මේ 1815, දෙවන කැරැල්ල ද? Featured

Thursday, 19 February 2015 07:20

ඊයේ (2015-02-18) දිනයේ ඓතිහාසික වැදගත්කම පිළිබඳ ඊයේ ම සටහනක් තැබූවෙමි. ඒ සටහනට ඌනපූරණයක් සපයන්නට එකී දිනයේ යළි දේශපාලන පිටියට පැමිණෙන්ට කැසකවන පරාජිතයෝ ම අවකාශ සැලසූහ.



ඊයේ නුගේගොඩ රැස්වීමට පැමිණි ජනතාව පිළිබඳ උදම් අනන මේ දේශපාලන අනාථයෝ කල්පනා නොකළ දේ නම් ලක්ෂ පනස් අටට (සැබැවින් ම නම් ලක්ෂ පනස් අටක් නැත. ලබාතිබුණේ 57,68,090 කි.) වඩා මෛත්‍රී පාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයා ලබාගත් ඡන්ද 62,17,162 වැඩි බවයි. ඔවුන්ට අනුව ඡන්ද අඩුවෙන් ලබාගැනීම පරාජයක් නොව දිණුමක් නොලැබීම ය. ඔවුන්ට අනුව ඔවුන් පරාජය වී නැත. සිදුව ඇත්තේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් අත්විඳින්නට සිදුවීම ය. සැබැවින් ම එය සත්‍යයකි. මන්ද, වසර දහයක් පුරා ජනතාව තළා පෙළා දමමින් පවත්වාගෙන ගිය ඒකාධිපති පවුල් පාලනය මුලිනුපුටා දැමීමේ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයකි.

පැය තුනහමාරක් පුරා මේ අනාථයෝ පැමිණ සිටි ජනතාව හමුවේ තැබූ අලුත් අදහස කුමක් ද? ‘‘අපි මහින්ද සරණං ගච්ඡාමී යමු’’ යන්න පමණකි. මෙහි දී දක්නට ලැබුණු අනෙක් විශේෂත්වය නම් මේ සියලු අනාථයන් තවමත් ‘‘රනිල් භීතිකාව’’කින් සහ ‘‘රට බෙදන’’ භීතිකාව’’කින් පෙළෙන බව ය.

සැබැවින් ම මෙය ද මවා පෑමකි. මොවුහු 2002 වසරේ රනිල් වික්‍රමසිංහ - ප්‍රභාකරන් ගිවිසුම රට බෙදන ගිවිසුමක් යැයි පවසා එදා පැවති රජය පෙරළා දැමූහ. නැවත වතාවක් පැමිණ ඇත්තේ එම ස්ථානයට ම ය. ඒ හැරෙන්නට මොවුන්ට නව ආණ්ඩුව පිළිබඳ එල්ල කරන්නට විවේචන නැත. මෙම රැස්විමේ දී අදහස් ප්‍රකාශ කළ වුන්ගේ වදන් නැවත පුනරුච්ඡාරණය කරන්නට අකමැති වුව ද ඒ සඳහා නැවතත් ජනතාවගේ අවධානය යොමු කළ යුතුව ඇත්තේ අවම වශයෙන් මෙවැනි රැස්වීමක් ඇමතීම සඳහා මේ කිසිවකු පූර්ව සූදානමක් හෝ නොතිබුණ බව වටහා ගැනීම පිණිස ය.

 


මධු මාධව අලුත් කිසිවක් ම නොකීවේ ය...

මධු මාධවට කියන්නට තිබුණේ ‘‘18’’ වන දිනයේ වැදගත්කම පමණි. එනම් 1818 කැරැල්ල සහ මැයි 18 නන්දිකඩාල් කලපුවේ දී සිදු කළ ප්‍රභාකරන් ඝාතනය පමණි. ඒ හැරෙන්නට ඔහුට පවසන්නට කිසිවක් නොතිබුණි. ඒ අනුව වත්මන් ආණ්ඩුව විදේශික බලවේගයකි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා තවත් ප්‍රභාකරන්ලා දෙදෙනෙකි. එහෙයින් ගම්මන්පිලට අනුව ඔවුන් පරාජය කළ යුතු ය.

