ජවිපෙ ආයෙත් කඩාකප්පල්කරුවාගේ භුමිකාවට පණ දෙයි   Featured

Wednesday, 03 August 2022 18:49

උනුත් එක්ක මුනුත් එකයි සටන් පාඨය දේශපාලන වේදිකාවට ගෙන ආවේ ජවිපෙයයි. මාරුවෙන් මාරුවට ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙක ආණ්ඩු බලය අත්පත් කරගැනීමෙන් රටට සුගතියන් නොවුනු බව ජවිපෙ සිය ආරම්භක අවදියේ පටන්නම ජප කළ මන්තරයයි.

මේ කතන්දරයෙහි ඇත්තක් බැලු බැල්මටම තිබෙන බව ඇත්තකි. නිදහසෙන් පසුව ගෙවුනු අවුරුදු 74 මුලුල්ලේම මෙරට පාලනය කළේ එජාපය සහ ශ්‍රී ලනීපය හෝ එම පක්ෂ ප්‍රමුඛ කර ගත් දේශපාලන සන්ධාන විසිනි. ඇතැම් අවස්ථාවක ජවිපෙත් මේ සන්ධාන නියෝජනය කළේය. මෑත භාගයේදී එජාපයෙන් කැඩි ගිය සමගි ජන බලවේගයත් ශ්‍රී ලනිපයෙන් කැඩී ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් පර්ලිමේන්තුවේ වැඩි බලය අල්ලාගෙන සිටියද ඒ එජාප ශ්‍රීලනීප නියෝජනය කළ පිරිසම මිසක් වෙනත් බලවේගයන් නොවේ. එකම මුහුණු , එකම හැසිරීම, එකම කතා, එකම ප්‍රතිපත්තීන් ටිකය.

මේ තට්‍ටු මාරු දේශපාලනය මතම බර තැබිය හැකි ලෙස ලඝු ව තිබුණත් මේ වසර 74 ක කාලය තුළ ශ්‍රී ලංකාව අද වෙන විට ගෙනවිත් තිබෙන තැන ගැන එල්ල වෙන විවේචනය එද මෙදා තුර දේශපාලනයෙහි යෙදුනු සියලු කොටස් වලට ද අදාලය. රට වැටී තිබෙන තැනට තල්ලු කිරෙමට මේ සියලු කොටස් දායක වී තිබේ. කිසිදු දේශපාලන පක්ෂයකට තමන්ගේ කන්‍යාභාවය වෙනුවෙන් පෙනී සිටිය නොහැක.

කොහොම වෙතත් අද රට ඇත්තේ අන්තිම භයංකර අඩියක බව කිව යුතු නැත. තවදුරටත් පක්ෂයක, කණ්ඩායමක, නායකයකු මත රට ගොඩ නැගීමක් ගැන කතා කිරීමේ හැකියාව නැත. පක්ෂ දේශපාලනය දැන් අවසන්ය. කොටින්ම ආණ්ඩු කියන සංකල්පය පවා අවසන් වී බොහො කල්ය. උනුත් එකයි මුනුත් එකයි කිව්වාට උන් - මුන් කවුද කියා හෝ දැන් වෙන්කර හඳුනාගත නොහැකිය.

අද රාජ්‍ය පාලනය යන්න ඊට වඩා පුුළුල් සහ සංකීර්ණ භාවිතාවක් බවට පත්ව තිබේ. රාජ්‍යකට තනිව පැවැතීමේ හැකියාවද අද අහෝසි වී ඇත. ජාත්‍යන්තරය සමඟ වන ජාල ගත සම්බන්ධතාවයන් මතම රාජ්‍යයෙහි පැවැත්ම තීරණය වෙයි.
අතිශය පුළුල් පරාසයක විහිදුනු නූතන රාජ්‍යකරණය හමුවේ ප‍ටු දේශපාලන වුවමණා එපාකම් මත කරන හුදකලා දේශපාලනයකට පැවැත්මක් නැත. එවැනි දේශපාලන ව්‍යපාරයකට කළ හැක්කෙ පවතින දේ කඩාකප්පල් කර විනාශ කර දැමීමක් පමණි.

