නිදහස ලබන්න පෙර, ජේආර් අවසන් අයවැයෙන් බදු ගහපු ගැහිල්ල Featured

Saturday, 09 March 2024 10:36

මෙරට මුදල් අමාත්‍යවරයකු විසින් සිදු කරනු ලැබූ පළමු අයවැය කතාව ලෙස ඉතිහාසයට එක් වී ඇත්තේ වසර 1947දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී එවකට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් සිදු කරනු ලැබූ අයවැය කතාව ය.

ඊට පෙර ඩොනමෝර් පාලන ක්‍රමය යටතේ අයවැය වාර්තාව ඉදිරිපත කිරීම සිදු කරනු ලැබුවේ සභානායකවරයා වන අතර, මුදල් අමාත්‍යවරයා ලෙස ජේ. ආර්. ජයවර්ධන අයවැය කතාව සිදු කරනු ලැබුවේ දෙවැනි වර කියැවීමේදී බවත්, ඊට පෙර එම කතාව සිදු කර ඇත්තේ අයවැය පළමුවරට ඉදිරිපත් කිරීමේදි බවත් ඉතිහාසයේ සඳහන් වේ.

ඒ. එෆ්. මුලමුරේ කථානායක හමුවේ ජේ. ආර්. ජයවර්ධන සිය අය වැය කතාව සිංහල බසින් සිදු කිරීමට නියමිතව තිබුණ ද, සිංහල ලඝු ලේඛකයන් නොසිටීම හේතුවෙන් ඉංග්‍රිසි බසින් සිදු කළ බවත්, එදිනම පස්වරුවේ ඔහු ගුවන් විදුලිය ඔස්සේ සිංහල බසින් අය වැය කතාවක් සිදු කළ බවත් වැඩිදුරටත් සඳහන් වේ.

1947 වසරේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද විසර්ජන අය වැයේ නව අතිරේක බදු අය කිරීම සඳහා වන යෝජනා එදිනම මධ්‍යම රාත්‍රියේදී අතිවිශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරනු ලැබූ බවත්, එමඟින් රුපියල් මිලියන 40ක් උපයා ගැනීම රජයේ අපේක්ෂාව වූ බවත් සඳහන් වේ.

පහත සඳහන් වන්නේ ජේ. ආර්. ජයවර්ධන මුදල් අමාත්‍යවරයා ලෙස ඉංග්‍රීසි බසින් සිදු කළ පළමු අය වැය කතාවේ උපුටාගත් කොටස් කිහිපයක පරිවර්තනයකි.

අතුරු අය වැයක් නොවෙයි

මේක අතුරු අය වැයක් නොවෙයි. භාරකාර අයවැයක් නොවෙයි. මේක 1948 ජනවාරි 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිත අවසාන ඇමති මණ්ඩලයේ භාරකාර අය වැයේ දිගුවක්. නැතිනම් එහි ඉතිරි කොටස. මම ප්‍රථම වතාවට මේ අය වැයේ වැය ශීර්ෂය සහ ආදායම අධ්‍යයනය කරමින් සිටියදී මගේ හිතට වැඩියෙන්ම කා වැදුණු දෙයක් තමයි ශ්‍රී ලංකාව ප්‍රමාණයෙන් හා ජනගහනයෙන් ඉන්දියාවේ ප්‍රාන්තයකට සමාන වුණත්, අපේ රටේ ජනගහනයට වඩා පස් ගුණයක හෝ හය ගුණයක ජනගහනයක් සහිත විශාල රාජ්‍යයේ ආදායමට හා වියදමට සමානයි කියලා.

වත්මන් ආදායම් මාර්ග තුළින් අපි සතුටු විය හැකි තැනකට අවතීර්ණ වී සිටිනවා ද? අපේ ආදායම් මාර්ග ඉහළ නැංවීමේ ක්‍රමවේද තුළින් අපි විඩාපත් වී සිටිනවාද? භාණ්ඩාගාරයට මුදල් ගලා යන ආකාරයෙන් අපි හොඳ මූල්‍ය භාවිතයක යෙදෙනවා ද? එයත් නිහතමානිත්වයේ සහ විනීතභාවයේ ප්‍රතිලාභ වෙනුවෙන් කරනවා ද?