 

අද ජාතික ආණ්ඩුව දක්ෂිණාංශිකයි

වාසුදේව නානායක්කාරට අනුව නම් අද ජාතික ආණ්ඩුව නරක් වී ඇත්තේ එදා ජාතික ආණ්ඩුවක් සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය එකඟ නොවු හෙයිනි. එමෙන් ම අද ජාතික ආණ්ඩුව දක්ෂිණාංශිකය. එදා ජාතික ආණ්ඩුවට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ සහය ලබා දුන්නා නම් එය වාමංශික වෙනවාද යන්න ඔහුගෙන් විමසිය යුතු ය. ඔහුට අනුව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ පත්වීම නීති විරෝධී ය. ඔව්... වාසුදේව මහත්මයෝ එම පත්වීම නීති විරෝධී නම් යන්න ඔබ අධිකරණයට. දැන් අධිකරණය ස්වාධීන ආයතනයකි. ඒ ස්වාධීන ආයතනයෙන් ඔබට සාධාරණයක් ඉටු කරනු නියතය.


ගම්න්පිල හොදි කන්නේ මිරිස් සමග පමණි

උදය ගම්මන්පිලට ද ඊයේ දිනය ඉතිහාසය වෙනස් කරන දිනයකි. අනාගතය තීන්දු කරන දිනයකි. එය සැබැවකි. මන්ද, අභිනව ආණ්ඩුව පත්වී එක් මසකුත් දින දහයක් ඇතුළත ආණ්ඩුව පිළිබඳ දුර්මත පතුරවන්නට, තමන්ගේ පැදුරුකඩමාල්ල එළාගන්නට තැනක් සොයාගන්නට ගම්මන්පිලලා ඡන්ද හිඟමනේ යාම ආරම්භ කළ දවස වන හෙයිනි. ඒ හැර කිසිඳු ඓතිහාසික වටිනාකමක් 2015 - පෙබරවාරි 18 වන දින නම් නොමැත්තේ ම ය. ඔහුට අනුව මිල පහත හෙළා ඇත්තේ සූදුරු, කොත්තමල්ලි සහ උඳුවල පමණි. ඉන් පැහැදිලිවන්නේ ගම්මන්පිලලා ආහාරයට ගන්නේ ‘‘තුන පහ කුඩු’’ දමා රසවත් කළ ආහාර නොව මිරිස් කුඩුවලින් පමණක් සැකසු ආහාර පමණක් ය යන්න ය. තුනපහ යන රසකාරකයට කොත්තමල්ලි අවශ්‍යය බව මේ ගම්මන්පිල නොදන්නේ ය.

සිංහලකම, ජාතිකත්වය, දේශමාමකත්වය පිළිබඳ කතා කරන්නේ මෙවැනි අඳබාලයන් ය. සියයට හැටකින් පමණ ඉහළ දමා තිබූ ගෑස් මිල ජනතාවට දරාගැනීමට හැකි අයුරින් පහත දැමු බව මේ ගම්මන්පිල නොදන්නේ ය. ගෑස් මිල අඩු කළ වහාම නිවෙස්වල තිබු කිලෝ 14 ගැස් සිලිණ්ඩරවල මකුළු දැල් සහ දුවිලි ගසා දමා ඒවා රැගෙන ගෑස් වෙළෙඳසැල් ඉදිරියේ පෝලිමේ සිටි ජනතාව මේ ගම්මන්පිල දැක නැත. එයට හේතුව මිල පහත දැමීමෙන් අනතුරුව ගම්මන්පිලලාට උණ රෝගය වැලඳුණ හෙයිනි. ඉන්ධන මිල පහත හෙළීම සම්බන්ධයෙන් ජනතාව දැක්වූ ප්‍රතිචාර ගම්මන්පිලලා දැක නැත. මන්ද එය දකින්ට අකමැති හෙයින් ඔහු වැනි දේශපාලන අඳබාලයන් දෑස් වසාගෙන සිටි බැවිනි.

