නමුත් මේ රටේ කුමක් හෝ දියුණුවකට සැලසුම් කරද්දි නැත්නම් දේශපාලන නායකත්වය විසින් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් යහපත් දෙයක් කරන හැම වෙලාවකම පාහේ රාජ්‍ය නිලධාරී පැලැන්තියක් රකුසන් සේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු අස්සෙන් මතු වී ඇවිත් සියළුම සැලසුම් කඩාකප්පල් කිරීමත් පුරුද්දකි. මෙම සංවර්ධන ව්‍යාපෘති වලින් මිනිසුන් ගේ ජීවිතවලට හෝ රටට හෝ විය හැකි ප්‍රතිලාභය ගැන හිතන්නේ නැත. මේ අය මෙහෙම රටට විදේශ විනිමය උපයන ව්‍යාපෘති රැසක්ම විනාශකර තිබේ.
නමුත් මේ නාගඩම නටන්නේ රාජ්‍ය නිලධාරීන් අතලොස්සක් දෙනෙකු මිස සමස්ථය නොවේ. අය මේ ඇතැම් විට තම තමන්ගේ මඩි තරකරගන්න බලාගෙන නැතිනම් තමන්ගේ දේශපාලන හීන ඇත්ත කරගන්න මේවා කරනවා විය හැකිය. මීට තවත් නිදසුනක් සති දෙකකට කළින් පරිසර අමාත්‍යංශයෙන් මතු විය. ඒ ඉහළ නිලධාරීන් පිරිසක් විසින් නටන්නට සැලසුම් කරන නාඩගමක ලියුමක් සමාජයට ලීක් වීමත් සමගිනි.
මොකක්ද මේ පරිසර අමාත්‍යංශයේ ලියුම් හුටපටේ?
ලියුමක් නෙමෙයි ඇත්තටම ලියුම් දෙකක්. මේ ලියුම් නිකුත් කරන්නේ පසුගිය ඔක්තෝබර් මස 13 වැනිදාය. ඒ පරිසර අමාත්‍යංශයේ ලිපි ශීර්ෂයක අමාත්‍යංශයේ ලේකම් වෙනුවට අතිරේක ලේකම් ( පාලන ) වන සුබෝදිනි නම් තැනැත්තියක ගේ නිල අත්සනත් සමගිනි. අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කරන්නේ දොස්තර අනිල් ජාසිංහය.
මෙම ලියුම් ලියැවෙන්නේ භූ විද්‍යා හා පතල් කාර් යංශයේ අධ්‍යක්ෂ ජනරාල්ට බලපෑමක් කරමින්ය. එක් ලිපියක කියන්නේ භූ විද්‍යා හා පතල් කාර්යංශය හරහා විවිධ කැණීම් සඳහා අවසරපත්‍ර, බලපත්‍ර නිකුත් කිරීමේදී පරිසර අමාත්‍යංශයේ උපදෙස් පතන ලෙසටය. යළිත් දෙවැනි ලිපියකුත් එදිනම නිකුත් කර ඇත්තේ විශාල තදියමකිනි. එයින් උපදෙස් දෙන්නේ නැවත දැනුම් දෙනතුරු කාර්යංශයේ සභාපති ඇතුළු නිලධාරීන්ට සියලුම අකාරයේ බලපත්‍ර නිකුත් කිරීම තහනම් කර ඇති බවය. මේක එක විදිහක විහිලුවකි. එක ලියුමකින් යවන්න තිබ්බ දේ ලියුම් දෙකකින් දෙවිදිහකට නියෝග නිකුත්කිරීම මේ අමාත්‍යංශය මෙම තීරණ ගැනීම දෙකට දෙගිඩියාවෙන් ගත්තාද යන්න ගැන සැකයක් වේ.
