ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම ගැන කිසිදු වගවිභාගයක් නොමැතිව පසුගිය වසර දෙක තුන තුළදී ගත් ක්‍රියාමාර්ග නිසා අද සමස්ත රට වැසියාම ආහාර අහේනියකින් පෙළේ. විශේෂයෙන්ම රසායනික පොහොර සහ කෘෂි රසායන බාවිතය හිටි හැටියේ තහනම් කර කාබනික වගාවට යොමු වන්නැයි කියමින් හිටපු ජනාධිපති ඇතුළු ආණ්ඩුව ගත් අමනෝඥ තීන්දුව මේ සඳහා බරපතලම හේතුව විය.
මෙවැනි තීන්දු තීරණ ගන්නා විට රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා සෞඛ්‍ය ගැටළු ඇතිවෙනවාය කියන නිශ්චිත නොවන කාරණා පමණක් සලකා බලා තීන්දු නොගත යුතුව තිබිණි. විශේෂයෙන්ම මෙරට වකුගඩු රෝගය බහුල වීමට හෙතුව මේ රසායනික පොහොරය කියන මිත්‍යාව විශ්වාස කරගෙන මෙම කටයුත්ත සිදු කෙරිණි.
එහෙත් මෙහි සත්‍ය කතාව පොහොර ගෙන්වීමට ඩොලර් නැතිවීමය කියන කාරණය බවද කියැවෙයි. එය සත්‍යක් නම් රජය කළ යුතුව තිබුණේ රසායනික පොහොර පාලනයක් සහිතව ලබා දීමත් කාබනික වගාව ක්‍රමයෙන් සැලසුමක් සහිතව රටේ ආහාර හිඟයකට තුඩු නොවන ලෙස ක්‍රියාත්මක කිරීමය. එහෙත් එවැනි දුර දක්නා නුවණකින් කටයුතු කළෙ නැත.
රජයක් යම් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නා විට එම තීන්දු තීරණ සමඟ එම ක්ෂේත්‍රයේ පමණක් නොව අනෙකුත් ක්‌ෂේත්‍රවලට වන බලපෑම ගැනද අධ්‍යනයක සිටිය යුතුය. එසේ නොවුණහොත් කෙතරම් වැදගත් ප්‍රතිපත්තිමය තීන්දු වූවාට එමඟින් රටට ඇති කරනු ලබන්නෙ අයහපත් ප්‍රතිපලයන්ය.
රටෙ ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීම පිණිස ජාතික සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඊයේ ජනාධිපතිවරයා කළ ප්‍රකාශය වැදගත් වන්නේ එම වැඩ සටහනට අදාලව පමණක් නොවේ.
යමක් සැලසුම් කරන විට කල්පනා කළ යුතු පරාසයේ තරම කොපමණද යන්නත් මෙම ප්‍රකාශයෙන් වැටහීමක් ගත හැකිය. පුළුල්ව කල්පනා කරනාව කියන්නේ ඒකටය. පරිණත නායකත්වයේ භුමීකාව කියන්නේ ඒකටය. බහුශ්‍රැත බාවය කියන්නේ ඒකටය.
එහෙම නායකත්ව පෞර්ශයක් අද රටට ලැබී තිබෙන විට අප කළ යුත්තේ ඊට සහය දක්වා අභියෝගය ජය ගැනීම වෙනුවෙන් කළ හැකි උපරිම කැප කිරීම ඒ වෙනුවෙන් දැරීමය. විශේෂයෙන්ම රාජ්‍ය නිල්ධාරී තන්ත්‍රයෙන් ඒ කැපකිරීම රටම බලාපොරොත්තු වෙයි. නිවැරදි ප්‍රතිපත්ති සැලසුම් වැඩපිළිවෙල ඔස්සේ වැඩ කිරීමේ හැකියාවක්, අවස්ථාවක් රාජ්‍ය සේවකයාට ලැබේ නම් රාජ්‍ය සේවයේ රාජකාරී කිරීමේ අභිමානය රාජ්‍ය සේවකයාට නිතැතින්ම ලැබේ.
අද රාජ්‍ය සේවකයා යන්න රටට ඉරක්, රටට පිළිලයක් වී ඇත්තේ මේ රාජ්‍ය සේවයට නිවැරදී නායකත්වයක් නොමැතිව වංචාව දූෂණය අකාර්යක්ෂමතාව සමඟ අයාලේ යෑම නිසාය. අද එතැනින් වෙනස් වෙන්නට අවශ්‍ය වටපිටාව සහ පහසුකම් නැතිනම් රාජ්‍ය සේවයට නංවාලීමට අවශ්‍ය ආහාර සහ පෝෂණය රාජ්‍ය සේවකයාටත් ලැබී තිබෙන බව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් ගම්‍ය වන අනෙක් වැදගත් කරුණය.
ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය ස්ථාපනය කිරීමේ සමාරම්භක වැඩසටහන සම්බන්ධයෙන් නිකුත් කෙරුණු ජනාධිපති මාධ්‍ය අංශයෙ නිවේදනයේ උපුටා ගැනීම පහත දැක්වේ.
"මෙහිදී ..කෘෂිකර්මාන්තය නවීකරණය තුළින් නිෂ්පාදනය සහ තරඟකාරිත්වය ඉහළ නංවා ගනිමින් විදේශ විනිමය ඉපැයිය හැකි ක්ෂේත්‍රයක් බවට කෘෂිකර්මාන්තය පත්කර ගත යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ගෝලීය ආහාර අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආහාර ගැටලුව විසඳාගැනීමට සැලසුම්සහගතව හා සාමුහිකව කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ රජයේ නව වැඩසටහන සමග සියලුදෙනා අත්වැල් බැඳගත යුතු බව ද සඳහන් කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කීය.
හැම කෙනාටම ජීවත්වෙන්න අවශ්‍ය ආහාර අප ලබා දිය යුතුයි. අපේ ආර්ථිකය 7%ක සෘණ මට්ටමක තිබෙන්නේ. ආර්ථිකය හැකිළුණු විට ජනතාවගේ ආදායම අඩු වෙනවා. ජනතාවගේ ආදායම අඩු වුණහම ඒ අයට ජීවත් වෙන්න මාර්ගයක් නැති වෙනවා.
අපි බැලුවොත් අද ඉදිකිරීම් අංශයේ විශාල විරැකියාවක් තිබෙනවා. ආණ්ඩුව නැවත මුදල් ලබාගෙන ඉදිරියට එනකන් මේ තත්ත්වයට මුහුණ දෙන්න වෙනවා.
අද රටේ කොටසක් ඉන්නවා ආහාර නැතිව. මධ්‍යම පාන්තිකයින්ගේ ආදායම නැති වෙලා. කාගෙන්වත් ඉල්නන්න කැමති නැ, ඔවුන් ලැජ්ජයි, මේ ප්‍රශ්නයට අපිට ලබන වසරේදීත් මුහුණ දෙන්න වෙනවා. එම තත්ත්වය තවත් උග්‍ර වෙලා තිබෙන්නේ අද ලෝකයේ තිබෙන ආහාර අර්බුදය නිසා.
යුක්‍රේනයේ යුද්ධය නිසා අපට අවශ්‍ය තිරිඟු ලැබෙන්නේ නැහැ. සමහර විට ඕස්ට්‍රෙිලියාවේ මෙවර අස්වැන්න හොද වෙන්න පුලුවන්. නමුත් එය ප්‍රමාණවත් නැහැ.
අනිත් පැත්තෙන් පකිස්ථානයේ ජල ගැලීම් නිසා ආහාර වගාව නැති වෙලා, දැන් පකිස්ථානය පරිප්පු මිලදී ගන්න තත්ත්වට පත් වෙලා. ගෝලිය ආහාර වෙළෙඳපොළේ ආහාර හිඟයක් ඇති වෙලා විශේෂයෙන් මිල වැඩි වෙනවා. එය ලංකාව වගේ කුඩා රටවල්වලට බලපානවා. දැන් ඉන්දියාව ආහාර අපනයනය කරන එක නවත්තලා තිබෙන්නේ.
චීනයත් අඩු කරලා තිබෙන්නේ, මේ තත්ත්වය මේ දෙසැම්බර් මාසයේ දී අවසන් වෙන්නේ නැහැ. ඊට වඩා වැඩි කාලයක් තිබෙනවා. එය අවුරුදු දෙකක් වෙන්නත් පුලුවන්.
මේ ප්‍රශ්න දෙක නිසා විශාල ආහාර අර්බුදයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒ එක්කම තෙල් මිල දැන් අඩු වුණාට සීත කාලය ආ විට මෙය වැඩි වෙනවා. ඉතින් මෙවැනි ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. එම නිසා මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න සියලුදෙනාට ආහාර ලැබිය යුතුයි. ඒ ආහාර අපි නිෂ්පාදනය කළ යුතුයි. ඒ සඳහා තමයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන්නේ.
