මෙහි මුඛ්‍ය අරමුණ වූයේ අභිනව රජය විසින් දින සියයක් තුළ ක‍්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති වැඩපිළිවෙළේ ම එක් අංගයක් වන ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම පිළිබඳ මෙන් ම එම කොමිෂන් සභා වඩාත් ශක්තිමත් කිරීම සඳහා කළ යුත්තේ කුමක් ද? යන්න පිළිබඳ සාකච්ඡා කිරීම ය.
නීතීඥ එස්. ජී. පුංචි හේවා මහතා ශ‍්‍රී ලංකා මානව හිමිකම් ශක්තිමත් කිරීම පිළිබඳවත්, නීතීඥ එල්මෝ පෙරේරා මහතා මැතිවරණ කොමිසම වඩාත් ශක්තිමත් කිරීම පිළිබඳවත්, නීතීඥ චන්‍ද්‍රපාල කුමාරගේ මහතා ජාතික පොලිස් කොමිසම වඩාත් ශක්තිමත් කිරීම පිළිබඳවත්, වෛද්‍ය රාජා විජේතුංග මහතා ජාතික ඖෂධ, වෛද්‍ය උපකරණ හා සුවඳ විලවුන් අධිකාරියේ කෙටුම්පත් පිළිබඳවත් විකල්ප ප‍්‍රතිපත්ති කේන්‍ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා ස්වාධීන කොමිෂන් සභාවන් යථාර්ථයක් බවට පත්කිරීම සඳහා කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳවත් අදහස් දැක්වී ය.
මහජන සංවාදයට පැමිණි පිරිස පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කළේ විකල්ප ප‍්‍රතිපත්ති කේන්‍ද්‍රයේ ජ්‍යේෂ්ඨ පර්යේෂක ලයනල් ගුරුගේ මහතා විසිනි.
සභාව මෙහෙයවන ලද්දේ ද නීතීඥ එස්. ජී. පුංචිහේවා මහතා විසිනි.
මතු දැක්වෙන්නේ පුංචිහේවා මහතා විසින් කරන ලද දේශනය ඇසුරින් සැකසුණු ලිපියකි.
යම් පනතක් මගින් මානව හිමිකම් කොමිසම පිහිටුවා මේ වන විට වසර ගණනාවක් පුරා ක‍්‍රියාත්මක වෙමින් පවතී. මෙයට ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවේ පවතින මූලික අයිතිවාසිකම් පිළිබඳ වුව ද කටයුතු කිරීමේ හැකියාව ඇති බව එම පනතේ සඳහන් වේ. එසේ නම් ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් කඩවුවහොත් ඕනැම පුද්ගලයකුට ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරිමේ හැකියාව හැකියාව පවතී. එය මෙරට පුරවැසියකුට මෙන් ම වෙනත් පුද්ගලයකුට ද කළ හැකි අවස්ථා කිහිපයක් ද පවතී.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නම් නඩුවක් ඉදිරිපත් කළ හැකිවන්නේ නීතීඥයකු මගිනි. නමුත් මානව හිමිකම් කොමිසමේ පවතින වෙනස නම් නීතිඥයකු එම පැමිණිල්ල ඉදිරිපත් කළ යුතු ය යන්න අනිවාර්යය නොවීම ය. මානව හිමිකම් කඩවීමකට ලක් වූ පුද්ගලයාට ම එම පැමිණිල්ල ඉදිරිපත් කළ හැකි ය. මීට අමතරව මෙහි පවතින විශේෂත්වය නම් පුවත්පතක පළ වූ වාර්තාවක් සම්බන්ධයෙන් වුව ද මෙහි දී විමසීමට හැකි ය. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙවැනි තත්ත්වයක් නොපවතී. එමෙන් ම නීතිඥයකු මගින් වුව ද ශ්‍රේෂ්ඨාධිකරණයට යම් පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි වන්නේ අසාධාරණයට ලක් වූ පුද්ගලයාට පමණි. නමුත් මානවහිමිකම් කොමිසම වෙත වෙනත් පුද්ගලයකු වෙනුවෙන් තවත් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට හෝ සංවිධානයකට පැමිණිල්ලක් ගොනු කළ හැකි ය.