අනෙක් ගැටළුව බලපතු නිකුත් කිරීම මුළුමනින්ම අත්හිටුවීමේ තීරණය යනු රජයේ ප්‍රත්පත්තිමය තීන්දුවක් විය යුතු වීමය. නමුත් එලෙස තීන්දුවක් රජය ගෙන නැත. නව පරිසර ඇමැතිවරයාද හෝ හිටපු ඇමැතිවරයා හෝ එවැනි තීන්දුවක් ගෙන නැත. මේ අනුව මෙය මුළුමනිනම් අමාත්‍යංශ ලේකම්වරයාගේ තීන්දුවක් බව පැහැදිලිය. පසුගියදා කෝප් කමිටුව හමුවේද මෙම බලපත්‍ර නිකුත්කිරීම වල ගැටළු ගැන අක්‍රමිකතා ගැන සාකච්ඡාවට භාජනය වුවද ඒ අත්හිටුවීම විය යුතු බව කමිටුව නිර්දේශ කර තිබුණේද නැත. කමිටුව පෙන්වා දී තිබුණේද කාර්යාංශයට බලපත්‍ර නිකුත් කිරීමේ ස්වාධීනත්වය අහිමිව ඇති බවත් පරිසර අමාත්‍යංශයේ බලපෑමකට යටත් වීමක් සිදුවන බව නිරීක්ෂණය වන බවත්ය.
ඒ අතර මෙම ලියුම් අගිස්සේ සටහනක් ද යොදා තිබෙන්නේ මෙම ලියුම් පිටපත් ජනධිපතිවරයාගේ දැනුවත් කිරීම පිණිස යවන බවයි.
ජනාධිපති අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න ඕනෙ ඇයි?
ඇත්තටම ජනාධිපතිවරයා මේ ගැන දැනුවත් වෙන්නම අවශ්‍යය. ඒ ලිපි ගැන නොව මේ ලිපි හරහා මේ මජර නිලධාරීන්ගේ පිස්සු කෙළීම ගැනය, අවසානයේ එය රටට වින කටින කෙළියක් වෙන එක ගැනය.
අවුරුදු දෙකක් හිඟා නොකා හිඟා කමින් හොම්බෙන් ගිය රටක් කකුල් දෙකෙන් නැගිට්ටවන්නට වර්තමාන ජනාධිපතිවරයා ක්‍රියා කළේ කිසිවෙකුගේ සහායක් නැතිවය. අද ලියුම් ගසමින් රඟන නිලධාරීන් එදා ඇත්තටම හිටියෙ නැට්ට දෙපරැන්දේ ගසාගෙනය. තමන්ට නැති වෙන දේ ගැන පමණක් හූල්ලමිනි. යහපත් හෙටක ඡායවක් නොපෙනෙන රටක හෙට දවස ගොඩනගන්න බාරගන්නට මේ ජනාධිපතිවරයා ක්‍රියා කළේ ජනතාවට විඳින්න සිදුවන අපා දුක් වලින් මුදවාගැනීමටය. සිය රාජ්‍යතාන්ත්‍රික හැකියාව භාවිතා කිරීමට මීට වඩා සුදුසු අවස්ථාවක් නොතිබෙන බව ද වටහා ගනිමිනි. අද යන්තමින් රටට හුස්මක් කටක් ගන්න පුළුවන් වෙන ගමනකට රට ගෙන එද්දි මේ මරි මෝල් නිලධාරීන් කරන්නේ මොකක්ද? නිලධාරීන් ගත් මේ තීරණය නිසා මග නතර වෙන ව්‍යාපෘති ගනනාවකි. ආයෝජන ගනනාවකි. රටටට විදේශ විනිමය ගෙනෙන ආයෝජනය ද මෙතැන ඇත.
රටේ ආදායම් වැහුවාම නිලධාරීන්ගේ සාක්කුවට කීයක් වැටේවිද?
මේ රටට ඉක්මණින් ඩොලර් ගේන්න හැකියාව තියෙන වැඩිපුරම ආයෝජකයින් ආකර්ෂණය කරගන්න හැකියාව තියෙන ඛණිජ සම්පත් වෙනුවෙන් නිකුත් කරන, බලපත්‍ර නිකුත් කිරීම හදිස්සියේ කිසිදු හේතුවක් නොමැතිව නතර කිරීමට හිතු මනාපේ ලියුම් ගැහුවාම රටට වෙන පාඩුව ගැන මේ අමාත්‍යංශ නිලධාරීන් දන්නෙම නැද්ද? මේ අනුව ලියුම් ගසා බලපත්‍ර අත්හිටුවා සනසවන්න යන වෙනත් පාර්ශ්වයක් සිටීනවාද කියන සැකය ඇති වීම ද වැලැක්විය නොහැක. රටට හෙණ ගැහුවත් මේ අයගේ සාක්කුවට ගාණක් වැටෙන්න නියමිත ද කියන සැකයද ඊ ළඟට ඇතිවෙයි.
