ඡන්ද ගන්න අනුරලා මෙච්චර බොරු කියන්නේ ඇයි ?   Featured

Thursday, 22 August 2024 23:42

ලංකාවේ දේශපාලනය තුළ පට්ටපල් බොරු කිසි දෙගිඩියාවක් නැතුව ඇරලා දාන චරිත අතර අනුර කුමාර එහි කප් එක ගත්තෙකි. කලක් බොනිකරතරුව ලෙස ලේබලය ගහගෙන හිටියේ ද අනුරය. කට උල් කර බොරු කියන හැටි ප්‍රසිද්ධ දර්ශනයකි.

ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස මේ කාලය තුළත් අනුරලා නිරන්තරයෙන් බොරු කියමින් සිටී. විශේෂයෙන්ම ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති, වැඩසටහන් ගැන අති විශාල බොරු තොගයක් කියා ඇත. තමන්ගෙ ආර්ථික ප්‍රතිපත්තිය යනුවෙන් 2019 දී ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශන මාලාවේ තිබුණු බොරු හෙළිදරව් වීමෙන් පසුව අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළිදක්වන බව කීවේ මීට මාස ගනනාවකට පමණ පෙරය. මේ වන තුරුත් අලුත් ප්‍රතිපත්තිය නැති නමුත් ඔවුන්ගේ නලින්ද ජයතිස්ස කිවේ අපේ නායකයන් කියන දේ තමයි ප්‍රතිපත්තිය වෙන්නේ යනුවෙනි.

ජවිපෙ එක එක නායකයන් විටින් විට කටට එන දේ කියමින් සිටී. ඊට පහුවදාට අනුරට සිදු වුණේ ඒකෙන් අදහස් කළේ ඒක නෙවෙයි මේකය යනුවෙන් අනුරට තේරෙන විදිහට දේවල් නිවැරදි කරන්නටය. එහෙත් අනුර කියන බොරු තවම එම පක්ෂයේ කිසිවකුත් නිවැරදි කර නැත.

ඊයේ පෙරේදා අනුරගේ කටින්ම ඇද බාපු මුසාවාද තොගයක් ඇත. දුප්පතුන්ට සහනාධාර වශයෙන් රු 10,000 ත් 20,000 ත් අතර මුදලක් දෙනවා කිවේය. නමුත් ඒ ලබා දෙන දුප්පතුන් ගාන නොකීමට පරිස්සම් විය. ක්‍රමවේදය ගැන නොකිව්වේය. දැනට රජය ලක්ෂ 18 කට ආසන්න පවුල් වලට සහනාධාර ලබා දෙමින් තිබේ. ඒ අතර වඩාත්ම අපහසුකම් වලින් පෙළෙන 8 ලක්ෂයකට රු 15,000 බැගින් ලබා දෙයි. තව 4 ලක්ෂයකට රු 8500 බැගින් ලබා දෙයි. දුප්පතුන් නොව එහෙත් පසුගිය කාලයේ කොවිඩ වසංගතය හා ආර්ථික අර්බුදය නිසා තාවකාලිකව යම් අවදානමකට ලක් වූ 8 ලක්ෂයකටත් රු 2500 සිට 5000 දක්වා ආධාරයක් ලබා දෙයි.

ආබාධිත වකුගඩු රෝගී ආදී පිරිස 5 ලක්ෂයකට වැඩි පිරිසකටත් ආධාරයක් ලබා දෙයි. නමුත් අනුර කතා කරන්නේ මේ රජය දුප්පතුන් කිසිවකුට ආධාර ලබා දෙන බව නොදන්නවා සේය. කො‌හොම නමුත් අනුර මේ දෙනවා කියන ගාන මේ පිරිසටම ලැබුණත් ඒ සඳහා තවත් බිලියන 300 ක පමණ මුදලක් අවශ්‍යය. ඒ මුදල සොයා ගන්නා හැටි කීවේ නැත. දැනට රජය බිලියන 200 ක් පමණ මේ සඳහා වැය කරයි.

මේ අතර අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 6 කුත් සෞඛ්‍යට සියයට 5 කුත් වෙන් කරන බව කීවේය. මිට පෙර අවස්ථාවක පර්යේෂණ සහ සංවර්ධන වෙනුවෙන් සියයට 2ක් වෙන් කරන බවත් කිවේය.

මෙතනම ද.දේ.නි. යෙන් සියයට 13 කි. ලංකාවේ වර්තාමන බදු ආදායමත් සියයට 11 ඉක්මවා නැත. රජයේ ආදායම් වල පදනම් වන්නෙ මෙම බදු ආදායමය. බදු නොවන ආදායම් යනු නොගිනිය හැකි තරම් කුඩා ප්‍රමාණයකි.

