ප්‍රායෝගික විචාර කලාවේ අත්පොතක් බඳු “මකරන්ද කාව්‍ය විමංසා”

Friday, 28 November 2014 10:46
ගුරුකුලගතව සිට තමතමන්ගේ පිට කසාගන්නා විචාරකයන්ගේ විචාර කියවා හෙම්බත්ව සිටි මට පසුගිය දිනක කාව්‍ය විචාර පොතක් කියවීමට වාසනාව උදාවිණ. ඒ පොතේ නම “මකරන්ද කාව්‍ය විමංසා”. එහි කර්තෘ ජයසිරි අලවත්ත.
 
පොතට අනුව ඔහුගේ ව්‍යායාමය වී තිබුණේ තිඹිරියාගම බණ්ඩාරගේ සංස්කරණයෙන් මුද්‍රිත නවක කවි කිවිදියන්ගේ කවි එකතුවෙන් කිහිපයක් ගෙන එදෙස විචාරාත්මක දෘෂ්ටියක් හෙළීම ය.
පළමුවෙන් ම ඔහුගේ කෘතිය දෙසට හැරීමට පෙර අවට පාදාගතයුතු බව මාගේ හැඟීමය.
 
කවිය මැරී නැත. එහෙත් ලෙඩ ඇඳේ ය. එසේ කීමට හේතු කාරණා ඕනෑ තරම් ඇත. පාඨකයාගේ කියවීමේ රුචිය හීනවීම, රසවතා මරා ඕලාරිකයා එළියට ගන්නා පාදඩ අර්ථක්‍රමය තුළින් නිපන් අධ්‍යාපන ක්‍රමය, විචාර කලාව දේශපාලනීකරණයට හසුවීම, අසූචි බෝලයක් වටා සීනි තවරා එය රස කෑමක් සේ හුවාදක්වා ලාභදායි රසෝත්පාදන බෝල නොමිලේ ගෙදරටම ලබාදෙන හිඟන වෙළද පරපුරක් බිහිවීම, කවියේ ගැඹුර තුළ කිමිදීමට යාන්ත්‍රීකරණ මිනිසා අකමැතිවීම, කාව්‍ය ගුරුකුල බිහිවීම, හුදෙකලාවේ කලඑළිබසින නවකයන්ගේ හෝ ප්‍රවීණයන්ගේ විශිෂ්ට ගණයේ නිර්මාණ අවරගණයෙහිලා සලකා නිර්දය ලෙස කැහුටුසන්දීම, ගුරුකුලගත ගුරුන් හා සිසුන් තමතමන්ගේ පිටකසා ගන්නා විචාර කලාවන් ව්‍යාප්ත කිරීම, සම්මාන බෙදා ගැනීම වැනි කරුණු සෘජුව හෝ වක්‍රව බලපෑවා ය යන්න මාගේ අදහස වේ.
 
තරඟකාරි ජීවන රටාව තුළ කවි කියවා අනුන් ගොතන ගැට පද ලිහා, ඒ තුළ සඟවා ඇති දෑ සොයා යනවාට වඩා ලැබෙන මද විවේකය තුළ ලාභදායි මෙන්ම ආයාසකර නොවන තාවකාලික මානසික සුවය සපයාගත හැකි මාර්ග මිනිසුනට ඕනෑ තරම් ඇත. රූපපෙට්ටියේ හා ගුවන්විදුලියේ ආගමනය ඊට බෙහෙවින් බලපා ඇත. ඊටත් වඩා වර්තමානය වන විට කිරිකෝඩු වයස්කාරයන් අන්තර්ජාලය මත තප්පලන් ගසාගෙන සිටිති. මුල් යුගයේ රූපවාහිනියක හෝ ගුවන්විදුලියක වැඩසටහන් බොහොමයක් සකස් වුණේ රසිකයාගේ ඉහළ රසඥතාවය වර්ධනය කරනුවස් හා ඒ තුළින් ප්‍රඥාව දැල්වීම සදහාය. එහෙත් වර්තමානය වන විට එය රසඥතාවය පමණක් ම අරමුණුකොටගෙන ලාභ උපයාගත හැකි වැඩසටහන් තුළ ඔතා ඉදිරිපත් කරයි. ඒ තුළින් ලැබෙන රසඥතාවය බාල,හරසුන් හා තුච්ඡ ඒවා ම බව අමුතුවෙන් කිවයුතු නොවේ.එසේනම් එකී වටපිටාවක් තුළ සැරිසරන හා හැඩ ගැසෙන මිනිසුන් කවර ගනයට වැටෙන්නේ ද යන්න සිතා ගැනීම අපහසු නොවේ.
 
