රාජපක්ෂලා දේශපාලනයට තබා කුමන හෝ තනතුරක් දැරීමට පවා සුදුසු නොවන බවට වූ පුළුල් මතවාදයක් සහ පිළිගැනීමක් සකස් වෙමින් තිබේ. මෙම පෘථුල ප්‍රතික්ෂේප වීම පහසුවෙන් නැති කළ නොහැකිය. සීමාවක් නැති තණ්හාවේ විපාකය මෙයයි. එය එසේම විය යුතුව තිබුණේය. ඔහු රැක ගැනීම සඳහා මේ වන විට පෙරමුණ ගෙන සටන් කරනු ලබන්නේ, දේශපාලනයේ වෙන මඟක් නැති පිරිස මිස, මෙම තත්වය තේරෙන සියලු දෙනාම පාහේ එක්කෝ වෙනස් වී ඇත. නැතහොත් ඔහු සමඟ සිටිමින් ඔහුගේ ගරාවැටීම දෙස නිහඬව බලා සිටිමින් සතුටු වනු ඇත. අසමජ්ජාති පාලකයෙකුට මුහුණ දීමට සිදුවන බැරෑරුම් තත්වය සහ නියත ස්වභාවික නීතිය මෙයයි.
මෙම ක්‍රියාවලියේ බලවත්ම අපහසුතාවයට පත් වන්නේ රාජපක්ෂලාගේ තෙවැනි පරම්පරාවේ අයවලුන්ය. රාජපක්ෂට එරෙහිව මතුවන හූවට හේතු තිබේ. එය හුදෙක් විරෝධතාවය නිසා පමණක් මතුවන්නක් නොව ඊට පැහැදිලි සහ ගැඹුරු යථාර්ථයක් මෙන්ම අවබෝධයක් තිබේ. මෙම හූව සෑම තැනකම පැතිර යා හැකිය.
එසේම මේ වන විට රාජපක්ෂ කුමන හෝ උප්පරවැට්ටියක් ( තමන් අදහන යක්ෂයෙකු විසින් හෝ රටේ සැබෑ ජනමතය වෙනස් කළහොත්) යොදා එළඹෙන ජනාධිපතිවරණය දිනුවද ඔහුට තම බලය ඔහු සිතන පරිදි රැගෙන යා නොහැකිය. රට අරාජික නොකොට පවතින තත්වය මැනවින් තේරුම් ගැනීම සහ ඇත්තට මුහුණදීමට සිදුවීම රටට වඩා ඔහුට වැදගත්ය. නමුත් යන යකා යන්නේ කොරහත් බිඳගෙන බව, සම්ප්‍රදාය විසින් අපට උගන්වා ඇති යථාර්තයයි. මෙය ජනතාව සැබවින්ම තේරුම් ගත යුත්තේය. රාජපක්‍ෂට කළ හැකි උපරිම විනාශයට සූදානම් විය යුතුව ඇත.
රාජපක්ෂ තමන්ගේ පෝස්ටර් වලින් වැසීමට යන්ත දරණ පැහැදිලි යථාර්ථයක් තිබේ. එනම් ඔහු පිළිබඳව අනුන්ට පමණක් නොව ඔහුටද විශ්වාසයක් නැති බවය. ඉතිහාසයේ පළමුවතාවට සිරකරුවන් පවා යොදා තම මැතිවරණ ප්‍රචාරණ කටයුතු කිරීමට තරම් මෙම පාලකයා අසමජ්ජාතී වී ඇත. මොහු සඳහන් කරණ අන්දමේ යහපත් දෙයක් රටට කොට ඇත්තේ නම් මෙතරම් වීරියක් සහ මුදලක් යට කොට මැතිවරණය කිරීමට බලාපොරොත්තු වන්නේ මන්ද? ඔහු මැතිවරණය නිමා කිරීමෙන් පසු ඒ සඳහා මුදල් යොදා ගත්තේ කෙසේදැයි ජනතාවට පැහැදිලි කරන්නේද?
එසේම රාජපක්ෂ යළි යළිත් කියන කතාවක් තිබේ. එනම් තමන් විසින් කිසිඳු ඥාතියෙකු දේශපාලනයට නොගත් බවයි. එය අමුලික බොරුවක් බව සැබෑය. නමුත් ඉන් කාරනා කිහිපයක් මතු කරන්නේය. එනම් ඔහුට ඔහුගේ පුත්‍රයා ගැන පවා වගකීමක් ගැනීමට නොහැකිය. එක්කෝ ඔහුගේ පුත්‍රයා දේශපාලනයට ගෙන ආවේ ඔහු නොව වෙනත් බලවේගයක් විසිනි. නොඑසේනම් ඔහු, ඔහුගේ පුත්‍රයා නොවේ. තම පුත්‍රයා ගැන හෝ වගකීමක් ගැනීමට නොහැකි පියෙකු රටක සැබෑ පාලකයෙකු වන්නේ කෙසේද? රාජපක්ෂ තේරුම් ගැනීමට මෙයම ප්‍රමාණවත්ය.
