බස් අනතුරු සහ ක්ලීන් ශ්‍රී ලංකා අතර සම්බන්ධයක් නැත

Monday, 13 January 2025 08:50

2024 වසරේ බස් අනතුරුවලින් පමණක් මගීන් සහ පදිකයන් 198ක් මරණයට පත් වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වී ඇති බව වාර්තා වී තිබිණි.

ඒ අනුව මගී ප්‍රවාහන බස් අනතුරු සංඛ්‍යාව 2005කි. ලංගම බස් අනතුරුවලින් පුද්ගලයන් 50ක් ද පෞද්ගලික බස් අනතුරුවලින් 148ක් ද ජීවිතක්ෂයට පත් වී ඇත.
2024 වසරේ ජනවාරි සිට නොවැම්බර් 30 දක්වා රිය අනතුරු 24,589ක් සිදු වී ඇති අතර, මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 2359කි.

මේ දත්ත අනුව සමස්ත අනතුරු ප්‍රමාණයෙන් බස් රථ ඊට දායක වී ඇති ප්‍රමාණය සියයට 8 ක් පමණ වේ. මේ අනුව මාර්ග අනතුරු වලට වගකිව යුත්තේ බස් රථ රියැදුරන්ය කියමින් බස් රථ ක්ලීන් කිරීම ගැන පමණක් සිතා කටයුතු කිරීම ප්‍රමාණවත් නැත.

කෙසේ නමුත් මේ රටේ මාර්ග අනතුරු ගැන දැඩි අවධානයක් මෙරට පාලකයන්ට වඩා ජාත්‍යන්තර සංවිධාන විසින් සිදු කර ඇත. ඒ මන්ද යත් මෙරට අනතුරු ප්‍රමාණය ලොකයේ බොහෝ රටවලට වඩා වැඩි අගයක් ගන්නා බැවිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය 2018 කළ සමීක්ෂණයක් අනුව ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත වාර්ෂික මාර්ග අනතුරු ප්‍රමාණය පුද්ගලයන් ලක්ෂයකට මරණ 17.4 ක ඉහළ අගයක් ගෙන තිබිණි. එය ඉහළ ආදායම් ලබන රටවල සාමාන්‍ය අනුපාතය මෙන් දෙගුණයක් වන අතර ලෝකයේ හොඳම ක්‍රියාකාරී රටවල අනුපාතය මෙන් පස් ගුණයකි.
එමෙන්ම වාර්තා වූ මරණ අනුපාතය දකුණු ආසියානු කලාපයේ නරකම වාර්තාවය.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලංකාවේ මාර්ග ආරක්ෂාව දුර්වල වීමට හේතු වී ඇත්තේ ඒ වැලැක්වීම වෙනුවෙන් රජය සිදු කෙරෙන අඩු අවදානය සහ අඩු ආයෝජනයය.

2030 වසර වන විට මෙරට මාර්ග අනතුරු සංඛ්‍යාව 50%කින් අඩුකිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2ක පමණ අමතර ආයෝජනයක් අවශ්‍ය වනු ඇතැයි ද ගණන් බලා ඇත.

නමුත් මෙම ආයෝජනයන් ඵලදායක වීමට නම් ශ්‍රී ලංකා රජය තුල දිගුකාලීන කැපවීමක් සහ තිරසර දැක්මක් තිබීම අවශ්‍ය බවද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර ඇත.

මේ වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු වැඩ සටහනක්ද ඉදිරිපත් කර ඇති අතර වසර කිහිපයකට පෙර රජය යම් පමණකට ක්‍රියාත්මක වී ඇති නමුත් ඒ කෙරෙහි අඛන්ඩ කැපකිරීමක් පෙන්වා නැත.