 

බුදුන් වහන්සේත් ඥාති සංග්‍රහයේ යෙදුණා

සාමාන්‍යය ජනතාව මුළා වීම අරුමයක් නොවන බව වැටහී ගියේ හිටපු ජනාධිපති විසින් පත්කළ කුලපති ස්වාමීන් වහන්සේ නමක් ද අන්ත මුළාවට පත්වි සිටි බව දැකීමෙනි. සැබැවින් ම ඒ හිමි නම පිළිබඳ සැදැහැවත් බෞද්ධයන්ගේ මතු නොව සියලු ලෝකවාසීන්ගේ අනුකම්පාව ලැබෙනු නොඅනුමාන ය. මන් ද ඒ හිමියන්ට හිටපු ජනාධිපතිවරයා පිරිනමා ඇත්තේ නම්බු නාමයක් පමණි. වෙනත් කිසිම වාසියක් අත්පත් කර දී නොමැත. එහෙත් අරුමය කියන්නේ එහෙව් හිමි නම ද යළි යළිත් බුද්ධං සරණං ගච්ඡාමි වෙනුවට මහින්ද සරණං ගච්ඡාමි යාම ය.

උන්වහන්සේට අනුව හිටපු ජනාධිපති මහින්ද පවුල් වාදයට නැඹුරුව ඇත්තේ බුදුන් වහන්සේ ආදර්ශ කොට ගෙන ය. අනෙක් සියලු ම රාජ්‍ය නායකයෝ ද බුදු හිමියන් අනුගමනය කර ඇත. නමුත් ජේ. ආර්. ජයවර්ධන මහතා පිළිබඳ මේ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් ඛේට බිඳුවක් හෝ හෙළුවේ නැත. බුද්ධ පුත්‍රයෙක් වන උන්වහන්සේ ප්‍රසිද්ධියේ බුදුහිමියන්ගේ දහමට පිටුපෑහ. ජාතිවාදය අවුලුවන්නට තැත් දැරූහ. එනම් හකීම් මහතා නැගෙනහිර වෙනම කලාපයක් ඉල්ලා ඇති බවට මුසාවාද වදාළහ. ඔව් ස්වාමීන් වහන්ස; ඔබ වහන්සේට එය ඔප්පු කිරීමට හැකි නම් හකීම් මහතාට විරුද්ධව කටයුතු කරන්නැයි හෙට දිනයේ අපි රජයට බල කරන්නෙමු. එසේ නොවන්නේ නම් එවැනි ජාතිවාදි මතවාද පැතිරවීම පිළිබඳ ඔබවහන්සේ රටවැසියාගෙන් සමාව ගත යුතුය.

 

දයාන් ලියූ මහින්දගේ ප්‍රකාශය

වඩාත්ම විසුළු සහගත ක්‍රියාව වූයේ කිසිඳු ප්‍රතිපත්තියක් නැති දයාන් ජයතිලක වැනි පුද්ගලයකු ලවා හිටපු ජනාධිපතිගේ සුභ පැතුමි පණිවිඩය කියවීම ය. සැබැවින් ම මෙය ලියන්නට ඇත්තේ ද ඔහු ම බව පැමිණ සිටි පිරිසට අවබෝධ නොවූව ද මොළය පාවිච්චි කර යමක් නිගමනය කළ හැකි කවරකුට වුව ද එය වැටහෙනු නොඅනුමාන ය. හිටපු ජනාධිපති යළි යළිත් පවසන්නේ ඔහු පරාජය වූයේ මෛත්‍රීපාල සිරිසේන නම් වූ අපේක්ෂකයාට දෙමළ ඡන්ද ලැබීම නිසා බැවිනි. ඒ සමගම ඔහු නොකියන සත්‍යයක් ද ඇත. එනම්, ‘‘මම 2005 දිනුවෙ ප්‍රභාකරන්ට මුදල් දුන්න නිසා’’ යනුවෙනි. හිටපු ජනාධිපතිට අනුව උතුරු නැගෙනහිර ලංකාවට අයත් නොවන ප්‍රදේශයකි. මෙය දිනේශ් ගුණවර්ධන ද ප්‍රකාශ කළේ ය. (එය පසුව සටහන් කරමි.) හිටපු ජනාධිපතිට අනුව ඔහු පමණක් නොව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ද පරාජය නොවුණි. එය නම් සැබැවකි. මෙවර ජනාධිපතිවරණයේ දි ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයෝ බහුතරයක් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්කරමින් ජයග්‍රහණය ලැබුවෝ ය.

