මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකාවෙන් (එවකට බී.එම්.එස්. පාසල) අධ්‍යාපනය ලබා එංගලන්තයේ සහ අමෙරිකාවේ ඉහළ අධ්‍යාපනය හැදෑරූ රංගිතා හේරත් ව්‍යපෘති පිරිවැය සැලසුම් ශිල්පිනියකි. සිවිල් ඉංජිනේරුවරියකි. ව්‍යාපෘති පරිපාලන කළමනාකාරිණියකි. අමෙරිකාවේ නිව්යෝක් නුවර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණ සහ නිශ්චල දේපල සම්බන්ධ ඉදිකිරීමේ සහ ව්‍යාපෘති කළමනාකරණ විශේෂ උපාධිධාරිනියක වන ඇය ‘සිළුමිණ‘ට කියන කතාවයි මේ.
‘1998 වෙද්දි මම ඩුබායි රජය යටතේ පවතින එමාර් ප්‍රොපර්ටීස් සමාගමේ ජ්‍යෙෂ්ඨ ව්‍යපෘති පිරිවැය කළමනාකාරිනිය විදිහට කටයුතු කරමිනුයි හිටියේ. එමාර් ප්‍රොපර්ටීස් තමයි ඩුබායිවල මුල්ම නිශ්චල දේපළ ආයෝජන සමාගම. මම තමයි ඒ සමාගමට එකතු වුණු මුල්ම ශ්‍රී ලාංකිකයා. ඒ කාලේ තමයි දැවැන්ත ව්‍යාපෘතියක් පටන් ගන්න ලෝකයේ ඉතාමත් ප්‍රසිද්ධ ගොල්ෆ් ක්‍රීඩකයකු හා විශේෂඥයකු වන කොලින් මොන්ට්ගොමරි ඩුබායි නගරයට ආවේ. මේ ව්‍යාපෘතිය පටන් ගන්න කලින් මොන්ට්ගොමරි එක්ක මම එමිරේට්ස් කාන්තාරයට ගිහින් වැලි අහුරක් අරගෙන ඒක පරික්ෂණයට යැව්වා. එතැන ඒ වගේ ව්‍යාපෘතියක් පටන් ගන්න හැකියාවක් තියෙනවද කියලා හොයා බලන්න. ඩුබායි නුවර අල් මක්තුම් රජ පවුලේ සමීපතමයෙක් වන එමාර් ප්‍රොපටීස් සභාපති මොහොමඩ් අලිඅබ්බාර් ශේක්වරයාත් අපිත් එක්ක ඒ ගමනට එකතු වුණා. ඩුබායි නගරය ලෝකයේ විශිෂ්ටතම නගර අතරට එක්වෙන්න ඒ ව්‍යාපෘතිය ලොකු පිටිවහලක් වුණා.‘ ඇය අතීතය සිහිපත් කරමින් එසේ කීවාය. එය සිය 27 වසරක වැලිකතරේ ව්‍යාපෘති දිවියේ ස්වර්ණමය මතක සටහන් බවත් ඇය කීවාය. එමාර් ප්‍රොපර්ටීස් ඩුබායි රජු යටතේ තිබුණු අතර, රංගිතා එහි ඉහළම මට්ටමේ පළමු පස්දෙනා අතරට ඇතුළත්ව සිටියාය.