මෙය ඉතාමත් වැදගත් වන්නේ ඇයි?
පසුගිය කාලය පුරා මානව හිමිකම් කොමිසමේ කාර්යභාරය නිසිලෙස ඉටු කළා ද යන්න අපහැදිලි බැවිනි. එම කොමිසම මගින් ද යම් යම් අඩුපාඩුකම් සිදු වූ බව විටින් විට පුවත්පත්වල පළ විය. මානව හිමිකම් කඩවූ අවස්ථාවන්හි දී කොමිසමේ මැදැහත්වීම ප‍්‍රමාණවත් නොවු බවට ද තොරතුරු ලැබී තිබිණ. වෙනත් සංවිධාන හෝ කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි භාරගත් අවස්ථා තිබුණ ද ඒවා විසඳු අවස්ථා දුර්ලභ ය.
මන්ද සමස්ත රට පුරාම භාෂා අයිතිවාසිකම් කඩවීම පිළිබඳ අපි විසින් ම පැමිණිළි තුන්සියයක් පමණ ඉදිරිපත් කොට ඇත. එම පැමිණිලි යම් ප‍්‍රමාණයක් විසඳා ඇති අතර ඇතැම් පැමිණිලි විසඳීමට එකඟ විය. නමුත් විසඳනවා යැයි පොරොන්දු වූ පැමිණිලි ප‍්‍රමාණය ද පසුගිය ආණ්ඩුව විසින් නොවිසඳන ලදී. පවතින නව තත්ත්වය යටතේ එම පැමිණිලි විසඳාවි යැයි අපි බලාපොරොත්තු වන්නෙමු.
මෙම කරුණු කිහිපයට අමතර ව මානව හිමිකම් කොමිසම සතුව පවතින තවත් පහසුකමක් නම් දිවා රාත‍්‍රී ඕනෑම මොහොතක පැමැණිල්ලක් ඉදිරිපත්කිරීමේ හැකියාව යි. යම් පුද්ගලයකු අත්අඩංගුවට ගත් ඕනැම මොහොතක ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කොට: අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ ඇයි ද? ඔහු සිටින්නේ කොතැන ද? යන කරුණු පැමිණිල්ල කළ පුද්ගලයන්ට ලබාදීමට මානව හිමිකම් කොමිසම බැඳී සිටී.
පසුගිය කාලය තුළ මෙවැනි අවස්ථා බහුලව දක්නට ලැබිණ. මෙයට බලපෑ ප‍්‍රධාන සාධකය වූයේ මානවහිමිකම් කොමිසම සතුව පෙර පැවති කාර්ය සාධක අංශය මගින් සිදු කරන ලද සොයාබැලීම් හේතුවෙනි. මෙම අංශය පසුගිය කාලය පුරා ඉතා හොඳින් ක‍්‍රියාත්මක වූ බව මෙහි දී විශේෂයෙන් ම සඳහන් කළ යුතු ය. මෙය මින් ඉදිරියට ද එසේ ම ක‍්‍රියාත්මක වේ යැයි අපි විශ්වාස කරන්නෙමු.
ඊළඟ කරුණ වන්නේ මානව හිමිකම් කොමිසමේ පැමිණිලි විභාග කිරිමේ අංශයට ඉතාම පුහුණු නිලධාරින් සිටිය යුතු වීම ය. නමුත් එවැනි පුහුණු ආයතනයක් ලංකාවේ නොමැත. මගේ මතකය නිවැරදි නම් අධිකරණ අමාත්‍යංශය මගින් එවැනි පුහුණුවක් ලබා දුන්නේ ය. ඔවුන් මේ වන විට එහි සිටිනවාද නැද්ද යන්න පිළිබඳව අපි කිසිවෙක් නොදී. ඉදිරියේ දී වුව එය ක‍්‍රියාත්මක කළ හැකි ය. මන්ද මෙහි දී පැමිණිලි විභාග කෙරෙන්නේ අධිකරණයක ප‍්‍රශ්න කෙරෙන ආකාරයට නොවේ. එහි දී වටමේසයක වාඩිවී කෙරන සාකච්ඡාවක් ලෙස අදාළ ප‍්‍රශ්නය විසඳීමට ක‍්‍රියා කෙරේ.