 

කාට හරි දෙන්න බලාගෙන ඉන්න විමල්ගේ පවුල

විමල් වීරවංශ එදා අභිනව ජනාධිපතිතුමා ඉතාමත් නිර්දය ලෙස විව්චනයට ලක් කළේ ය; උපහාසයට ලක් කළේ ය. අද විමල් විරවංශට මෛත්‍රිපාල සිරිසේන අහිංසක ජනාධිපතිවරයෙකි. (එදා නම් ‘‘හිටං’’කෙනෙකි.) ඔහුට අනුව අද රට කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ය. ඔව්... විරවංශ මන්ත්‍රී තුමනි, අද පවුල් පාලනයක් හෝ ඒකාධිපති පාලනයක් නැත. තිබෙන්නේ සාමුහික පාලනයකි. එය ඒකාධිපති පාලනයට වඩා ජනතාවට හිතකර ය.


විමල්ට අනුව ඡන්ද ප්‍රතිඵලවලින් අනතුරුව පෙළපාලි යාම මූසලකමකි. එසේ නොගියේ මහින්ද පරාජය වු දුකට ය. යම් ආකාරයකින් මහින්ද ජයග්‍රහණය කරා නම් මේ උම්මත්තකයන් හැසිරෙන්නේ කෙසේ ද යන්න විශේෂයෙන් සඳහන් කළ යුතු නැත. එසේ වූවානම් මේ වන විට අභිනව ජනාධිපතිගේ ඉරණම 2010 වසරේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට අත් වු ඉරණමට වඩා භායානක වන බව සක් සුදක් සේ පැහැදිලි ය.

විමල් බලාපොරොත්තු වන්නට ඇත්තේ ජයග්‍රාහකයෝ විරුද්ධවාදීන්ට පහර දෙනු ඇතැයි කියා ය. එවිට අවම වශයෙන් දේශපාලන රැකවරණ පතා විදෙස් ගතවන්නට හෝ ඉඩකඩ සලසා ගත හැකිව තිබිණ. එහෙත් ජයග්‍රහණය සාමකාමීව භුක්ත් විඳීම පවා මේ නරුමයන්ට ඇසේ ඉඳිකටු අනිනවා වැනි ය.

එදා මුහුණු පොත තහනම් කරන්නට කැසකැවූ මහින්දගේ බත්බැලයන් වූ විමල් විරවංශ අද පවසන්නේ කුමක් ද? මේ ජන ගඟ අන්තර්ජාලය හරහා ලොවට ම ප්‍රදර්ශනය කරන ලෙසයි. මොහු මෙසේ ප්‍රකාශ කරන්නේ රෙදි ඇඳගෙනදැයි ජනතාව විමසති. කෙසේ වෙතත් විමල්ගේ කට මුසාවාද ඇද බැව ද දිව සත්‍යය පවසන්නේ ය. එනම්, ඔහුට අනුව මේ ‘‘අපායේ ඉන්ටවල් එක’’ ය. ඔව්... වීරවංශ මහත්මයෝ මෙය ඉන්ටවල් කාලයක් වන්නේ නැවත හිටපු ජනාධිපති අගමැති වුවහොත් පමණි. එතැන් සිට නැවතත් ජනතාව අපායට වැටෙන බව නම් සහතික ය. ඔබ ඇතුළු මේ අනාථ පිරිස උත්සාහ කරන්නේ ජනතාව යළි අපායට ඇද දැමිමට බව දැන් ජනතාවට පැහැදිලි ය.

