දෙසිය විසිපහටම ඉල්ලා අස්වෙන්න හිතෙන පනතක් ! Featured

Sunday, 29 October 2023 11:57

“රට හදන්න යන්න කලින් තමන් හැදිල හිටපන්’ යනුවෙන් මාපියන් තමන්ගේ තරුණ දරුවන්ට කියන අවස්ථා ඇත. ඒ සමාජ වැඩ, දේශපාලන කටයුතු ආදියට සම්බන්ධ වන රැඩිකල් අදහස් ඇති නැතිනම් නාහෙටනාහන දරුවන් ඇති දරුවන්ගේ මාපියන්ය.

සමහර විට මාපියන් අපේක්ෂා කරනවා ඇත්තේ හොඳ චරිතවත් ගුණ යහපත්කම් සහිතව, හොඳ අධ්‍යාපනයක් සහිතව, හොඳ රැකියාවක් ආදායම් මාර්ගයක් සහිතව තමන් ස්ථාවර වී දියුණු වී අනෙක් වැඩ ගැන බැලීම විය යුතුය කියන එකය. කොහොම වුණත් ආදර්ශයෙන් පෙන්විය හැකි ගුණාංග නොමැතිව වෙන වැඩ කරන්න යෑම අවුල් සහගත වැඩකි.

මේ රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළත් අද දකින්නට ලැබෙන්නේ එහෙම ආදර්ශයක් විය හැකි ගුණාත්මක දේශපාලන චරිත නොවේ. දූෂණ වංචාවන්ට අපරාධ චෝදනාවන්ට හසුනොවූ මහජන නියෝජිතයන් සොයාගැනීම පහසු නැත. මහජන දේපොළ සහ මුදල් පෞද්ගලික පරිහරණය වෙනුවෙන් යුතු හෝ අයුතු ලෙස යොදා නොගත් කිසිවකුත් පාර්ලිමේන්තුව තුළ සිටිනවාද යන්නත් සැක සහිතය. මීට සතියකට දෙකකට පෙරත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් සහ මන්ත්‍රීවරයකු අතර ගුටි කෙලියක් දකින්නට ලැබිණි. සභාගර්භය තුළදීම ලිංගිකමය අපහාස කිරීම අසභ්‍යය භාෂාවෙන් කෙරෙන කෑකෝ ගැසීමද නිරන්තරව දකින්නට ලැබෙන්නකි. ඒ තබා රටේ වැදගත් කරුණක් සම්බන්ධයෙන් වන විවාදයකදි වුවත් බොහෝ මන්ත්‍රීවරුන් කටයුතු කරන්නේ අදාල වැදගත් කරුණ පසෙකලා වෙන වෙන වල්පල් දෙඩවීමය. බොහෝ දෙනෙකුට අදාල විෂය අවබෝධයත් නැත. හරියට සංඛ්‍යාවක් පවසා ගැනීමටවත් නොහැකි අයවලුන් සිටී. පට්ටපල් බොරු කියමින් රටම නොමඟ යවන වුන්ද සිටී. එකිනෙකට මඩ අවලාද අපහාස කරගැනීම් එදිනෙදා චර්යාවේ කොටස් වී ඇත. කොටින්ම දැන් පාර්ලිමේන්තුව සජීවීව විකාශය වුවත් ඒවායේ අසන්නට දෙයක් නැති තරම්ය. හර බර, බුද්ධියට ආමන්ත්‍රණය කරන දේශපාලනික අධ්‍යාපනික වටිනාකම් සහිත දේශන නැති තරම්ය.

මීට දශක ගනනාවකට පෙර පාර්ලිමේන්තුව යනු උගත් බුද්ධිමත් විෂය ප්‍රවීණයන්ගේ හෝ අවංක මහජන නියෝජිතයන්ගේ බුද්ධි මණ්ඩලයක් වැනි තැනකි. එකල හැන්සාඞ් වාර්තා කියවීම රට ලෝකය ගැන දැනුමේ නිම් වළලු පුළුල් කිරීමට තරම් අධ්‍යයනයකි. එහෙත් දැන් ඇත්තේ වල්පල්ය. පාර්ලිමේන්තුවට අද පාර්ලිමේන්තුවේ විනය, හැදියාව, ශීලාචාරකම හෝ සකසා ගැනීමේදීත් අසමත්ය.