නිලධාරීන් පිස්සු කෙළින හැටි බල බල ඉන්න ආයෝජකයින්ට වෙලාවක් නෑ.
අමාත්‍යංශයේ මේ ලියුම් සෙල්ලමෙන්, භූ විද්‍යා හා පතල් කාර් යංශයේ නිලධාරීන් ගේ රාජකාරි වළකන විට මෙරට ඛණිජ සම්පත් මිලට ගන්නට, ඒ වෙනුවෙන් ආයෝජනය කරන්නට පැමිණෙන පිරිස් කරන්නේ සියල්ල අකුලාගෙන රටින් පිටවීමයි. මොකද මේ රාජ්‍ය නිලධාරීන් එක්ක ඔට්ටු වෙන්න ආයෝජකයින්ට වෙලා නැත. සාමාන්‍යයෙන් පරිසර අමාත්‍යංශය කියන්නෙම මේ රටේ ආයෝජනයට වඩාත්ම බාධාකාරීවන ආයතනයයි. විදේශ ආයොජකයකුට තබා මෙරට ආයෝජකයෙකුටවත් පරිසර අමාත්‍යංශයෙන් ව්‍යාපෘති අවසරයක් ගැනීම ඉබ්බන්ගෙන පිහාටු ඉල්ලීමට වඩා අසීරු කටයුත්තක්ව තිබේ. ජරාව දෙන්න සුදානම් නම් වැඩේ කරගැනීමේ පහසුව මෙම අමාත්‍යංශයේ තිබෙන බවත් ප්‍රසිද්ධ කරුණකි. ආයෝජනයට තියෙන එකම රටත් මේකම නොවන නිසා විදේශ ආයෝජකයන් ආපසු හැරීයාම නිතර සිදුවන්නකි. රටේ දේශපාලන අධිකාරිය මොන සෙල්ලම් දමා හෝ ආයෝජකයන් මෙරට ලගන්වා ගත්තත් මේ නිලධාරීන් එක්ක ඒ වැඩේ කිරීම පහසු නැත.
රට අද් මුහුණ දී ඇති තත්වය හමුවේ මේ නිලධාරී කුමන්ත්‍රණ නිසා සිදු වන්නේ හිඟන්නගේ පාත්තරේට හෙනහුරා වැටුණා වගේ යාන්තමින් අලුත් ඩොලර් ටිකක් හොයා ගන්නට තිබෙන අවස්ථාවත් නැති වී යාමයි. ඒ එසේ වුවත් රට නැවත ඩොලර් නැති අර්බුදයකට මුහුණ දෙන්නට පටන්ගත් විට හැමෝ ම තඩිබාන මුවහම බවට පත්වන්නේ ජනාධිපතිවරයාය.
මේ නිසා ඇත්තටම ජනාධිපතිවරයා දැනුවත් විය යුත්තේ ඔහුගේ ගමනට, දැක්මට, වැඩපිළිවෙළට වළ කපමින් මේ රටේ බහුතරයක් මිනිසුන්ගේ ජීවිත වලට වින කටින්න මාන බලන කුප්ප නිලධාරීන් තවත් එක්ක සෙල්ලං කරනවාද, නැතිනම් රටේ යහපත වෙනුවෙන් මේ අතලොස්සක් නිලධාරීන් සල්ලං කරනවාද යන්නයි.
අද ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සමඟ ඇත්තටම අමාත්‍යංශ වල ලේකම්ලා, දෙපාර්තමේන්තු වල ජෙනරාල්ලා ගේ සිට ඉහළ රාජ්‍ය නිලධාරි පැළන්තිය අනුගත ද? ජනාධිපතිවරයා ගේ ආර්ථික ඉලක්ක සපුරාගන්න මේ නිලධාරී පැලැන්තිය අනුබල දෙනවාද යන්න වටහාගන්න මේ සිදුවීම හොඳ ම අවස්ථාවකි.