වීරවංශගේ බිරිඳ මගබලාගෙන ඉන්නවාලු කවුරු හරි ඉල්ලනකන් දෙන්න. අද එනවා හෙට එනවා කියල කිව්වත් තවමත් කවුරුවත් ආවෙ නැතිලු. (ඇත්තට ම එහෙම හරි වාසියක් එනකං තමයි මේ උන්නැහේ බලාගෙන ඉන්නව ඇත්තෙ)

මොහු විටෙක මරු කියවන බව මොහු ම නොදනී. එදා වේදිකාවේ බෙරිහන් දුන්නේ එක්සත්ජාතින්ගේ වාර්තාව හරහා මහින්ද ගිලටීනයට ගෙන යන බවයි. අද පවසන්නේ එය පමා කිරීම මහින්දට අවාසි බවයි. එය හැකි ඉක්මනින් ඉදිරිපත් කරන්නේ නම් මහින්දට වාසි බවයි. සැබැවින් ම මේ මරුකියවීමක් නොවන්නේ ද? එසේ නම් එදා එම වාර්ථාවට බියෙන් සුළුදිය පහවූයේ මන්දැයි අපි විමල් විරවංශගෙන් අසමු.



උතුරු නැගෙනහිර ලංකාවට අයිති නෑ


දිනේෂ්ගේ ගුණවර්ධනට අනුව මහින්ද රාජපක්ෂ උතුරු නැගෙනහිර බෙදා අවසන් ය. ඔහුගේ ම වචනවලින් එය මෙසේ ය. ‘‘උතුරු නැගෙනහිර අත්හැරියම මහින්ද රාජපක්ෂ මහත්මය දිනල ඉවරයි’’ රට බෙදනවා යැයි බෙරිහන් දෙන ජාති මාමකයා, ඊනියා දේශප්‍රේමියා ප්‍රසිද්ධියේ ම රට බෙදා ඇත. මහින්ද රාජපක්ෂ සමයේ කිසිවකු මෙවැනි ප්‍රකාශයක් කළා නම් ඔහු ඒ මොහොතේ ම ත්‍රස්ත මර්දන අංශයේ අත්අඩංගුවට පත්වනු නියත ය. ඔවුන් වපුරන්නේ ජාතිවාදය යි. ඔහුට අනුව උතුර නැගෙනහිර ලංකාවට අයිති නැති බව ඔප්පු කර හමාර ය.



පසුව ලියමි

ගරු ජනාධිපතිතුමනි,

මෙම රැස්වීමේ දි ඔවුන් ප්‍රකාශ කළ ඇතැම් කාරණා බරපතල ය. එනම් සොරකම්, වංචා, දූෂණ පිළිබඳ මාධ්‍ය්‍ය සංදර්ශන පැවැත්වු ද ජනතාවට දැනෙන ලෙස ඒ කිසිවක් සිදු වී නැත. විමල් වීරවංශ සිය බිරිඳ පිළිබඳ කළ ප්‍රකාශය ම එයට කදිම නිදසුනකි. මෙය හැංගිමුත්තං කෙළීමකි. එහෙයින් එදා සිටි මහා පරිමාණ දූෂිතයන්ට, වංචාකරුවන්ට, කුඩු ව්‍යාපාරිකයන්ට එරෙහිව කඩිනම් පියවර ගත යුතු ය. එසේ නොවුන හොත් ජනතාව යළි යළිත් මායා දැලට පැටලෙන බව ස්ථීර ය.

ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us