රටක දළ දේශීය නිශ්පාදනය කියන්නෙ රජයෙ ආදායම නොවේ. ඇතැම් විට මාලිමා නායකයන් සහ මාලිමා පාක්ෂිකයන් එසේ සිතා සිටිනවා ද සැකයකුත් ඇති වන්නේ මේ කියන ගොබ්බ කතා නිසාය.

ලංකාවේ රාජ්‍ය ආදායම ද.දේ.නි. යෙන් 11 ක් පමණ වන විට, රාජ්‍ය වියදම සියයට 20 ක් පමණ වී ඇත. එමහිඟ පරතරය සියයට 9 කට ආසන්නය. එනම් මුදල්මය වශයෙන් රුපියල් බිලියන 2500 කට ආසන්න මුදලකි. රජය මේ හිඟය පියවා ගන්නේ ණය ගැනීමෙනි.

දැනට අධ්‍යාපනය හා සෞඛ්‍යයට පමණක් ද.දේ.නි.යෙන් සියයට 3ක් පමණ වැය කෙරේ. ඒ අනුව අනුරලා කියන සියයට 13 සම්පූර්ණ වෙන්න තවත් සියයට 10 ක ආදායමක් රජය සොයාගත යුතුය. එය රුපියල් බිලියන 3000 ක් පමණ මුදලකි.

එනම් දැනට පවතින රුපියල් බිලියන 3200 ක පමණ සමස්ත බදු ආදායමට තවත් රු. බි. 3000 ක් එකතු කර ගත යුතුය. මෙය සිදු කළ හැක්කේ බදු ආදායම් දෙගුණයකින් පමණ වැඩි කර ගැනීමෙනි. ඒ හැර ණය ගැනීම හෝ මුදල් අච්චු ගැසීම දැන් හිතු මනාපේ සිදු කිරීමට නම් මුල්‍ය අරමුදලේ ගිවිසුමෙන් ඉවත් වී දැනට රාජ්‍ය මුදල් කළමනාකරණය සම්බන්ධයෙන් ඇති අණ පනත් සියල්ලත් වෙනස් කළ යුතුය.

එ් අතරම අනුරලා බදු අඩු කිරීම ගැනද කතා කරයි. වැට් බදු ඉවත් කිරීම, ආදායම් බදු ලිහිල් කිරීම, උපයන විට බදු ආදායම් සීමාව ලක්ෂයේ සිට ලක්ෂ 2 දක්වා වැඩි කරන්න සහ තවත් වක්‍ර බදු ආදිය අඩු කිරීම ගැනත් පොරොන්දු කප්පරක් ලබා දී ඇත.

පසුගිය ගෝඨා පාලනය රට බංකොලොත් කළේ වැට් බදු ආදායම සියයට 15 සිට 8 දක්වා අඩු කිරීමත්, උපයන විට ආදායම් බදු සීමාව දැන් අනුර කියන ලෙසම වැඩි කිරීමත් නිසාය. එදා ගෝඨාට වියදම් කරන්න යහපාලන යුගයේ දී එකතු කළ ආදායම් හා ආදායම් මාර්ග තිබිණි. විදෙස් සංචිත තිබිණි. එමෙන්ම හිතේ හැටියට මුදල් අච්චු ගැසීමේ හා ණය ගැනීමේ හැකියාවද තිබිණි. එහෙත් අද එහෙම තත්තවයක් නැත. යන්තම් ගැට ගසාගෙන එදා වේල ශේප් කරගෙන, රට ස්ථාවර කර ගැනීමේ දුෂ්කර උත්සාහයක් ගනිමින් තිබෙන යුගයකි. මේ අනුව අනුව අනුරලා ගෝඨා කළ මෝඩ සෙල්ලම් කරන්න ගියොතින්, ගෝඨා පාලනය අවුරුදු 2ක් කොහොම හරි ගියද අනුර පාලනයට මාස 6 කවත් අල්ලාගෙන සිටීමට නොහැකි වෙනු ඇත.

එය සහතිකය. රටේ පාලනය අවුලක් නොවී පවත්වාගෙන යන්නට නම් අද රනිල් වික්‍රමසිංහ පවත්වාගෙන යන ක්‍රම වේදයන් ප්‍රතිපත්ති අනුව තව දුරටත් රට පැවැතිය යුතුය. තවත් වසර 5 ක් වත් ඒ ගමන නිවැරදි මාර්ගයේ ගෙන යා යුතුය.