‘පිරිවැය සැලසුම එහෙමත් නැතිනම් ‘කොස්ට් ප්ලෑන්‘ එක කියන්නේ රටක සල්ලි කොහොමද වියදම් කරන්නේ; කොහොමද රටකට සල්ලි අරන් එන්න හැකියාව ඇති ව්‍යාපෘති ආරම්භ කරන්නේ කියන එකයි. ලංකාව වගේ පොඩි රටක ඉගෙන ගෙන ඒ වගේ දැවැන්ත ව්‍යාපෘතිවලට අත ගහන්න ලැබීම මම මුලින්ම අධ්‍යාපනය ලබපු පාසලෙන් මම ලැබූ ආශිර්වාදයක් කියලයි මම හිතන්නේ. මොරටුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවන්, අම්පාර හාඩි ස්කූල් එකේ ඉංජිනේරුවන් සියලුම අය අපි වැඩ කරපු ව්‍යාපෘතිවල අපිත් එක්ක වැඩ කළා. අටසීයක් පමණ දක්ෂ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් මා සමඟ වැඩ කළා. ඒ අතර එංගලන්තයේ අයත්, අමෙරිකාව දකුණු අප්‍රිකාව පාකිස්තානය, ඉන්දියාව මැලේසියාව වගේ හැම රටකම අය හිටියා. ‘
එම ව්‍යාපෘතිය හඳුන්වන්නේ එමිරේට්ස් හිල්ස්‘ නමිනි. එය මොන්ට්ගොමරි ගොල්ෆ් ක්‍රීඩාංගණය සහ ඒ අවට නේවාසික පහසුකම් සහිත අතිශය සුඛෝපභෝගී ව්‍යාපෘතියකි. එමාර් ප්‍රොපර්ටීස් සමාගමේ ව්‍යාපෘති සාර්ථක කරගැනීමට ඇය දැක්වූ දායකත්වයට එම සමාගමේ Emaar Excellency Services සම්මානයට ද ඇය පාත්‍ර වූවාය.
‘අපි සාමාන්‍යයෙන් යම්කිසි ව්‍යාපෘතියක් පටන් ගන්න කොට කොස්ට් ප්ලෑන් එකට මොකක් හරි නමක් දාන්න ඕනා. ඒ ව්‍යාපෘතියට එමිරේට්ස් හිල්ස් කියන නම මම දැම්මේ මහනුවර කඳුකරය සිහිපත් වෙන්නයි. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ පටන් ගත්තු ව්‍යාපෘතියටත් ‘එමිරේට්ස් ලේක්ස්‘ කියන නම දැම්මේ මහනුවර සිහිපත් වෙන්නයි. මේ නම් දෙකම කඳු නැති ඒ වගේම වැව් නැති අරාබි කාන්තාරයට අමුතු ආලෝකයක් වුණා. මේ ව්‍යාපෘති දෙකම ඒ නම්වලින් කරන්න ඩුබායි රජ පවුල අනුමත කළා. එතැනින් තමයි ඩුබායි සංවර්ධනයට පාර කැපුණේ. අදටත් පාවිච්චි කරන්නේ ඒ නම්. ලාංකිකයෙක් විදිහට මම ඒ ගැන ආඩම්බර වෙනවා. අපේ රටේ පොඩි දෙයක් හරි ඒ රටට අරගෙන ගිහින් මතක හිටින වැඩක් කරන්න මට පුළුවන් වුණා කියලා.‘ ඇය ඩුබායි සංවර්ධනයට මහනුවරින් ආභාෂය ගත්තේ එලෙසිනි.
‘ඒ කොස්ට් ප්ලෑන් එක හරිම විශාල එකක්. බිලියන 4ක වටිනාකමකින් යුතු එකක්. මම ඊට කලින් එච්චර ලොකු ගාණක් හදලා තිබ්බෙත් නෑ. ඇත්තම කියනවා නම් මට ඒ සඳහා ගණන් හදද්දීත් මට ප්‍රශ්නයක් වුණා මම කොහොමද මෙච්චර ලොකු ගාණක කොස්ට් ප්ලෑන් එකක් හදන්නේ කියලා. ඊට පස්සේ තමයි ඩුබායිවල හැම ව්‍යාපෘතියකටම රජ පවුල මාව සම්බන්ධ කරගත්තේ. ඒක මගේ වෘත්තීමය ජීවිතයේ ලබපු විශාල අත්දැකීමක්. ඒ වගේම ජයග්‍රහණයක්. මගේ මවුපියන් මට දුන්නු ආශීර්වාදයත්, මට උගන්වපු ගුරුවරුන්ගෙන් ලැබුණු ගුරුහරුකම් මැදත් මේ තරම් දෙයක් කරන්න මට ලොකු පන්නරයක් ලැබිලා තිබුණා.‘ ඇය එසේ කියන්නේ ආඩම්බරයෙන් යුතුවය.