දැන් මහ කන්නය පටන් ගෙන තිබෙනවා. අපි පොහොර ලබා ගැනීමට දැනට ඩොලර් මිලියන 200ක් විතර සොයාගෙන තිබෙනවා. ඒ සඳහා තව ඩොලර් මිලියන 20ක් විතර අපිට සොයන්න වෙනවා.
දැන් අපි කටයුතු කරමින් සිටින්නේ ඉන්ධන ලබා ගැනීමට. සමහර තැන්වල බීජ හිඟයක් තිබෙනවා. තායිලන්තය වැනි රටවලින් අවශ්‍ය බීජ ලබා ගැනීමට අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡා කරගෙන යනවා. අපි මේ කටයුතු ක්‍රියාත්මක කරන්න ඕන. නිකන් වගා ව්‍යාපාරයක් ආරම්භ කරලා වැඩක් නැහැ.
මොනවද රටට ඕන. කොහොමද අතිරික්තයක් ඇති නොකර මේ වැඩපිළිවෙළ කරගෙන යන්නේ. මොකද විශාල අතිරික්තයත් ඇතිවුණොත් වෙළෙඳපොළ සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. අපිට අවශ්‍ය ආහාර කොහොමද ලබා ගන්නේ කියලා ජාතික සැලැස්මක් ඇති කරන්න ඕන. ඒක පලාත් මටිටමින්, දිස්ත්‍රික් මට්ටමින්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදු කළ යුතුයි. ඒ සඳහා සියලුදෙනා එකට වැඩකළයුතුයි.
ආණ්ඩුවේ බලය තිබෙන්නේ විධායකයට. පළාත් සභාවේ බලය තිබෙන්නේ ජනාධිපතිට. දැන් පළාත් සභා නැහැ. මේ අංශ 03ම එකට එක්කරගෙන ඒකාබද්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න ඕන. අපේ දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඒ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න සම්පූර්ණ බලතල තිබෙනවා.
ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරුනුත්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඒ පණිවිඩයම තමන්ගේ මට්ටමේ ඉන්න අයට දෙන්න ඕන. කවුරුත් දිසා ලේකම්වරු ඇවිල්ලා කියන්න එපා අරයා හින්දා මෙයා හින්දා වැඩ කරන්න බැරි වුණා කියලා.
ඒක ආරම්භයේදීම කියලා ලබන සිකුරාදාම මේ අය සමග සාකච්ඡාවක් පවත්වලා කියන්න කොහොමද වැඩ කරන්නේ, ඊට පස්සේ කොහොමද සැලැස්ම හදන්නේ කියලා. එතන සිට යන්නේ කොට්ඨාසයට, කොට්ඨාස මට්ටමින් සෑම කෙනෙක්ම එක් කරගෙන නිෂ්පාදනයට යොදවන්න.
ග්‍රාම නිලධාරී මට්ටමින් නිලධාරීන් පස් දෙනෙක් ඉන්නවා. ඒ පස් දෙනා එක් කර ගන්න, අවශ්‍ය නම් විදුහල්පතිවරුනුත් එක් කර ගන්න, මේ සියලුදෙනා එක් කර ගනිමින් වගා ව්‍යාපාරයට යන්න. සැලැස්ම අනුව මොකක්ද කරන්නේ, කොතන ද කරන්නේ කියලා තීරණය කරන්න.
ග්‍රාම නිලධාරී කොට්ඨාසය පළමු වතාවට පරිපාලනයට පමණක් නෙවේ නිෂ්පාදනයටත් යොදවනවා. එතකොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයත් එම නිෂ්පාදනයට එක් වෙනවා. දැන් මෙතනින් මේ වැඩසටහන ආරම්භ කරන්න. ඒක අනාගතයේ දී සංවර්ධනයට යෙදවිය හැකියි.
දෙවනුව තිබෙන්නේ අස්වැන්න එකතු කරන එකත්, නාස්තිය අඩු කරගන්න එකත්. ඒ පිළිබඳව මේ නිලධාරීන් දැනුවත් කරනවා, ඒ සඳහා අවශ්‍ය සහායත් ලබාදිය හැකියි. නාස්තිය 10%කින් 25%කින් අඩුකර ගත්තොත් අපි සාර්ථකයි.
ඊළගට ගබඩා කිරීම, කොහොමද ගබඩා කරනනේ, ඕනම ආහාර ද්‍රව්‍යයක් ගබඩා කරන්න ඕන. ඊළගට සැපයීම, ඒ ක්‍රමවේදය ගැන අපි දැනුවත් කරන්නම්. ප්‍රධාන සමාගම් කිහිපයක් එතනට එකතු කර ගන්න පුලුවන්.