මම හිතුවා මම අපේ ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයා, බුදු රජාණන් වහන්සේගේ උපදෙස් අනුගමනය කිරීම හැර වෙන දෙයක් කළ යුතු නැති බව.

බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා, ඔබ උපයන ධනය කොටස් හතරකට බෙදන්න කියලා. එක කොටසක් ඔබේ සහ පවුලේ අය නඩත්තු කිරීමට වියදම් කරන්න කියලා. කොටස් දෙකක් ඔබේ ව්‍යාපාර තවදුරටත් වැඩි දියුණු කරගන්න වියදම් කරන්න කියලා. හතරවැනි කොටස ඔබ පරිහානියට පත්වෙන කාලයක පාවිච්චි කරන්න ඉතුරු කරගන්න කියලා‘

ප්‍රවේශ වීමේ වැඩපිළිවෙළ

අපි මේ භුක්ති විඳිමින් සිටින රජයේ ක්‍රමවේදය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමවේදය මත පදනම් වුණු දෙයක්. රජයේ මූල්‍ය ප්‍රතිපත්තියට අනුමැතිය ලැබීම සිදු වෙන්නේ මහජන නියෝජිතයන්ගේ විවේචනයට සහ ජනතාවගේ විවේචනයට අනුකූලවයි. වැය ශීර්ෂයේ තක්සේරුව සවිස්තරාත්මකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. වියදම් පියවා ගැනීමට ආදායම උපයා ගැනීමේ ක්‍රමවේදයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිය යුතුව තිබෙනවා. රටේ සම්පූර්ණ මූල්‍ය තත්ත්වයත් අය වැය විවාදයේදී විවේචනයට හා ගුණදොස් කීමට ජනතාවට විවෘත කළ යුතුව තිබෙනවා. මේ කර්ත්‍යවයට පසුව තමයි පාර්ලිමේන්තුව රජයට අනුමැතිය දෙන්න කල්පනා කරන්නේ. ඒ අනුව තමයි ඊළඟ අවුරුද්දට නියමිත වැඩ කොටසට අවශ්‍ය මුදල් වෙන් කෙරෙන්නේ.

මම මුලින්ම රජය අදහස් කරගෙන සිටින වැය ශීර්ෂය ගැන කතා කරන්නම්. දෙවැනුව රජය වෙන් කර ඇති මුදල් ගැන කියන්නම්. තුන්වැනුව රජය ආදායම උපයා ගන්නා ක්‍රමවේදය ගැන කතා කරන්නම්.

රජයේ වියදම වැඩි වෙලා තිබෙනවා. ඔබ සැම දන්නවා 1938-39 දී තිබුණු රුපියල් මිලියන 127ක මුදල දැන් ඔබ වෙත ඉදිරිපත් කර ඇති ආකාරයට රුපියල් මිලියන 435.5 ක් ලෙස පෙන්නුම් කරනවා කියලා. ඊට අමතරව මේ විශාල වැඩිවීමට මේ කාලසීමාව ඇතුළත රජය සැපයීමට භාර ගත්තු නව සේවාවන් හේතු වෙනවා. භාණ්ඩවල මිල ඉහළ යෑම සහ එහි ප්‍රථිපලයක් විදිහට වැටුප් වැඩි කිරීම් මේ වර්ධනයට හේතුවක් වී තිබෙනවා. මේ තක්සේරුව සමීපව අධ්‍යයනය කරනවා නම් වියදම් තක්සේරුවෙන් අපි සමාජ සුභසාධනයට වත්මන් ආදායමෙන් 35.8% ක ප්‍රතිශතයකට සමාන ගණනක් වැය කරන බව පෙනෙනවා. ආර්ථික වර්ධන ක්ෂය වීම 32.2%ක්. යුද දීමනාව රටේ වියදමෙන් 48%ක් හෝ රුපියල් 208,400,000ක් වෙනවා.

