක්නට නොලැබුණි.
යුක්තිය ඉටුවන්නේ නම් විභූශිකාටද එකනැලිගොඩගේ දරුවන්ටද යුක්තිය ඉටිවිය යුතු නොවේද? එසේම වැරදි සිදු කල දේශපාලන හෙන්චයියන් මෙන්ම එම වරදී වල සැබෑ වගඋත්තර කරුවන්ද නීතිය හමුවට ගෙන ආ යුතුය. දරුවන්ගේ කඳුළු විකුණාගෙන කන දේශපාලනයට ද තිත තැබිය යුතුය.