මේ තත්වයන් මත දැන් රට හදන තැන නැතිනම් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ට කියන්න සිදුව ඇත්තේ රට හදන්න කලින් තමන් හැදිලා පෙන්වාපන් යන්නය. 225 එපා යනුවෙන් ජනතාවගේ පරිබවයට මේ අය පාත්‍ර වුයේත් මේ අවුල නිසාය. කොහොම නමුත් මේ මහජන නියෝජිතයකු කියන්නේ කාටද ඔහුගේ හෝ ඇයගේ කාර්යභාරය වගකීම විය යුතු කුමක්ද යන්න ගැන උගන්වන්න, ඔවුන්ව පාලනය කරන්න පාර්ලිමේන්තුවට ඉහළින් වෙනම නෛතික බලයක් සහිත ස්වාධීන ආයතනයක් පිහිටුවීමට විය යුතු බවට ජනාධිපතිවරයා කල්පනා කර තිබුණේ මීට බොහෝ කලකට පෙරය. මේ අනුව මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා පත්කර තිබෙන නව කොමිසමේ කාර්යභාරයක් ලෙසද මන්ත්‍රීවරුන්ට ආචාරධර්ම පද්ධතියක් සැකසීමත් අඩංගු කර තිබිණි. එසේම පසුගියදා අගමැති දිනේෂ් ගුණවර්ධන සහ අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට නව පනත් කෙටුම්පතක යෝජනාව ගෙනවිත් තිබිණි. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය නිවේදනය තුළ ඒ සම්බන්ධයෙන් දැනුම් දී තිබුණේ මෙසේය

ස්වාධීන පාර්ලිමේන්තු ප්‍රමිති අධිකාරියක් ස්ථාපිත කිරීම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගවීම, විශ්වාසනීයත්වය, පැහැදිලිභාවය සහ වෘත්තීයභාවය පිළිබඳව සහතික වීම ව්‍යවස්ථාදායකයේ සඵලත්වය, විනිවිදභාවය සහ සාධාරණත්වය පිළිබඳව මහජන විශ්වාසය ඉහළ නැංවීම සඳහා අත්‍යවශ්‍ය සාධකයන් වේ.
එබැවින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සෑම අවස්ථාවකදීම තම බලතල, වරප්‍රසාද, කාර්යයන් සහ කර්තව්‍යයන් විශ්වාසවන්තභාවයෙන් සහ අවංකභාවයෙන් යුතුව ක්‍රියාවේ යෙදවිය යුතුව ඇත. ලෝකයේ බොහෝ රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ චර්යාධර්ම පද්ධතියක් ක්‍රියාත්මක කිරීම සඳහා සහ එම කටයුතු අධීක්ෂණය කිරීම සඳහා යාන්ත්‍රණයක් පවතින බව සැලකිල්ලට ගනිමින් මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ද චර්යාධර්ම සංග්‍රහයක් සම්පාදනය කිරීම සහ ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.
ඒ අනුව, එම කාර්යය සඳහා සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමාගේ සහ සියලුම පක්ෂ නායකයින්ගේ අදහස් ලබා ගැනිමටත්, ඉන් අනතුරුව එකී අදහස් ද සැලකිල්ලට ගනිමින් පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් ගරු අග්‍රාමාත්‍යතුමා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආණ්ඩු මට්ටුකිරීම සඳහා ගෙන එන්න යන නව නීතිය ගැන අදහසක් ලැබිය හැකිය. මීට විරුද්ධ වීමට කිසිවකුට නොහැකිය. මේ විය යුතුම දෙයකි. එසේම එක අතකින් පාර්ලිමේන්තුවටම සම්මත කිරීමට සිදුවන මේ යෝජනාව ගැන මන්ත්‍රීවරුන් ලැජ්ජා විය යුතුය. ඒ රටට ආදර්ශයක් විය යුතු තමන්ගේ චර්යාව වැටී ඇති තුච්ඡ නින්දිත බව මෙමගින් ප්‍රකාශමාන වෙන නිසාය. ඒත් මේ මන්ත්‍රීවරුන් යනු ලැජ්ජා නහර කපා දැමු පිරිසක් වන බවද අමතක නොකළ යුතුය.