ගුවන් විදුලිය සලකා බැලුවහොත් ඒ තුළ දක්නට ලැබෙන්නේ කර්ණකඨෝර, හරසුන් බස ම පිරි, මිනිස් හඬ මරා තාක්ෂණයේ පිහිටෙන් ආළවට්ටම් වූ නපුංසක හඩවල් අවදි කොට උඩු බුරන ගීත ය. එමෙන්ම ශ්‍රාවකයිනට සල්ලි බෙදා බලහත්කාරයෙන් අස්සවන වැඩසටහන් ය. ඊටම සරිලනසේ ඊයේ පෙරේදා ඇටෙන් පොත්තෙන් එළියට සපැමිණි ගිරාපෝතකයෝ යොදාගෙන වැඩසටන් මෙහෙයවති. ඔවුන්ගේ වාග්විලාසය කුමන භාෂාවකට අයත් ද යන්න වෙනම ම අධ්‍යනය කළයුතු ව ඇත. රූපවාහිණිය ද එසේ ම ය. සියලු නාලිකා හරසුන් ටෙලිනාට්‍ය රැල්ලකින් පිරී ඇත. ඒවා තුළ සිතන්නට දෙයක් නොමැත. බුද්ධිකලම්ඹන කාරකයක අංශු මාත්‍රයක් හෝ ඒවා තුළ අඩංගු නැත.
 
එහෙත් අබිං කෑ වුන්ට මෙන් ඒවා අත්හල නොහැකි වී ද ඇත. තව ද අඩ නිරුවත් කොල්ලෝ කෙල්ලෝ යොදාගෙන නානප්‍රකාර වැඩසටන් ආලින්දයට ගෙන එති. කියවීම පසෙකලා නව යොවුනන් ඒවා නරඹති. ඔවුහූ ඒවාට ආකර්ෂණය වෙති. ඒ තුළින් ඔවුන්ගේ මනසට ඇතුළුවන සාධනීය දෙයක් නොමැතිකම නිසා සමාජ සංසිද්ධියකට ඔවුහු සංවේදි නොවීමේ සම්භාවිතාව ඉහළ ගොස් ඇත. එබැවින් කියවීම තුළින් සාරගර්භ පිරි සමාජයක් වෙත ඉදිවන පාලම කඩා වැටීමට ආසන්න වී ඇති බව මාඟේ හැඟීමය. යම් හෙයකින් එකී පාළම කඩාගෙන වැටුණහොත් අනාගතයේදී භුක්ති විදීමට සිදුවන ප්‍රතිඵල සුමට නොවනු ඇත.
 
සෑම පුවත්පතකම පාහේ සතියකට වරක් හෝ පලවන කවිපිටුවක් ඇත. ඊට පෙම්බැදි පිරිසක් සිටිති. එමෙන්ම රාජ්‍ය සම්මාන උළෙලවල් හෝ වෙනත් සාහිත්‍ය උළෙලවල් මඟින් කවිපොත් සදහා සම්මාන පුදති. වසරකට සැලකිය යුතු ප්‍රමාණයක කවිපොත් මුද්‍රණද්වාරයෙන් කලඑළි බසී. එහෙත් කවිපොත් පළකරවා ගැනීම සදහා ප්‍රකාශකයෙක් සොයා ගැනීමට කවියන් දරන වෙහෙස හා කවිපොතක් අළෙවිකර ගැනීමට දරණ වෙහෙස දෙස බලන විට ඇත්තෙන් ම මෙම සමාජය තුළ කවි කියවන පිරිස ප්‍රමාණවත් ද යන ගැටළලුව පැන නඟි. කවි කියවන පිරිස අඩුවීමට බලපාන ප්‍රබල කාරණයක් ලෙස මා දකින්නේ කවිය තුළ ඇති ගැඹුර ය. ඒ ගැඹුර තරණය කොට වටිනා මුතුමැණික් සොයා ගැනීමට බොහෝ පාඨකයෝ නොදනිති. එමෙන්ම මළ මැණික් හෝ වෙනත් දෑ ද සොයා ගැනුමට ඔවුහු නොදනිති.
 
එයට හේතුව කවිය රස විදීමට පරිචයක් ඔවුනට නොමැතිකම ය. එමෙන්ම පවතින ආර්ථික හා සමාජයීය එන්නතින් නිර්වින්දය වූ මිනිසුන්ට කවිය ප්‍රහේළිකාවක් වී ඇත. ඔවුන් සිතන්නේ කලාකෘතියක් වෙනුවෙන් මනස වෙහෙසීම නිෂ්ඵල දෙයක් බව ය. ඒ හෙයින් කවිය පැත්තකට දමා ශ්‍රව්‍ය හෝ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය වෙත හෝ අන්තර්ජාලයේ අතරමං වී ලුහු වින්දන ක්‍රම සොයති. එවැනි පිරිස පිරිස වැඩිවන විට උන්මත්තක ධනවාදින්ගේ අරමුණු සාක්ෂාත් ම වෙයි. එනම් සමාජය ගැන මිනිසුන් දැනුවත් නොවන තරමට හා සංවේදී නොවන තරමට ඔවුනට තම කාරිය හුදෙකලාවේ කරගත හැකිය.
 