වියදම වැඩි වීම

වියදම තවදුරටත් ආදායමට වඩා වැඩිවෙමින් තිබෙනවා. කොටසක් යුද්ධය නිසා. රජයේ සේවකයන්ට යුද දීමනා ලබාදීම වැනි කාරණා නිසා. අපි මතක තබා ගැනීම වැදගත් ආනයනය කරන ආහාර ද්‍රව්‍යවල මිල විශේෂයෙන් සහල්වල මිල වැඩිවෙමින් තිබෙනවා. 1943 වසරේ ජුනි මාසයේදී සහල් පාරිභෝගික මිල ශත 36ක ස්ථාවර මට්ටමක තිබුණා. එය අඛණ්ඩව වර්ධනය වී දැන් ශත 62ක මට්ටමකට පැමිණ තිබෙනවා. ආහාර ද්‍රව්‍ය ආනයනික මිල රටේ උග්‍ර ආර්ථික ගැටලුවක් නිර්මාණය කරනවා. ඇත්ත වශයෙන්ම රජය මූලික ආහාර ආනයනය හා බෙදා හැරීම රජය යටතට හෝ සමූපකාර හෝ පෞද්ගලික මාර්ගවලින් පාරිභෝගිකයාට සපයනවා. නිශ්චිත වශයෙන්ම එය ස්ථාවර මිලකට බෙදා හැරීමට බලපෑමක් වුණා. එසේ නොවුණා නම් අපිට විදේශීය අලෙවිකරුවන්ගේ ඉල්ලීම අනුව ඉහළ මිලක් ගෙවා ප්‍රශ්නය විසඳන්න සිද්ධ වෙනවා. කොහොම වුණත් මූලික ආහාරද්‍රව්‍ය වර්ගවලින් වැඩි ප්‍රමාණයක් සහ අතිරේක ආහාර වර්ගවලින් සැලකිය යුතු ප්‍රමාණයක් රටේ පාරිභෝගිකයන්ට අපි බෙදා දුන්නේ තරමක පාඩුවක් සහිතවයි. අය වැය තත්ත්වයට අනුව රටේ වත්මන් ආදායමෙන් එවැනි පාඩුවකට අවසර නෑ. අපි ඒ අනුව වසරින් වසර ලාභය සහ පාඩුව ඉදිරියට ගෙන යමින් සිටිනවා.

ජීවන වියදම

ආනයනය කරන දේවල්වල මිල වැඩිවීමත් එක්ක ජීවන වියදමත් ඉහළ යනවා. 1946 ජනවාරියේදී ඒක 213 දක්වා ඉහළ ගියා. අද වෙද්දී ජීවන වියදම 253කට ඉහළ ගිහින් තිබෙනවා. හැම භාණ්ඩයකම මිල ගණන් පහත දමනවානම් ජීවන වියදම අඩු කරගන්න පුළුවන් බවට කිසිම සැකයක් නෑ. ජීවන වියදම අඩු කරගත හැකිවෙන්නේ පාරිභෝගිකයාට සෘජුවම රජය හරහා භාණ්ඩ බෙදා දීම තුළිනුයි.

අපේ රටේ පවතින උග්‍ර ජීවන වියදම ගැන පරීක්ෂා කරද්දී අපි අවධානය යොමු කළ යුතු කාරණාව වෙන්නේ අපේ මිල ගණන් මූලිකව හසුරුවෙන්නේ රජයේ පාලනයෙන් තොරව වීමයි. අපේ ආනයන දර්ශකය 1947 තුන්වැනි කාර්තුවේදී 516ක් වුණා. අපේ ජීවන වියදම දර්ශකය ඊට තරමක් පහළ මට්ටමක තිබෙනවා මොකද රජයේ සහනාධාර නිසා. ඒ එක්කම අපිට පෙනෙනවා අපි ආනයනික භාණ්ඩවලට ඉතා ඉහළ මුදලක් ගෙවන බව. අපි ආනයනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩවලට රජය එවැනි මුදලක් වැය කළත්, අපි ඒවා පාරිභෝගිකයන්ට අලෙවි කරන්නේ ස්ථාවර මිලකටයි. ජීවන වියදම මේ එකිනෙකට සම්බන්ධ වුණු කාරණා.