රංගිතා හේරත් ඩුබායි නුවරට සේන්දු වූයේ 1991 වසරේදීය. එම වසරේ මාර්තු මාසයේ ඇය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොඩ බසින්නේ අමෙරිකාවට සම්බන්ධ මැක්ඩර්මොට් ජාත්‍යන්තර ‘ඕෆ්ෂෝ‘ තෙල් සමාගමේ සිවිල් ඉංජිනේරුවරියක් ලෙසටය. ‘ඕෆ්ෂෝ‘ යනු වෙරළාශ්‍රිතව ඉදි කරන තෙල් සහ ගෑස් කර්මාන්ත මෙහෙයුම් සඳහා භාවිත වන පොදු යෙදුමකි. ඒ සමඟම අරාබි මුහුදේ ඉරාන වෙරළාශ්‍රිත තෙල් ව්‍යාපෘතියේ සිවිල් ඉංජිනේරුවරියක ලෙස කටයුතු කිරීමට ඇයට අවස්ථාව ලැබී තිබිණි. අනතුරුව ඇය ඩුබායි හි එංගලන්තය කේන්ද්‍ර කරගත් ඩී. ජී. ජෝන්ස් සමාගමේ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ව්‍යාපෘති ඉදිකිරීම් පිරිවැය පරිපාලනයට සම්බන්ධ වූවාය.
‘ඒත් එක්කම මගේ සිවිල් ඉංජිනේරු සුදුසුකම් හා අධ්‍යාපනික සුදුසුකම් මත ඩුබායිවල විශාල ව්‍යාපෘති රැසකට සම්බන්ධ වෙන්න ඩුබායි රජයෙන් මට ඇරියුම් ලැබුණා.‘ජුමෙයිරා බීච්‘ ව්‍යාපෘතියට මම සම්බන්ධ වුණේ ඉන් පසුවයි. එතැනදී මම වැඩ කළේ විදෙස් ජාතිකයන් එක්කයි. අමෙරිකානු, බ්‍රිතාන්‍ය වගේ රටවල ඉහළම මට්ටමේ ව්‍යාපෘති විශේෂඥයන්ගෙන් විශාල දැනුම් සම්භාරයක් මට ලබාගන්න හැකි වුණා. ජුමෙයිරා හොටෙල් ව්‍යාපෘතිය වගේම බර්ජ් අල් ඇරබ්‘ අතිසුඛෝපභෝගී නිවාස සංකීර්ණය, ලෝකයේ උසම ගොඩනැගිල්ල ‘බර්ජ් කලීෆා‘, ඩුබායි ගෝල්ඩ් ඇන්ඩ් ඩයමන්ඩ් පාක්, ඩුබායි මැරීනා, සියලුම ‘ලේක්ස්‘ ව්‍යාපෘති, ඩුබායි ඉන්ටර්නෙට් සිටි දෙවැනි අදියර මේ හැම ව්‍යාපෘතියක්ම මගේ පිරිවැය සැලසුමට අනුව ගොඩනැඟුණා. එතැන ඉඳලා 2005 වෙනකල් තවත් ව්‍යාපෘති රැසකට දායකත්වය දෙන්න මට අවස්ථාව ලැබුණා.‘ ඇය එමිරේට්ස් වැලි කතර ක්ෂේම භුමියක් බවට පත් කිරීමට දැමූ අඩිතාලම ගැන එසේ කීවාය. අනතුරුව ඇය ඩුබායි හෝල්ඩිංග් සමූහ ව්‍යාපාරයට එක්ව එරට නිශ්චල දේපළ ව්‍යාපෘති රැසකට දායකත්වය ලබා දුන්නාය.
