හිංසනය පිටුදකින සත්ව සුබසාධන කෙටුම්පත සම්මත කිරිම පාර්ලිමේන්තුවේ වගකීමයි Featured

Sunday, 16 August 2026 16:37

"අහිංසා පරමෝ ධම්මෝ" (අවිහිංසාව උතුම්ම ධර්මය හෙවත් ප‍්‍රතිපත්තිය යි)

2026 ජුලි මස 17 වන දිනැති 2026 ජුලි මස 20 නිකුත් කල ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික ජනරජයේ ගැසට් පත‍්‍රය මගින් ප‍්‍රකාශයට පත් කරන ලද සත්ව සුබසාධනය සැලසීම සඳහා සහ සත්වයන්ට කෲර ලෙස සැලකීම වැළැක්වීම සඳහා ද; (475 වන අධිකාරය වූ) සතුන්ට කෲර ලෙස සැලකීම වැලැක්වීමේ ආඥා පනත ඉවත් කිරීම සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වු පනත් කෙටුම්පත ශ‍්‍රී ලංකා නීති ඉතිහාසයේ සහ සත්ව අයිතිවාසිකම් සුරැකීමේ අරගලයේ අතිශය තීරණාත්මක සන්ධිස්ථානයකි.

දශක ගණනාවක් තිස්සේ පැවැති, ක‍්‍රියාකාරීත්වයෙන් තොර සහ වර්තමානයට කොහෙත්ම නොගැලපෙන පැරණි ආඥාපනත් වෙනුවට, සතුන්ගේ ආරක්ෂාව, යහපැවැත්ම සහ සානුකම්පිත අයිතීන් සුරකින මෙවැනි පුළුල් නීතිමය රාමුවක් ඉදිරිපත් කිරීම ශිෂ්ටසම්පන්න සමාජයක අනිවාර්ය අවශ්‍යතාවක් සේ සලකනු ලබයි.

වසර සියයකට වැඩි කාලයක් පැවැති 1907 අංක 13 දරන සතුන්ට හිංසා කිරීම වැළැක්වීමේ ආඥාපනත මගින් පැනවූ සුළු දඩ මුදල් සහ ලිහිල් වගන්ති වෙනුවට, මෙම නව පනත් කෙටුම්පත මගින් දැඩි නීතිමය බන්ධන සහ යථාර්ථවාදී දඬුවම් හඳුන්වා දී ඇත.

සතුන්ට වධහිංසා පැමිණවීම, ආහාර පාන සහ නවාතැන් අහිමි කිරීම, අධික ලෙස වැඩ ගැනීම හෝ අතහැර දැමීම වැනි වරදක් සඳහා යමෙකු වරදකරු වුවහොත් රුපියල් 250,000 දක්වා වන දඩයකට සහ වසර දෙකක සිරදඬුවමකට යටත් කිරීමට ප‍්‍රතිපාදන සලසා ඇත.කෲර ලෙස සතුන් මරා දැමීම හෝ ගර්භණී සතුන්ට හානි කිරීම සඳහා රුපියල් 500,000 දක්වා දඩ සහ වසර තුනක සිරදඬුවම් නියම කෙරේ.
සතුන් ප‍්‍රවාහනයේදී සිදුවන අනවශ්‍ය පීඩාවන් වැළැක්වීම මෙන්ම සත්ව අභිජනන මධ්‍යස්ථාන සහ සුරතල් සතුන් අලෙවිසැල් සඳහා බලපත‍්‍ර ක‍්‍රමවේදයක් හඳුන්වා දීමට ද මෙමගින් යෝජිත ය.

ශ‍්‍රී ලාංකේය සංස්කෘතියේ සහ උරුමයේ මහිමය විදහාපාන පෙරහැර මංගල්‍යයන් ඉතා අගනා නමුදු, ඒ වෙනුවෙන් අලි ඇතුන් යොදා ගැනීමේදී සිදුවන ඇතැම් හිංසාකාරී ක‍්‍රියා සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇත.

රත් වූ තාර පාරවල් මත කිලෝමීටර ගණනක් ඇවිදීමට සැලැස්වීම, බරැති යකඩ සංකලනයන් හා හෙණ්ඩුවෙන් ඇනීමෙන් සිදුවන තුවාල, සහ නගරයේ අධික ශබ්ද, ගිනි පන්දම් හා ජනයා මැද දැඩි භීතියට පත් කිරීම සතුන්ට කෙරෙන අමානුෂික හිංසනයකි.සතෙකුගේ ස්වාභාවික පරිසරයෙන් උන් වෙන් කර, දිගු කාලයක් දංවැල්වලින් බඳිමින් තැබීම මගින් උන්ගේ මානසික සෞඛ්්‍යයට සිදුවන හානිය අතිමහත් ය.