එ් හැර අන් විකල්ප නැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ ගිවිසුම වෙනස් කරන බව ද අනුර කියයි. එසේ කියන්නේ ඒ අනුව සිදුකරමින් පවතින ආර්ථික ප්‍රතිසංස්කරණ අහෝසි කරන බවය. එය අනුරට කළ හැකිය. නමුත් එ් සැනිම්ම එම ගීවිසුම අවසන් වේ. මොකද පළමු ගැටලුව අනුරලා යෝජනා කරන සහනාධාර ආර්ථිකය පවත්වා ගෙන යාමට ඒ සඳහා රාජ්‍ය ආදායම් ලැබීම ගැන සාධාරණ විශ්වාසවන්ත යෝජනාවක් තිබිය යුතු නිසාය. එහෙත් අනුරල සතුව එවැනි යෝජනා නැත. බදු පැනවීමකින් තොරව රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ ක්‍රමය කූමක්ද යන්න අනුරලා කියන්නෙ නැත.

ඛනිජ තෙල් සම්පත් බහුලව ඇති රටවල නම් බදු නැති තරම්ය. එම තෙල් ව්‍යාපාරය රජය මඟින් සිදු කර රාජ්‍ය ආදායම් සොයා ගනී. නමුත් මෙරටට එලෙස විකිණීමට හෝ දේවල් නැත.

කන්තලේ උක් වවා සීනි වලින් ආර්ථිකය ගොඩ දමන්න, පුල්මුඩෙ ඛනිජ වැලි වලින් ආර්ථික ගොඩ දමන්න නොහැකිය. ඒවා ලස්සන කතා වුවද එසේ සිදු කිරීම ප්‍රායෝගික හැකියාවක් කිසිසේත්ම නැත. රටක ආර්ථිකයක් දීර්ග කාලීනව නඩත්තු කරන්න තරම් මහා ස්වභාවික සම්පත් ප්‍රමාණයක් මෙරට නැතිවා සේම රජයට තවත් මහාපරිමාණ කර්මාන්ත නඩත්තු සිදු කිරීමත් කළ නොහැකිය. හැමදාමත් ‌මේවා අසාර්ථක විය. රටට ගැලපෙන්නෙත් නැත. මේ කතන්දර තාවකාලිකව චූන් වෙන්න ඇතිය. මාධ්‍ය සන්දර්ශන වලට ප්‍රමාණවත්ය. එහෙත් මහා පරිමාණ රාජ්‍ය කර්මාන්ත ශාලා 100 ක් ආරම්භ කරන බවත් අනුරලා කියා තිබේ.

මේ අනුව අනුරලා අදත් රට හදන හැටි ගැන නිරන්තරයෙන්ම කියන්නෙ පට්ටපල් බොරුය. කිසිදා සාර්ථක කර ගත නොහැකි දේය. ඔවුන්ගේ යෝජනාවෙන් යෝජනාවට ගොතා ඇති බොරු මෙලෙස හෙළිදරව් කළ හැකිය.

එමෙන්ම අනුර පමණක් නොව සජිත් කරන්නෙත් මෙයමය. නමුත් මෙතැන වෙනසක් ඇත. සජිත්ට තමන් උදේ කියන බොරුව හවස් වන විට අමතක වී වෙන බොරුවක් කියයි. මේ නිසා සජිත් අද තනිකර විහිළු කාරයෙකි. ඒ නිසා සජිත් දෙන පොරොන්දු මිනිස්සු ගන්න ගන්නේ නැත. නමුත් අනුරලා එකම බොරුව දීර්ග කාලයක් නඩත්තු කරගෙන යයි. පසුව තමන් එසේ කීවේ නැතැයි කියමින් අලුත් බොරුවකට මාරු වෙයි. එය භයානක තත්වයකි. මන්ද ඒ වන විට වැඩි පිරිසක් මේවාට ගොදුරු අමාරුවේ වැටී ඇති නිසාය.

කොහොම නමුත් අනුරලා මේ ඔක්කොම බොරු කරන්නේ බලය අත්පත් කරගැනීමේ නොනිත් ආසාව සන්සිදවා ගැනීම වෙනුවෙනි. වෙන බලාපොරොත්තු ඔවුන්ට නැත. එ් හැර ඔවුන් බලයට පත් වීමෙන් සිදුවන එකම දේ රට යළි කඩා වැටීම පමණි.