අභ්‍යන්තර ආර්ථිකය

රටේ මුළු අභ්‍යන්තර ආර්ථිකයම රඳා පවතින්නේ ප්‍රධාන භෝග වර්ග තුනක් අපනයනය කිරීමෙනුයි. තේ, රබර් හා පොල්. මේ ප්‍රධාන නිෂ්පාදන අපනයනය කිරීමෙන් අපි ලබන මුදල් සහ අනෙකුත් අපනයනවලින් අපි ලබන ආදායම අපට අපේ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට ගෙවන්න උදව් වෙනවා. අක්කර 16,212,000ක ප්‍රමාණයෙන් හතරෙන් පංගුවක් පමණයි එහෙම නැතිනම් අක්කර මිලියන 4ක් පමණයි ලාබ උපදවන විදිහට භාවිත වෙන්නේ. මේ කොටසෙනුත් තුනෙන් දෙකක් හෝ මිලියන තුනහමාරක අක්කර ප්‍රමාණයක පමණයි අපනයන නිෂ්පාදන සිදු වෙන්නේ. අපේ අපනයනයෙන් 95%ක්ම සිදුවන්නේ තේ, රබර් හා පොල්වලින්. අපේ ආදායමෙන් 80%ක් උපදවන්නේ මේ අපනයන කර්මාන්තය ඔස්සේ.

කොහොමවුණත් අපිට වත්මන් තත්ත්වය ගැන සතුටු වෙන්න හේතුවක් නෑ. අපිට යුද්ධයට කලින් 1938 අවුරුද්දේ තිබුණාට වඩා අපනයනය කිරීමේ හැකියාවක් දැන් නැති බව 1947 අවුරුද්දේ අවසන් වෙද්දී පැහැදිලි වෙයි. අපේ ප්‍රධාන අපනයන තුනට ඇති ඉල්ලුම බිඳ වැටෙද්දී රටේ ආනයනික භාණ්ඩවලට ඇති ඉල්ලුම දවසින් දවස වැඩි වෙනවා. 1946 අවුරුද්ද අවසන් වෙද්දී ආනයනික මිල දර්ශකය 1934-38 කාලයේ සාමාන්‍ය තත්ත්වයට සාපේක්ෂව 423ට වඩා ඉහළ ගිහින්. අපනයනික මිල දර්ශකය 221ක් පමණයි. මේ වසරේදී තත්ත්වය තවත් දරුණුයි.

පුළුල් ප්‍රාග්ධන වියදම්

වර්තමාන සහ අනාගත සංවර්ධනයක් කරා යෑමට ඉතා පුළුල් ප්‍රාග්ධන වියදමක් අත්‍යවශ්‍යයි. රජය විසින් මෑතකදී පත් කළ සමාජ සේවා කොමිසම වැඩිහිටි විශ්‍රාම වැටුප්, ළමා දීමනා සහ රැකියා විරහිත වූවන් සඳහා රක්ෂණ ක්‍රමයක් හා ආධාර හා සෞඛ්‍ය රක්ෂණ නිර්දේශ කර තිබෙනවා. මේ සියල්ලට රජයට රුපියල් මිලියන 100ක් වාර්ෂිකව වියදම් වන බවට තක්සේරු කර තිබෙනවා. ඊට අමතරව රජයේ පශ්චාත් යුද්ධ සැලසුම්වලට අනුව ආර්ථික සංවර්ධනයට හා සොඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් වෙනුවෙන් වාර්ෂිකව තවත් මිලියන 150ක් වැය කරන්න සිද්ධ වෙනවා. අද වන විට ආදායම් එකතුව 30%කට. ඇත්ත වශයෙන්ම එය රුපියල් මිලියන 1,400කට තක්සේරු කර ඇති රජයේ ආදායමෙන් ඉතා ඉහළ අනුපාතයක්. අපේක්ෂිත ණයතුරුස්වලට මුහුණ දෙන්න එය රුපියල් මිලියන 1,000කට වඩා ඉහළට නැංවිය යුතුයි.