මේකට පෞද්ගලික අංශයේ සහායත් ලබා ගත යුතුයි. ඔවුනුත් එක් කරගෙන මේ වැඩකටයුතු ඉදිරියට ගෙන යා යුතුයි.
අපි ඉතා සාර්ථක මහ කන්නයක් කළහොත් අපිට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න එක මාර්ගයක් වෙනවා. සාර්ථක යල කන්නයක් ඊළගට තිබෙනව නම් ලබන වසරේ ආර්ථික නිෂ්පාදනය වැඩි වෙනවා.
ඒ වගේම අපි සංචාරක ව්‍යාපාරය දියුණු කර ගන්න ඕන. පාඩු ලබන සමහර රජයේ ව්‍යාපාර රජයෙන් ඉවත් කරලා ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍යයි . ඒ මුදල් සියල්ලම අපි ඩොලර්වලින් ගන්නේ. ඒ සියල්ල අරගෙන සංචිතයක දානවා. මේ විදියට ඩොලර් බිලියන 03ක් හොයාගන්න පුලුවන්නම් ලබන වසර වන විට රුපියල ශක්තිමත් වෙනවා. මේ විදියට කළොත් අපිට ඉදිරියට යන්න පුලුවන්.
ඊළගට යන්නේ කෘෂිකර්ම නවීකරණ වැඩසටහනට. කෘෂි නිෂ්පාදන වැඩි කරන්න, තරඟකාරිත්වය වැඩි කරන්න කටයුතු කරනවා. 2023 අවසන් වෙනකොට අපි නවීකරණ වැඩසටනට යා යුතුයි. අපි කෘෂිකර්මාන්තයෙන් විදේශ විනිමය උපයා ගත යුතුයි. තේ, පොල්, රබර් පමණක් නෙවෙයි. 2050 වන විට අපේ ජනගහණය මිලියන 25යි. වැඩිහිටි ප්‍රමාණය වැඩියි.
නමුත් සවුදි අරාබියේ ඉදලා ඉන්දුනිසියාව වෙනකොට ජනගහනය මිලියන 500ක් වැඩි වෙනවා. ආදායම වැඩි වෙනවා. එසේනම් ඒ අයට අවශ්‍ය ආහාර සැපයීම අපිට සිදු කළ හැකියි. අපි ඒ සඳහා සැලසුම් කළ යුතුයි.
ඒ වගේම දිස්ත්‍රික් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම සේවා කොට්ඨාස මට්ටිම්න් වෙනත් නිෂ්පාදන සිදු කිරීම පිළිබඳ අවධානය යොමු කරන්න මම බලාපොරොත්තු වෙනවා.
අද මේ රටේ කුඩා කර්මාන්ත ක්ෂේත්‍රයේත් කඩා වැටීමක් තිබෙනවා. බැංකු ණය ගෙවා ගන්න බැරිව විශාල ගැටලුවක් ඇතිවෙන්න ඉඩ තිබෙනවා. බිම් මට්ටමේ සිට මොකක්ද සිදු වී තිබෙන්නේ කියලා බලලා ඒ අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළයුතුයි. ප්‍රශ්න විසඳන්නේ නැත්නම් විශාල කැළඹීමක් ඇති වෙනවා. ගම් මට්මින් ප්‍රශ්න විසඳෙනව නම් ඊළග වසර 25ට අවශ්‍ය ආර්ථිකයේ පසුබිම සැකසෙනවා.
මේ වැඩපිළිවෙළට ඔබ සියලුදෙනාගේ සහාය ලබා දෙන්න. එය කඩිනමින් ආරම්භ කරන්න. මෙම වැඩකටයුත්තට අවශ්‍ය පරිපාලන ආයතන සියල්ල අගමැතිතුමා යටතේ තිබෙන්නේ. මේ පිළිබඳ අවධානය යොමු කරලා අඩු පාඩු මඟහරවාගෙන ඉදිරියට යන්න. මෙය සාර්ථක කර ගැනීමට ඔබ සියලුදෙනා කැපවෙන්න. අපි මෙම වැඩසටහන ඔක්තෝබර් පළමු සතිය වන විට ආරම්භ කරලා ඉදිරියට ගෙන යමු. ලංකාවේ ආහාර ප්‍රශ්නය විසඳලා ආර්ථිකයේ වෙනසක් ඇති කරන්න ඔබ සියලුදෙනාගේ සහාය ලබාදෙයි කියලා මම විශ්වාස කරනවා.
අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කෘෂිකර්ම හා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ යන මහත්වරු සහ ආණ්ඩුකාරවරු, අමාත්‍යාංශ ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, බැංකු හා සංස්ථා සභාපතිවරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ."