මංජුලගේ නවකතාෙවේ ආඛ්‍යානයත් එක්ක නිරායාසයෙන්ම මගේ ඔලූවට ආවෙ බයිබලය, ඒ ඔහු මේ කෘතිය තුළ යම් යම් තැන්වලදී කිතුනු පාඨාන්තර මතු කරන හන්දමත් නෙවෙයි. ඒ ලක්ෂණය නම් ^Religion Intertextual re-interpretation&
අතීතයේ ඉඳන් මංජුලගේ බොහෝ නිර්මාණ තුළ විටෙක හීන් හුයක් වගේ, තවත් විටෙක කඹයක් වගේ දිවෙනවා.
දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ‘ඇයි මේ බයිබලයක් ඇදගෙන දඟලන්නෙ..?’ කියල. ඊට කළියෙන් බයිබලට සම්බන්ධයෙන් මගේ පෞද්ගලික අදහස ගැන යම් පූර්විකාවක් හා එය මංජුලගේ කෘතියට බද්ධ වෙන්නෙ කොහොමද? කියන එක ටිකක් සලකා බැලූවොත් හොඳයි.
ලෝකයේ වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වී ඇති හා වැඩිම පිටපත් සංඛ්‍යාවක් මුද්‍රණය කර ඇති කෘතීන් ද්වය හැටියට සැලකෙන්නෙ බයිබලය (භාෂා 2400 කට වඩා) හා දාස් කැපිටාලය. කිතුනු හා කොමියුනිස්ට් භක්තිකයන්ට හැරුණු කොට, පොදුවේ කියවන්න ඕලාරික කෘතීන් ද්වය හැටියට සැලකෙන්නෙත් මේ දෙක. නොකියැවූවත් සමහර කිතුනු සැදැහැවතුන් හා මාක්ස්වාදී සැදැහැවතුන් ඒවා ළඟ තියාගෙන ඉන්නේ ඉමහත් ශ‍්‍රද්ධාවකින්, භක්තියකින්.
‘දාස් කැපිටාලය’ කෙසේ වෙතත් බයිබලය නම් මට සුන්දර කෘතියක්. එහෙම වෙන්නෙ බුදුන්ගේ ‘කාලාම සූත‍්‍ර කණ්ණාඩිය’ පැළඳගෙන බයිබලය කියවන්න ගත්තු දා ඉඳල. බයිබලය පසෙක තැබූවත්, නිර්මාණ කෘතියක් හෝ මොනයම්ම වූ කියවිල්ලක් ඒ විදියට කියවන අය ලාංකේය සමාජයේ හරි අඩුයි. විශේෂයෙන් හුඟක් විචාරකයෝ පවා නිර්මාණ කෘතියක් විමසන්නේ තමුන්ගේ ඇටුවන් බැහැපු මතවාදයේ කණ්ණාඩිය පැළඳගෙන. ඒක හරි ඛේදවාචකයක්. මනස සුදු කඩදාසියක් කරගෙන මොනයම්ම වූ කියැවීමකට යනවා නම් කොච්චර සැහැල්ලූද? මංජුලගේ ‘මේරි නම් වූ මරියා’ පටන් කොට බත්තලංගුණ්ඩුව හරහා යක්ෂණී දක්වා කෘති විමසන කොට මට හැඟී ගියේ ඔහුත් මට සමපාත කියවන්නෙක් කියල.
මම විශ්වාස කරනවා, මංජුල අතුරු පාරකින් තුලාවෙල්ලියට ‘අනාර්යයෝ’ හොයා යන්න ආවේශය ලැබූවේ, යම් පමණකට බයිබලය හැදෑරීම තුළින් කියල. ඒක හරියට බයිබලය තුළ ‘ඊශ‍්‍රායෙල් ගෝත‍්‍රයේ නැති වූ බැටලූ පැටවුන්’ සොයා ගිය ගමන වගේ.
දැන් බලමු බයිබලයෙයි, යක්ෂණීගෙයි මට පෙනෙන සමපාතකම් :-
බයිබලය ළඟ තබාගෙන ඉන්නවුන් බොහෝ විට එය පූර්ණව (සමස්ත කෘතිය) කියවා අහවර කොට නැහැ. ආගමික සංස්ථාවල බලපෑම් මත කියැවූවත් ජීරණය කොටගෙන නැහැ.
සම්මත බයිබලයට අනුයුක්ත කෘතීන් හැට හය (66) හතළිස් දෙනෙකුට ආසන්න කතුවරුන් ප‍්‍රමාණයක් විසින් ලියනු ලැබ තිබෙන නිසා හැට වාරයකට වඩා ට‍්‍රැක් පැන පැන කියවන්නට සිදුව තියෙනවා.
ඒ ඒ වකවානුවල සැබෑ ලෙස ජීවත් වූවා යැයි සැලකෙන චරිත පවා බයිබලය තුළ ගොඩනංවා ඇති ආකාරය පිළිබඳව සැක සංකා මතු වන අතර, විශේෂයෙන්ම බයිබලයේ කතා නායකයින් අතරින් ප‍්‍රධානියා වූ ජේසුන්ගේ ජීවන චරිතය පවා ගොඩනැංවී ඇත්තේ විශ්වසනීයත්වයකින් තොරව.
මගේ ආදරණීය යක්ෂණි
‘යක්ෂණී’ කියැවූ බොහෝ අය, එය එක් පැහැර ( එක හුස්මට, මොහාන් රාජ් මඩවලගේ හෝ සන්නස්ගලගේ කෘතීන් මෙන් කියවා නැහැ. මම ඇසුරු කරන සමහර පොත්ගුල්ලන් පවා එය කියවා ඇත්තේ ‘තීසීසයක්’ කියවනා ආකාරයෙන්.)
‘මගේ ආදරණීය යක්ෂණී’ බයිබලය මෙන් නොව තනි පුද්ගලයකු විසින් ලියනු ලැබූවද, විසි වතාවකට වඩා ට‍්‍රැක් පැන පැන කියවීමට සිදුව තියෙනවා.
බයිබලය හරහා අප කියවන්නේ ඓතිහාසික චරිතයන්. ඒවා විශ්වාසනීයත්වයෙන් තොර වන විට ( විශේෂයෙන් ජේසූන්ගේ චරිතය අරභයා) අප සමකාලීන වෙනත් ශුභාරංචි ( ලේඛන)හරහා ජේසූන්ගේ චරිතය විමසීමට පෙළඹෙන්නේ කුකුසකින්. ‘යක්ෂණී’ හරහා මංජුල කපා කොටා ව්‍යවච්ජේදනය කරන්නාවූ සමහර චරිත සමකාලීන ජීවත් වන්නාවූ පුද්ගලයන්. මංජුල ඔහුගේ කෘතියේ අනුභූතිය සඳහා ඔවුන් පාවිච්චි කරන විටදී විශ්වාසය පළුදු වන තැන් මතු වෙනවා.
බයිබලය හා යක්ෂණි අතර මේ ආකාරයේ යම් යම් සමපාතකම්හි ඡායාවන් තිබුණත්, යක්ෂණී හි ඉහත තුන්වන කාරණය හරහා පොඩි ප‍්‍රශ්නයක් මතුවෙනවා. ඒ, බයිබලයේ චරිත ඓතිහාසික වන විට යක්ෂණියේ චරිත සමකාලීන වීම. එහිදී මංජුල සිය කෘතියට ඔහු විසින්ම කරගන්නාවූ හානිය නම්, සැබෑවට ජීවත් වන චරිතවල මතුපිට ස්වරූපය විස්තර කොට, පාඨකයාට ඔවුන් කවුරුන්ද යන්න හඳුනාගැනීමට සැලැස්වීම.
එතැනදි ඔහු එතෙක් පාඨකයා තුළ නිර්මාණ කෘතිය පිළිබඳව තිබූ සමෝධානය බිඳ වැටෙන්නට සලස්වා අර පුද්ගල චරිතයේ ඕපාදූප (කෘතිය තුළ අන්තර්ගත නොවන) ඔස්සේ මනස විසුරුවා හරින්නට සලස්වනවා. මෙහිදී මංජුල දැනුවත්ව හෝ නොදැනුවත්ව පාඨකයාට කරන්නේ අසාධාරණයක්.