‘ඒ වැඩ කටයුතු කරගෙන යද්දී තමයි මාව අවශ්‍ය බව අබුඩාබි රජයෙන් දැනුම් දුන්නේ. ඒ අනුව 2008 වසරේ ඉඳලා මම අබුඩාබි රජයටයි වැඩ කළේ. අබුඩාබි රජය යටතේ පවතින රජ පවුලේ සුල්තාන් බින් ටහ්නූන් අල් නහ්යාන් ශේක්වරයාගේ අබුඩාබි ජාතික ප්‍රදර්ශන සමාගමේ (ADNEC) හයිට් කැපිටල් ගේට් කියන අංශක 18 වර්ගයේ ව්‍යාපෘතියේ මම අවුරුදු 10ක්ම වැඩ කළා. එකත් ඉතාම දුෂ්කර ව්‍යාපෘතියක්. ඒත් එක්කම අබුඩාබි රජු එංගලන්තයේ ලන්ඩන් නුවර එක්සෙල් කියලා ව්‍යාපෘතියක් පටන් ගත්තා. ඒ ව්‍යාපෘතියේ සියලු වගකීම මා යටතට පත් කළා. ඊගල්ස් හිල්ස් ජාත්‍යන්තර සමාගමට එකතු වෙලා ජාත්‍යන්තර ව්‍යාපෘති ගණනාවක වැඩ කරන්න අවස්ථාව ලැබුණා. සර්බියා සංවර්ධන ව්‍යාපෘතිය, නයිජීරියාවේ අබූජා සංවර්ධන ව්‍යාපෘතිය, බහරේන්, යුක්රේනයේ, කටාර් වගේම ඉතියෝපියාවෙත් ව්‍යාපෘති රැසකට මම දායක වුණා. අපි මැලේසියාවෙත් ව්‍යාපෘති කළා.‘ රංගිතා හේරත්ගේ ව්‍යාපෘති ජීවිතයේ වපසරිය විමතිය දනවන්නකි. ශ්‍රී ලාංකික කාන්තාවකගෙන් මෙවැනි කාර්යභාරයක් ජාත්‍යන්තරය තුළ සිදුවීම සැබැවින්ම විස්මයජනකය.
‘මේ හැම ව්‍යාපෘතියකින්ම එමිරේට්ස් රටට විශාල ආදායමක් ලබා දෙන්න මට දායකත්වය දෙන්න හැකි වුණා. ඒක කොයිතරම් ජයග්‍රහණයක්ද? කැපිටල් හයිට් ව්‍යාපෘතියේ නිර්මාණ ශිල්පියා ටෝනි ආර්චිබෝල්ට් ලෝක ප්‍රකට ආර්. එම්. ජේ. එම්. ගෘහ නිර්මාණ සමාගම එක්කයි වැඩ කරන්නේ. එයා මේ කැපිටල් ගේට් එක අමුතු හැඩයකට හදපු එකක්. ඒ වගේම ලෝක ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පීන් කිහිපදෙනෙක් එක්කම මට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඩුබායිවල එමිරේට්ස් හිල්ස් ව්‍යාපෘතියේ ගොල්ෆ් ක්‍රීඩා සංකීර්ණයේ නිර්මාණ ශිල්පියා වුණේ ඩෙස්මන්ඩ් මොයර්හෙඩ්. ටොම් රයිට්, කෙවින් කුක් ජුමෙයිරා ව්‍යාපෘතියේදි එකතු වුණා. ඇය කීවාය.