තීරු බදු වැඩි කිරීම්

භාණ්ඩ වර්ග කිහිපයක් හැරුණු කොට පාරිභෝගික භාණ්ඩවල තීරු බදු ඉහළ දැමීම ජීවන වියදම් දර්ශකයට ප්‍රවේශ වීමක්. සැම මූලික ආහාර වර්ගයකටම තීරුබදු ඉහළ දැමීම සහ කපු රෙදි සහ කපු ඇඟලුම්වල තීරු බදු ඉහළ නංවා නෑ. කර්මාන්ත ක්ෂේත්‍රයේ පොහොර හා ඇසුරුම් ද්‍රව්‍ය ඇතුළු ප්‍රධාන ඉදිකිරීම් සඳහා භාවිත කරන යන්ත්‍රසූත්‍ර, ගොඩනැගිලි ද්‍රව්‍යය හා වානේ නිෂ්පාදනවලට, ඖෂධ හා බෙහෙත්වලට තීරු බදු වැඩි කිරීමට අපි යෝජනා කර නැහැ. අනිත් සියලුම ආනයනික ද්‍රව්‍යවල තීරුබදු වැඩි කරන්න අපි යෝජනා කර තිබෙනවා. එම තීරු බදු ඉහළ දැමීම කාණ්ඩ තුනක් යටතේ සිදු කරන්න අපි යෝජනා කර තිබෙනවා. ඒ අනුව පළමු කාණ්ඩයේ තීරු බදු ඉහළ නැංවීම ඉතා සහනදායි ආකාරයෙනුත්, තුන්වැනි කාණ්ඩයේ තීරු බදු ඉහළ නැංවීම අතිශයින්ම බරපතළ ආකාරයෙනුත් වශයෙන් අපි ශ්‍රේණිගත කර තිබෙනවා. දෙවැනි කාණඩයේ තීරුබදු ඉහළ නැංවීම අන්තර්මධ්‍ය තත්ත්වයක පවතිනවා.

ප්‍රධාන අයිතමයන්

20%ක ව්‍යාපාර ලාභාංශ බද්දක් (බද්දෙන් නිදහස් කිරීමේ සීමාව රුපියල් 50,000කි) මඟින් රුපියල් 8,000,000ක ආදායමක් ගණනය කර ඇති අතර, සමාගම් සඳහා වන ආදායම් බද්ද 20% සිට 25% දක්වා ඉහළ දැමීමෙන් රුපියල් 5,000,000ක ආදායමක් සහ මුද්දර ගාස්තුව ඉහළ දැමීමෙන් රුපියල් ලක්ෂයක ආදායමක් අපේක්ෂා කරන අතර, වතු බද්දෙන් රුපියල් මිලියන දෙකක ආදායමක් රජයේ අපේක්ෂාව වී තිබේ.

රුපියල් මිලියන 18ක මුදලක් ආනයන සහ අපනයන තීරුබදුවලින් අත්කර ගැනීමට බලාපොරොත්තු වූවද, අත්‍යවශ්‍ය යැයි සැලකෙන පාරිභෝගික භාණ්ඩ සඳහා බදු සංශෝධන සිදු වී නොමැත. නමුත් සුඛෝපභෝගී භාණ්ඩ සඳහා අධික බද්දක් පැනවීමට පියවර ගෙන ඇත.