ඒ කොහොම නමුත් මේ තත්වයන් මේ රටට පමණක් පොදු වූවක් නොවේ. මහජන නියෝජිතයකු යනු මහජනතාව විසින් සිය කැමැත්තෙන් පත්කර එවනු ලබන්නෙකි. ඒ නිසා මේ නියෝජනය වන්නේ තත්කාලීන සමාජ ස්වරූපයමය. නමුත් මේ නියෝජිත ගොනුවේ අරමුණ සමාජය පවතින ලෙසින් පවත්වාගෙන යෑම නොවේ. වැරදි අඩුපාඩු සකසාගෙන සංවර්ධනයේ දිශාවට ගෙන යෑමය. සමස්ථයක් ලෙස දියුණුවක් අත්පත්කර ගැනීමය. නමුත් මෙහිදී අඩුම තරමින් මහජන නියෝජනයක් ලෙස එම වගකීම දරන්නා මේ ඉදිරිගාමී වෙනස්වීම වෙනුවෙන් ආදර්ශමත් චරිතයක්වීම විය යුතුය. තමන් මොන හොරෙක් පාර්ලිමේන්තුවට පත්කර එව්වත්, ඒකා හොරකමේ යනවා දකින්න මහජනතාව අපේක්ෂා කරන්නේ නැත. මහජනතාව බලපොරොත්තු වන්නේ තමන්ගේ ප්‍රශ්නය විසඳාගැනීමට තමන්ගේ නියෝජිතයාගේ ශිෂ්ඨසම්පන්න මැදිහත් වීමය.

මහජන නියෝජිතයකුට ජනතාවරමෙන් ලැබෙන බලය අයුතු ලෙස පාවිච්චි කිරීම වැලැක්වීමට, මහජන මුදල් දේපොළ රැකීමට හා වෙනත් අපරාධ වැලැක්වීමට ආදිය වෙනුවෙන් රටේ යම් යම් නීති ප්‍රතිපාදන තිබුණත් දේශපාලන බලය, මන්ත්‍රී වරප්‍රසාද නිසා නීතියට යටත් නොවී වටවංගු ගැසීමේ හැකියාවත් මන්ත්‍රීවරුන්ට තිබේ. මෙවැනි තත්වයක් ලෝකය පුරාම දකින්නට ලැබෙන නමුත් ඒවා වැලැක්වීම වෙනුවෙන් ගත් විශේෂ නෛතික ක්‍රියාමාර්ගයන්ද බොහෝ රටවල මේ වන විට ක්‍රියාත්මකව ඇත.

කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබෙන ‘ස්වාධීන පාර්ලිමේන්තු ප්‍රමිති අධිකාරිය’ (IPSA) වැනි ආයතන බොහෝ රටවල ක්‍රියාත්මකව පවතී. මෙම නමින්ම මහා බ්‍රිතාන්‍යයෙත් ආයතනයක් ස්ථාපිත කර ඇත. (බ්‍රිතාන්‍යයේ මෙම ආයතනය ගැන සියළුම තොරතුරු https://www.theipsa.org.uk/ වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකිය) එය 2009 වසරේ හඳුන්වාදෙනු ලැබුවකි. එහි අනෙක් අදහස නම් මෙරට ක්‍රියාත්මක වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායේ නිර්මාර්තෘවරුන් වූ මහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළත් ඊට නොගැලපෙන චර්යාවන් සහිත මන්ත්‍රීවරු ක්‍රියාත්මක වී ඇති බවය. ඒ කොහොම නමුත් බි්‍රතාන්‍ය ප්‍රමිති අධිකාරිය මගින් ඒ ගැටළුව ජයගෙන ඇත්තේ අතිශය දැඩි නෛතික ප්‍රතිපාදන රැසක් පැනවීමෙන් බව කිව යුතුය.

මේ ආකාරයේම පනතක් මෙරට ස්ථාපිත වන්නේද නැද්ද යන්න අවිනිශ්චිතය. දැනට ඉදිරිපත්කර ඇති මූලික යෝජනාව ගැනද තොරතුරු අනාවරණය නොවෙතත් මහජන නියෝජීතයා යනු කවරෙක් විය යුතුද යන්න ගැන බ්‍රිතාන්‍යය දෙන ආදර්ශය අතිශය වැදගත්ය. ඇතැම් විට මෙරට පනත් කෙටුම්පතට, බ්‍රිතාන්‍ය පනතම අදාල කරගතහොත් මන්ත්‍රීවරුන්ගේ මානව හිමිකම් කඩන, ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දනකාරී පනතක් ලෙස එයට විරෝධය පෑම මන්ත්‍රීවරුන් වෙතින්ම සිදුවීමේ ඉතා ඉහළ ඉඩකඩක් ඇති බවත් සැකයක් නැතිව පැවැසිය හැකිය. මන්ද එය එතරම්ම මන්ත්‍රීවරුන්ගේ හැසිරීම් පාලනයකර තිබෙන නිසාය. කොටින්ම මෙහිදී මහජන නියෝජිතයා, මහජන සේවකයා වෙනුවට මහජනතාවගේ වහලෙක් බවට මන්ත්‍රීවරයා පත්කර ඇතැයි කිව්වත් වැරදි නැත. ඒ ආකාරයේ පනතක් මෙරටටත් වේ නම් වර්තමාන මන්ත්‍රීවරු අති බහුතරය තවදුරටත් පාර්ලිමේන්තු නියෝජනයට හෝ කැමැති නොවනු ඇත. මන්ද ඒ හරහා පුද්ගලික ප්‍රතිලාබ ලැබීම මුළුමනින්ම වලකා ඇති බැවිනි. කෙසේ නමුත් මෙම පනත සම්බන්ධයෙන් මෙරට ජනතාවට අවබෝධයක් තිබීම සැබෑ මහජන නියෝජීතයා යනු කවරෙක් ද යන්න තේරුම් ගැනීමටවත් ප්‍රමාණවත් වෙනු ඇත.