සැබැවින් ම ඒ ස්වරූපය ඉතා අගනේ ය. එම ස්ථානයේ නීතිඥයෝ ගොස් තර්ක නොකරයි; කාලය ද නාස්ති නොකර යි. සිදු කෙරෙන්නේ අදාළ දෙපාර්ශවයෙන් කරුණු විමසීම ය. කොමිසමේ වගකීම වන්නේ මෙය සිදු වුවා ද? සිදුවිය හැකි ද? යන්න පිළිබඳ කරුණු අදාළ පුද්ගලයන්ගෙන් ම ලබා ගැනීම ය. එහි දී ප‍්‍රශ්න කිරීම කලාවක් බවට පත්වේ. නමුත් එය අධිකරණයේ ප‍්‍රශ්න කෙරෙන ආකාරයේ කලාවක් නොවන බව මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු ය.
මෙය ඉතා සරල, සමීප, හිතවත් ආකාරයෙන් කෙරෙන සාකච්ඡාවකි; ප‍්‍රශ්න කිරිමකි. මේ සඳහා නීතිඥයෝ ම අවශ්‍ය නොවන බව ද මෙහි දී සිහිපත් කළ යුතු ය. ඒ සඳහා වෙනත් උගත්, බුද්ධිමත් සිවිල් වැසියන් වුව ද යොදාගත හැකි ය. එමතු නොව එසේ කළ යුතු ය. එසේ නොවන්නට එය ද අධිකරණක් බවට පත්වනු ඇත. මේ වන විටත් එම අඩුපාඩුව සපුරා ගැනීමට අපි අසමත්ව ඇත. මෙය හැකි ඉක්මනින් විසඳා නොගත හොත් ලංකාවේ අධිකරණවල මෙන් නඩු කල්යාම හේතු කොට ගෙන විශාල වශයෙන් නඩු ගොඩගැසෙනු නියත ය. දැනට ගොඩගැසී ඇති නඩු හැකි ඉක්මනින් විභාග කිරීම සඳහා කඩිනමින් පිරිස් බඳවා ගතයුතුව ඇත.
මෙරට පුරවැසියන්ගේ අයිතිවාසිකම් කඩවීම් අප‍්‍රමාණ ය. එහෙත් ආණ්ඩුවෙන් කරනු ලබන පත්වීම් පිරිසිදු භාවයකින් තොර වුවහොත් එම විමර්ශන නිසායාකාරව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වෙනු ඇත. මන්ද පත්වීම් ලබන්නා හිනමානයෙන් පෙළෙන්නේ නම්... එනම්, ”මෙම පරික්ෂණය අහවල් දේශපාලනඥයාට අහිතකර ය, අහවල් රාජ්‍ය නිලධාරියාට අහිතකර ය, අහවල් දෙපාර්තමේන්තුවට නොහොඳය” යනුවෙන් ඔවුන් සිතුව හොත් එය අසාර්ථක පියවරකි. මන්ද එකී තනතුරුවලට පත්කරන නිලධාරින් එසේ සිතන බව පත්කරන්නා ද දන්නේ ය. තවදුරටත් එබ`දු පත්වීම් සිදුවුව හොත් මානව හිමිකම් කොමිසමෙන් ඉටුවිය යුතු සේවය ඉටු නොවන බව විශේෂයෙන් අවධාරණය කළයුතු ය. එහෙයින් මෙම පත්වීම් ලබා දෙන විට එබඳු විමර්ශන පිළිබඳ පුහුණු, කිසිවකුට ගැති නොවන පුද්ගලයන් වෙත ලබා දිය යුතු ය.