වර්තමානයේ නවකතා ගත්තම ‘ලියැවෙන’ ඒවා නෙමෙයි, ‘මාකටිං’ පැත්ත ගැන හිතල ‘ලියන’ ඒවා තමයි බොහොමයක් එළිදැක්වෙන්නෙ. යම් නමක් දිනාගෙන ඉන්න හුඟක් ලේඛක ලේඛිකාවන් පවා ‘ටාගට්’ කරලා ලියන්නෙ සම්මාන ගැන හෝ ඒ හරහා ලැබෙන මුදල් කුට්ටිය ඉලක්කයක් කරගෙන. පහුගිය අවුරුදු කිහිපය ගත්තම ඒ තත්ත්වය හොඳටම පේන්න තියෙනවා. මේ ළඟකදි එහෙම සම්මානිත නවකතාවක් කියවන්න අරන් බැරිම තැන පැත්තක තිබ්බා. එහෙම ගත්තම පැත්තක තිය තිය හරි නැවත නැවත කියවන්න ගවේෂණය කරන්න හිතෙන කෘතියක් ‘ආදරණීය යක්ෂණී’.
එහෙම හිතෙන්නෙ සහ දැනෙන්නෙ යම් අව්‍යාජ හා හෘදයාංගම බවක් ඒ තුළ දැනෙන හන්දා. මේ කියන දේ සමස්ත කෘතියට අදාළ නොවුණත් හුඟක් තැන්වල ඒ ගතිය මතුවෙනවා. වෙලාවකට නවකතාවක් කියවන්නෙ කියන එක අමතක වෙලා කවියක් විඳිනවා වගේ දැනෙන්න ගන්නවා. ආයෙ නවකතාව මතුවෙනවා.
මට දැනෙන හැටියයට මංජුල කරල තියෙන්නෙ එයාට විඩින් විඬේ ලියැවුණු ඒවා පුරුද්දලා නවකතාවකට ගොනු කරන එක. ඉතින් එහෙම ගැටගහන කොට යම් ආකෘතියක් ගොඩනැගිල තියෙනවා. එතකොට ඒක හොඳයි කියලා හිතිලා වෙන්නැති ඒක තියෙන්න අරිනවා. මේක සමහරුන්ට දිරවන්නෙ නැතිව යනවා. එතකොට එයාල කියනවා ‘බෝරිං’ කියලා. එහෙම දිරවන්නෙ නැතිවෙන්නත් හේතුවක් තියෙනවා. මොකද එයාල හුරු වෙච්ච ආකෘති ගොන්නට මෙම කෘතිය නොවැටෙන එක. ඒක තමයි ‘ආදරණීය යක්ෂණී’ තුළ ඇති විශේෂත්වය. මේකෙ පරිච්ෙඡ්දවල අනුපිළිවෙල හා එහි මාතෘකාත් සාමාන්‍ය පාඨකයාට ආගන්තුකයි. සමහර මාතෘකාවලට අමතරව කෘතිය පුරාවට තැනින් තැන මතු වෙන යෙදුම් ද ඔවුන්ට දුරස්ථයි. එතැනදී මංජුල ලොකු වැරැුද්දක් කරනවා. ඒ පොතට අටුවාවක් නො සැපයීම. දැන් ‘ගෙහන්නාව’ කිව්වම අනෙකුත් ආගමිකයන් කෙසේ වෙතත් සමහර කිතුනුවන් පවා එම වදනේ අරුත දන්නෙ නෑ.
මේ පොතේ තියෙන තවත් විශේෂත්වයක් නම් සමස්ත කෘතිය සංයුක්තව විඳින්න පුළුවන් වගේම පරිච්ෙඡ්ද වශයෙන් සමහර පරිච්ජේද වෙන වෙනමත් විඳින්න පුළුවන් වීම. හරියට කෙටිකතා පොතක් වගේ. එහෙම වියුක්තව විඳිනකොට දැනෙන දෙයක් තමයි මංජුලට ගැහැණුන් ගැන තියෙන සංවේදීකම.