එමිරේට්ස් හි රැකියාවේ නිරත වූ දශක දෙකකට වැඩි කාලයක් පුරා රංගිතා හේරත් ගිනස් වාර්තා ත්‍රිත්වයකටම දායකත්වය දීමට ද සමත් වූවාය. ඇය වසර 2018 දී වැලිකතරේ ජීවිතයට සමු දී යළි ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර අවසන් වරට සම්බන්ධව සිටි කැපිටල් ගේට් ව්‍යාපෘතිය ගිනස් පොතට ඇතුළත් වී ඇත්තේ මිනිසුන් විසින් තනනු ලැබූ ලොව වඩාත්ම ඇලවුණු ගොඩනැගිල්ල හැටියටය. එය අංශක 18ක් බටහිරට ඇලවී ඇති ආකාරයෙන් ඉදිකරනු ලැබුවේ රංගිතාගේ පිරිවැය සැලසුමේ දායකත්වය ද ලබමිනි. කැපිටල් ගේට් ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ ඉතාලියේ පීසා කුලුනට වඩා සිවුගුණයක් ඇලවී තිබෙන අයුරිනි. මිනිසුන් විසින් තනනු ලැබූ ලොව උසම ගොඩනැගිල්ල ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත් වන්නේ ඩුබායි නුවරදී රංගිතා හේරත්ගේ පිරිවැය සැලසුමට අනුව ඉදි වූ බර්ජ් කලීෆා ගොඩනැගිල්ලය. එමෙන්ම මිනිසුන් විසින් එළිමහන් ගොඩනැගිල්ලක උසම ස්ථානයක තනනු ලැබූ පිහිනුම් තටාකය පිහිටා ඇත්තේ ජුමෙයිරා බීච් හෝටල ව්‍යාපෘතියේය. එය ඉදිකර ඇත්තේ පොළොව මට්ටමේ සිට මීටර් 294ක් උසින් පිහිටි 77 වැනි මහලේය.
‘ගිනස් වාර්තාපොතට ගිය ව්‍යාපෘති තුනකම මගේ නමත් ඇතුළත් වීමත් සතුටක්. මේ ගිනස් වාර්තා ගැන ඉදිකිරීම් සම්බන්ධ සඟරාවක් වන ‘කන්ස්ට්‍රක්ෂන් වීක්‘ කියන සඟරාවේ ලිපි ගණනාවක් පළවුණා.‘ ඇය සිනාසෙමින් එසේ කීවාය.
අබුඩාබි රජයේ ජාතික ප්‍රදර්ශන සමාගමේ රැකියාව කරද්දී ඇයට තවත් වගකීම් රැසක් පැවැරී තිබිණි. අබුඩාබියේ වාර්ෂිකව සංවිධාන කෙරෙන ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රදර්ශනය ද ඒ අතර විය.
‘ඒ ප්‍රදර්ශනයට සියලුම හමුදා සමඟ කටයුතු කරන්නයි මාව පත් කළේ. ඒ නිසාම ලෝකයේ හමුදා සියල්ලම එක්ක වාගේ වැඩ කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ ප්‍රදර්ශනයට බෙහෝ රටවල යුද විශේෂඥයන් පැමිණියා. අබුඩාබි රජයේ පොලිසිය, හමුදාව, ගුවන් හමුදාව සම්බන්ධ කරගෙනයි මම මේ වැඩ කටයුතු කළේ.‘ ඇය සඳහන් කළාය.
ඩුබායි නුවර ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ ආරම්භක සාමාජිකාවක් වන රංගිතා සිය කාර්යබහුල ජීවිතය අතරතුර ඩුබායි නුවර ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය සමඟ එක්ව පන්සල් හා දහම් පාසල් ද පිහිටුවීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇතැයි ‘සිළුමිණ‘ට කීවාය.