අද ලංකාවේ මේ වෙනුවෙන් උදාහරණ කිහිපයක්ම දැක්විය හැකිය. හොඳම උදාහරණය සපයන්නෙ ජනතා විමුක්ති පෙරමුණය. අද දිනයේදීත් ඔවුන්ගේ මේ කඩාකප්පල්කාරී දේශපාලනය එහි නායකතුමා විසින්ම තහවුරු කරන ලදී.

ඒ අද ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය ගැන ජනතා විමුක්ති පෙරමුණ නැතිනම් ඔවුන්ගේ මැතිවරණ සන්ධානය වන ජාතික ජන බලවේගය ප්‍රකාශයට පත් කළේ ජනාධිපතිවරයාගේ කතාවෙහි ගත යුත්තක් නැති බවත් එහිදී ඉල්ලා සිටි සර්වපාක්ෂික පාලනයකට ජවිපෙ කිසිසේත්ම එකතු නොවන බවත්ය.

ජනාධිපතිවරයා සර්වපාක්ෂික එකඟතාවයකට යෑමට යෝජනා කළේ ඔහුගේ ප‍ටු දේශපාලනික වුවමණාවකට නොවේ. ඔහුට කරන්න පක්ෂ දේශපාලනයක් දැන් නැත. ඔහු නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ හෝ ඔහුව ජනාධිපතිධුරයට පත් කිරීම සඳහා සහය දුන් කණ්ඩායම් වල වුවමණාවන් වෙනුවෙන් වත් නොවන බවත් පැහැදිලිය. අද රට වැටී තිබෙන මේ බරපතල අනතුරෙන් බේරා ගැනීම වෙනුවෙන් සියලු දෙනා එක්වීම විය යුතු බව තවදුරටත් මඟ නොහැරිය හැකි අනිවාර්ය අවශ්‍යතාවය නිසාය.

රට ගොඩනැගීම වෙනුවෙන් රටේ දේශපාලන ස්ථාවරත්වය පවත්වාගෙන යෑම අංක එකේ වුවමණාව බව අතිශය පැහැදිලි කරුණකි. ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයොගය හෝ ලබාගැනීමට හැකි වන්නෙ ඒ තත්වය තුළය.

අද රටේ ජනතාව පත්ව ඇති අසරණ භාවයෙන්, දුක්ඛිත භාවයෙන් මුදවා ලීමට නම් රට දේශපාලනිකව ස්ථාවර කර, ස්ථිර සාර ආර්ථික වැඩ පිළිවෙලක් සහිතව ඉදිරියට යෑම අනිවාර්යව තිබෙන තත්වයන් හමුවේ පුරවැසියාට වගවීමක් ඇති කිසිදු දේශපාලන පක්ෂයකට එය මඟ හැර, කළ හැකි දේශපාලනයක් නැති බවත් පැහැදිලිය.

ජවිපෙ වැනි සංවිධාන මැතිවරණ ඉල්ලමින් කරන නරි නාටකය නැවත කෙලවර වෙනු ඇත්තේ රට වැසියත් තවත් බරපතල අර්බුදයක ගිල්වමින් බව සැක නැත. ජවිපෙ කල්පනා කරමින් සිටින්නේ මැතිවරණයකින් තමන්ට රටේ ආණ්ඩු බලය පිහි‍ටු විය හැකි බවය. කවර සාදක පදනම් කරගෙන එසේ කල්පනා කරනවාද යනන් කිසිවකුත් නොදන්නා නමුත් ජවිපෙ ඉතා දැඩි සිහිනයක ගිලී සිටින බව නම් පැහැදිලිය. කොහොමත් ජවිපෙ හැමදාමත් හිතා ගන්න බැරි තරම් අධිතක්සේරුවක් සහිතව උද්දච්ඡ දේශපාලනයක යෙදෙන කණ්ඩායමක් බව ඔවුන්ගෙ ඉතිහාසය පුරාම පෙන්නුම් කර ඇති සත්‍යයද වේ.

ඒ කොහොම නමුත් සියලු දෙනා බලාපොරොත්තු වෙන සියලු පාර්ශ්ව එකතු කර ගත් පාලනයකින් මෙම අර්බුදය ජය ගත යුතු බව දැඩිව කියාපාමින් අනෙත් බොහෝ පාර්ශ්ව ඒ වෙනුවෙන් පෙනී සිටියද ජවිපෙ දැඩිව පෙනී සිටින්නෙ එය මුලුමනින්ම කඩාකප්පල් කිරීම වෙනුවෙනි.

සර්ව පාක්ෂික පාලනයක් තුළින් රටේ ප්‍රශ්න විසඳා පුරවැසියාගේ පීඩාවන් තුරන් කිරීමට කටයුතු කළහොත් එළඹෙන මැතිවරණයකදී ජවිපෙට ලැබෙන ඡන්ද ගොඩ අහිමි වෙතැයි ජවිපෙ කල්පනා කරනවාට සැක නැත. ඒ හැර සර්වපාක්ෂික රජයකට සහය නොදෙන්න කිසිදු සාධාරණ හේතුවක් මේ මොහොතේ නම් නැත.

ගෝඨාභය ජනාධිපතිවරයා සිටි කාලයේදී ගොඨා තනතුරෙන් යනකම් සර්වපාක්ෂික පාලනයකට එකතු වන්නෙ නැති බව ජවිපෙ කීවේය. දැන් ගෝඨා නැත. දැන් කියන්නේ රනිල් ඉන්නම් බැරිය කියාය. රනිල් ඉවත් කර තව කෙනෙකු පත් කර ගත්තත් ජවිපෙ කියන්නේ එයා ඉන්නකම් බැරිය කියාය. තවත් කෙළවරක් නැති ඉටුකළ නොහැකි ප්‍රායෝගික නැති කොන්දේසිය. නමුත් මේ වෙලාවේ එකම කොන්දේසිය විය යුත්තේ ජනතාව ජීවත්කරවීමේ කොන්දේසිය පමණි. ජවිපෙට එහෙම කොන්දේසි මතක් වෙන්නේ නැත.

ජවිපෙ නැතිව සර්වපාක්ෂික පාලනයක් පිහි‍ටුවා හෝ කුමක් හෝ විසඳුමක් සොයා ගැනීමේ හැකියාව පාර්ලිමේන්තුවට තිබෙන බවත් ඇත්තකි. ජවිපෙ ඒ වෙනුවෙන් අවශ්‍යම නැත. එහෙත් ජවිපෙ කරන මේ කැත සෙල්ලම නිසා සිදුවන්නේ කවුරු බලයේ සිටියද ඒ පවත්වාගෙන යෑමට මේ කණ්ඩායම ඉඩ නොදීමයි. බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට කන්න දෙන්නෙත් නෑ යන්න මේ ජවිපෙ දේශපාලනයට ඉතාම හොඳින් ගැලපෙන කියමනකි.

කලින් කී ලෙස අතිශය පුළුල් පරාසයක විහිදුනු නූතන රාජ්‍යකරණය හමුවේ ප‍ටු දේශපාලන වුවමණා එපාකම් මත කරන හුදකලා දේශපාලනයකට පැවැත්මක් නැති බව ජවිපෙ ඡන්ද පදනමින්ම තහවුරුව තිබෙන්නෙකි. හැමදාම ආණ්ඩු බලය ගැනීමේ මහා සිහිනයක සිටියත් ඡන්දකදී එය සියයට 3 -5 සීමාව අසල නතර වෙන්නෙ ඒ නිසාය. ඉදිරි මැතිවරණයකදී මේ වෙනස් වීමේ කිසිදු ඉඩක් නැති බව අදත් ජවිපෙ කඩාලප්පල්කාරී දේශපාලනය විසින් පෙන්වා දෙමින් තිබේ.

-SJ

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us