මෙම බ්‍රිතාන්‍ය පනත අනුව පනවා ඇති මන්ත්‍රී තහංචි ගැන කෙටියෙන් සඳහන් කළහොත් 2010 වසරේ සිටම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් දීමනා ආදිය අඩු වැඩිවීම තීරණය කරනු ලබන්නේ ‘ස්වාධීන පාර්ලිමේන්තු ප්‍රමිති අධිකාරිය විසිනි. පාර්ලිමේන්තුවට තමන්ගේ වැටුප්, ඉන්ධන දීමනා වරප්‍රසාද ආදිය තීරණය කළ නොහැක. මුළුමනින්ම අගමැති, ඇමැති, ඇතුළු මන්ත්‍රීවරුන් 650 දෙනෙකුගේ සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ වැටුප් සහ විශ්‍රාම වැටුප්, රාජකාරී වියදම් නියාමනය සහ පරිපාලනය ප්‍රමිති අධිකාරිය විසින් තීරණය කිරීම සිදුකරයි.

එමෙන්ම මහජනතාවටද, මෙම ප්‍රමිති අධිකාරිය විසින් ලබා දී ඇති ප්‍රතිපාදන සහ පහසුකම් පිළිබඳව සහ ඒ අනුව මන්ත්‍රීවරු කටයුතුකර ඇත්තේ කෙසේද යන්න සොයා බැලීමේ අයිතිය සහ පහසුකම් සපයා ඇත. මේ අනුව මහජන මුදල් නිසි ලෙස වියදම් කිරීම සහතික කිරීමට මෙම අයතනය බැඳී සිටී.

කෙසේ නමුත් මන්ත්‍රීවරුන්ට වැටුපට අමතරව හිමි වන්නේ පාර්ලිමේන්තු රාජකාරි ඉටු කිරීමේදී දරන වියදම් සඳහා පමණි. පෞද්ගලික භාවිතයට ඒ වැය කළ නොහැක. එනම් රාජකාරී වියදම් මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීමට අදාල ප්‍රසාද දීමනාවක් ලෙස නොලැබේ. ඒ අනුව ලබා දෙන සෑම බි්‍රතාන්‍ය පවුමකටම අදාල වියදම් සහතික කිරීම මන්ත්‍රීවරයා කළ යුතුය.

බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලන්ඩන් නුවර හෝ තමන්ගේ මැතිවරණ කොඨාසයේ ජීවත් වීම සඳහා නිවසක් කුලියට ගැනීමට වන වියදම් ලබාදීම සහ ඊට දුරකතන ආදී පහසුකම් සපයනු ලබයි. සෑම මන්ත්‍රීවරයෙකු වාර්ෂික තැපැල් දීමනාවකටද හිමිකම් කියයි. ඊට අමතරව එම නිවස හා පාර්ලිමේන්තුව අතර ගමන් කිරීමට වන වියදම්ද ලබාදීම වන නමුත් නියමිත මාර්ගය පමණක් පාවිච්චි කළ යුතුය. එසේම සිය ඡන්ද කොට්ඨාෂයේ ගමන් කිරීමට වන වියදම ලබාදීම සිදු කරන අතර එය සිදුවිය යුත්තේද අදාල සීමාව තුළ පමණි. එයින් පිටත වන වියදම් පෞද්ගලිකව දැරිය යුතුය. එසේම මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ සාමාන්‍ය වැඩ කරන දිනවලදී ආහාර පාන වැනි පුද්ගලික වියදම් සඳහා හිමිකම් පෑමට නොහැකිය. තවද පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයට අමතරව වෙනත් ඇමැති ආදී තනතුරු වෙනුවෙන් වෙනම වැටුප් හා වරප්‍රසාද හිමිව තිබේ. කොහොම නමුත් ලැබෙන දේ ලැබෙන්නේ කාරියක්ෂමවම කටයුතු සිදුකිරීමේ සහ මහජන මුදල් නාස්ති නොවන ලෙස පාලනයක් යටතේය.