බීර, ඒල්ස් වර්ගයේ බීර, ස්ප්‍රිතු, වයින්, මෝටර් රථ, ලංකාවේ නිෂ්පාදිත සිගරැට් සහ බීඩි සඳහා මිල ඉහළ දැමීමක් සිදු කර ඇත. ශීත කළ මස් සහ ටින් මාළු, සුවඳ විලවුන්, රේඩියෝ, නැවුම් පළතුරු, ජෑම් වර්ග සහ ජෙලි වර්ග සහ සේද රෙදි සඳහා ද ජනතාවට වැඩිපුර ගෙවීමට සිදුවනු ඇතැයි අයවැය කතාවේදී ජේ.ආර් ජයවර්ධන මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි. නිෂ්පාදකයට බල නොපාන පරිදි වියලන ලද පොල් අපනයන තීරුබදු ඉහළ නැංවීමෙන් රුපියල් 2,100,000ක් උපයා ගැනීම තක්සේරු කර ඇති අතර, රේගු බද්ද (විදෙස් රටවලට බලපාන) ඉහළ නැංවීමෙන් රුපියල් 28,000,000ක අතිරේක මුදලක් උපයා ගැනීම රජයේ අපේක්ෂාව වී තිබිණි. 1947 අය වැය කතාවෙන් බදු ඉහළ නැංවීමට යෝජනා කර තිබූ භාණ්ඩ පහත සඳහන් වේ.

16 6

 

*බීර සහ ඒල්

ඉම්පීරියල් ගැලුමකට රුපියල් 2.50 බැගින් තීරුබදු ඉහළ නැංවීමෙන් රුපියල් 600,000 ක වාර්ෂික ආදායමක් ද (එම්පයර් බීර බෝතලයකට ශත 42ක අමතර මුදලක් සහ විදෙස් බීර බෝතලයකට ශත 35ක අමතර මුදලක්)

 

* බ්‍රැන්ඩි

ඉහළ ප්‍රමිතියෙන් යුතු ඉම්පීරියල් ගැලුමකට රුපියල් 81.50කින් සහ අඩු ප්‍රමිතියෙන් යුතු ගැලුමකට රුපියල් 92.75 කින් තීරු බදු ඉහළ නැංවීමෙන් උපයා ගැනීමට අපේක්ෂිත ආදායම රුපියල් 470,000කි.

*විස්කි

බ්‍රැන්ඩිවලට සමානව වාර්ෂිකව රුපියල් 1,350,000ක අතිරේක ආදායමක් අපේක්ෂිතය.

*ජින්

preferential තීරු බද්ද රුපියල් 92.75කින් ඉහළ නැංවීමෙන් සහ සාමාන්‍ය බද්ද රුපියල් 89 කින් ඉහළ නැංවීමෙන් අඩු පරිභොජනයක් බලාපොරොත්තු වන බැවින් රුපියල් 300,000 ආදායමක් අහිමි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

*වයින් වර්ග

විවිධ වටිනාකම් යටතේ තීරු බදු ඉහළ නැංවීමෙන් වාර්ෂිකව රුපියල් 500,000ක අතිරේක ආදායමක් අපේක්ෂිතය.

ස්ප්‍රිතු, බීර වැනි දෑ වලින් අපේක්ෂිත අතිරේක ආදායම වාර්ෂිකව රුපියල් 2,500,000කි.

*නිෂ්පාදනය නොකළ දුම්කොළ

රාත්තලකට රුපියල් 4.10 කින් මිල වැඩි කිරීමෙන් වාර්ෂිකව අපේක්ෂා කරන ආදායම රුපියල් 2,100,000කි.

*බීඩි

රාත්තලකට රුපියල් 2 බැගින් මිල ඉහළ නැංවීම මඟින් වාර්ෂිකව මිලියන 2ක අතිරේක ආදායමක් උපයා ගැනීමට නියමිතය.