වර්තමාන අනුර පාක්ෂිකයන්ගේ වුවමණාවද තමන්ගේ හිස් බව, නොහැකියාව, පරාජිත බව වසා ගැනීම වෙනුවෙන් ජයග්‍රහණයක් වාර්තා කරගැනීම පමණකි. එයින් ඔවුන්ට තාවකාලික සැනසීමක් ලැබිය හැකිය. අනුර ඊට අවස්ථාව සලසා දී ඇත. එදා ගෝඨාගේ ජයග්‍රහණයෙන් උදම් වී තාප්ප වල චිත්‍ර ඇන්දේ, පාරවල් වල නම් වෙනස් කළේ ද මෙවැනි පිරිස්ය. අද අනුර වටා ‍රැස් කකා සිටින්නේ මේ පිරිසෙන් කොටසකි. මාලිමාවට ජය වේවා ගගා වැළලෙන්න හදන්නේ මොවුන්ය. මෙය බරපතල මානසික දුර්වල කමකි. අපේක්ෂා භංගත්වයට පත් වූවන්ට වන මානසික ව්‍යාධියකි.

මේ ජෙප්පන් නොවන අලුත් අනුර පාක්ෂිකයන් ගැන වෙන කිය‍න්න දෙයක් නැත. අනුරලා මේ ලෙඩ්ඩුන්ගේ ලෙඩ තමන්ගේ පටු දේශපාලනික ආසාව සන්තර්පණය කර ගැනීම වෙනුවෙන් මේ මොහොතේ පාවිච්චි කරමින් තිබේ. නැව් ගනනින් බොරු සමාජ ගත කරන්නේ ඒ වුවමණාවටය. කිසිදු තාර්කික බවක්, විමර්ශනශීලි භාවයක් හෝ දේශපාලනය ආර්ථිකය ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා මේ පිරිස් නිකම් රැල්ලේ ගසාගෙන යන මැරුණු මාළුන් මෙනි. මේ අයට බයියන් යැයි නම් පට බැඳුනෙත් ඒ නිසාය.

කොහොම නමුත් අනුර පාලනයෙන් රට නැවත බංකොලොත් කරන විට තමන්ව නැවත වතාවක් බරපතල රැවැටීමකට ලක්කර ඇති බව මේ අයට අවබෝධ විය හැකි හැකි නමුදු, මේ මොහොතේ සිදු වන්නට නියමිතව ඇත්තේ එය යැයි කියා දුන්නාට මේ අයට වටහා ගැනීමේ සිහි බුද්ධියක් ද නැත. කුණු හරුපෙන් බැන වැඳීම හෝ මොනවා වුණත් අපි මාලිමාවට කියනවා හැර වෙන උත්තර ද නැත. නමුත් තමන් නැවත බරපතල රැවැටීමකට ගොදුරු වූ බව දැන ගත් විගස මුලින්ම පාරට බහින්නෙත් මේ අයමය. එදාට මේ පිරිස නැවත වතාවක් තවත් හොඳම බොරු කාරයකු වීරයා කරගෙන දඟලනුද ඇත. එහෙමත් නැතිනම් මේ තවත් අය දැඩි විශාදයට ගොදුරුව ජීවිත පවා විනාශ කර ගන්නා තැනට පත් වීමද විය හැකිය. මෙවර ඇති භයානක කම එයය.

කොහොම හරි මේ රටේ දේශපාලනය මෙවැනි පිස්සු මල විකාර වලින් ගහනය. හැමදාමත් සිදු වුණේ මෙවැනි දෑය. ඉතිහාසය නැවත නැවතත් එකම විදිහට චක්‍රයක ගමන් කරනවා කියන්නේ මේ නිසාය. එක් වරක් ප්‍රහසනයකින් වූ දෙය නැවත වරක ඛේදවාචකයකින් අවසන් වෙනවා කියන්නෙත් මේ සිද්ධි දාමයය.

මේ තත්වයන් එහෙම ලෙහෙසියෙන් වෙනස් කළ හැකි දේ නොවේ. ඒකට රටක බුද්ධිමත් ජන ප්‍රමාණය වැඩි විය යුතුය. තාර්කිකව සිතන පතන මිනිසුන් වැඩි විය යුතුය. නමුත් අනුරලාගේ දේශපාලනයෙන් කරන්නේ මිනිස්සු මුලා කර තව තවත් මෝඩයන් බවට පත් කිරීමය. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න බැරි මිනිස්සු කෙළවාගැනීමෙන් හෝ පාඩම් ඉගෙන ගත්තත් අවාසනාවකට වරක් දෙවරක් කෙළවා ගත්තත් එයින් පාඩම ඉගෙන නොගන්නෝත් සිටිති. අද අනුර වටා කැරකි කැරකි සිටින්නේ එහෙම මිනිස්සුන්ය. ඔවුන්ට අනුකම්පා කරනවා විනා වෙන දෙන්න බෙහෙතකුත් නැත.

 

 

-sj

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us