‘මේ වගේ ගොඩාක් දේවල් කරන්න එමිරේට්ස් ව්‍යවස්ථාවට අනුව ඩුබායි හා අබුඩාබි රජයෙන් මට අවසර ලැබුණා. මම ආගමට දහමට බොහෝම ළැදි කෙනෙක්. ළමා වියේ ඉඳලම හැදුණේ වැඩුණේ ඒ වගේ පරිසරයකයි. බෞද්ධයෙක් වශයෙනුත්, ශ්‍රී ලාංකිකයෙක් වශයෙනුත් බුදුන් වහන්සේ දේශනා කළ කරුණු කාරණා තරයේම විශ්වාස කරන කෙනෙක්. බුදු දහම එක්ක බැඳුණු විද්‍යාව ගැන ගැඹුරින් අධ්‍යයනය කරපු කෙනෙක්. මගේ මේ සාර්ථක ගමනට ඒකත් ආශිර්වාදයක් වුණා.‘ඇය වැඩිදුරටත් කීවාය. රංගිතා හේරත් මේ වන විට යළි ශ්‍රී ලංකාවට පැමිණ වසර 5කි. ඇය දැනට ජාත්‍යන්තර ව්‍යාපෘති කිහිපයකට සම්බන්ධව කටයුතු කරන අතර, ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව සමඟ ද සමීප සම්බන්ධතාවක් පවත්වමින් සිටී. ඇය විවාහ වී සිටින්නේ යුගෝස්ලෝවියානු ජාතිකයකු සමඟය. ඔහු මාර්කෝ ටොකික් නමැති කාර්මික ඉංජිනේරුවරයෙකි.
‘මාර්කෝ මට මුණ ගැහුණේ සර්බියාවේ බෙල්ග්‍රෙඩ් අගනුවර ව්‍යාපෘතියකට සම්බන්ධව කටයුතු කරද්දි. 2014 වසරේදි විතර. ඒ ව්‍යාපෘතිය අතරතුර මට ඇරියුම් ලැබුණා සර්බියාවේ ජනාධිපතිවරයා එක්ක භෝජන සංග්‍රහයකට එක් වෙන්න. ඔහු ජනාධිපතිවරයාගේ බුද්ධි අංශයේ ආරක්ෂක උපදේශකවරයකු ලෙස කටයුතු කරමිනුයි හිටියේ. ඔහු යුගෝස්ලෝවියාවේ හිටපු ජනාධිපති මාෂල් ටිටෝගේ මුනුපුරා. මාෂල් ටිටෝගේ දුවගේ පුතා. මම ලංකාවෙන් කියලා කිව්වම මාත් එක්ක ගොඩාක් තොරතුරු හුවමාරු කරගත්තා. අපේ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එයාගේ සීයාගේ හොඳම මිතුරියක් කිව්වා. අගමැතිනියට ඒ කාලේ තෑගි බෝග ගොඩාක් දීලා තියෙනවා කියලත් කිව්වා. එතැනින් තමයි අපි දෙන්නගේ සම්බන්ධය පටන් ගත්තේ.‘ රංගිතා හේරත් සිය පෞද්ගලික ජීවිතයේ තොරතුරු ද බෙදා හදා ගත්තාය.
‘ඉතින් මේ අත්දැකීම් මගේ රටටත් දෙන්න මට ලොකු වුවමනාවක් තියෙනවා. මම ඉගෙන ගත්තු දැනුම, විශේෂ තාක්ෂණය මේවා ලංකාවේ යම්කිසි ව්‍යාපෘතියකට යොදා ගන්න පුළුවන් නම් ඒක මට සතුටක්. ඒ වගේම මහනුවර නගරය ඉතා අලංකාර නගරයක් බවට පත් කරලා ලෝකයට අරන් යන්න මට ලොකු වුවමනාවක් තියෙනවා. ඒවාට ඉතින් රජයේ හෝ පෞද්ගලික අංශයේ මැදිහත්වීමක් අවශ්‍යයි.‘ ඇය අවසන් වශයෙන් කියා සිටියාය.
ෆවුස් මොහොමඩ්
silumina
8 ජූලි, 2023