ජයසිරි අලවත්තගේ කෘතිය අපට වැදගත් වන්නේ මෙවැනි පසුබිමක ය. මන්ද, කවියක අනුප්‍රාසය, එළිසමය, උපමාලංකාර, රූපකාලංකාර, උත්ප්‍රේක්ෂාලංකාර, ස්වාභාවෝක්ති අලංකාර, අතිශයෝක්ති අලංකාර, ශ්ලේෂාලංකාර, වාච්‍යාර්ථ, ලක්ෂ්‍යාර්ථ, ව්‍යංගාර්ථ ඈ වෙන වෙනම සොයාගෙන තමා අනුදත් සමාජ විවරණය මත පිහිටා, කවියේ අන්තර්ගත වචන පරෙස්සමට එකින් එක ගෙන, විවරණය තුළ වන ස්ථාපිත කොන්දේසි තත්කාලීන සමාජ සන්දර්භය තුළ තබා විවරණය කරන්නේ කෙසේද යන්න ඔහු ප්‍රායෝගිකවම ඉදිරිපත් කරයි. කවිය කියවා රසවිඳීමට නුහුරු යොවුනන්ට, නව කවි කිවිදියන්ට, විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන්ට, පාසල් සිසු සිසුවියන්ට හා වෙනත් ගණයෙහිලා ගැනෙන කවි කියවන පාඨකයන්ට කවියක් රසවිඳින්නේ කෙසේද කියා ඔහු ප්‍රායෝගිකව ම පහදා දේ.
 
 
බොහෝවිට වර්තමාන විචාරකයන් තුළ දක්නට ලැබෙන්නේ අමුඩය ගසා නොපෙන්වා අමුඩය ගසන ආකාරය කියාපෑම ය. එහෙත් ජයසිරි අලවත්ත අමුඩය ගසාගෙන වැඩේට බැස ඇත. මෙය නිර්භීත ක්‍රියාවකි. මන්ද භාගෙට උගත් පණ්ඩිතයන් ඉදිරියේ ඔහුගේ විචාර විදිය ද විවේචනයට ලක්වීමට තිබෙන ඉඩකඩ නැත්තේම නැති නිසා ය. මෙවැනි දෙයක් කිරීමට හැකියාව තිබෙන්නේ තමා තුළ ඇති විචාර ශක්තිය නිරවුල් වූ විචාරකයින්ට පමණි.
 
ඔහුගේ විචාර ශක්තිය මුදාහැර ඇති කවි දෙස බලන විට ඒ බව අපට මොනවට පැහැදිළි වේ. ඔහු මෙහි දී කිසිඳු කවියකුට හෝ කිවිදියකට අසාධාරණයක් සිදුකොට නොමැති බව මාගේ හැඟීම ය. අලුයමේ හල කෙළපිඩක් සේ පුද්ගල නාම ඉවතලන ඔහු කවිය පමණක් කවියාගෙන් වියුක්තකොට ගෙන සාධාරණ මෙන්ම හෘදයාංගම විචාර සපයා ඇති බව මාගේ හැඟීම ය. මේ තුළින් පුවත්පත්වලට කවි ලියන කවි කිවිදියන් තවතවත් දිරිගැන්වෙනු නොඅනුමාන ය. මකරන්දයෙන් නොනැවතී ඔහුගේ විචාර ශක්තිය නවක කිවි කිවිදියන් ගැවසෙන වෙනත් ඉසව් වෙත යොමුවෙනු ඇතැයි අපි බලා සිටිමු.
 
කවියේ ගැඹුර හෝ කවිය යනු ප්‍රහේළිකාවක් සේ සලකා කවි කියවීමට මැළිකම් දක්වන අයට මෙන්ම මෙතෙක් කාලයක් වචන පමණක් කියවා කවි රසවින්ද පාඨකයාගේ ර‍සඥතාවය ඉහළ නංවා ගැනීමට මෙම පොත අත්පොතක් වනු ඇත. යට කී පරිදි නිර්වින්දිත මිනිසුන් ගහන සමාජයකට මෙවන් විචාර කෘති බිහිවීම තුළින් කවි පාඨක සමාජය පුළුල් කර ගැනීමට ආකර්ෂණයක් සපයනු ඇත. අවසන් වශයෙන් ජයසිරි අලවත්ත වැනි ලේඛකයකුගෙන් ප්‍රමාද වී හෝ මෙවන් කෘතියක් බිහිවීම කාලීන අවශ්‍යතාවක් සපුරාලූ බව කිව යුතුය. එමෙන්ම එය පැසසිය යුතුය.
 
 
වීරවිජය ගුණසේකර
 
ලක්බිම
Last modified on Friday, 28 November 2014 10:59

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us