ආණ්ඩුව, පොර කුකුලන් මෙන් කුලල් කා ගන්නා විපක්ෂයේ සාමාජිකයින් දැක තම අරමුණ කරා ගමන් කිරීමට අවශ්‍ය සමාජීය අඩිතාලම තනා ගනිමින් සිටියි. නීතිමය කාරණා අභිමුඛව එල්ල වී ඇති අභියෝගය හැරෙන්නේට ජනාධිපති රාජපක්ෂට තම අරමුණ කරා යෑම සඳහා පහසු මාවතක් මේවන විටත් සකස් වී ඇත. නමුත් නීතිමය රාමුව සකස්වී ඇත්තේ මේ දක්වා අප විසින් සම්මත කරගෙන ඇති නීති වලට අනුව පමණි. එය වෙනස් කිරීම බලය සහ හැකියාව ඔහුට තිබේ.
මුලාව විසින් ඇත්ත පාලනය කරනු ලබයි. රාජපක්ෂ තම කෛරාටක දේශපාලනය විසින් මුළු රටම ඒ තත්වයට ඇද දමා තිබේ. මින් ගොඩ ඒම සුළුපටු කාරණයක් නොවන නමුත් ඉන් කෙසේ හෝ ගොඩ ඒම ශ්‍රී ලංකාව රටක් ලෙස තම අභිමානය යළි අත්පත් කර ගැනීමක් වේ. මේ වන විට ලංකාව යැයි ඇත්තේ රටක් නොව පවුලක් විසින් තම බලය ව්‍යාප්ත කිරීම සඳහා නඩත්තු කරන සමාගමකි.
දේශපාලනය ව්‍යකූලත්වයේ භාවිතයක් ලෙස පාවිච්චි කිරීමේ ප්‍රතිඵලය මෙයයි. අප විසින් තනා ඇති මෙම බරපතළ ව්‍යාකූල සමාජ ක්‍රමය වෙනස් කිරීම සඳහා පළමුව අප වෙලී සිටින මුලාවෙන් නිදහස් විය යුත්තේය.
මුළු විෂවයම මුලාවක පැටලී සිටින විට ඇත්ත කීම වූ කලී විප්ලවීය අදහසකි, යනුවෙන් දැක්වූ ඔවේලියානු අදහස සෑම කලකටම උචිත දෙයක් බවට පත් වී ඇත්තේ අප වෙලී සිටින මුලාවේ පරිමාණය ගැන අපටවත් හැඟීමක් හෝ දැනීමක් නොමැති නිසාය. මෙම මුලාවේ ඇති වඩාත් ඛේදජනකම තත්වය වන්නේ එය එක්තරා සීමාවක් ඉක්ම වූ පසු ඊට ගොදුරු වූ පිරිස ඊට කැමති වීමයි. එය ඇත්ත ලෙස සෑම විටම සිතීමට යොමු වීමයි. ඒ අනුව කටයුතු කිරීමට සහ අනෙකාව තම මුලාව මඟින් රැවටීමට යොමු වීමයි. මන්ද තමන් වසින් ඇත්ත ලෙස පිළිගන්නා මුලාව මඟින් අනෙකාව රැවටීමට හැකි කෞශල්‍ය මත ඔහුගේ හෝ ඇයගේ පැවැත්ම තීරණය වේ.
මෙම මුලාව නඩත්තු කිරීම සඳහා රටේ ධනයෙන් වැඩි කොටසක් නාස්ති කරනු ලබයි. අද දින ( සැප්තැම්බර් 2 ) ආණ්ඩුව විසින් ප්‍රසිද්ධ කරන දිනමිණ පුවත්පත රාජපක්ෂගේ නායකත්වය ගැන කියා ඇති අමුලික බොරුවෙන් එය මනාව දක්නට ලැබේ. රාජපක්ෂට රටේ තරුණ සිසුන් ඉදිරියේ වාඩි වී චිත්‍රයක් ඇඳ ගැනීමේ අසාවක් ඇති වේ. එම ආසාව රටේ ජනතාවට විසිතර කරන්නේ , පහත පරිදිය.
මට සිලිටි එහෙත් හැඟීමක් නැති බිම් පොළවක් මත සිටුවන ලද ප්ලාස්ටික් පුටුවක් මත ලෝකයක් දිනු ගාම්භීර නායකයෙක් ඉඳගෙන සිටී. බැලූ බැල්මට ඒ සිනහව ඉතා සරලය. අහිංසක ගැමියකුගේ අව්‍යජ නිහතමානීකම ඔහු කෙරෙන් පළවේ.
