රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා එම වගකීම ඉටු කරනු වස් සියලු මුද්‍රිත මාධ්‍යයකරුවන් තමන් ඉදිරියට කැඳවන බව කුරුණෑගල එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීමේ දී ප්‍රකාශ කර තිබිණ. අඬන්න ඉන්න මිනිසාට ඇඟිල්ලෙන් ඇන්නා සේ ආණ්ඩුවේ වැරදි ම පමණක් සොයන පිරිසක් විසින් මෙම ප්‍රකාශය හෙළා දකිමින් මුහුණු පොත හරහා විශේෂ මෙහෙයුමක් අරඹා ඇත. මොවුන්ට අනුව නම් මුද්‍රිත මාධ්‍යයට තමන් රිසි පරිදි ජාතිවාදය වපුරන්නට ඉඩ හැර ආණ්ඩුව (මෙය ආණ්ඩුව නොව රජය විය යුතු ය) ඇස්, කන් සහ මුව වසා නිද්‍රාශීලිව සිටිය යුතු ය. ඒ යහපාලනය හේතුවෙන් මාධ්‍යයට ඇඟිලි නොගැසිය යන මතයේ සිට කරනු ලබන නින්දිත ප්‍රකාශයකි.
පසුගිය වසර නවයක් පුරා මුද්‍රිත මාධ්‍යය මතු නොව වෙනත් විද්‍යුත් මාධ්‍යය පවා රාජපක්ෂ රෙජිමයේ අණසකට යටත්ව තිබිය දී ඔවුන්ගේ මතය අනුව අඩු වැඩි වශයෙන් ජාතිවාදය වැපිරුවේ ය. එදා ඊට එරෙහිව හඬ නැගූ පිරිස් ම අද අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රකාශය හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කරමින් සිටිති.
මෙය ‘‘කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්’’ යන්න ප්‍රත්‍යක්ෂ කරන්නකි. රටේ නායකයන්ගේ වගකීම සහ යුතුකම වන්නේ ජාතිවාදය, ආගම් වාදය ව්‍යාප්ත කිරීම නොව එවා මැඩපැවැත්වීම ය. එය කළ යුත්තේ මාධ්‍යය ආයතන ගිනිතබා, මාධ්‍යකරුවන්ගේ දෙපා බිඳ දමා, මාධ්‍යකරුවන් පැහැරගෙන ගොස් හෝ මාධ්‍යය ආයතනවලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යවා බියගැන්වීමෙන් නොවේ. ඒ සඳහා මාධ්‍යකරුවන්ට කරුණු වටහා දිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදීව ය.
සැබැවින් ම අග්‍රාමාත්‍යතුමා එම කතාවේ දී පැහැදිලි කළේ එය යි. ඔහු සියලු මාධ්‍යකරුවන් පමණක් නොව නිදහස් මාධ්‍යව්‍යාපාරය වැනි: මාධ්‍යය වෙනුවෙන් හඩ නගන, මාධ්‍යය වෙනුවෙන් පෙනි සිටින මාධ්‍ය ව්‍යාපාර පවා තමන් ඉදිරියට කැඳවන බව පැවසුවේ ඒ අදහසිනි. එහෙත් මේ ඔළ මොට්ටල පිරිස එය පරණ ක්‍රමයට ම වටහාගෙන ඊට එරෙහිව ප්‍රකාශ නිකුත් කරමින් සිටිති. මෙය නම් වලිගය පාගා ගැනිමකි. එසේත් නැත්නම් ජාතිවාදය අවුළවන්නන්ට උඩගෙඩි දීමකි.
පසුගිය ඒකාධිපති පාලන සමයේ සියලු මුද්‍රිත මාධ්‍යයන්හි ප්‍රධාන කතුවරුන් මසකට හෝ දෙසතියකට වරක් අලියගහ මන්දිරයට කැඳවා ඉදිරි කාලයේ මාධ්‍යය හැසිරිය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව උපදෙස් ලබා දුන්නේ ය. සැබැවින් ම මෙය උපදෙස් ලබා දීමක් නොව අණ කර සිටීමකි. මේ මොහොතේ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රකාශයට විරෝධය පාන ඇතැම් කතුවරු එදා බලු කුක්කන් සේ අරලියගහ මන්දිරයේ ලැගසිටි වුන් ය. දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටි මොවුන් එදා ඊට එරෙහිව කිසිවක් නොකීවේ ය. කිවේ ‘එහෙයි මහ රජතුමණි’’ යන්න පමණි. අද ඒ සියල්ල අමතක කොට තමන්ගේ කුණු වසාගන්නට ‘‘මෙන්න මාධ්‍ය මර්දනයකට සැරසෙනවෝ’’ යනුවෙන් අඳෝනා නගති; ඊට එරෙහි ප්‍රකාශ නිකුත් කරති.
ගරු අගමැතිතුමණි,
අප මාධ්‍යය නිදහස ඉහළින් ම අගය කරන්නෙමු. එහෙත් එකී නිදහසේ මුවාවෙන් රට තුළ නැවතත් ජාතිවාදය සහ ආගම්වාදය පමණක් නොව පක්ෂ අතර බෙදිම් නිර්මාණය කරන මාධ්‍යය කෙරෙහි දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු ය. නොඑසේ නම් තවත් ‘‘කළු ජූලි’’, ‘‘කළු ජූනි’’ පැන නැගීම නොවැළැක්විය හැකි ය.
රටක නායකයන්ගේ වගකීම වන්නේ මාධ්‍යය නිදහස ලබාදෙන අතර ම පාලකයන්ට නොව රටට අහිතකර මාධ්‍යය ක්‍රමවේදයන් පිළිබඳ දැඩි කොන්දේසි පැනවීම ය; ඒ සම්බන්ධයෙන් මාධ්‍යය දැනුවත් කිරීම ය. ඔබ එසේ කරනු ඇතැයි නිදහස් මාධ්‍යය අගය කරන, ජාතිවාදය, ආගම්වාදය සහ පක්ෂ භේදය පිටුදකින මාධ්‍යයවේදින් වන අප විශ්වාස කරන්නෙමු. තව ද කැනහිලුන්ගේ අවස්ථාවාදී මෙන් ම ආත්මාර්ථකාමී ප්‍රකාශ ඉවත ලා ඒ සඳහා සුදුසු පියවර ගනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.
ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.