උදාහරණයක් ලෙස රතුපස්වල සිද්ධිය ගෙන බලමු. එම සිද්ධිය සම්බන්ධයෙන් ඍජු මැදිහත්කමක් කිරිමට විශාල ඉඩකඩක් තිබුණ ද ඒ සම්බන්ධයෙන් කටයුතු කළ බවක් දක්නට නොලැබිණි. මන්ද එම ප‍්‍රදේශයේ ජනතාව මේ ආසන්න දිනක දී ද නැවතත් වීදි බැස උද්ඝෝෂණය කළහ. මෙබඳු උද්ඝෝෂණයක් පැවැත්වෙන මොහොතේ වුව ද කොමිසමේ බලයලත් නිලධාරින්ගේ කැමැත්ත අනුව සහ ඔවුන් මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නේ නම් මෙම විමර්ශන සඳහා අදාළ අවස්ථාවන් නිර්මාණය කරගත හැකි ය.
සැබැවින් ම මෙම තනතුරු සඳහා අදාළ නිලධාරීන් පත්කරන්නේ ද පවතින දුර්වලතා මගහරිමින් විමර්ශන සඳහා අවැසි නිර්මාණ බිහි කරගැනීම සඳහා ය. මෙවර ජනාධිපතිවරණය අවස්ථාවේ එවැනි නිර්මාණාත්මක අවස්ථා එලඹි බව අපිට අසන්නට ලැබිණ. ජනාධිපති මැතිවරණයක් පවතින මොහොතේ එම මැතිවරණ පනතේ 116, 117, 118 යන වගන්තිවලින් පොලිසියෙන් සහ හමුදාවෙන් සහයෝගය ලබාගැනීමට කොමසාරිස්තුමාට බලතල පවරා ඇත. එම බලතල මැතිවරණය අවසන් වී ප‍්‍රතිඵල ප‍්‍රකාශය අවසන් කරන තුරු කොමසාරිස්තුමා සතු වේ. අදාළ කාලසිමාවේ මැතිවරණ කොමසාරිස්තුමා ගන්නා තීන්දු ජනාධිපතිවරයාට ද වැළකිය නොහැකි ය. සැබැවින් ම මේ කාල සීමාව තුළ මැතිවරණ කොමසාරිස් යනු ජනාධිපතිවරයාට වඩා බලගතු පුද්ගලයෙකි. ඒ මොහොතේ ‘‘මැතිවරණ කොමසාරිස්තුමා දෙන නියෝග පොලිස්පති ඇතුළු සියලූ හමුදාපතිවරුන් විසින් පිළිපැදිය යුතු ය” ය යනුවෙන් ජනාධිපතිවරණ පනතේ ම සඳහන්ව ඇත.
මෙවර ජනාධිපති මැතිවරණයේ දී මැතිවරණ කොමසාරිස්තුමා තමන් සතු බලතල දැඩි ලෙස ප‍්‍රයෝජනයට ගත් බව මෙහි දී විශේෂයෙන් ස`දහන් කළ යුතු ය. පෙර සඳහන් කළ නිර්මාණාත්මක භාවය ක‍්‍රියාත්මක වූවේ එම අවස්ථාවන්හි දී ය. මැතිවරණ කොමසාරිස්තුමා ඒ අවස්ථාවේ දී මහින්දරාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයාගේ සිට සියලූ අපේක්ෂකයන්ගේ කටවුට්, බැනර් ඉවත් කරන ලෙස පොලීසියට නියෝග කළේ ය.
විවිධ භාණ්ඩ බෙදා හැරීම තහනම් කළේ ය. ‘‘ජනපති ජනහමුව” නමැති වැඩසටහන තහනම් කළේ ය. ඒ සඳහා මැතිවරණ කොමසාරිස්තුමා ඍජුවම මැදිහත් වූයේ රූපවාහිනි සංස්ථාවට ගොස් අදාළ නිලධාරීන් දැනුවත් කරමිනි. මේ සියල්ල ම ක‍්‍රියාත්මක කළේ ජනාධිපතිවරණ පනතේ සඳහන් බලතල ප‍්‍රකාර ය. එය වළක්වන්නට ජනාධිපතිවරයාට ද බලයක් නොතිබිණි. එසේ වළක්වන්නට නම් හදිසි නීතිය පැනවිය යුතු ය. අදාළ අවස්ථාවේ අනෙක් සියලූ රාජ්‍ය නිලධාරින් ද ‘‘තිය හැර වෙන කිසිවක් නොකරමු” ය යන මතයේ පිහිටා සිටියහ. 2015 ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල යම් කාලයක් ප‍්‍රමාද වී හෝ ලබාගැනීමට හැකි වුයේ පෙර කී බලතල නිසියාකාරයෙන් භාවිතා කිරීම හේතුවෙනි.