ප්‍රධාන චරිතය අබිමුවෙහි ශිල්පයෙහි නිපුන ආලේඛ්‍ය චිත්‍රකරුවෝ රැසක් පෙළ ගැසී සිටිති. ඔවුහු මේ සරල නායකයාගේ යථාර්ථය රේඛාවට නැම සඳහා බලවත් උත්සාහයක යෙදී සිටිති.
එහෙත් එය කළ හැක්කේ ද?
ඔහුගේ දීප්තිමත් දැසෙහි ලියැ වී ඇත්තේ මේ රටේ දූ දරුවන්ගේ අනාගතය පිළිබද සුබවාදී සැලැසුමකි. ඔහුගේ අව්‍යාජ සිනහවෙහි රැඳී ඇත්තේ මේ රටේ සියලු ජාතීන් පිළිබඳ සාමයේ කතාන්දරයකි.
ඔහුගේ ශක්තිමත් බාහු යුග්මය කියන්නේ මේ රටේ ආරක්ෂාව හා නිදහස පිළිබඳ වෘත්තාන්තයකි.
දරුවෝ ඔහු දුටු සැණෙන් ස්නේහය ඉල්ලති. අම්මලා ඔහු දුටු සැණෙන් පුත්‍ර ස්නේහය වපුරති. මේ තරම් සංවේදී නායකයෙක් කිසි දිනෙක මේ දුපත මත පහළ වේද යනු සැක සහිත ය. එහෙත් ඒ ගාම්භීර මිනිසා සරල සිනාවකින් මුව සරසා ඔබ හමුවේ පෙනී සිටී.
මේ දසුන චිත්‍රයට නැඟිය හැක්කේ කාට ද?
සැබවින්ම දහස් ගණන් මිනිසුන් වෙඩි තබා මරා දමනු ලැබූ ස්ටාලින්ගේ රුව චිත්‍රයට නගා ඔහු ගැන කවි මෙන්ම ගද්‍ය රචනා කළේද මෙලසය. නමුත් එම, “අහිංසක ගැමියකුගේ අව්‍යජ නිහතමානීකම”, පිටුපස ලිය වූ සත්‍ය ඛේදවාචකය රචනා කිරීමට තබා සිතීමටවත් නොහැකි බරපතළ එකක් විය. එය මරණය සහ ජීවිතය අතර ගැටළුවක් බවට පත් විය.
බොරුවේ සහ මුලාවේ ප්‍රමාණය ගණනය කළ නොහැකිය. රටේ ජනතාව මෙන්ම රාජපක්ෂ ජනාධිපතිවරයා පමණක් නොව මෙය ලියනු ලැබූ ලේඛකයාද සත්‍ය කුමක්ද යන්න දන්නෝය. නමුත් එම බරපතළ සත්‍ය වසා මුලාව මඟින් පෙන්වන බොරුව ඇත්ත ලෙස පෙන්වීමට උතසහ දරන්නේ මන්ද? මෙය තම පැවැත්ම පිළිබඳ පමණක් වන කාරණයක්ද?
රටක පැවතිය යුතු සහ එම රටේ ජනතාවගේ මුලික අයිතීන් සහ පෞද්ගලික විමුක්තිය සහතික කරන ස්වාධීන ආයතන පද්ධතිය විනාශ කළ පසු ජනතාවට ඉතුරු වන්නේ එම පද්ධතිය මෙහෙවන්නාගේ අතකොළුවක් වීමට පමණි. රටේ සියලුම ධනය ඔහු නඩත්තු කිරීම සඳහා වියදම කරනු ලබයි. රටේ විරෝධාර සෙබළුන් වහලුන් බවට පත් කොට ගෙන ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ගල් පිළිම මෙන් සිටවනු ලබයි. රට තවදුරටත් ලෝකයෙන් හුදෙකලා වී ණයකාර රටක් බවට පත් වේ. බුද්ධිය රටේ සංවර්ධනය වෙනුවන් දායක වීමට නොව රටින් ඉවත් වීම සඳහා හේතු වේ. මුලාව තව දුරටත් මෙහෙයුම් පද්ධතිය බවට පත් වේ.
අප අනාගත පරම්පාරාවට දායාද කිරීමට බලාපොරොත්තු වන භූමියේ ශේෂ පත්‍රය මෙයයි.