ඕනෑම පිරිමියකු තුළ තම සිහිනමය පෙම්වතිය නැතහොත් සහකාරිය තමුන්ගේ සිත් පතුළේ පිළිසිඳෙනවා. එතැනදි කලාකරුවකුගෙ නම් ඒ මනෝමය ඡුායාව තවදුරටත් නිර්මාණාත්මකව වර්ධනය වෙනවා. නමුත් සැබෑ ලෝකයේදී කවමදාවත් අර චිත‍්‍රයට සියයට සියයක් ගැළපෙන්නියක මුණ නොගැහෙන්න පුළුවන්. එතකොට වෙන්නෙ යම් නිර්මාණයක් හරහා හෝ එය ප‍්‍රතිනිර්මාණය වීම. ඒක හරි අහිංසක ක‍්‍රියාවලියක්. ඒ ගුණයත් එක්ක මංජුල හරි අව්‍යාජයි සහ එයාගෙ කතා නායිකාවෝ සුවිශේෂී වුවත්, පොළවේ පයගහපු ඈයෝ.
පිරිමියාගෙන් ගැහැණියට ඉටුනොවෙන මුත්, ගැහැණිය විසින් පිරිමියාගෙන් බලාපොරොත්තු වෙන අහිංසක බලාපොරොත්තු සහ ආශාවන් මංජුල සිය නිර්මාණ තුළ සංකල්පගත කරන්නෙ හරි සංයමයකින් හා සංවේදීත්වයකින්.
මේ වගේ කෘතිය පුරාවට වියුක්ත කියැවීම් නම් කරන්න පුලූවන් කලින් කිව්වා වගේම බයිබලය (සාලමොන්ගේ කෘති)වගේ. නමුත් මේ කෘතිය කතුවරයා නම් කරන්නේ ‘මගේ ආදරණීය යක්ෂණී’ කියල. ඒ වගේම අවසන් කරන්නෙ ‘කුවේණි දෙමළියක්’ කියලා. මෙතනදී තමයි මම ගැටලූවකට මැදිහත් වෙන්නෙ. මුළු කෘතිය පුරාවටම ‘දෙමළ’ කියන වදන එක තැනකින් පමණක් මතුවෙන කොට එකපාරටම මේක පිටින් එල්ලපු ගතියක් පේන්න ගන්නවා. එතකොට ඊනියා ජාතිමාමක පාඨකයා (රාවණාගේ ජානවලින් පැවත එන හෙළයේ උරුමක්කාරයෝ)දෙමලිගේ රෙද්දෙ එල්ලිලා ඒක ගලවන්න උත්සාහ කරනවා. කොහොම වුණත් මංජුල අනාර්ය කතාව ඉස්මතු නොකර ‘දෙමළ’ කියලූ යෙදුවම ඒකෙ යම් උත්ප‍්‍රාසයක් මතු වෙනවා.
මේ සංවේදී ප‍්‍රස්තූතය නවකතාවක් ඔස්සේ විලිලෑම හරි අසීරු කාර්යයක්. එතැනදී මංජුල හදිසි වූවා වැඩිදැයි විටෙක සිතෙනවා. ගැබ පූර්ණ වන්නට කළියෙන්, විලිරුදාව හැදී අඩු මාසෙන් බිහි කළ දරුවකු වූවා ද ආදරණීය යක්ෂණී... ?
ආචාර්ය ශිරාන් දැරණියගල ‘ඇතුළු නුවරින්’ පටන්ගත්ත ගමන, මහාචාර්ය රාජ් සෝමදේව හල්දුම්මුල්ල හරහා අතුරු පාරකින්, මිහිදන් වෙලා තියෙන සැබෑ ඉතිහාසය සොයා යන ගමනට නිසි රාජ්‍ය අනුග‍්‍රහය ලැබුණොත් ( නොලැබෙන බව ෂුවර්) එදාට මංජුලගේ පොතට අදට වඩා වටිනාකමක් ලැබේවි.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේ ටික. ‘මගේ ආදරණීය යක්ෂණී’ සමග ක්ෂණික සංසර්ගයකට යා නොහැක. ඇය කියවීම වෙහෙසකර බව පවසන්නේ ක්ෂණික සූරතාන්තයක් බලාපොරොත්තු වන්නවුන්ය. මංජුලගේ කෘතිය පරිශීලනය කළ යුත්තේ අධ්‍යාත්මික සංසර්ගයක (Spiritual intercourse) නිරත වෙමින්ය. එසේ නොවුණහොත් පරිශීලකයාගේ අධ්‍යාත්මය අයිස් කුට්ටියක් වනු නියතය.
ජී. එවරස්ට් ආරච්චිගේ