ලංකාවේ මාර්ග අනතුරු සංඛ්‍යාව සහ තුවාල අනුපා අධික වීම පසුගිය දශකය තුල ආර්ථික වර්ධනය අඩපණ කිරීමට සහ දරිද්‍රතාවය වැඩි කිරීමට බලපෑමක් කර ඇත.
මාර්ග අනතුරු වලට ගොදුරු වූවන් ගෙන් තුනෙන් දෙකකට වැඩි සංඛ්‍යාවක් වයස අවුරුදු 15-64 අතර වූ ඵලදායී සහ ක්‍රියාශීලී වැඩිහිටියන්ය..

අනතුරුවලට ගොදුරු වූවන්ගෙන් 90% වඩා වැඩි සංඛ්‍යාවක් පදිකයින්, පාපැදි කරුවන් සහ යතුරුපැදි කරුවන් වන අතර මෙම පිරිස් බහුතරය අඩු ආදායම් ලාභීන් වේ.
අනතුරු සඳහා ප්‍රධාන හේතු ලෙස වේගය, බීමත්ව රිය පැදවීම, තෙහෙට්ටුව, ටයර් පුපුරා යාම වැනි වාහන වල දුර්වලතා , දුම්රිය හරස් මාර්ගවල අනාරක්ෂිත බව සහ සතුන් මාර්ග හරස් කිරීම ආදිය බව එම සාක්ෂි පෙන්වා දෙයි.

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ථාව අනුව පෙන්වා දෙන්නේ වාහන සංඛ්‍යාව වැඩිවීම, මාර්ග ජාලයේ දුර්වල නඩත්තුව, මාර්ගවල නුසුදුසු පුළුල් කිරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී අඩු පරීක්ෂාව, මාර්ග රථවාහන වැරදි සඳහා දඬුවම් නියම කිරීමේදී බලධාරීන්ගේ අකාර්යක්ෂමතාව සහ පොදු ප්‍රවාහන පද්ධතියේ අකාර්යක්ෂමතාව යන කරුණු රට තුළ මාර්ග රථවාහන තුවාල සහ ඉහළ මරණ සංඛ්‍යාවට හේතු වී ඇති බවයි.

කලාපයේ වැඩිම වාහන ඝනත්වය ඇති රට ලෙස වාහන හිමිකාරිත්වය පසුගිය දශකය තුළ දෙගුණයකින් පමණ ශීඝ‍්‍ර වර්ධනය වීමත් ගමනාගමනයේ ඇති විවිධත්වය නිසාත් මෙම තත්වය තවදුරටත් වැඩි වීමේ අවදානම ඇත.

මේ අනුව බස් රථ ත්‍රී රෝද රථ වල අතිරේක උපාංග හා සැරසිලි මාර්ග අනතුරු සඳහා බරපතල හේතුවක් බව හුවා දැක්වීම ගැටලුවට ඇත්ත විසඳුමක් නොවේ..

කෙසේ නමුත් රිය අනතුරු රටේ සෞඛ්‍යයට, යහපැවැත්මට, මානව ප‍්‍රාග්ධනයට සහ ආර්ථික වර්ධනයට තදින්ම බලපාන්නකි ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇති පරිදි මෙරට මාර්ග අනතුරු නිසා දළ දේශීය නිෂ්පාදිතයෙන් 3%-5% ත් අතර ප්‍රමාණයක් අහිමිවීමක් සිදුවේ.

මාර්ග අනතුරු වලක්වා ගැනීම වෙනුවෙන් රජය අවංකව කල්පනා කරන්නේ නම් වඩාත් ඵලදායක, කාර්යක්‍ෂම සහ පරිමාණාත්මක මුලපිරීමක් කළ යුතු අතර, මේ වන විටත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කර තිබෙන වැඩ සටහන අනුව 2030 වසර වන විට අනතුරුවලින් අඩක් හෝ අඩු කර ගැනීම සඳහා එම ක්‍රියාමාර්ග යථාර්ථයක් කර ගැනීමට හෝ අඛන්ඩ කැපකිරීමක් කළ යුතුය..
රට හදනවා නම් විය යුතු දේවල් මේවාය.

- සුජය

Leave a comment

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us