රාජපක්ෂ ඥාතීන් දේශපාලනයට ගෙන ආවා පමණක් නොව, රටේ රාජ්‍ය අංශය මෙන්ම රාජ්‍ය ධූත මණ්ඩල සේවාවද තමන්ගේ ඥාතීන් මෙන්ම ඔලමොට්ටල හෙන්චයියයන් දමා මුළුමනින්ම අපකීර්තිමත් සංස්ථාවක් බවට පත් කරනු ලැබුවේය. ඔවුහු කරනු ලැබුවේ පරිපාලන හෝ ධූත මණ්ඩල සේවාව නොව තමන්ගේ ශරීර සැප ලබා ගැනීම සහ රාජපක්‍ෂට තමන් සමඟ කටයුතු කරණ අනෙකා ගැන කේලාම් කීමය. ඉතිහාසයේ ප්‍රථම වතාවට අමාත්‍යංශයක ලේකම්වරයෙකු මුළු රටේම ඇමති මණ්ඩලය පමණක් නොව රටේ වැඩිම වැය මුදලක් බුදින්නා බවට පත් වූයේද රාජපක්ෂ පරිපාලනය යටතේය. රටක් පාලනය කිරීම වූ කලී මෙය නොවේ. මෙය රාජපක්ෂලාගේ කලාවය.
මෙහි අවසානයට සිදුවූයේ ශ්‍රී ලංකාව, ඥාතී සංග්‍රහය සඳහා වූ නිදසුනක් බවට ජාත්‍යන්තරව ලේඛණගත වීමය. ලෝකයාම දන්නා මුලික කාරණයක් රාජපක්‍ෂ කෛරාටකයෙකු ලෙස ජනතාව හමුවේ ප්‍රතික්ෂේප කරමින් සිටින්නේය.
වෙන කාටත් වඩා තමන් කළ අප්‍රසන්න දේශපාලනය වඩාත් හොඳින් දන්නේ තමන්ය. රාජපක්‍ෂ මෙය වඩාත් හොඳින් දන්නේය. ජනතාවද මෙය දන්නා බව රාජපක්‍ෂ දන්නේය. නමුත් එය නොපිළිගෙන එය වැසීම සඳහා ගොතන ලද බොරුවකින් තමන්ගේ ඇත්ත වසා ගැනීමට උත්සහ කරන්නේය. මෙය වෙන කිසිවක් නොව, එනම් රටක පාලකයාගේ අසමජ්ජාති කමයි.
මෛත්‍රීපාලගේ මිත්‍රත්වය ගැන කතා කොට එවැනි මිතුරන්ගෙන් ප්‍රවේශම් වීමට උපදෙස් දෙන රාජපක්ෂ පළමුව සිදුකළ යුත්තේ, අසමජ්ජාතී පාලකයෙකු රටක ජනතාවගේ මූලික අයිතීන් මංකොල්ල කෑ විට එම අසමජ්ජාතී පාලකයා පන්නා දමන හැටි ඉගෙන ගැනීමය. සැබවින්ම මෛත්‍රීපාල ඔහුට සිදුකොට ඇත්තේ ද්‍රෝහී කමක් නොව ඔහුට, ඔහු අවබෝධ කරගැනීමට අවස්ථාවක් ලබා දීමය.
රටේ ජනතාව ප්‍රවේශම් විය යුත්තේ මෙවැනි යහපත් මිත්‍රයන්ගෙන් නොව රාජපක්ෂ වැනි අසමජ්ජාතී පාලකයන්ගෙනි. චම්පික රණවක වඩාත් නිවැරදිව ප්‍රකාශ කළ පරිදි, අසමජ්ජාති පාලකයා ඉලක්ක කරන්නේ ආලාපාළු ආර්ථික මොඩලයකි.
ලෝකයෙන් තව තවත් හුදෙකලා වෙමින්, ලෝකයට තවදුරටත් ණයකාර ජාතියක් වෙමින් රාජපක්‍ෂගේ ආසියාවේ ආශ්චර්ය නිර්මාණය කොට ඇත්තේ මේ ඔස්සේය. සැබවින්ම, මෙය රාජපක්‍ෂලා සිහිනෙන්වන් නොසිතූ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතවල සිදු වූ සැබෑ අශිචර්යකි. මෙය, ඔවුහු ආසියාවේ ආශ්චර්ය ලෙස හඳුන්වන්නේ, වෙනත් කිසිඳු ආසියානු රටක මේ ආකාරයෙන් රටක් අයාලයේ යැවීමට කිසිඳු ඉඩක් නොලැබෙන බැවිනි. රාජපක්ෂලාට ලංකාව වූ කලී නියම ඉල්ලමක් බවට පත් වූයේ එලෙසය.
ඊට පිළිතුර ලබාදීමට වැදගත්ම අවස්ථාව ලැබී තිබේ.