පරිසර ඇමැතිට වදින අහක යන ගල්
මේ ලියුම් වලින් අනෙක් ගල්පාර වදින්නේ ජනාධිපතිවරයා විසින් පරිසර අමාත්‍යංශයට අලුතින් පත්කරන ලද පරිසර අමාත්‍යවරයාටය. මොකද මෙහෙම ලියුම් සිය අමාත්‍යංශය යටතේ ඇති දෙපාර්තමේන්තු වලට යවද්දී ඒ 2 වන 3 වන පෙළේ නිලධාරීන් හිතන්නේ මේ ක්‍රියාත්මක වන්නේ අලුත් ඇමතිගේ මරි මෝල් වැඩක් කියාය. එතකොට ඒ හරහා බිලි පූජාවට ලක්වන්නේ පරිසර ඇමතිවරයාය.
වත්මන් ඇමතිවරයා වන කෙහෙළිය රඹුක්වැල්ලට මේ ආයෝජන ගැන දැනුමක් ඇති බවට සැක නැත. නමුත් මේ වැඩ වලින් රටට ආදායම් එන පාරවල් වහන්න වැඩ කරනවා කියා මහජන වෛරයට ලක්වන්නේ ඇමැතිවරයාය. මේ නිසා පරිසර අමාත්‍යංශයේ නිලධාරීන් ඒ වෙනුවෙන් උනන්දු වන්නේ ඇයි ද කියා ඇත්තටම ඇමතිතුමෝ හොයන්නටම ඕනෑ මය. නැතිනම් මේ හදන්නේ සෞඛ්‍ය වගේම පරිසරෙත් කරන්න බැරි ෆේල් ඇමතියෙක් කියා කෙහෙළියට හන ගසන්නට බව ඕනෙම මෝඩයෙක්ට තේරෙන කතාවක් බවට දැන් මේ ලියුම් දෙක පත් වී හමාරය.
මෙහෙම නිලධාරීන් එක්ක මොන 2048ක් ද ?
දේශපාලනිකව හෝ බඩගෝස්තරය වෙනුවෙන් හෝ ඇතැම් රාජ්‍ය නිලධාරීන් කටයුතු කිරීම නිසා රටට අහිමි වී ඇති දෑ බොහොමය. එය දේශපාලකයන් රටට කළ විනාශයක් තිබේනම් ඊට වඩා බොහෝ විශාලය.
ජනාධිපතිවරයාව, ආණ්ඩුව, අමාත්‍යවරයාව අපහසුතාවට පත්කරන්නට හිතාගෙන රටට වැඩදායක ව්‍යාපෘති විනාශ කරන්නට නිලධාරීන් වැඩ කරනවානම් එහි පාඩුව අවසානයේ රටට ජනතාවටය.
මේවා රටට ලෝකෙට හෙළි කරන්නම ඕනෑ ය. මෙහෙම නිළධාරීන් තනතුරු වලට මුවාවෙලා කරන කියන මරි මෝල් කියුම් කෙරුම් ඉස්සරහා තිත්ත කසාය බිවූ ගොළුවන් ලෙස ජනතාව සිටිය යුතු ද නැත. මේ රට වළපල්ලට ගෙනියන සහ ගෙනගිය නිලධාරීන් කළේ තමන්ගේ කුප්පකම් වහගන්න දේශපාලකයින්ව පාවා දෙන එකය. දැන් වත් රට මේ බංකොළොත් වළපල්ලෙන් ගොඩ එන්න හැකි මානයක් පෙනි පෙනී තියෙන වෙලාවක, නැවත වතාවක් රට පහලට තල්ලු කරන්නට දත කන නිලධාරීන් ගේ බලපුළුවන් කාරකම් අතු ගා දැමිය යුතුමය.
මේ වංක අධම නිලධාරී පැළන්තිය සුද්ද කිරීමේ වගකීම ද රට ගොඩනගනවා තරමටම වැදගත් ලෙස ජනාධිපතිවරයාද ආණ්ඩුවද සැලකිය යුතුය. මොකද මෙහෙම හොර ගෙඩි එක්ක වැඩකර ගොඩ ගිය රටවල් නැති බැවිනි.
- විශේෂ ලියුම්කරුවෙක් විසිනි