සැබෑ සංස්කෘතික අනන්‍යතාව යනු කරුණාව සහ දයාව පදනම් කරගත් එකක් මිස, නොබැඳි තිරිසන් සතුන් දම්වැල්වලින් බඳිමින් උන්ට දැඩි පීඩා පැමිණවීම නොවේ. මෙම පනත් කෙටුම්පත මගින් පෙරහැර නැවැත්වීමක් නොකෙරෙන අතර, සිදුවන්නේ අලි ඇතුන් සම්බන්ධයෙන් වඩාත් නියාමනය වූ සහ සානුකම්පිත පරිසරයක් නිර්මාණය කිරීමයි.

ශ‍්‍රී ලංකාව බෞද්ධ උරුමය අගයන රටක් ලෙස පෙනී සිටින අතර, බුදුදහමේ මූලික පදනම වන්නේ සියලූ සත්වයන් කෙරෙහි මෛත‍්‍රී කිරීම ය. මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා සතර බ‍්‍රහ්ම විහරණ සම්බුද්ධ දේශනයේ ඇතුළත් ය.

”සබ්බ පාණභූතේසු දයාපන්නෝ” බුදුරජාණන් වහන්සේ සියලූ සත්වයන් කෙරෙහි දයාව දැක්වීම උතුම් ගුණයක් ලෙස වදාළහ. ”සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේ භයන්ති මච්චුනෝ” දඬුවමට හැමදෙනම බිය වෙති. මරණයට හැමදෙනම බිය වෙති. තමා උපමා කොට ගෙන සතුන්ට හිංසා නොකළ යුතුය, නොමැරිය යුතුය. බෞද්ධයන්ගේ අත්පොත බඳු ධම්මපදය මේ බව දක්වා තිබේ.

කිසිª ආගමික හෝ සංස්කෘතික වතාවත් වෙනුවෙන් සතුන්ට පීඩා කිරීම බුදුදහම අනුමත කරන්නේ නැත. සතුන් හිංසාවට ලක් කරමින් කරනු ලබන පින්කම් හෝ ආගමික උත්සව බුද්ධ දේශනාවේ හරය ට සම්පූර්ණයෙන්ම පටහැනි ය.

මෙවැනි අතිශය ප‍්‍රගතිශීලී හා මානුෂීය පනත් කෙටුම්පතකට එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ඇතුළු විපක්ෂයේ ඇතැම් දේශපාලන කණ්ඩායම් එරෙහි වීම දැඩි සේ විවේචනයට ලක්විය යුතු ය. තම පක්ෂයේ ලකුණ රැක ගැනීමට හෝ එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන ට දැන් නොහැකි වී තිබේ. එම පක්ෂ ලාංඡනයේ ඇතා ඉන්නේ ද නිදහසේ ය. අලි ඇතුන්ට දම්වැල් දැමීමට අද කථා කරන්නේ එහෙව් පක්ෂයක සභාපතිවරයා ය. සමහරු ඡන්ද බල ප‍්‍රදේශ වලින් පවා පලා ගොසිනි. නමුත් අලි සම්පත රැකගැනීමට ත්, සත්ව හිංසනය පිටු දැකීමට ත්, වත්මන් රජය ගෙන ඇති පියවර තුළ මාලිමා ලකුණ නම් මහජන මතකයේ සිටිනු ඇත.

සුදු පිරුවට ඇඳ මහනුවර ගොස් බෞද්ධයාගේ මුදුන් මල්කඩ වැඩ හිඳින ඉසව්වේ සිට ම අලින් ට හිංසා කර හෝ පෙරහැර යා යුතු බව ඇතැම් දේශපාලන පක්ෂ කියති. හිතේ නැති භක්තියක් ගත පුරා තවරාගෙන මේ අය කරන දේශපාලනය කාටත් පැහැදිලි ය. කෙටුම්පත වත් නොබලා පුජ්‍ය උලපනේ සුමංගල වැනි තෙරවරු මාධ්‍ය ඉදිරියේ දමන සද්ද විහිළු සහගත ය. බුදුන් දෙසා වදාළ අවිහිංසාවාදි ධර්මය රකින්නෝ එසේ නම්, පිරුවට පෙරවු පොලිටික්කන් ගැන කවර කථාද?