මේ ආදී වශයෙන් මහජන මුදල් අවභාවිතාව වැලැක්වීම වෙනුවෙන් නිතී ප්‍රතිපාදන විශාල ප්‍රමාණයක් මෙම ආයතනය විසින් පනවා ඇත. මන්ත්‍රීවරයකු ලෙස හිමිකම් පෑමේදී, මන්ත්‍රීවරුන් අනුගමනය කළ යුතු සමාජ ජීවිතයේ සම්බන්ධයෙන් මූලධර්ම හඳුන්වා දී ඇති අතර ඒ අනුව වන මන්ත්‍රීවරුන්ගේ චර්යාධර්ම සංග්‍රහයට අනුගත වීම විය යුතුය. ඒ කඩ වන්නේ නම් මෙම ප්‍රතිපාදන කප්පාදුවක් හෝ දඬුවමකට යටත් වීමක් හෝ වුව විය හැකිය. මේ අනුව මන්ත්‍රීවරුන් ඉල්ලා සිටින සියලුම මුදල් සඳහා වන ඔවුන්ගේ අයවැය සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලය කළමනාකරණය කිරීම ආදිය සඳහා නීත්‍යානුකූලව ඔවුන් වගකිව යුතුය.

මෙම අයතනය විසින් ස්වාධීන නියාමකයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ පාර්ලිමේන්තු කටයුතු කරගෙන යාමට සුදුසු පරිදි සම්පත් ලබා දීම සහ සුදුසුකම් ලත් හිමිකම් පෑමට ඔවුන්ට සහාය වීම සිදුකරන අතර ඒ සඳහා වන ප්‍රතිපත්ති මාලාවක්ද ඇත. සෑම මන්ත්‍රීවරයකුටම සමාන සහ සාධාරණ ලෙස සලකන අතර, කිසිවකුට අයතා අවාසියක් හෝ වාසියක් නොලැබේ. මන්ත්‍රීවරුන්ගේ වියදම් පිළිබඳ තොරතුරු මහජනතාවට දැනගැනීමේ පහසුකම සැලසීම මගින් විනිවිදභාවය ද තහවුරු කරයි.
බි්‍රතාන්‍ය වැනි දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල මැති ඇමැතිවරුන් දුම්රියේ, බස් රථයේ, සාමාන්‍ය කඩපොළේ දකින්නට ලැබෙන්නේ මෙවැනි පාලන කිරීම් හරහා ඔවුන්ද සාමාන්‍ය මිනිසුන් බවට පත් කිරීම නිසාය. විශේෂ වරප්‍රසාද බුක්ති විඳීමේ අවස්ථාවක් ඔවුන්ට දී නැත.

මෙරට සම්බන්ධයෙන් සිතා බැලුවහොත් බොහෝ විට ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයා පවා සිටින්නේ පොදු සමාජයට ඉහළින් සිටින වරප්‍රසාදිත ප්‍රභූ පැලැන්තියක් නියෝජනය කරන්නාක් මෙනි. එසේම විවිධ ජාවාරම් වල යෙදෙමින්, මහජන මුදල් දේපොළ අවභාවිතා කරමින් යහමින් වැජඹෙන්නකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම එම තත්වයන් වර්ධනය කරන අතර ඇමැතිධුරයක් යනු එහි උත්සන්නම අවස්ථාවකි. මේ තත්වයන් යටතේ ‘ස්වාධීන පාර්ලිමේන්තු ප්‍රමිති අධිකාරිය’ වැනි ආයතනයක් පිහිටුවීම මඟින් හෝ මේ දුෂිත සංස්කෘතිය අහෝසි කිරීම විය යුතු වීම යුගයේ බරපතල වුවමණාවකි. වත්මන් ජනාධිපතිවරයා එයට මූලික වී කටයුතු සම්පාදනය කිරීම, මේ රටේ සබුද්ධික පොදු ජනතාව අපේක්ෂාකරන දියුණු දේශපාලනික සංස්කෘතිය පිළිබඳ සිහිනය යථාර්ථයක් කිරීමකි.

- ඝෝෂක

 

the chatham street journal (csj.lk)

පුවත්පතෙන් උපුටාගන්නා ලදී

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us