*මෝටර් වාහන මෝටර් කාර්

අශ්වබල පදනම මත තීරුබදු සංශෝධනය වන අතර, අශ්වබල 10 සහ ඒ යටතේ මෝටර් කාර් (preferential) 30% කින් සහ (සාමාන්‍ය) 37.5% කින් ද, අශ්වබල 16 සහ ඒ යටතේ මෝටර් කාර් (preferential) 45% කින් සහ (සාමාන්‍ය) 52.5% කින් ද ඉහළ දමා ඇති අතර, අශ්වබල 16ට වඩා වැඩි මෝටර් කාර් 70% කින් (preferential) සහ 77.5% කින් (සාමාන්‍ය) ඉහළ නංවා තිබේ. ඉන් අපේක්ෂිත අතිරේක ආදායම රුපියල් මිලියනයකි.

*අනෙකුත් මෝටර් වාහන සහ යතුරුපැදි

තීරු බදු ඉහළ නැංවීමෙන් වාර්ෂිකව අත්කර ගැනීමට අපේක්ෂිත ආදායම රුපියල් 250,000කි.

*මෝටර් කාර් අමතර කොටස්

10% කින් තීරුබදු ඉහළ නැංවීමෙන් අත්කර ගැනීමට අපේක්ෂිත ආදායම රුපියල් 200,000කි.

මෝටර් කාර් සහ මෝටර් වාහන ආදියෙන් අපේක්ෂිත සමස්ත අතිරේක ආදායම රුපියල් 1,450,000කි.

*සුවඳ විලවුන්, අලේපන ආදිය

60% කින් තීරුබදු නැංවීමෙන් රුපියල් මිලියනයක අතිරේක ආදායමක් අත්කර ගැනීමට අපේක්ෂිතය.

*ශීත කළ මස් සහ බටර් ශීත කළ සහ ටින් කළ මස්, කුකුළු මස් සහ ඌරු මස් නිෂ්පාදන

තීරුබදු 35% කින් වැඩි කිරීමෙන් රුපියල් 3,500,000ක අතිරේක ආදායමක් අපේක්ෂිතය.

*ටින් මාළු

30% කින් තීරුබදු නැංවීමෙන් අත්කර ගැනීමට අපේක්ෂිත අතිරේක ආදායම රුපියල් 750,000කි.

*බටර් සහ චීස්

25% කින් සහ 30% කින් ඉහළ නැංවීමෙන් රුපියල් 1,250,000ක අතිරේක ආදායමක් අත්කර ගැනීමට අපේක්ෂිතය.

*රසකැවිලි

35% කින් ඉහළ නැංවීමෙන් රුපියල් 550,000ක ආදායමකි.

*නැවුම් පළතුරු, ඇපල්, මිදි ආදිය

40%කින් තීරුබදු වැඩි කිරීමෙන් රුපියල් 900,000ක අතිරේක ආදායමක් අපේක්ෂිතය.

*ජෑම් සහ ජෙලි වර්ග

45% කින් තීරුබදු ඉහළ නැංවීමෙන් අත්කර ගැනීමට අපේක්ෂිත අතිරේක ආදායම රුපියල් 650,000කි.

*සිනමාව සහ රේඩියෝ 
  - සිනමා සේයාරූ

අඩියකට රුපියල් 2.5%කින් තීරු බදු ඉහළ නැංවීමෙන් රුපියල් 50,000ක අතිරේක ආදායමක් අත්කර ගැනීමට අපේක්ෂිතය.

*රේඩියෝ

රුපියල් 300,000ක අතිරේක ආදායමක් අත්කර ගැනීම සඳහා 20% කින් ඉහළ දමා තිබේ.

 

සිල්ක් සහ Art silks තීරුබදු ඉහළ දමා තිබේ.

*අය වැය හිඟය

රුපියල් 900,000ක් වනු ඇතැයි රජය අපේක්ෂා කර තිබිණි.

- සිළුමිණ

Last modified on Saturday, 09 March 2024 10:40

Leave a comment

Gossip

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට   

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට  

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී...

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

Connet With Us