මානව හිමිකම් කොමිසමේ දුර්වලතාවයක් ද මෙහි දී සඳහන් කළ යුතු ය. කොමිසම පිහිටවූවේ ය. පැමිණිලි භාරගත්තේ ය. විභාග කළේ ය. නමුත් එම විභාගයෙන් අනතුරුව කළ හැකිවන්නේ නිර්දේශයක් ඉදිරිපත් කිරීම පමණි. බරපතල තත්ත්වය නම් එම නිර්දේශය දෙපාර්තමේන්තු වෙත යැව්ව ද ක‍්‍රියාත්මක නොවන තත්ත්වයක් පැවතී ම ය. ඇතැම් දෙපාර්තමේන්තු එකඟ වුව ද බොහෝ දෙපාර්තමේන්තු එකඟ නොවේ. එසේ නම් එම නිර්දේශයෙන් කුමන ඵලයක් ද?
කාලයක් මම ද මානව හිමිකම් කොමිසමේ පැමිණිලි විභාග කිරිමේ අංශයේ සේවය කළෙමි. එකල ලංකාවේ පොලිසියත්, විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවත් තමන්ට විරුද්ධ පැමිණිල්ලක් ලැබුණු හැම විට ම නිර්දේශය ලද විගස එය භාරගෙන නිවැරදි කළේ ය. එම නිර්දේශය කිසිසේත් ම ක‍්‍රියාත්මක නොකළ දෙපාර්තමේන්තුවක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සතු දෙපාර්තමේන්තු පෙරමුණේ සිටී. ඔවුන් කළේ ‘‘පුළුවන්නම් ඕනෑම දෙයක් කරල බලන්න” යන මතයේ එල්බ සිටීම ය. එවැනි අවස්ථා රාජ්‍ය දෙපාර්තමේන්තු වෙත ලබා දීම ඉතාමත් වැරදි සහගතය. එහෙයින් මානව හිමිකම් කොමිසමේ මෙම නිර්දේශ ස`දහා යම් බලයක් ලබා දිය යුතු ය. එම නිර්දේශ ක‍්‍රියාත්මක නොකළේ ඇයි දැයි අවම වශයෙන් ජනාධිපති ලේකම් හෝ අදාළ දෙපාර්තමේන්තුවලින් විමසිය යුතු ය. එසේ කරන්නේ නම් රාජ්‍ය දෙපාර්තමේන්තුවලට එම නිර්දේශ බැහැර කිරිමේ හැකියාව වැළකී යන්නේ ය.
එක් වරක් මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයෙක් ලෙස මට ද පත්වීමක් ලැබිණි. ඒ 2010 වසරේ දී ය. නමුත් එය නීති විරෝධී පත්කිරීමකි. එම පත්වීම නිර්දේශ කොට තිබුණේ 17 වන ව්‍යවස්ථා සභාවෙන් නොව හිතුවක්කාර ලෙස ය. අදාළ පත්වීම පිළිබඳ මා හට දැනුම් දුන් මොහොතේ ම මා ජනාධිපතිවරයාට ලිපියක් මගින් දන්වා සිටියේ මා එම තනතුරට පත්කිරීම පිළිබඳව ස්තූතිවන්ත වන අතර එකී නීති විරෝධී පත්වීම මට බාරගත නොහැකි බව යි. එහෙයින් මම තවමත් ජිවත්වීම පිළිබඳ හිටපු ජනාධිපතිතුමාට ස්තූතිවන්ත විය යුතු ය.
සටහන - ජයසිරි අලවත්ත: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.