මහජනතාවගේ සහ ඇතැම් සාම්ප‍්‍රදායික බලපෑම් කණ්ඩායම්වල ඡන්ද පදනම රැකගැනීමේ පටු අරමුණින්, සත්ව හිංසනය පිටුදැකීමට එරෙහිව ව්‍යාජ මතවාද ගොඩනැගීම අතිශයින්ම කණගාටුදායක ය. සංස්කෘතිය සහ ආගමික උරුමයන් පඩංගුවක් කරගනිමින්, සතුන් විඳින පීඩාවන් සාධාරණීකරණය කිරීමට දැරෙන උත්සාහයන් තුළින් හෙළිවන්නේ එකී දේශපාලන පක්ෂවල පවතින නූතනත්වයට සහ මානුෂීය අගයන්ට එරෙහි පසුගාමී ආකල්පයි. සත්ව අයිතිවාසිකම් සුරකින ගෝලීය ප‍්‍රවණතාවන්ට පිටුපාමින් මෙවැනි පනත් කෙටුම්පතකට විරුද්ධ වීමෙන් රටේ ප‍්‍රතිරූපයට සිදුවන්නේ ද දැඩි හානියකි.

සත්ව සුබසාධන පනත් කෙටුම්පත වහාම පාර්ලිමේන්තුවේදී සම්මත කර නීතියක් බවට පත්කිරීම යුගයේ අනිවාර්ය අවශ්‍යතාවකි. දේශපාලන කුහකත්වයන්, පටු වාසි සහ පසුගාමී මතවාදයන් තකා සත්ව සුබසාධනය පසෙකට තල්ලූ කිරීමට දැරෙන ඕනෑම උත්සාහයක් ශිෂ්ටසම්පන්න සමාජයක් ලෙස එකහෙළා පරාජය කළ යුතු ය. සතුන්ට දක්වන කරුණාව සහ සැලකිල්ල රටක ශිෂ්ටාචාරයේ මිනුම්දණ්ඩයි. ජනපති අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේග රජය පෙර තිබු කිසිඳු ආණ්ඩුවකට නොහැකි වු ප‍්‍රබල තීරණයක් ගෙන තිබේ. එයට සැමගේ ප‍්‍රශංසාව නිතැතින් හිමි විය යුතු වෙයි.
සුපේෂල ශික්ෂාකාමී පැවිදි මෙන්ම ගිහි දෙපාර්ශවයම සත්ව සුබ සාධන පනතට ගෙනු එනු ලබන නව සංශෝධන අගය කරනු පෙනේ. එය බොහෝ විට ප‍්‍රසිද්ධියේ නොකොට සිටිනුයේ දේශපාලන පක්ෂ වලට ආවඩන පැවිදි ගිහි දෙපාර්ශවයේම කොටස් වලට නිරාවරණය වීමට ඇති අකමැත්ත හේතුවෙනි. ශ‍්‍රී දළදා මාලිගයේ දියවඩන නිළමේ පෙරහැරේ යන අලි ඇත්තු රැස් කරන කාර්යයයේ දිගටම වෙලී සිටී.එම ඇත් පන්තියේ සිදු වු කෲර වධ හා හිංසන ක‍්‍රියා මොනවාදැයි ඉතිහාසය සාක්ෂි සපයයි. හිංසනයෙන් තොර වී කුසල් රැස් කිරීමට දැන්වත් හේ කල්පනා කල යුතු ය.

යමෙකු කිසිඳු සත්වයෙකුට පීඩා නොකරයි ද හේ "ආර්ය" (ශ්‍රේෂ්ඨ)යෙකි. කෙනෙකු ප‍්‍රාණීන් නසයි ද පීඩා කරයි ද හෙතෙම එසේ නොවේ.

”න තේන අරියෝ හෝති – යේන පාණානි හිංසති”
අහිංසා සබ්බ පාණානං - ”අරියෝ”ති පවුව්චති”
(ධම්ම පදය - තාවල වග්ගය)

බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ අවිහිංසා දහමකි. සත්ව සුබසාධන පනත් කෙටුම්පත හරහා සිදු වන්නේ ද සත්ව හිංසනය අවම කිරීම ය. එසේ නම් ඇතැමුන් පවසන පරිදි එය බුදු දහමට හෝ බෞද්ධ සංස්කෘතිය ට අගෞරවයක් වන්නේ කෙසේ ද? බලය ලබා ගැනීම වෙනුවෙන් ධර්මය හෝ සංස්කෘතිය ඈඳා නොගන්නේ නම් යහපත් වන බව ඒ අයට වටහා දීම ද නුවණට හුරු ය.

ishini

 

 

 

 

 

 

 

සටහන:
ඉෂිනි වික‍්‍රමසිංහ
හිටපු අධ්‍යක්ෂිකා - ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව
2026.08.09

Leave a comment

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us